උඩපළාත

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මහනුවර දිස්ත්‍රික්කයේ ආදායම් පාලක කොට්ඨාසයකි. ව.සැ. 106ක් විශාල මෙය ගඟඉහළ, ගඟපහළ, කඳුකර ඉහළ හා කඳුකර පහළ යනුවෙන් කෝරළ හතරකට බෙදේ. එම කෝරළ එක එකක් ගම්කාර්ය සභා ප්‍රදේශයක් ද වේ. ගඟ ඉහළ, කඳුකර පහළ කෝරළ හා කඳුකර ඉහළ කෝරළයෙන් කොටසක් ගම්පළ පාර්ලිමේන්තු කොට්ඨාසයට ද සෙසු කොටස් නාවලපිටිය පාර්ලිමේන්තු කොට්ඨාසයට ද ඇතුළත් වේ.

මුහුදු මට්ටමේ සිට අඩි 1,800-4,500ක් පමණ උස් වූ උඩපළාත බෙහෙවින් කඳුකරය. මහවැලි ගඟ ද එහි වැදගත් අතු ගංගා වන අටබාගේ ඔය හා නිලඹේ ඔය ද මෙම ප්‍රදේශය ඔස්සේ ගලාබසී. කඳු ඔස්සේ ඇද හැළෙන කුඩා ඔයවල් රාශියක් ම ඇත.

උඩපළාතේ ලොකු තේ වතු බොහෝය. ඩෙල්ටා, සොගම, දොරගල්ල යාය, මහවිල්ල යාය, නිව් පීකොක් යාය, වාරියගල්ල යාය ආදිය අක්කර දහසකට වඩා විශාල තේ වතුය. කඳුකර පහළ හා ගඟපහළ කෝරළයන්හි රබර් වගාව ද තරමක් දුරට කෙරේ. වතු බොහෝ හෙයින් උඩපළාතෙහි ගම්මාන අඩුය. ගැමි ජනයා වී හා එළවළු වගාවන්හි යෙදෙති. බොහෝ දෙනා අසල වතු යායයන්හි තේ දළු නෙළීම ආදි කුලී වැඩ කරති. මෙහි නගර බොහොමයක් දියුණු වී ඇත්තේ වතු මධ්‍යස්ථාන වශයෙනි. උඩපළාතෙහි ප්‍රධානතම නගරය ගම්පොළය. උලපනේ, පුස්සැල්ලාව, පන්විලතැන්න හා පුපුරැස්ස වෙනත් නාගරික ප්‍රදේශයි.

නුවරඑළිය, නාවලපිටිය, දොළොම්බාගේ, කඩුගන්නාව, මහනුවර, ගලහ ආදි ප්‍රධාන නගරවලින් ගම්පොළ කරා මහා මාර්ග ඇති හෙයින් ද උඩරට දුම්රිය මාර්ගය මේ ඔස්සේ වැටී ඇති හෙයින් ද මෙම ප්‍රදේශයට ප්‍රවාහණ පහසුකම් දුෂ්කර නොවේ.

උඩපළාතේ වතුකරයේ කම්කරු ජනතාව අතර ඉන්දියානු ද්‍රවිඩ ජනයා බොහෝය.

උඩපළාත කන්ද උඩරට සිංහල රාජ්‍යයෙහි දිසා දොළොසින් එකක් විය. ප්‍රදේශයේ කොඩිය වනුයේ නෙළුම් මල් කොඩියයි. 1833 දී මේ පළාත ගැන විස්තර කරන කාසිචෙට්ටි මහතා මේ ප්‍රදේශය කඳුවලින් ගහන වුවත් එහි වනාන්තර එතරම් නොමැති බවත් වී, කුරහන්, අමු ආදි ධාන්‍ය වර්ගවලින් එය සශ්‍රීකව තිබුණු බවත් සඳහන් කරයි.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උඩපළාත&oldid=8306" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි