උරුගුවේ

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

දකුණු ඇමෙරිකාවේ ඉතා ම කුඩා නිදහස් ජන රජයයි. එහි නිල නාමය 'රෙපූව්ලිකා ඕර්යෙන්තාල් දෙල් ඌරූග්වයි' යනුයි. ස්පාඤ්ඤ ජාතිකයන් විසින් එය 'බාන්දා ඕර්යෙන්තාල්' නමින් හඳුන්වන ලදි. මෙය උතුරෙන් බ්‍රසීලයෙන් ද නැගෙනහිරින් අත්ලන්තික් සාගරයෙන් ද දකුණින් රියෝ දෙ ලා ප්ලාතා ගංමෝයෙන් ද බටහිරින් ආජන්ටිනාවෙන් ද සීමා වී තිබේ. ප්‍රමාණය ව.සැ. 72,172කි.

භූමි ලක්ෂණ

භූමි ලක්ෂණ අතින් ඒකාකාර ස්වරූපයක් දරන මේ ප්‍රදේශය බොහෝ කරුණු අතින් ආජන්ටිනාවේ පැම්පාස් තැනිතලාවත් බ්‍රසීලයේ කඳුකරයත් අතර පවත්නා ක්‍රාන්ති කලාපයක් ලෙස සැලකිය හැකිය. නැගෙනහිර මුහුදු තීරය ඔස්සේ කලපුවලින් හා වැලි කඳුවලින් සැදි පහත් බිම් කලාපයක් වෙයි. මීට බටහිරින් මොන්ටවිඩෙයෝ පළාතේ සිට බ්‍රසීලියානු දේශසීමාව තෙක් පැතිරී යන කඳු බිම් තීරයකි. කුවිල්ල ග්‍රාන්දේ නමින් දන්නා මේ බිම් තීරය, අත්ලන්තික් සාගරය දක්වා නැගෙනහිර දෙසට ගලාබස්නාවූත් රියෝ උරුගුවේ ගංගාව දක්වා බටහිර දෙසට ගලාබස්නාවූත් ගංගාවන් අතර වූ දිය බස්නාවක් වශයෙන් සැලකිය හැකිය. මෙම දියබස්නාවට බටහිරින් පවත්නේ මඳ වශයෙන් වූ රැලි බිම්ය. උරුගුවේහි අග්නිදිග පාර්ශ්වය සමතලා ස්වරූපයක් දරයි. එය පැම්පාස් ප්‍රදේශයට නොයෙක් අතින් සමානය. උරුගුවේහි බිම් රටාවට වෙනස් වූ තව ද ප්‍රදේශයක් වයඹදිග පාර්ශ්වයෙහි වේ.

භූවිද්‍යාත්මක තොරතුරු

උරුගුවේහි නැගෙනහිර හා දකුණු කොටස් වූකලි ජීරණය වූ පැරණි ශිස්ට් පාෂාණ හා ග්රැනිට් පාෂාණ අඩංගු යටි පසකින් සමන්විත රැලි බිම්ය. මේ තුළින් එතරම් ජීරණය නුවූ පහත් පාෂාණ වැටි නෙරා සිටී. මධ්‍යම හා උතුරු මැද උරුගුවේහි පැරණි ශිස්ට් පාෂාණ තට්ටුවක් මතුපිට වූ තිරස් ප'මීය පාෂාණ තට්ටුවෙයි. වයඹදිග් භාගය දකුණු බ්‍රසීලයේ පාරානා සානුවේ ම ප්‍රසාරණයක් ලෙස සැලැකේ. මෙම සානුව මහාද්වීපික ප්‍රභවයෙන් යුත් තිරස්ව පිහිටි ත්‍රියාසික රතු වැලිගල් තට්ටුවලින් සැදුණේ වේ. ඇතැම් ස්ථාන ත්‍රියාසික බැසෝල්ට් තලාවන්ගෙන් වැසී ගොස් ඇත. උරුගුවේහි තැනිතලා ආජන්ටිනාවේ පැම්පාස් ප්‍රදේශයේ පවත්නාක් මෙන් ප්ලෛස්ටොසීන වැලි හා මැටි නිධිවලින් ද දියළු තට්ටුවලින් ද වැසී පවත්නේ වේ.

දේශගුණය

ද.අ. 30°ත් 35°ත් අතර වූ උරුගුවේ ප්‍රදේශයෙහි පවත්නේ මධ්‍ය අක්ෂාංශ දේශගුණයත් නිවර්තන දේශගුණයත් අතර මාරු වෙමින් පවත්නා දේශගුණයකි. මෙහි ශීත ඍතුව කෙටිය, සෞම්‍යය. ජූලි මාසයේ සාමාන්‍ය උෂ්ණත්වය ෆා. 50°කි. උෂ්ණ ඍතුවේ (ජනවාරි) සාමාන්‍ය උෂ්ණත්වය ෆා. 72° සිට 80° දක්වා වේ. ඇතැම් උෂ්ණ දිනවල ෆා. 100° දක්වා වැඩි වේ. වර්ෂාපතන රටාව ප්‍රමාණය අතින් මෙම ව්‍යාප්තිය අතින් ද ඒකාකාර ස්වභාවයක් දරයි. වර්ෂාපතනය ප්ලාතා පුනීල මෝය අසල අඟල් 38 සිට උතුරෙහි අඟල් 50 පමණ දක්වා වෙනස් වෙයි. අධික ඉඩෝරය හෝ අධික තෙතමන සහිත කාලපරිච්ඡේද මෙහි නොවේ.

ස්වාභාවික වෘක්ෂලතාදිය හා සත්ව වර්ගයා

ප්‍රෙයාරි තලාවන්හි ඇති උස් තෘණ විශේෂ උරුගුවේහි ස්වාභාවික වෘක්ෂලතාදිය ලෙස හැඳින්විය හැකිය. දකුණු ඇමෙරිකාවේ සෑම පෙදෙසකට ම වඩා උරුගුවේ පෙදෙසෙහි වනාන්තර අඩුය. වනාන්තර ඇත්තේ සියයකට දෙකහමාරකටත් අඩු බිම් පෙදෙසකය. ලක්ෂණ විසින් මෙම වනාන්තර දකුණු බ්‍රසීලයේ නිවර්තන වනාන්තරත් ආජන්ටිනාවේ ඒන්ත්‍ර රියෝස් ප්‍රදේශයේ ලඳු කැළෑත් අතර පවත්නා වනාන්තර විශේෂයක් ලෙස සැලැකිය හැකිය. ස්පාඤ්ඤ ජාතිකයන් ජනාවාස ඇතිකිරීමට පටන්ගත් මුල් කාලයෙහි උරුගුවේ ප්‍රදේශය මුළුල්ලේ ම ප්‍යුමා, ටේපර්, රීය, මුව, සීල් ආදි සත්ව වර්ග ද බොහෝ පක්ෂි වර්ග ද දක්නට වූ නමුදු ජනාවාසයන් පෘථුල ලෙස ඇතිවත් ම වන සත්වයෝ අතුරුදන් වූහ. දැනට ශේෂව සිටින වන සත්වයෝ කැළෑ පෙදෙස්වලට ම සීමා වෙත්. ඉතා ම සුලභ වන සතුන් අතර මුවන්, කැළෑ බළලුන් හා මූෂික වර්ගයේ සත්තු ප්‍රධානය. පක්ෂීන් අතර තාරාවෝ, කළුකුම්, බටු ගිරවු, ඇටි කුකුල්ලු, කොක්කු ආදිහු වෙති.

සතුන් ඇති කිරීම හා කෘෂි කර්මාන්තය

කෘෂි කාර්මික කටයුතු සඳහාත් තණබිම් සඳහාත් වූ ඉඩ ප්‍රමාණයෙන් සියයට අනූ දෙකක් ම යොදා ඇත්තේ සතුන් ඇතිකිරීමේ ව්‍යාපාරය උදෙසාය. සතුන් ඇති කිරීම ප්‍රමුඛ ව්‍යාපාරය වුව ද මෑත වර්ෂවල දී කෘෂි කර්මාන්තය ඉතා ශීඝ්‍රයෙන් දියුණු විය. දැනට අක්කර 3,200,000ක් හෙවත් වගා කළ හැකි බිම් ප්‍රමාණයෙන් සියයට හතක් වගා කොට ඇත. ප්‍රධාන වැවිලි වනුයේ තිරිඟු, ඉරිඟු, බීට්, බාර්ලි, ෆැලැක්ස් හණ හා ලින්සීඩ්ය. කෘෂිකර්මාන්තය වැඩියෙන් දියුණු වී ඇත්තේ බටහිර හා දකුණුදිග රියෝ උරුගුවේ, රියෝ ප්ලාතා යන ගංගාවලට යාබදව පිහිටා ඇති පෙදෙස්වලය.

ඛනිජ සම්පත් හා කර්මාන්ත

උරුගුවේ ඛනිජ සම්පත්වලින් එතරම් ආඪ්‍ය නොවේ. 1950 දී කණිනු ලැබූ එක ම ලෝහ වර්ගය රන්ය. බ්‍රසීලියන් දේශසීමාවේ රිවේරාහි කණිනු ලබන කුඩා ආකරවලින් දැනුදු සුළු වශයෙන් රත්රන් ලැබේ. රත්රන් නිධි හැරුණු විට අග්නිදිග පෙදෙසේ මීනාස්හි පිහිටා ඇති පහළ ශ්‍රේණියේ තඹ හා ඊයම් නිධි සමූහයක් ද ඇත. මෙහි ඉතා ම ප්‍රයෝජනවත් ඛනිජ සම්පත් ලෙස සැලකිය හැක්කේ ගොඩනැඟිලි කටයුතු සඳහා යොදා ගනු ලබන ග්රැනිට් හා කිරිගරුඬය.

උරුගුවේ ජන රජයේ රට අඟුරු, යකඩ හා පැට්රෝලියම් අල්ප වීම කාර්මික සංවර්ධනයට මහත් බාධාවක් ව පවතී. එහෙත් මුල දී උතුරු ඇමෙරිකාවෙන් හා යුරෝපයෙන් ආනයනය කරනු ලැබූ භාණ්ඩ දැන් විවිධ කාර්මික ව්‍යාපාර මගින් නිෂ්පාදනය කරනු ලැබේ. මස් ඇහිරීමේ කර්මාන්තය ප්‍රධාන තැන ගනී. පිටි මෝල්, විදුලිකර්මාන්තායතන, මද්‍යසාර පෙරන කර්මාන්තශාලා, ලෝම මෝල්, දුම්කොළ කම්හල් සහ ගොඩනැඟිලි ඉදිකරන වෙළඳ සමාගම් ද මෙහි වෙයි. මේ හැරුණු විට පාවහන් සෑදීම හා කපු වස්ත්‍ර නිපදවීම ද කිරි ආහාර වර්ග, සීනි, සබන්, ගිනි පෙට්ටි හා බෙහෙත් ද්‍රව්‍ය සෑදීම ද කෙරේ. නිර්යාතවලින් සියයට අනූවක් පමණ ම සත්ව පාලනය හා සම්බන්ධ නිෂ්පාදනයෝය. එනම් ලෝම, මස් හා හම් වර්ගය. විදේශ වෙළඳ කටයුතු උරුගුවේහි ආර්ථික ජීවිතයේ වැදගත් සාධකයක් බවට පත්ව තිබේ. විදේශ වෙළඳාම වැඩි වශයෙන් කෙරෙනුයේ එක්සත් ජනපද රාජ්‍යයත් මහා බ්‍රිතාන්‍යයත් සමඟය. රියෝ නෙග්‍රෝහි විශාල ජලවිදුලිබල මධ්‍යස්ථානයේ වැඩකටයුතු අවසන් වීමෙන් පසු විශාල වශයෙන් ඉන්ධන පිටරටින් ගෙන්වීම නවතිනු ඇතැයි ද විශාල කාර්මික කටයුතු ඇරඹෙනු ඇතැයි ද අපේක්ෂා කරනු ලැබේ.

ප්‍රවාහණය

මොන්ටවිඩෙයෝ නගරයේ සිට ෆ්‍රයි, බෙන්ටස්, මෙර්සේදෙස්, දුරාස්නෝ ආදි ප්‍රධාන නගර කරා විහිදී යන උරුගුවේ දුම්රිය මාර්ග බ්‍රසීලියානු දේශසීමාවේ සිව් පොළක දී බ්‍රසීලියානු දුම්රිය මාර්ග හා සම්බන්ධ වෙයි. රියෝ ප්ලාතා ගංගාවත් රියෝ උරුගුවේ ගංගාවත් මෙහි ප්‍රයෝජනවත් ජලමාර්ග දෙකකි. මොන්ටවිඩෙයෝ නගරය ජාත්‍යන්තර ගුවන් මාර්ග නවයක සේවය ලබයි.

සමාජ තත්වය හා අධ්‍යාපනය

උරුගුවේ වැසියන් අතර ජාති භේද හෝ පන්ති භේද දක්නට නැත. මෙහි සමාජ තත්වයත් දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදයත් ඉතා දියුණු අඩියකට පත්ව ඇති බව සලකනු ලැබේ. වැසියන්ගේ ජීවන තත්වය හා අකුරු උගත්තවුන්ගේ සංඛ්‍යාව අනුව සලකන විට දකුණු ඇමරිකාවේ ජනරජයන් අතර උරුගුවේ ජනරජයට ලැබෙන්නේ ප්‍රමුඛ ස්ථානයකි. මහල්ලනට ගෙවනු ලබන පිංපඩි, කාර්මික ව්‍යාපාරවල නියුක්ත වූවන් සඳහා හදිසි අනතුරුවල දී ගෙවනු ලබන වන්දි ආදි නොයෙකුත් ආරක්ෂක පහසුකම් නීත්‍යනුකූලවම ජනතාවට උරුම වෙයි.

උරුගුවේහි පවත්නේ අධ්‍යාපන මණ්ඩල කීපයක ආධාර ඇතිව මහජන අධ්‍යාපන ඇමතිවරයකු විසින් මෙහෙයවනු ලබන නිදහස් අධ්‍යාපන ක්‍රමයකි. ප්‍රාථමික අධ්‍යාපනය අනිවාර්ය වෙයි. සාවුරුදු ද්විතීයික පාඨශාලා අධ්‍යාපනයෙහි ලා සියලු ම අධ්‍යයනයන්ගේ අනුබන්ධය කෙරෙහි අවධාරණය තබා ඇත. මෙහි පවත්නා අභ්‍යාස පාඨශාලාවන්හි පළමුව සිව් වසක පොදු පාඩම් මාලාවක් උගන්වා දෙවනුව දෑවුරුදු වෘත්තීය පුහුණුවක් දෙනු ලැබේ. මෙහි පෞද්ගලික පාසල් සමූහයක් ද වෙයි. ළදරු පාසල් පෞද්ගලික අරමුදල් මගින් නඩත්තු කරනු ලැබේ. කාර්මික අධ්‍යාපන කටයුතු පාලනය කෙරෙනුයේ වෙන ම කවුන්සලයක් මගිනි. මොන්ටවිඩෙයෝහි පිහිටුවා ඇති උරුගුවේ විශ්වවිද්‍යාලය නීතිය, වෛද්‍ය විද්‍යාව, සමාජ විද්‍යාව, දන්ත වෛද්‍ය කර්මය, ඖෂධ විද්‍යාව, රසායන විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, ගෘහ නිර්මාණ ශිල්පය, ආර්ථික විද්‍යාව හා කෘෂි කර්මාන්තය යන අධ්‍යයනේන්ද්‍රියයන්ගෙන් සමන්විතය.

උරුගුවේහි ශ්‍රේෂ්ඨාධිකරණය විනිශ්චයකරුවන් පස්දෙනකුගෙන් සමන්විත වේ. මොන්ටවිඩෙයෝහි සාමාන්‍ය සිවිල් උසාවි තුනක් ද වෙළඳ උසාවි හතක් ද රජය සඳහා වූ උසාවි දෙකක් ද අපරාධ උසාවි කීපයක් ද ඇත. තවද පළාත් උසාවි දහනවයක් ඒ ඒ පළාත්වල ප්‍රධාන නගරයන්හි පිහිටා තිබේ.

ජනගහනය

මෙම ජනරජයේ ජනගහනයෙන් තුනෙන් කොටසක් ම වෙසෙනුයේ අගනුවර හා විශාලම නගරය වූ මොන්ටවිඩෙයෝ නුවරෙහිය. ග්‍රාමීය ජනගහනය කොලෝන්යා නගරය හා මොන්ටවිඩෙයෝ නගරය අතර වූ කෘෂිකාර්මික දිස්ත්‍රික්කයේ දී වර්ග සැතපුමකට පුද්ගලයන් 60 සිට 125 දක්වා වූ උපරිම ඝනත්වයට ළඟා වෙයි. උරුගුවේ වැසියෝ වැඩි වශයෙන් ස්පාඤ්ඤ ජාතිකයන්ගෙන් පැවතෙන්නාහුය. ස්පාඤ්ඤ ජාතිකයන් විසින් මෙම දේශය සොයා දැනගනු ලැබූ කාලයෙහි සිටි රතු ඉන්දියන් ගෝත්‍රික ජනගහනය සටන් ආදිය හේතුකොටගෙන සම්පූර්ණයෙන් ම වාගේ වඳ වී ගොස් ඇත. 1968 ආණ්ඩුක්‍රම පනත මගින් රජයත් කතෝලික ආගමත් අතර පැවති සම්බන්ධය අත්හිටවනු ලැබුව ද 1950 වන විට නැවතත් එය වැඩිදෙනාගේ ආගම බවට පත් වී ඇත. මොන්ටවිඩෙයෝ නගරය තුළ ප්‍රොතෙස්තන්ත ව්‍යාපාරය ප්‍රබලව පවතී. 1963 ජනලේඛනයට අනුව උරුගුවෙහි මුළු ජනගහනය 2,590,158කි. අගනුවර වූ මොන්ටවිඩෙයෝ නගරයෙහි ජනගහනය 1964 දී 1,203,700ක් විය. අනෙක් ප්‍රධාන නගරවල ජනගහනය මෙසේය: පයිසාන්දු 60,000; සාල්ටෝ 60,000; රිවේරා 40,000. මෙහි ජාතික භාෂාව වනුයේ ස්පාඤ්ඤ භාෂාවයි.

ඉතිහාසය

උරුගුවේ ප්‍රදේශය එක් අතකින් බ්‍රසීලයටත් අනික් අතින් ආජන්ටිනාවටත් මැදි වී තිබීම උරුගුවේ ඉතිහාසය කෙරෙහි බලපෑ මූලික කරුණකි. මෙවැනි රාජ්‍යයන් දෙකකට මැදි වී තිබෙන කුඩා ප්‍රදේශයක නිදහස් රාජ්‍යයක් ඇතිවීම පවා පුදුමයට කරුණකි. උරුගුවේ ඉතිහාසය මුල් කාලවල දී අවුල්වියවුල්වලින් පිරී පැවතිණි. එහෙත් වර්තමාන උරුගුවේහි තරම් සාමකාමී වූ ද ක්‍රමවත් වූ ද පාලනයක් පවතින වෙනත් දකුණු ඇමෙරිකානු රටක් නොමැති තරම්ය.

සම්භවය‍

උරුගුවේ හෙවත් බාන්දා ඕර්යෙන්තාල් ප්‍රදේශය මුලින් ම සොයා දැනගත් බටහිර ජාතිකයා ලෙස සලකනු ලබන්නේ හ්වාන් දියස් ද සෝලිස් නම් ස්පාඤ්ඤ ජාතිකයාය. 1516 දී රියෝ දෙ ලා ප්ලාතා මෝය දිගේ යාත්‍රා කළ ඔහු ඇතුළු පිරිසක් චාර්රුවා ඉන්දියානුවන් විසින් මරා දමනු ලැබූහ. මෙයින් අනතුරුව බොහෝ කලක් යන තෙක් දේශ ගවේෂකයන් කලින් කලට උරුගුවේ ප්‍රදේශයට පැමිණිය ද ඉන්දියන් ජාතිකයන්ගේ තර්ජනය නිසා ස්ථිර වාසස්ථාන ඇති නොවීය. උරුගුවේ ප්‍රදේශයේ උපනිවේශ ඇති කිරීම සඳහා ප්‍රථම පියවර ගන්නා ලද්දේ 1603 දී පැරගුවේහි එර්මන්දෝ අරියස් විසිනි. එම වර්ෂයේ දී අශ්වයන් හා ගවයන් සංඛ්‍යාවක් උරුගුවේ ප්‍රදේශයට ගෙන ගිය ඔහු එම සතුන් බෝවීම පිණිස එරටෙහි මුදා හැරියේය. මෙයින් වර්ෂ කිහිපයකට අනතුරුව ප්‍රන්සිස්කානු මිෂනාරිවරුන් පල්ලි කිහිපයක් පිහිටුවා ඉන්දියානුන් සුළු සංඛ්‍යාවක් ක්‍රිස්තියානි ආගමට හරවාගත්ත ද එයින් ද ස්ථිර යුරෝපීය ජනාවාස ඇති නොවීය.

අරියස් විසින් මුදාහරින ලද සතුන් ශීඝ්‍රයෙන් බෝවීම නිසා ඔවුන් මරා හම් එකතු කිරීම සඳහා ආජන්ටිනාවේ සිටි මිනිස්සු උරුගුවේ බලා දහහත්වන සියවස තුළ ඇදී එන්නට වූහ. ඒ සමඟ හම් වෙළඳාම සඳහා වෙළෙන්දෝ ද පැමිණියහ. හම් වෙළඳාම හේතුකොටගෙන 1680 පමණ වන විට ආජන්ටිනාවට උරුගුවේ ප්‍රදේශය පිළිබඳව සුළු අයිතියක් පැවතිණි. 1680 දී බ්‍රසීලයෙන් පැමිණි පෘතුගීසීන් කණ්ඩායමක් බුවනෝස් ඒරිස් නගරයට විරුද්ධ පැත්තේ කොලෝන්යා නමින් ජනපදයක් පිහිටුවූහ. මෙයින් ස්පාඤ්ඤ ජාතිකයන්ගේ අයිතිවාසිකම්වලට පහර වදින බව දුටු බුවනෝස් අයිරීස්හි ස්පාඤ්ඤ ආණ්ඩුකාර තැන කොලෝන්යා ප්‍රදේශයට සේනාවක් යවා පෘතුගීසින් පරාජය කෙළේය. ප්ලාතාහි ස්පාඤ්ඤ ජාතිකයන් හා බ්‍රසීලයේ පෘතුගීසි ජාතිකයන් අතර උරුගුවේ පිළිබඳව අවුරුදු දෙසියයක් පමණ පැවතුණු අරගළයේ ආරම්භය මෙයයි. 1726 දී ස්පාඤ්ඤ ජාතිකයෝ ද පසුව මොන්ටවිඩෙයෝ නගරය බවට දියුණු වූ ස්ථානයේ බළකොටුවක් ඉදි කළහ. මෙසේ ආරම්භ වූ ගැටුම මුලින් ස්පාඤ්ඤ හා පෘතුගාලයත් පසුව ආජන්ටිනාව හා බ්‍රසීලයත් අතර ගැටුමක් බවට පත් විය. කෙසේ වුව ද ස්පාඤ්ඤය 1777-78 ගිවිසුම්වලින් කොලෝන්යාව ද ලබාගැනීමෙන් පසුව උරුගුවේ ප්‍රදේශය ස්පාඤ්ඤයේ යටත් ප්‍රදේශයක් බවට පත් විය. 18 වන සියවස තුළ ස්පාඤ්ඤ පාලනය යටතේ උරුගුවේ නදියෙන් උතුරට වූ ප්‍රදේශයේ ද ජනපද ආරම්භ විය. මෙම ප්‍රදේශවල වෙළඳ මධ්‍යස්ථාන හා මොන්ටවිඩෙයෝ නගරය අතර ගමනාගමන පහසුකම් ශීඝ්‍රයෙන් දියුණු වන්නට පටන් ගති.

18 වන සියවසේ අවසාන කාලයේ දී උරුගුවේහි ප්‍රධාන නගරය වූ මොන්ටවිඩෙයෝ සුළු කලක් බ්‍රිතාන්‍යය අල්ලාගෙන සිටියාය. පසුව එය ස්පාඤ්ඤ බලය යටතට ම පවරන ලදි. නැපෝලියන් ස්පාඤ්ඤයේ අලුත් පාලනයක් බිහි කළ බව ආරංචි වත් ම ආජන්ටිනාවේ ආණ්ඩුකාර තැන පලවා හැර යුද්ධ මන්ත්‍රණ සභාවක් විසින් පාලනය භාර ගන්නා ලදි. ස්පාඤ්ඤයට පක්ෂපාතීව සිටියේ මොන්ටවිඩෙයෝ පමණි. 1811 දී මොන්ටවිඩෙයෝහි ස්පාඤ්ඤ පාලකයන් හා බුවනෝස් අයිරීස්හි ජාතිවාදීන් අතර සටන් ඇවිලුණු අවස්ථාවේ දී බාන්දා ඕර්යෙන්තාල් වාසීහු බුවනෝස් අයිරීස් ආණ්ඩුවට පක්ෂ වූහ. එසේ වුව ද ඔවුහු උරුගුවේ ප්‍රදේශය ආජන්ටිනාවට හෝ බ්‍රසීලයට ඈඳා ගැනීමට කලින් කල උත්සාහ දැරූවන්ට ද විරුද්ධ වූහ. ඒ අතර ම ආභ්‍යන්තරික වශයෙන් කණ්ඩායම් කිහිපයක් අතර ද සටන් ඇති විය. කලින් කලට මේ පක්ෂ සමහරකට බ්‍රසීලයේත් අනෙක් ඒවාට ආජන්ටිනාවේත් සහාය ලැබිණි. උරුගුවේ රාජ්‍යයේ දේශපාලන අත්තිවාරම් වැටුණේ මෙකලය.

ස්පාඤ්ඤ ආධිපත්‍යයෙන් ගැළවීමට කළ උත්සාහයේ දී ජාතික වීරත්වයට පත් වූ හෝසේ ගෙර්වාසියෝ ආර්ටිගාස්, බුවනෝස් අයිරීස්හි රජයෙන් ආධාර ලැබ මොන්ටවිඩෙයෝහි ස්පාඤ්ඤ ප්‍රතිරාජයාට විරුද්ධව කැරලි ගැසීය. ප්‍රතිරාජයා බ්‍රසීලයෙන් ආධාර ලබාගත්තා පමණක් නොව ආජන්ටිනාව සමග සටන් නැවැත්වීමේ ගිවිසුමකට ද එළඹියේය. මෙලෙසින් ස්පාඤ්ඤ හා පෘතුගීසි දෙජාතියේ ම අතවරයන්ට භාජනය වූ බාන්දා ඕර්යෙන්තාල් වැසියන්ගෙන් 16,000ක් සමඟ ආර්ටිගාස් රටින් පිට විය. සටන් නැවැත්වීමේ ගිවිසුම අහෝසි වීමෙන් පසුව ආජන්ටිනා හමුදා මොන්ටවිඩෙයෝ වැටලූහ. ලා ප්ලාතා ප්‍රදේශයේ ස්පාඤ්ඤ බලය මුළුමනින් බිඳ වැටුණ ද බුවනෝස් අයිරීස් රජය හා ආර්ටිගාස් අතර ගැටුමක් ඇතිවූයෙන් උරුගුවේ රට ආජන්ටිනාව යටතේ අවුරුද්දක් පමණ කාලයක් පැවතිණි. පසුව ආර්ටිගාස් බලයට පත් වුව ද 1816 දී පෘතුගීසීහු නැවතත් එරට ආක්‍රමණය කළහ. 1817 මොන්ටවිඩෙයෝ යටත් වුව ද ආර්ටිගාස් 1820 දක්වා ම සටන් කළේය. අවසානයේ දී පරාජයට පත් වූ ඔහු පැරගුවේවට පලා ගොස් එහිදී මිය ගියේය. එයින් පසු උරුගුවේ පෘතුගාලයට හා පසුව බ්‍රසීලයට ඈදා ගන්නා ලදි. විදේශ ආණ්ඩුව සහනශීල වුව ද 1825 දි රටින් පැන ගිය උරුගුවේවාසීහු නිදහස ලබා ගැනීමට සංවිධානය වෙමින් සිටියහ. 1825 දී 'අමරණීය තිස්තුන්දෙනා' යනුවෙන් හැඳින්වෙන පිරිස උරුගුවේ රටට ආපසු පැමිණියහ. ඔවුනට ආජන්ටිනාවේ ආධාරයත් බාන්දා ඕර්යෙන්තාල් ප්‍රදේශවාසීන්ගේ සහායත් ලැබිණි. මෙලෙසින් නැවතත් ආජන්ටිනාව හා බ්‍රසිලය අතර සටන් ඇවිළීම බ්‍රිතාන්‍ය වෙළඳ වාසිවලට පහරක් වන්නට වූයෙන් ඔවුන්ගේ මැදිහත්වීමෙන් දෙරට අතර 1828 දී ගිවිසුමක් ඇති විය. මෙයින් දෙරට අතර අවරෝධක රාජ්‍යයක් තිබීමේ අවශ්‍යතාව දෙරට ම පිළිගත්හ. දෙරට අතර රෙපූව්ලිකා ඕර්යෙන්තාල් දෙල් ඌරූග්වයි යනුවෙන් අවරෝධක රාජ්‍යයක් ඇතිවූයේ මෙලෙසිනි.

බ්‍රිතාන්‍යයේ මැදිහත්වීමෙන් උරුගුවේ නමින් නිදහස් රාජ්‍යයක් ඇතිවුව ද එය ස්ථාවර එකක් නොවීය. විදේශීය ඇඟිලිගැසීමේ නතරවීමක් හෝ සාමකාමී යුගයක එළඹීමක් එයින් ඇති නොවීය. 1830 දී පැවති ප්‍රථම ජනාධිපති තරගයෙන් ආර්ටිගාස්ගේ අනුගාමිකයකු වූ රිවේරා බලයට පත් විය. එයින් සුළු කලකට පසුව 'අමරණීය තිස්තුන්දෙනා'ගේ නායකයා වූ ලවල්ලේජා කැරලි ගැසීමත් සමග ම සිවිල් යුද්ධය ආරම්භ විය. 1835 දී මැනුවෙල් ඔරිබේ ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ ම තරමක සාමයක් ඇති වුව ද 1836 දී රිවේරා ඔරිබේට විරුද්ධව කැරලි ගසා ඔහු රටින් පලවා හැරියේය. ජනරාල් ඔරිබේට ආජන්ටිනාවේ ඒකාධිපතියා වූ රෝසාස්ගේ ආධාරය ලැබිණි. ඔරිබේට ජනාධිපති ධුරය ලබාදෙනු වස් රෝසාස් 1843 සිට 1851 දක්වා මොන්ටවිඩෙයෝ නගරය වැටලුවේය. සිවිල් යුද්ධය 1852 දී රෝසාස්ගේ වැටීම දක්වා අවුරුදු 14ක් පැවතිණි. මෙම යුද්ධයේ දී රිවේරාට බ්‍රිතාන්‍ය හා ප්‍රංස සහාය ලැබිණ. උරුගුවේ රටේ වර්තමානයේ පවා බලවත්ව සිටින දේශපාලන පක්ෂ දෙකේ ආරම්භය ඇති වූයේ මෙකලය. ඔරිබේගේ සහායකයෝ බ්ලැංකෝ (සුද්දෝ) යනුවෙන් ද රිවේරාගේ අය කොලොරාඩෝ (රත්තෝ) යනුවෙන් ද මෙතැන් පටන් හැඳින්වෙන්නට වූහ.

ආජන්ටිනාවේ ඒකාධිපතියාගේ වැටීමෙන් පසුව වුව ද උරුගුවේ කටයුතුවලට විදේශීය ඇඟිලිගැසීම නතර නොවීය. එයින් ඉදිරි වසර 16 තුළ ජනරාල් ෆ්ලෝරේස්ට දෙවතාවක් ම ජනාධිපතිකම ලබාගැනීමට බ්‍රසීලියානු රජය උදව් විය. මෙම ආධාරයට ප්‍රත්‍යුපකාර වශයෙන් 1864-70 පැවති පැරගුවේ යුද්ධයේ දී බ්‍රසීලයට හා ආජන්ටිනාවට පක්ෂව කටයුතු කිරීමට උරුගුවේ රජයට සිදු විය. මෙම යුද්ධයෙන් පසුව බ්‍රසීලය හා ආජන්ටිනාව යන දෙරටේ ම ආභ්‍යන්තරික ප්‍රශ්න ඇතිවීමේ හේතුවෙන් උරුගුවේ රජයේ කටයුතුවලට ඇඟිලිගැසීම නිත්‍ය වශයෙන් ම අවසන් විය. මේ අතරතුර කාලයේ දී උරුගුවේහි බලය නිතර ම ලබාගත්තේ කොලොරාඩෝ පක්ෂයයි. විරුද්ධ පක්ෂය වශයෙන් බ්ලැංකෝ පක්ෂය නිතර කැරලි ගැසීමෙහි යෙදිණ. 1897 දක්වා කාලය මෙවැනි කැරලිවලින් පිරුණු නොසන්සුන් සමයක් විය.

සුභසාධක රාජ්‍යයේ ආරම්භය

උරුගුවේ යන නමින් නිදහස් රාජ්‍යයක් ඇතිවුව ද ආභ්‍යන්තරික නොසන්සුන්කම් හේතුකොටගෙන උරුගුවේ ප්‍රදේශය දියුණු වූයේ ඉතා සෙමිනි. දුම්රිය ගමනාගමනය 1875 වන තෙක් දියුණුවක් නොලබා තිබිණ. විදුලි බලය එරටට හඳුන්වා දීමෙන් පසු ගිනිපෙට්ටි සෑදීම හා බීර පෙරීම වැනි සුළු කර්මාන්ත කිහිපයක් බිහි වුව ද ඒවා දියුණු වූයේ නගරාසන්නව පමණි. රට අභ්‍යන්තරය බොහෝ සෙයින් ම නොදියුණු තත්වයක පැවතිණි. රටේ ඉඩම් ප්‍රමාණයෙන් වගාවන්ට යටකොට තිබුණේ සුළු ප්‍රමාණයකි. නගරවලින් පිටත මංමාවත්, පාලම් ආදි කිසිවක් නොවීය. සමාජීය කරුණු අතින් පැවතියේ නොදියුණු තත්වයකි. අධ්‍යාපනය ලැබුණේ ජනගහනයෙන් 2% කට පමණි. කම්කරු සුභසාධන කටයුතු පිළිබඳව කිසි ම පියවරක් නොගෙන තිබිණි. මෙම කරුණු හේතුකොටගෙන සමාජ සංශෝධකයන් කිහිපදෙනකුගේ අවධානය මෙම අංශ කෙරෙහි යොමු විය. මොවුන්ගෙන් හෝසේ පෙද්රෝ වරේලාගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැගීමේ දී ආණ්ඩුවේ සහයෝගය ඔහුට ලැබිණි. ප්‍රාථමික පාඨශාලා ක්‍රමයක් ආරම්භ කිරීම ඔහුගෙන් සිදු වූ වැදගත් ම සේවයයි. එයින් පසුව සමාජ කටයුතුවලට බටුයේ පසුව ඉතා ප්‍රසිද්ධියක් ලබා ගත් හෝසේ බාත්ල්‍ය ඉ ඕර්දොඤ්ඤේස්ය. 1886 දී 'එල් දියා' යනුවෙන් පුවත්පතක් පටන්ගත් ඔහු රටේ ප්‍රශ්න පිළිබඳව විවරණය කරමින් ඒවා විසඳා ගත හැකි මං පෙන්වා දුන්නේය. ඕර්දොඤ්ඤේස් උරුගුවේහි ජනාධිපතිධුරය දෙවතාවක් ම (1903-07; 1911-15) දැරුවෙකි.

ඕර්දොඤ්ඤේස් සිය සමාජ ප්‍රතිසංස්කරණයන් ක්‍රියාවට යෙදවූයේ දෙවැනි පාලන සමයේ දීය. තම රට කෙරෙහිත් රටේ ඉතිහාසය කෙරෙහිත් ඉතා විශාල බලපෑමක් ඇති කළ රාෂ්ට්‍ර පාලකයන් අතුරින් ඔහුට වැදගත් තැනක් හිමි වේ. ඔහුගේ සමාජ ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් වශයෙන් උරුගුවේ දකුණු ඇමෙරිකාවේ රටවල් අතුරින් ඉතා ම ප්‍රගතිශීලී රට බවට පත් විය. රටේ සුහ සාධක රජයක් ඇති වූයේ ඔහුගේ කටයුතු නිසාය. මෙම කටයුතු අතර රජයේ උගස් බැංකුවක් ඇති කිරීමත් දුම්රිය හා රක්ෂණ කටයුතු ජනසතු කිරීමත් වැදගත් තැනක් ගනී. ඔහුගේ නීති සම්පාදනය නිසා මත්පැන් හා දුම්කොළ නිෂ්පාදනය ද රජය සතු විය. කම්කරු සුභසිද්ධිය සඳහා විශ්‍රාම වැටුප්, පැය අටේ සේවය හා කම්කරු වන්දි පිළිබඳව නීති ඔහු සකස් කළේය.

ආණ්ඩුක්‍රම සංශෝධනය කෙරෙහි ද ඕරදොඤ්ඤේස් ස්වකීය අවධානය යොමු කළේය. 1911 වන විට උරුගුවේ දේශපාලන ජීවිතයේ විශාල වෙනසක් සිදුවිය. මෙතෙක් කල් ආණ්ඩු වෙනස් කිරීමේ දී කැරලිවලට ප්‍රධාන තැන ලැබුණ ද මෙයින් පසුව බොහෝ දුරට ව්‍යවස්ථානුකූලව මේ සඳහා කටයුතු යෙදිණ. උරුගුවේහි දේශපාලන අර්බුදවලට හේතුව ජනාධිපති කෙරෙහි විශාල බලතල කේන්ද්‍රගතවීම බව ඕර්දොඤ්ඤේස්ගේ මතය විය. ආණ්ඩුක්‍රම සංශෝධනයන්ගෙන් ඔහු බලාපොරොත්තු වූයේ එයට පිළියම් යෙදීමය. ඔහුගේ අදහස 1917 දී ප්‍රකාශයට පත් කරනු ලැබ 1919 දී නීතිගත වූ ආණ්ඩු ව්‍යවස්ථාවේ අන්තර්ගත වේ. පරිපාලන කටයුතුවල දී ජනාධිපතිට සහාය වීමට ජාතික පරිපාලන මණ්ඩලයක් මෙයින් ඇති කෙරිණ. විධායකයා වශයෙන් ඔහුට ඉතිරි වූයේ විදේශ කටයුතු පිළිබඳව ක්‍රියා කිරීම පමණි. පරිපාලන මණ්ඩලය මහජන ඡන්දයෙන් තෝරාගත යුතු විය. ප්‍රධාන පක්ෂයේත් දෙවැනි ප්‍රධාන පක්ෂයේත් නියෝජිතයන් එයට ඇතුළත් විය යුතු විය. කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් හත්දෙනා අතුරින් හතරදෙනකු මෙම මණ්ඩලය මගින් පත් කළ අතර ඉතිරි තිදෙනා පත් කරන ලද්දේ ජනාධිපතිවරයා විසින්ය. රජය ආගමේ බලපෑමෙන් ඉවත් කොට ලෝකීය ආණ්ඩුවක් බවට පත් කිරීමට ද හේ පියවර ගත්තේය. ඕර්දොඤ්ඤේස් 1929 දී මිය ගිය ද ඔහුගේ අදහස් අද දක්වාත් උරුගුවේ රටේ දේශපාලන ජීවිතය කෙරෙහි බලපානු දක්නට ඇත.

පළමුවන ලෝකසංග්‍රාම කාලයෙහි දී මිත්‍ර ජාතීන්ගේ, විශේෂයෙන් එක්සත් ජනපදයේ, ප්‍රතිපත්තියට සහයෝගය දැක්වූ උරුගුවේ රාජ්‍යය 1917 ඔක්තෝබර් මස ජර්මනිය සමඟ වූ තානාපති සබඳකම් අත්හැර දැමීය. එය වර්සයි ගිවිසුමට අත්සන් තැබුවා පමණක් නොව ජාතීන්ගේ සංගමයේ සාමාජිකත්වය ද ලැබීය.

යුද්ධ සමයේ දී හා එයට පසු කාලයේ දී ඇති වූ ආර්ථික දියුණුවේ හේතුවෙන් 1920 ගණන්වල දී රටේ මෙයට පෙර කිසි දිනක ඇති නොවූ සාමයක් පැවතුණි. එමෙන් ම කොලොරාඩෝ පක්ෂයට බලය රැක ගැනීමට ද හැකි විය. දේශපාලන ස්ථාවරත්වය නැවත දෙදරුම්කෑමට පටන්ගත්තේ ආර්ථික අර්බුද සමයෙන් පසුවයි. 1931 දී බලයට පත් වූ ජනාධිපති තෙර්රා, කාලයට ඔබින අන්දමින් විධායක කටයුතු කාර්යක්ෂමව ගෙන යාමට ජනාධිපතිගේ බලය ප්‍රමාණවත් නොවේ යැයි කල්පනා කළේය. නීත්‍යනුකූලව ව්‍යවස්ථාව වෙනස් කිරීමට ගත් උත්සාහයන් නිෂ්ඵල වීමෙන් අනතුරුව ඔහු 1933 දී කූදෙතාවක් මඟින් ජාතික මණ්ඩලය විසුරුවා හැර ඒකාධිපති බලයක් ලබා ගත්තේය. 1934 අලුත් ව්‍යවස්ථාවෙන් ඔහුට අභිමත දේ ඉෂ්ට විය. 1935 දී ඔහු නෙරපා දැමීමට ගත් පියවරක් නිෂ්ඵල වූ අතර 1939 දක්වා ම ඔහු බලයේ රැඳී සිටියේය.

1934 ව්‍යවස්ථාව ක්‍රියාත්මක කළ හැකි වූයේ ප්‍රධාන හා දෙවැනි ප්‍රධාන යන පක්ෂ අතරේ අන්‍යෝන්‍ය අවබෝධය පැවතුණු තෙක් පමණි. කොලරාඩෝ පක්ෂයත් තවත් බොහෝ දෙනකුත් බ්‍රිතාන්‍යයේ හා ප්‍රංසයේ ආධාරකරුවන් වූ අතර ම බටහිර අර්ධ ගෝලයේ ආරක්ෂාව සඳහා එක්සත් ජනපදය හා සහයෝගයෙන් කටයුතු කිරීමට උත්සාහ දැරූහ. බ්ලැංකෝ පක්ෂයේ කොටසක් ජර්මන් තර්ජනය උරුගුවේ කෙරෙහි බලපාන්නේ සුළු වශයෙන් යයි කල්පනා කළහ. 1942 ජර්මන්-ඉතාලි බලවතුන් සමඟ තානාපති සබඳකම් අත්හැරීම ගැන ද ඔහු විරුද්ධ වූහ. මේ අර්බුද තත්වය මඟහරිනු සඳහා 1942 කොංග්‍රෙස් සභාව විසුරුවා හළ ජනාධිපති බාල්දොමීර් විරුද්ධ පක්ෂය කැබිනට් සභාවෙන් ඉවත් කිරීමට නීති සම්පාදනය කළේය. 1942 මැතිවරණයේ දී ද බලයට පත්වූයේ කොලොරාඩෝ පක්ෂයයි. දෙවන ලෝක සංග්‍රාම සමයේ දී මධ්‍යස්ථව සිටිය ද උරුගුවේ බ්‍රිතාන්‍ය-ඇමෙරිකානු මිත්‍ර ජාතීන් කෙරෙහි හිතවත් බවක් දැක්වූවාය.

ආණ්ඩුක්‍රම සංශෝධන කටයුතු නැවතත් 1951 දී රටේ ප්‍රධාන ස්ථානයක් හිමිකරගත් කරුණක් විය. 1951 ජූලි මස කොලොරාඩෝ පක්ෂයේ ප්‍රධාන කොටස වූ බාත්ලිස්තාවරුන් හා බ්ලැංකෝ පක්ෂයේ ප්‍රධාන පිල වූ එරෙරිස්තාවරුනුත් අතර වූ සම්මුතියකින් ද්විත්ව විධායකයක් පිහිටුවීමට තීරණය විය. ඔවුන් සකස් කළ අලුත් ව්‍යවස්ථාව 1952 මාර්තු මස ක්‍රියාවේ යෙදවිණි. මේ අනුව ජනාධිපති ධුරය අහෝසි කරන ලදි. ඒ වෙනුවට මැතිවරණයෙන් වඩා ඡන්ද සංඛ්‍යාවක් දිනාගත් පක්ෂයෙන් සදෙනකුත් දෙවැනි බලවත් පක්ෂයෙන් තිදෙනකුත් ඇතුළු ජාතික මණ්ඩලයක් පත්කරන ලදි. මෙම මණ්ඩලය අවුරුදු සතරකට වරක් මහජන ඡන්දයෙන් පත් කිරීමට නියමිතය. මණ්ඩලයේ සභාපති ධුරය සඳහා අවුරුදු පතා විශාල ම පක්ෂයේ සාමාජිකයෙක් තෝරා ගන්නා ලදි. කැබිනට් මණ්ඩලය පත්කරනු ලැබුයේ ද ජාතික මණ්ඩලය මගිනි.

1952 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජාතික විධායකයේ දී පමණක් නොව ප්‍රදේශීය පාලනයේ දී හා රජය සතු මුදල් හා කාර්මික කටයුතුවල දී ද ද්විත්ව පක්ෂ ක්‍රමය උපයෝගී කොට ගන්නා ලදි. මෙම සියලු පත්වීම් ද අවුරුදු සතරකට සීමා විය.

1958 මැතිවරණය තරමක් දුරට වැදගත් එකකි. එම අවස්ථාව වන විට කොලොරාඩෝ පක්ෂය අවුරුදු අනූවක් පමණ කාලයක් බලයේ සිටියේය. 1958 මැතිවරණයේ දී බ්ලැංකෝ පක්ෂයට ජයඅත්විය. 1962 නොවැම්බර් මාසයේ පැවති මැතිවරණයේ දී බ්ලැංකෝ පක්ෂය යන්තමින් ජයලබාගත්තේය.

1966 ඡන්ද විමසීමේ දී ජාතික මණ්ඩලය අවළංගු කරනු ලැබ කොලොරාඩෝ පක්ෂයේ ඔස්කාර් දියේගෝ ගෙස්ටීදෝ පස් අවුරුදු කලකට ජනාධිපති වශයෙන් තෝරා පත්කරගන්නා ලදි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උරුගුවේ&oldid=10460" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි