උපනය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

න්‍යායමතයෙහි, පරාර්ථානුමාන වාක්‍යයෙහි සතරවන අවයවය උපනය නම් වෙයි. ‘උපනය’ යනු සමීප කරලීමයි. ව්‍යාප්තිසාධනයෙන් නිශ්චය කොටගත් සාධ්‍ය නියත හේතුව පක්ෂයෙහි ඇති නැති බව කියා සාධ්‍යයට සමීප කරලීම එයින් අදහස් කරනු ලැබේ. න්‍යායදර්ශනයෙහි ගෞතම මුනිහු “උදාහරණාපෙක්ෂස්තථෙත්‍යුපසංහාරො න තථෙති වා සාධ්‍යස්‍යොපනයඃ” යනුවෙන් එය කීහ. භාෂ්‍යකාර වාත්ස්‍යායන මුනීහු සාධ්‍ය හා සමාන ධර්ම ඇති (සාධම්‍යර්‍) උදාහරණයෙහි දක්නා ලද ධර්ම එසේ ම සාධ්‍යයෙහි ද ඇත කියා හෝ සාධ්‍යයට විපරීත ධර්ම ඇති (වෛධම්‍යර්‍) උදාහරණයෙහි දක්නා ලද ධර්ම එසෙයින් සාධ්‍යයෙහි නැත කියා හෝ සමීප කරලීම උපසංහාර (උපනය) නමැයි කීහ. ධර්මකීර්තිපාදයෝ මෙය "පක්ෂධර්‍මතාවචන” යයි නම් කරති. ව්‍යාප්ති විශිෂ්ට පක්ෂධර්මතා දැක්වීම පරාර්ථානුමානයෙහි අවශ්‍යතම අංගයකි. අනුමිතිඥානයට ප්‍රමාණ වනුයේ එයයි.

පරාර්ථානුමානවාක්‍යප්‍රයෝගයෙහි තාර්කිකයෝ ඒකමතික නොවෙති. ගෞතම මුනීන් විසින් නිපැයූ න්‍යායමතයෙහි පරාර්ථානුමානවාක්‍යය අවයව පසකින් යුක්ත වෙයි. ඒ “පඤ්චාවයවවාක්‍ය” නමින් හැඳින්වෙයි. ප්‍රතිඥා, හේතු, උදාහරණ, උපනය, නිගමන යනු එහි පඤ්ච අවයවයෝයි. ඔවුනතුරෙහි "ප්‍රතිඥා" යනු සාධ්‍යය දැක්වීමය. “හේතු” යනු සාධ්‍යයාගේ සාධනය. උදාහරණ" යනු සාධ්‍යය හා සමාන ධර්ම ඇති දෘෂ්ටාන්තය. “උපනය” පළමු කියන ලදි. “ නිගමන” යනු නිශ්චයයි.

පඤ්චාවයව ප්‍රයෝගයට නිදසුන් මෙසේය:

ප්‍රතිඥා: පර්වතයෙහි ගිනි ඇත.

හේතු: දුම් ඇති හෙයිනි.

උදාහරණ: යම් තැනක දුම් ඇද්ද එතැන ගිනි ඇත. මුළුතැන්ගෙහි මෙනි.

උපනය: පර්වතයෙහි දුම් ඇත.

නිගමන: එහෙයින් පර්වතයෙහි ගිනි ඇත.

මෙහි දී ගින්නත් දුමත් අතර නියත සම්බන්ධය වූ ව්‍යාප්තිය කියා පර්වතයෙහි දුම් ඇති බව කීමෙන් සාධනය සාධ්‍යයට සමීප කරන ලදි. උපනය යනු මෙසෙයින් සාධනය සාධ්‍යයට සමීප කරලීම වෙයි. න්‍යායබින්දුකාර ධර්මකීර්තිපාදයෝ ප්‍රතිඥා, හේතු, නිගමන යන වාක්‍යාංග පරාර්ථානුමානයෙන් බැහැර කරති. උදාහරණ අවයවය සාධර්‍ම්‍යයෙහි දී “අන්වයවචන” නමිනුදු වෛධර්‍ම්‍යයෙහි දී “ව්‍යතිරේකවචන” නමිනුදු හඳුන්වති. පරාර්ථානුමානයේ වාක්‍යාංග දෙකක් ම ධර්මකීර්තිපාදයන්ට අභිමත වෙයි. අර්ථාවබෝධය තමා විසින් ම කළ යුතු වන බැවින් ස්වාර්ථානුමිතියට අවශ්‍ය හේතුසත්තාව දක්වාලීම (ත්‍රිරූපලිඞ්ගාඛ්‍යානය) පරාර්ථානුමානය බවත් ඉන් බැහැර ව්‍යාපාර නිරර්ථක බවත් ධර්මකීර්තිපාදයන්ගේ අදහසයි. වේදාන්තිකයෝ ද ප්‍රතිඥාදි පඤ්චාවයව නිරර්ථක සේ පිළිගනිති. නෛයායිකයන්ගේ පඤ්චාවයව අතුරෙහි ප්‍රතිඥා, හේතු, උදාහරණ යන පළමු තුන් අවයව හෝ උදාහරණ, උපනය, නිගමන යන පසු තුන් අවයව හෝ සාධ්‍ය සිද්ධියට ප්‍රමාණ වෙතියි ඔව්හු සලකති. “පඤ්චාවයව අතුරෙහි සාධනාංග නොවන අවයව නැතැ”යි න්‍යායලීලාවතීකාර ශ්‍රී වල්ලභාචාර්‍ය්‍යයෝ කියති.

(කර්තෘ: කරහම්පිටිගොඩ සුමනසාර හිමි)

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උපනය&oldid=9434" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි