උදයිපූර්
(මේවාර්). ඉන්දියාවේ රාජස්ථාන් රාජ්‍යයෙහි දිස්ත්‍රික්කයක් ද එම දිස්ත්‍රික්කයෙහි අගනුවර ද මෙනම් වේ.
උදයිපූර් දිස්ත්‍රික්කය
ව.සැ. 6,812ක් විශාල වූ මෙය තහ්සිල් කොට්ඨාස 18කට බෙදා ඇත. මෙහි ජනගහනය (1964) 1,464,276ක් පමණ වේ. විල් සහිත කඳුකර ප්‍රදේශයක පිහිටි උදයිපූර් දර්ශනීය දිස්ත්‍රික්කයකි. අරවල්ලි කඳුවලින් කොටසක් ද මේ ඔස්සේ විහිදෙයි. ව.සැ. 21ක් විශාල ජායි සාමාන්ඩ් විල ආදි ජලාශ කීපයක් ම මෙහි ඇත. සෝඩියම් සල්‍ෆේට් ආදි ලවණ වර්ග හා තලාතු මිනිරන්, ඊයම්, ඇස්බෙස්ටොස්, මැණික්, යුරේනියම් ආදි ඛනිජ බහුල ප්‍රදේශයක් හෙයින් මෙහි ආකර කර්මාන්තය මෙන් ම විවිධ නිෂ්පාදන කර්මාන්ත ද දියුණුව ඇත. විශේෂයෙන් ම දකුණු උදයිපූර්හි පස ඉතා සාරවත් හෙයින් මෙහි කෘෂිකාර්මික කටයුතු ද බොහෝ දියුණුය. තිරිඟු, මෙනේරි, කඩල, මුං, පරිප්පු ආදි ධාන්‍ය වර්ග හා කපු මෙහි වවන ප්‍රධාන බෝගය.
උදයිපූර් නගරය
මුහුදු මට්ටමේ සිට අඩි 2,469ක් පමණ උස් වූ භූමිභාගයක පිචෝලා විලබඩ පිහිටා ඇත. විටෙක මෙය ‘ඉන්දියාවේ වැනීසිය’ ලෙසින් හඳුන්වනු ලැබේ. සුඛදායක දේශගුණය හා ස්වාභාවික සෞන්දර්යය නිසා මෙන් ම පෞරාණික වැදගත්කම නිසා ද උදයිපූර් නැරඹීමට පැමිණෙන්නෝ බොහෝය. රෙදි විවීම, විශේෂයෙන් ම ගොවි උපකරණ නිපදවීම ආදි නවීන කර්මාන්ත රාශියක් මෙහි දියුණුව ඇත. පශු විද්‍යාව හා කෘෂිකර්මය ප්‍රධාන අධ්‍යයන විෂය කොටගත් විශ්වවිද්‍යාලයක් උදයිපූර්හි ඇත. මීට අනුබද්ධ විද්‍යාල පහක් ද වේ. උදයිපූර් නගරයේ ජනගහනය (1964) 111,139කි.
උදයිපූර්හි මුල් කාලයේ පාලකයන් අයෝධ්‍යා පුරයෙහි රාම රජුගෙන් පැවත ආහයි සැලකේ.
ගුප්ත අධිරාජ්‍යයේ පරිහාණියෙන් පසුව, ක්‍රි.ව. 6 වන සියවස මැද භාගයේ දී, ගුහදත්ත නමැති ප්‍රධානියකු උදයිපූර්හි බටහිර කොටසෙහි කුඩා රාජධානියක් පිහිටුවා ගත්තේය. ගුහිල හෙවත් ගුහිලපුත්‍ර රජපරපුරෙහි ආරම්භය වූයේ එලෙසිනි. අටවන සියවස මුල් භාගයෙහි දී ඇති වූ අරාබි ආක්‍රමණ මෙම වංශයෙහි නවවැනි රාජයා වූ කුම්මාත I විසින් සාර්ථක ලෙස මැඩලන ලදි.
මෝරි රාජ්පුත් හෙවත් මෞර්ය නමැති වංශයක් ද උදයිපූර් පාලනය කළ බවත් අරාබි ආක්‍රමණ නිසා ඔවුන් පිරිහී ගිය බවත් පෙනේ.
පරමාර වංශික මුංජ රජු ක්‍රි.ව. 10 වන සියවසෙහි අග භාගයෙහි දී රාජපුතානාවෙහි රාජධානිවලට පහර දුන් විට උදයිපූර්හි ගුහිල රජ ද පරාජයට පත් වූවන් අතර විය. ගුහිලවංශික රජුන්ගේ සෙල්ලිපි ද උදයිපූර්හි තිබී සොයාගෙන ඇත. උදයිපූර් 12 වැනි සියවසෙහි දී ගුජරාථයෙහි චාලුක්‍යයන් යටතට ද සාකම්භරිහි වාහමානවරුන් යටතට ද පත් විය.
1564 දී ශා ජහාන් උදයිපූරයට පහර දීම සඳහා හමුදා යැවූ විට එපුරය විසින් මෝගල් ආධිපත්‍යය පිළිගන්නා ලදි.
ක්‍රි.ව. 1567 ඔක්තෝබරයෙහි දී අක්බාර් චිතෝරයට පහර දීමට පැමිණි අවස්ථාවෙහි එහි පාලකයා වූ උදය සිං පලාගොස් උදයිපූර් මාළිගයක රැකවරණ පැතී යයි කියනු ලැබේ.
ක්‍රි.ව. 1680 ජනවාරියෙහි දී රාණා රාජසිංට විරුද්ධව කළ ආක්‍රමණයෙහි දී ඔහු පරාජය කරමින් උදයිපූර් අල්ලාගත් අවුරාංසෙබ් එහි තිබුණු සිද්ධස්ථාන ද විනාශ කර දැමීය. ඔහු උදයිපූර්හි හා චිතෝරයෙහි හින්දු සිද්ධස්ථාන 239ක් විනාශ කළ බව ඇතැම් ඉතිහාසඥයෝ කියති. ඉන් පසු රජ වූ බහදූර් ශා ද උදයිපූර් කරා ආක්‍රමණයක් මෙහෙයවීය. එහෙත් පංජාබයෙහි සික්වරුන්ගේ කැරලි නිසා එවර උදයිපූරයට දැඩි හානියක් නොවීය.
සුප්‍රකට මරාඨ නායක ශිවාජි (17 වැනි සියවස) තමා උදයිපූර් රාජ්පුත්වරුන්ගෙන් පැවත එන්නෙකැයි තම අභිෂේක උත්සව අවස්ථාවෙහි දී ප්‍රකාශ කළැයි සමහරුන් කියතත් මේ පිළිබඳව ඉතිහාසඥයන් අතර මතභේද පවතී. ක්‍රි.ව. 1817 නොවැම්බර මාසයේ දී අත්සන් කරන ලද ග්වලියෝර් ගිවිසුම අනුව උදයිපූර් ඇතුළු ප්‍රදේශ කිහිපයක් බ්‍රිතාන්‍ය පාලනය යටතට පවරාගන්නා ලදි.
මුස්ලිම් ආක්‍රමණවලින් පසුව උතුරු ඉන්දියාවෙහි තනවන ලද ගොඩනැඟිලි අතර ඇතැම් විට උසස්තම සේ සැලකිය හැකි යයි කේ.ඇම්. පනික්කාර් මහතුන් විසින් වර්ණිත චිතෝර්ඝර් පිහිටියේ උදයිපූර්හිය. උදයිපූර්හි මහාරාණා උදය සිං ඉදි කළ මාළිගය චමත්කාරජනක ගොඩනැඟිල්ලක් පමණක් නොව රාජස්ථානයෙහි දක්නට ලැබෙන එවැනි ගොඩනැඟිලි අතර විශාලතම එක ද වෙයි. ඔහුට පසුව බලයට පත් වූවන් විසින් ද එයට නව කොටස් එකතු කැරිණ. උදයිපූර්හි රමණීයත්වය දෙගුණ තෙගුණ කරවන පිචෝලා විලත් එහි මධ්‍යයෙහි කළුගලින් හා කිරිගරුඬින් තනා ඇති මන්දිරයත් සංචාරකයන්ගේ නෙත් සිත් පැහැර ගනී. උදයිපූර්හි හා ඒ අවට කෘත්‍රිම විල් කිහිපයක් ම ඇත්තේය.
උදයිපූර්හි සිද්ධස්ථාන අතර 17 වැනි සියවසෙහි දී පමණ I වැනි මහාරාණා ජගත් සිං ඉදි කරවූ අඩි 80ක් පමණ උස් වූ ජගදීශ් දෙවොල විශේෂයෙන් සඳහන් කළ යුතුය. මෝගල් යුගයෙහි ගෘහ නිර්මාණය ගැන කියන විට උදයිපූර්හි පිහිටි මාළිගා අමතක කළ නොහැකිය. එම යුගයෙහි ඉදි කරන ලද වෙනත් මනහර ගොඩනැඟිලි ද උදයිපූර්හි දක්නා ලැබේ.
(සංස්කරණය: 1970)