උලමාවරු
'ඉල්ම්' නමින් හැඳින්වෙන විශිෂ්ට දැනීම හෙවත් පරම්පරාගත කථා, දේවධර්මය හා විද්යාශාස්ත්රාදිය පිළිබඳ විශිෂ්ට දැනීම ඇත්තකුට අරාබි භාෂාවෙන් 'අලීම්' යන නම ව්‍යවහාර කරති. 'උලමා' යනු එහි බහුවචනයයි.
පරම්පරාගත කථා, ආගම ධර්මයට අයත් නීති රීති හා දේවධර්ම ශාස්ත්‍රය 'ඉල්ම්' යන්නට සම්බන්ධ ප්‍රධාන විෂයයෝ වෙති. එබැවින් 'උලමා' යන්නෙන් යථෝක්ත විෂයයන් පිළිබඳ විශිෂ්ට දැනීමක් ඇති දේවධර්මධර මහාප්‍රාඥයෝ හඳුන්වනු ලබත්. ඔව්හු විශේෂයෙන් යථෝක්ත විෂයයන්ගේ භාරකාරත්වය ඉසුලූහ. ඉස්ලාම් භක්තියෙහි පදනම වූ 'උසූල්' සතරෙන් එකක් 'ඉජ්මා' නමින් හැඳින්වෙයි. ඉජ්මා යනු මහජනයාගේ එකඟවීම යන අර්ථය පවසන ශබ්දයකි. මහම්මද්තුමාගේ අභාවයෙන් පසු ඔහුගේ අනුගාමිකයන් යම් යම් ප්‍රශ්න නිරාකරණය කිරීමේ දී ඔවුන්ගේ පරම්පරාගත කථා හා පළපුරුදුකම් රාශියට සම්බන්ධ වූ කරුණුවලට අනුව ඒකමතිකව ගන්නා තීරණය 'ඉජ්මා' නම් වේ. උලමාවරුන්ට ඔවුන් කෙරෙහි පවත්නා විශිෂ්ට ඥානය ගැන සැලකීමෙන් යම් යම් දුෂ්කර ප්‍රශ්න විසඳීමේ දී ඒවාට සහභාගී වීමට හා තීරණයක් ගැනීමට විශේෂ අයිතිවාසිකමක් පැවරී ඇත. පාලනය, ව්‍යවස්ථා හා දේවධර්මය පිළිබඳ වූ සෑම ප්‍රශ්නයක දී ම අවසාන තීරණය දී ම උලමාවරුන් සතුව පැවති විශේෂ බලයකි. මේ නිසා බලයට පැමිණි කවර ආණ්ඩුවකට වුව ද උලමාවරු මැඬලිය නොහැකි බාධකයෝ වූහ. ඇතැම් ආණ්ඩු ඔවුනට තනතුරු හා වැටුප් දීම් ආදියෙන් ඔවුන් ප්‍රමුදිත කොට එක්තරා ප්‍රමාණයකට බාධක වළක්වා ගැනීමට සමත් විය. උලමාවරුන්ගේ ක්‍රියාමාර්ග අහිතකර බව හෝ යුක්ති සහගත නොවන බව අවබෝධ වුවහොත් ඔවුන් හෙළා දැක බාහිර උගතුන්ට සිය ගෞරවාදරය පිරිනැමීම මහජනයාගේ සිරිත විය.
ඉන්දියා ඉතිහාසය දෙස විමසිලිමත්ව බැලීමේ දී පෙනෙන කරුණක් නම්, මධ්‍යකාලීන යුරෝපයේ පාප්වරුනට සමාන බලවත් පිරිසක් වූ උලමාවරුන් එරටේ රාජ්‍ය පාලනය කෙරෙහි ද බලපෑ බවය. උලමාවරුන්ගේ ක්‍රියාකලාපය නොඉවසූ ඇතැම් සුල්තාන්වරු ඔවුන්ගේ බලය විනාශ කිරීමට පවා ක්‍රියා කළහ. බාල්ඛාන් සුල්තාන්වරයා මෙහි ලා දැක්විය හැකි ප්‍රථමයා ලෙස සැලකිය හැකිය. අලා-උද්දීන්-ඛල්ජී උලමාවරුන්ගේ බසට කන් නුදුන්නා පමණක් නොව ඔවුන්ගේ ආධිපත්‍යයෙන් ඈත් වී ස්වෛරීව පාලනය ගෙන ගියේය. රාජ්‍ය පාලනයත් ආගමික ජීවිතයත් එකිනෙකට සම්බන්ධ නොවූ විෂය දෙකක් සේ හේ සැලකීය. එහෙයින් ඔහු දවස උලමාවරුන්ගේ බලය පිරිහී ගියා සේ පෙනිණ.
මුහම්මත්-බින්-තුග්ලුක් දවස යළි උලමාවරු බලවත්ව නැඟී සිටියාහ. රාජ්‍ය පාලනය අවුල් කිරීමට තරම් සමත් වූ ඔවුන් නොරිස් වූ සුල්තාන්වරයා ඔවුනතුරෙන් සමහරකු මරා දැමීමට තරම් නිර්භය විය.
ෆිරුස්-ෂා-තුග්ලුක් සුල්තාන්වරයා උලමාවරුන්ට ගෞරව දැක්වීමේ ප්‍රතිඵලය වූයේ ඔවුන් යළි බලවත් වීමත්, රාජ්‍ය පාලන කාර්යයන් කෙරෙහි ද ඔවුන් බල පැවැත්වීම යළි ඇරඹීමත්ය. මෙකල උලමාවරු සංඛ්‍යාවෙන් ද වැඩි වූහ. මේ පිළිබඳව කරුණු දක්වන සුප්‍රකට ඉතිහාසඥ ආර්.සී. මජුම්දාර් සූරීන් පවසා ඇත්තේ රාජ්‍ය පාලනයෙහි ලා එතෙක් පැවති දියුණුව ඉන් ආපස්සට ගමන් කළ බවකි.
(සංස්කරණය: 1974)