ඉස්ෆහාන්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මධ්‍යම ඉරානයේ මුහුදු මට්ටමේ සිට අඩි 3,500ක් උසින් වූ සමබිමක පිහිටි මේ නගරය අතිශයින් සුවදායක දේශගුණයෙන් යුක්ත වෙයි. දකුණෙන් හා බටහිරින් පිහිටි හෙල් වැටිවලින් ඉස්ෆහාන් පෙදෙස ආවරණය වී ඇත. සයින්දේ ගඟින් හා එහි අතු ගංගාවලින් පෝෂණය වන හෙයින් මේ පෙදෙසෙහි සාරවත් කෙත්වතු බහුලය. මෙහි වැවෙන බෝග අතර කපු, දුම්කොළ හා පොපි වැදගත්ය. ඉස්ෆහාන් නගරය සයින්දේ ගඟ දෙපසෙහි දියුණු වී ඇත.

ඉස්ෆහාන් නගරයට අවුරුදු 2,700ක් පමණ දීර්ඝ ඉතිහාසයක් ඇත. පුරාණ මීඩියාහි ග්‍රීකයන් විසින් අස්පදාන නමින් ද පහ්ලවී ග්‍රන්ථයන්හි ස්පාහන් යන නමින් ද මේ නගරය හඳුන්වනු ලැබීය. ක්‍රිස්තු වර්ෂාරම්භයට පෙර පර්සියානු අධිරාජ්‍ය සමයේ දීත් සාසාන යුගයේ දීත් මේ නගරය දියුණුව පැවති බව පුරාවෘත්තයන්ගෙන් කියැවේ. මුල් කාලයේ සිට ම යුදෙව් ජාතිකයන්ගේ ජනාවාසයක් ව පැවති ඉස්ෆහාන් නගරය ආදි මුස්ලිම් යුගයේ දී වැදගත් නගරයක් වූ බවට සාධක ඇත. ජෙන්ඝිස් ඛාන් විසිනුත් පසුව ටිමූර් විසිනුත් මේ නගරය විනාශ කරන ලදි. 17 වන සිය වස ආරම්භයේ දී මහා ශා අබ්බාස් (1586-1628) රජ ඉස්ෆහාන් පර්සියාවේ අගනුවර බවට පත් කළේය. අද මෙහි පවත්නා ගෘහනිර්මාණයන්ගෙන් විශාල සංඛ්‍යාවක් ඉදි කළේ එම රජුය. 1722 දී ඇෆ්ඝන් ආක්‍රමණයක් සිදු වූ නමුත් මෙහි ගොඩනැඟිලිවලට අලාභ හානි සිදු වූයේ නැත.

දේශගුණය හා වෘක්ෂලතාදිය අනුව ක්ෂේම භූමියක් වශයෙන් සැලකිය හැකි ඉස්ෆහාන් නගරය පුරාණයේ සිට පැවැත එන ගෘහනිර්මාණාදි ස්මාරක හා 16 වන සියවසෙහි ආරම්භ කළා වූ නවනගර සැලැස්මට අයත් අංග හේතුකොටගෙන පර්සියානු ගෘහනිර්මාණ ශිල්පයේ කීර්තිමත් මධ්‍යස්ථානයක් ද වෙයි. මෙහි දක්නට ලැබෙන උජ්ජ්වලත ශිඛරගෝලාර්ධ, සායම් ආලේපයෙන් අලංකෘත මහා ආරුක්කු, අභිමානවත් ප්‍රාසාද ශෘඞ්ග ආදියෙන් සමන්විත මුස්ලිම් ගෘහනිර්මාණ ලොව අග්‍ර ගණ්‍ය නිර්මාණ අතුරෙහි ලා සැලකිය හැකිය.

නගරයේ අලංකාරයට බෙහෙවින් හේතු වී පවත්නා සෙල්ජුක් හා මොංගොල් යුගයන්ට අයත් ප්‍රාසාද ශෘඞ්ග රැසක් ඉස්ෆහාන්හි දක්නට ලැබේ. ඒ අතුරෙන් මස්ජිද්-ඉ-ජමි පල්ලිය ගෘහනිර්මාණ ශිල්පය හැදෑරීම් විෂයෙහි ඉතා සරු කෙතකි. 11 වැනි සියවසේ සිට විවිධ අවස්ථාවල ගොඩනඟන ලද කුඩා ශිඛරගෝලාර්ධ රැසක් ද ඊට අයත් වේ. මහා ශා අබ්බාස් රජු ගොඩනැඟූ රාජකීය ගෘහනිර්මාණ චතුරස්‍රයක් ද මෙහි වේ. යුද්ධ අභ්‍යාස සඳහා ද පෝලෝ ක්‍රීඩාව සඳහා ද එහි අංගණ ප්‍රයෝජනයට ගන්නා ලද්දේය. මෙම චතුරස්‍රයට උතුරු දෙසින් නගරයේ ව්‍යාපාරික කටයුතු කෙරෙන ප්‍රදේශය පිහිටියේය. ශත වර්ෂ ගණනක් තිස්සේ කැරුණු රෙදිපිළී හා ලෝහ කර්මාන්ත තවමත් එහි පවතී. 1618 දී ගොඩනඟන ලද සිත්කලු ෂීක් ලුත්ෆුල්ලා පල්ලිය යටකී චතුරස්‍රයේ නැගෙනහිර කෙළවරේ වෙයි. සෆායිද් යුගයේ විශිෂ්ට ගඩොල් සැරසිලි මෙම පල්ලියේ දැක්ක හැකිය. එහි ශිඛරගෝලාර්ධයේ ඇතුළත සායමේ දීප්තියෙන් ලෙළ දෙනසුලුය. සෆායිද් ගෘහනිර්මාණ ශිල්පයේ විශිෂ්ටතම නිර්මාණය වන මස්ජිද්-ඉ-ශා හෙවත් රාජකීය පල්ලිය චතුරස්‍රයේ දකුණු කෙළවර පිහිටියේය. නිර්මාණ සැලැස්ම අතින් තාජ් මහල් මන්දිරය පරදවන මෙම පල්ලිය නගරයේ සෙසු ගොඩනැගිලි අභිභවා සිටී. ශා අබ්බාස් 1590 දී ගොඩනැගීමට පටන් ගත් මෙම පල්ලිය සාදා නිම කරන ලද්දේ 1640 දීය. චතුරස්‍රයේ බටහිර දෙස අලි ගාපි නම් වූ සන්ථාගාරය සත්මහල් ප්‍රාසාදයකි. විශාල සඳලුතලය මෙහි කැපී පෙනෙන අංගයකි. පාලකයන් යුද සරඹ නැරඹුවේ එහි සිටය. මෙම ප්‍රාසාදය පසුපස චිහිල් සුතූන් හෙවත් සතලිස් ටැම් මාළිගය නම් ගොඩනැඟිල්ලකි. (නිර්මිත ටැම් 20 හා ඉදිරිපස පොකුණේ වැටෙන ඒවායේ සෙවණැලි 20 ද සලකා ටැම් 40ක් ලෙස ගැනේ.) එහි ඇතුළත යුරෝපීය හා පර්සියානු සම්ප්‍රදායයන්ට අනුකූලව අඳින ලඳ සංග්‍රාම දර්ශන හා රාජසභා දර්ශන නිරූපිත විශාල බිතු සිතුවම් ඇත.

නගරය මැද සිට විහිදෙන චහාර් බාග් නම් මහාමාවත ශා අබ්බාස්ගේ නගර සැලැස්මේ සිත්ගන්නා අංගයකි. මද්‍රාසි-ඉ-ශා හුසේන් නම් වූ අලංකාර ශාස්ත්‍රශාලාව පිහිටියේ මෙම මාවතේය. 1700 දී ඉදි කරන ලද මෙම ගොඩනැඟිල්ල රමණීය ශිඛරගෝලාර්ධයකින් ද අගනා ගඩොල් සැරසිලි සහිත ප්‍රාසාද මුඛයකින් ද සිසුන් සඳහා වූ කුටි 160කින් ද සමන්විතය.

සයින්දේ ගඟ හරහා දමා ඇති පාලම් ඉස්ෆහාන් නගරයේ අලංකාරය වැඩි කරන විශේෂ නිර්මාණයෝය. ඒවායින් සාසාන යුගයේ දී ඉදි කොට පසුව ප්‍රතිසංස්කරණය කරන ලද ශාරිස්තාන් පාලම ද ශා අබ්බාස් රජු සෑදූ ආරුක්කු 33ක් සහිත අල්ලාවෙර්දි ඛාන් පාලම ද 15 සියවසේ සාදා පසුව ප්‍රතිසංස්කරණය කරන ලද ඛාජු පාලම ද ඒ ගණයේ නිර්මාණ අතුරෙහි අසහාය නිර්මාණයෝ වෙති. මේවා ගඩොලින් මනාව සාදා පාට උළුකැබැලිවලින් සරසා ඇත. අල්ලාවෙර්දි ඛාන් හා ඛාජු යන පාලම්වල විශේෂ ලක්ෂණයක් නම් දෙතුන් මට්ටමකින් රථවාහන ගෙන යා හැකි වන පරිදි මහල් කීපයක් සෑදෙන සේ පාලම මත ආරුක්කු ගොඩනඟා තිබීමය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉස්ෆහාන්&oldid=8518" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි