උරශා
වර්තමාන බටහිර පකිස්ථානයෙහි වයඹ දිග පෙදෙසේ හසාරා දිස්ත්‍රික්කය ආශ්රිත ප්‍රදේශය අතීතයෙහි උරශා නමින් හැඳින්විණි. බටහිරින් ඉන්දු ගංගාවත් නැගෙනහිරින් කාශ්මීරයත් දකුණින් අටොක් නගරයත් ඇතුළත කඳුකර ප්‍රදේශය ඊට අයත් විය.
උරශාව පිළිබඳව අපට අසන්නට ලැබෙන පැරණි ම ඓතිහාසික සඳහන මහා ඇලෙක්සැන්ඩර් රජු ඉන්දියාව ආක්‍රමණය කළ සමයට අයත් වෙයි. එය “අර්සකස්” නමින් හඳුන්වන ග්‍රීක ලේඛකයෝ අභිසාර නම් පාලකයා ස්වකීය ආධිපත්‍යය කාශ්මීරයෙහි හා උරශාවෙහි ද පතුරුවාගෙන සිටි බව සඳහන් කරති. මහා ඇලෙක්සැන්ඩර් රජු ඉන්දියාව හැර යද්දී කාශ්මීරය හා උරශාව පාලනය කිරීම ඔහුට පැවරූ බව කියනු ලැබේ. එතෙකුදු වුවත් ඇරියන් නම් ඉතිහාසඥයා විසින් එකල උරශාවෙහි රජු හඳුන්වන ලද්දේ “අර්සකස්” නමිනි. පැරණි ඛරෝෂ්ඨි ලිපි කිහිපයක හා මහාභාරතයෙහි ද උරශාව සඳහන් වෙයි. එය ටොලමි විසින් “අර්සා” නමින් ද ප්ලිනි විසින් “අර්සගලිටේ” නමින් ද හඳුන්වන ලදි.
තම ඉන්දියානු චාරිකාවෙහි දී උරශා (උ-ලා-පි) ප්‍රදේශයට ද පැමිණි හියුං සාං නම් චීන දේශාටකයා ඒ පිළිබඳ විස්තරයක් කරමින් මෙසේ පවසයි: “කාශ්මීරයට යටත් වූ මෙහි පස ධාන්‍ය ගොවිතැනට යෝග්‍ය වුව ද මල් හා පලතුරු හිඟය. හිමපතනයක් නොමැති මෙපෙදෙස වසන ජනයා රෞද්‍ර, අශිෂ්ට ගති ඇති වංචාකාරී මිසදිටුවෝ වෙති. අගනුවරින් වයඹ දෙස ලී 5ක් පමණ ඈතින් අශෝකාධිරාජයන් විසින් කරවන ලද අඩි 200ක් පමණ උස් වූ මහසෑයක් වෙයි. ඒ අසල මහායානික භික්ෂූන් ටික දෙනකු වසන ආරාමයකි. මෙහි සිට ලී දහසක් පමණ ගිනිකොන දෙසට ගමන් කළ විට කාශ්මීරයට පැමිණිය හැකිය.
හත්වන සියවසේ මුල් කොටසේ දී කාශ්මීරයෙහි කර්කෝට වංශීය දුර්ලභවර්ධන රජු විසින් උරශාවට පහර දී එය යටත් කරගන්නා ලදි. ඉන් පසු කලින් කල ඊට කාශ්මීරයෙන් එල්ල වූ වෙනත් ආක්‍රමණ පිළිබඳව සඳහන් කෙරේ.
දහවන සියවසෙහි දි ශංකරවර්මන් නමැති කාශ්මීර රජු ඉන්දු ගඟබඩ පෙදෙස් කිහිපයක් ජයගෙන උරශාව හරහා යද්දී එහි වැසියන් හා ඇති වූ ගැටුමකින් ඊ පහරක් වැදී මළේය. අනතුරුව එකොළොස්වන සියවසෙහි විසූ ලෝහාර වංශීය කාශ්මීර රජකු වූ අනන්ත රජු ද එය ආක්‍රමණය කළ නමුත් ඉන් ඔහුට ස්ථිර ප්‍රතිඵලයක් හෝ ජයග්‍රහණයක් ලබාගත නොහැකි විය. එහෙත් ඔහුගේ ඇවෑමෙන් රජ වූ කලස නම් රජු විසින් සිය පියාගේ අසාර්ථක වූ යුද්ධ ව්‍යාපාරය සාර්ථක කරගනු පිණිස සිය හමුදාංකයක් උරශාවට යවා පහර දී එය දිනාගන්නා ලදි. 1087-88 අතර කාලයෙහි කලස රජුට යටත්ව සිටි ගැති පාලකයන් අතර උරශාවෙහි සංගත නමැති කුමරා ද විය. කලස රජුගේ ආක්‍රමණයෙහි දී අභය නමැත්තකු පරාජය වූ බව රාජතරංගිණියෙහි සඳහන් වන හෙයින් ඔහු රාජ්‍ය පාලනයෙන් ඉවත් කොට මෙකී සංගත කුමරා පත් කරන ලදැයි අනුමාන කළ හැකිය.
අතීතයෙහි උරශාවට අයත් වූ යටකී හසාරා දිස්ත්‍රික්කයෙහි මාන්සේරා නම් ස්ථානයෙහි අශෝක රජුගේ පර්වත ලිපියක් ඇත.
(සංස්කරණය: 1970)