උස්කූදාර්
බොස්පරස් සමුද්‍රසන්ධියෙහි ආසියාතික වෙරළබඩ පිහිටි තුර්කියේ නගරයකි. දේ. 29.05° හා උ.අ. 41°.0 ආශ්‍රිතව පිහිටි මෙය, මධ්‍යධරණී දේශගුණයක් සහිත සුඛදායක ස්ථානයකි. බයිසන්ටයින් හා ඔටෝමන් අධිරාජ්‍ය සමයයන්හි දී සමෘධිමත් ව පැවති ක්රිසොපොලිස් නගරයේ නෂ්ටාවශේෂ මතුයෙහි මේ නගරය ගොඩනැගී ඇත. ඉස්තාන්බුල් නගරයේ වැදගත්කම නිසා වැඩි ප්‍රසිද්ධියක් නොඋසුලන උස්කූදාර් නගරය වර්තමානයේ දී ඉස්තාන්බුල්හි උපනගරයක් වශයෙන් පවතී. ගලටා පාලමෙන් ඉස්තාන්බුල් නගරයට සම්බන්ධකර ඇති මෙය ඉතා වැදගත් වාණිජ හා ප්‍රවාහණ මධ්‍යස්ථානයකි. ක්රිමියානු යුද්ධ කාලයේ දී උස්කූදාර්හි බ්‍රිතාන්‍ය හමුදා මධ්‍යස්ථානයක් හා ෆ්ලොරන්ස් නයිටිංගේල් සාත්තු සේවය කළ හමුදා ආරෝග්‍යශාලාව ද විය. මුස්ලිම් ජනගහනය බහුල මෙහි ඉතා දර්ශනීය මුස්ලිම් සොහොන් බිම් හා පැරණි මුස්ලිම් චිත්‍ර සහිත පල්ලි ද තිබේ. උස්කූදාර්හි ජනගහනය (1961) 111,654කි.
(සංස්කරණය: 1974)