උපනිෂ්ක්‍රමණය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(නිෂ්ක්‍රමණය). මවුකුසින් බිහිවීමෙන් පසු දරුවකුට ප්‍රථම වරට හිරු දැක්වීම (හිරු වැඳවීම) සඳහා කරනු ලබන සංස්කාරයකි. ඉතා පුරාණයේ පටන් හින්දුවරුන් අතර ව්‍යවහාරයෙහි පවත්නා මේ සංස්කාරය ලක්වැසියන් අතර ද දොරට වැඩීම නමින් මේ දක්වා ව්‍යාප්තව පවතී. ඇතැම් ග්‍රන්ථවල දැක්වෙන හැටියට බ්‍රාහ්මණ වංශිකයන් විසින් උත්පත්තියෙන් සිව්වන මාසයෙහි දී ද අනිකුත් වංශවලට අයත් වූවන් විසින් උපන් දොළොස් දවසින් හෝ තුන් මසින් හෝ බත් කැවීමේ දී ද හිරු දැක්වීම කළ යුතු වේ. වංශභේදයක් ගැන නොසලකා සිව්වන මාසයෙහි චන්ද්‍ර දර්ශනය සිදුකිරීමට නියමිතය. උපනිෂ්ක්‍රමණය පිළිබඳ විස්තර ගෘහ්‍ය සූත්‍රයන්හි බෙහෙවින් දක්නට ලැබේ.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උපනිෂ්ක්‍රමණය&oldid=9437" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි