උළු කර්මාන්තය
ලංකාවේ ගඩොල් හා උළු කර්මාන්තය ඈත ඓතිහාසික කාලවල පටන් ම පැවත එන බවට බොහෝ පෙදෙස්වල විසිර පවත්නා නෂ්ටාවශේෂ සෑහෙන තරම් සාක්ෂ්‍ය දරයි. පුරාණ නගර බිඳවැටී ජරාවාසව පාළු වී ගියේය. එහෙත් ඒවායේ ගලින් කළ වැඩ ද ඒ සඳහා යොදා ගත් ගඩොල් හා උළු ද ශේෂව පවතී. නාගරික සංවර්ධනය උදෙසා මිනිසා විසින් දරන ලද මුල් ප්රයත්නයන් පිළිබඳ ස්මාරක සේ මේ ද්‍රව්‍ය රටේ නොයෙක් පෙදෙස්වල අද පවා දක්නට ලැබේ. ලංකාවේ පුරාණ උළු මෝස්තරය වූයේ 'පෙති උළුය'. එනම්, බොහෝ නටබුන් ගොඩනැඟිලි අතර දක්නට ලැබෙන්නාක් බඳු, පුලුස්සන ලද පැතළි මැටි පෙති විශේෂයකි. ඒ වූකලි ශතවර්ෂ ගණනක් මුළුල්ලේ ම පැවැතුණු පාරම්පරික උළු රටාවයි. එය පසුව අත් අච්චුවේ තැනුණු අර්ධ කවාකාර උළු වර්ගය දක්වා විකාසනය විය. මේ උළු වර්ගය නිපදවන ලද්දේ ගෘහ කර්මාන්තයක් වශයෙන් කුඩා පරිමාණයේ වැඩපළවලය. මේ වැඩපළවල් සිය ගණනක් සුවිකාර්ය (plastic) මැටි නිධි සුළු වශයෙන් පැවැති පෙදෙස්වල විසිරී තිබිණි. මෝසම් වැස්සෙන් ඇතිවන ජලගැලීම් හේතුකොටගෙන මේ වැඩපළවල් කලින් කල ක්‍රියාත්මක විය. මැටි ගබඩා කරතැබීමට උත්සාහයක් ද නොදරන ලදි. පූට්ටු උළු තැනීම ආරම්භවීමත් විශාල යාන්ත්‍රික උළු මෝල් පිහිටුවනු ලැබීමත් සමග ම ගෘහ කර්මාන්තයක් වශයෙන් කෙරුණු උළු තැනීම නෂ්ටප්‍රායව පවතී.
අමුද්‍රව්‍ය-මැටි නිධි
ලංකාවේ ප්‍රමාණය වර්ග සැතපුම් විසිපන්දහස් ගණනකි. මෙම වර්ග ප්‍රමාණයෙන් සියයට අනූවකටත් වැඩි කොටසක් ඉහළ ප්‍රාක්-කේම්බ්‍රීය වර්ගයේ විපරීත පාෂාණ, ග්රැනිට් පාෂාණ හෝ නයිස් පාෂාණ යන මේවායින් සැදී තිබේ. මීට වෙනස්ව පිහිටා ඇත්තේ යාපන අර්ධද්වීපය හා එහි සිට පුත්තලම දෙසට විහිදී යන මුහුදු තීරය ඔස්සේ වූ පටු බිම් තීරයකි. මේ භූමි භාගය සෑදී ඇත්තේ භූගර්භවිද්යානුකූලව නවක වූ මයෝසීන යුගයේ අවසාදිත හුනුගල්වලිනි. ස්ඵටික පාෂාණවල පෘථුල ව්‍යාප්තිය හේතුකොට ගෙන බොහෝ රටවල භූස්තර වර්ගයන්ගේ පොදු ලක්ෂණයක් වූත් උළු කර්මාන්තයට බෙහෙවින් උපස්තම්භක වූත් සංචිත මැටි, මඩගල් හා ශල්ක මේ දිවයිනෙහි හිඟය. එහෙයින් ගොඩනැඟිලි ද්‍රව්‍ය කර්මාන්තය උදෙසා වූ මැටි ද්‍රව්‍ය සඳහා අසංචිත දියළු නිධි කෙරෙහි බලාපොරොත්තුව තැබීමට අපට සිදු වී තිබේ. දිවයිනේ භූගර්භ ඉතිහාසයෙන් වැඩි කාලයක් මුළුල්ලේ එය වායුගෝලීය කාරකයනට විවෘත ස්ථාවර භූමිස්කන්ධයක්ව පැවැත්තේය. ඒවායේ ක්‍රියාකාරිත්වය ස්ඵටික පාෂාණ විපර්යාස වීමට හා බිඳීයෑමට හේතු වී ඇත. මේ විපර්යාසයෙන් වෙන්ව ගිය ද්‍රව්‍ය ගංගා ඇළදොළ මඟින් ගසාගෙන අවුත් මුහුදට වැටෙයි. නොඑසේ නම් ප්‍රධාන ගංගාවල යටිගං පෙදෙස්හි තැන්පත්ව දියළු නිධි බවට පත් වෙයි. එවැනි නිධි ප්‍රධාන ගංගාවල හා එහි අතුගංගාවන්ගේ පිටාර තැනිවලට ම සීමා වෙයි. විවිධ භූසමයන්හි දී වරින්වර දිවයින එසවී යෑම නිසා නව ඛාදන චක්‍ර ඇති විය. මෙපරිද්දෙන් දියළු නිධි කලින් කල පරිපූරණය වී තිබේ. තෙත් හා වියළි ඍතූන් මාරුවන විට ගංගාවන්ගේ ප්‍රවාහය ද වෙනස් වෙයි. එහෙයින් ඒවායේ ප්‍රවාහණ ශක්තිය ද පුළුල් සීමා ඇතුළත වෙනස් වී යයි. එහි ප්‍රතිඵල වශයෙන් දියළු නිධි ඒකාකාර නොවන අතර මැටි සාධනය ප්‍රධාන වශයෙන් ම බොරළු, වැලි සහිත මැටි, රොන් මඩ හා වැලි වශයෙන් මාරුවෙන් මාරුවට සිදු වෙයි. මේ අසංචිත නිධිවල ප්‍රමාණය හා ප්රභේදනයත් ගඩොල් හා උළු නිපදවීම සඳහා ඒවායේ යෝග්‍යතාවත් නිශ්චය කිරීමට නම් සැලකිල්ලෙන් සවිස්තර පරීක්ෂණයක් පැවැත්වීම අවශ්‍යයි.
දියළු නිධිවලට අමතරව ජීරණ කලාප ඇසුරු කොට පවත්නා නිධි වැනි වෙනත් නිධි වර්ගයෝ ද වෙත්. සාමාන්‍යයෙන් මේවා පවත්නේ බොකු වශයෙන් නොහොත් කාච ස්වරූපයෙනි. ප්රවාහණයක් සිදු වී නොමැති බැවින් ප්‍රාථමික සකස් කිරීමක් නොකොට ගොඩනැඟිලි ද්‍රව්‍ය කර්මාන්තයෙහි ලා එවැනි නිධිවලින් එතරම් ප්‍රයෝජනයක් ගත නොහේ. තවත් නිධි වර්ගයක් පාළුවට ඇරුණු පුරාණ වැව් විල් ආදියෙහි ද පුරාණ ගංගා මාර්ගවල ද දක්නට ලැබේ. උළු කර්මාන්තයට උචිත හොඳ වර්ගයේ මැටි මේවායෙහි අන්තර්ගත වෙතත් විශාල යාන්ත්‍රික වැඩපළවල් නඩත්තු කිරීමට තරම් ප්‍රමාණවත් නොවේ. මැටි නිධි පුළුල් වශයෙන් වර්ග තුනකට බෙදා දැක්විය හැකිය:
(අ) ප්‍රධාන ගංගාවන්ගේ හා ඒවායේ අතු ගංගාවන්ගේ පිටාර තැනිවල අඩංගු අසංචිත දියළු මැටි නිධි
(ආ) පුරාණ ගංගා මාර්ගවල හා පාළුවට ඇරුණු වැව් විල් ආදියෙහි අඩංගු නිධි, සහ
(ඈ) ගැඹුරු කලාප නොහොත් ස්ඵටික පාෂාණ විෂයයෙහි ඇතිවන විපර්යාස ආශ්රයෙන් තැන්පත් වූ නිධි යනුවෙනි.
මේවා අතුරෙහි ප්‍රථම වර්ගය ගඩොල් හා උළු කර්මාන්තයට ගන්නා අමුද්‍රව්‍ය සඳහා බොහෝදුරට වැදගත් වූ ද ප්‍රධාන වූ ද මාර්ගයව පවතී. ප්‍රධාන වශයෙන් විශාල ගංගාවන්ගේ පිටාර තැනිවල පිහිටි යෝග්‍ය අමුද්‍රව්‍ය නිධි සමීපයෙහි ඉදිකොට ඇති උළු කම්හල්වල ව්‍යාප්තිය කෙරෙහි මෙය බෙහෙවින් බලපා තිබේ. කැලණිගඟේත් මාඔයේත් තරමක් දුරට දැදුරුඔයේත් පිටාර තැනි මේ පිළිබඳ හොඳ නිදසුන් කීපයකි. ප්‍රධාන නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ මධ්‍යස්ථානවලට සමීප සම්බන්ධයක් ඇතිව වර්ධනය වී ඇති ලෝකයේ අන් බොහෝ රටවල කම්හල් ව්‍යාප්තිය මීට වඩා වෙනස් ස්වරූපයක් දරයි.
නිෂ්පාදන ක්‍රමය
උළු නිපදවීම පිණිස ගන්නා මැට්ට ගඩොල් නිපදවීම පිණිස ගන්නා මැට්ටට වඩා සුවිකාර්ය්ය ය. මැටිවල වර්ග කීපයක් ඇත. නිදසුන් වශයෙන් පුත්තලමේ මැටි, බංගදෙණියේ මැටි සහ මහඔය මිටියාවතේ මැටි දක්වත හැකිය. සංයුතිය අතින් මෙන් ම සුවිකාර්ය්ය ලක්ෂණය අතින් ද ඒ මැටි එකකට එකක් වෙනස්ය. මෙසේ විවිධ වර්ගවල මැටි ගෙනවුත් කලක් වෙන් වෙන්ව ගබඩා කොට තබනු ලැබේ. අනතුරුව සාදනු ලබන උළුකැටයේ සවිශක්තිය, ඔපය, වතුර උරා නොගැනීම යනාදි අවශ්‍යතාවන්ට අනුකූල වන පරිද්දෙන් යෝග්‍ය අනුපාතයකට මැටි මිශ්‍ර කළ යුතු වේ. ප්‍රථම කොට ම වතුරෙන් පදම් කරන ලද මැටි දින දෙකක් හෝ තුනක් තැම්බීමට හැර ඉන්පසු කලවම් කිරීමේ යන්ත්‍රයට යවා එතැනින් ඉතා සිනිඳුවට ඇඹරෙනු වස් ඇඹරුම් යන්ත්‍රයට ද ඒ මගින් මැඩීමේ යන්ත්‍රයට (extruder) ද යවනු ලැබේ. එම යන්ත්‍රයෙන් නිකුත් වන මැටිකඳ අවශ්‍ය වන හැඩයකට හෝ ප්‍රමාණයකට යෝග්‍ය වන පරිද්දෙන් ස්වයංක්‍රීය යන්ත්‍රයකින් කැබලි කොට කපාගනු ලැබේ. අනතුරුව ඒ මැටි කැබලි විදුලිය වැනි බලයකින් ක්‍රියා කෙරෙන භ්‍රමණ පීඩන යන්ත්‍රයකට හෝ අත් යන්ත්‍රයකට දමා තද පීඩනයකට භාජන කොට උළුකැට සේ හැඩගන්වනු ලැබේ. නූතන යන්ත්‍රයන්හි උළුකැටයෙන් පිටට වැගිරෙන මැටි සූරා දමා නිමාවක් ඇති කිරීම යන්ත්‍රයෙන් ම කෙරෙතත් පැරණි යන්ත්රයන්ගෙන් සාදන උළුකැටවලින් බේරෙන මැටි අතින් ම සූරා දමනු ලැබේ.
චිරාගත ලෙස 'අමු' උළු විශාල එළිමහන් මඩුවල රාක්ක මත පවනේ වියළනු ලැබේ. එබඳු තත්ත්වයන් යටතෙහි උෂ්ණත්වය, තෙතමනය, වාතයේ ගමන ආදිය සම්බන්ධයෙන් පාලනයක් කොහෙත් ම නොකෙරේ. මෙයින් 'අමු' උළු විශාල ප්‍රමාණයක් ඇද ගැහී විකෘත වී යයි. නොඑසේ නම් සියුම් ලෙස ඉරිතලයි. ඇතැම් කම්හල්වල ප්‍රාථමික වියළීමට ආධාර කොට ගැනීම පිණිස පෝරනුවලින් උණුසුම් වායු යොදාගනු ලැබේ. නූතන උළුමෝල්වල කෘත්‍රිම වියළුම් කුටීර උපයෝගී කොටගනු ලැබේ. නවීකරණ වැඩපිළිවෙළේ අංගයක් වශයෙන් මෑතක දී පැරැණි උළුමෝල්වලින් සමහරක් එළිමහන් මඩු වෙනුවට එවැනි කුටීර යොදාගැනීමට පටන්ගෙන තිබේ.
ප්‍රාථමික වියළීමෙන් පසු දරවලින් හෝ තෙල්වලින් දල්වනු ලබන පෝරනුවල උළු අසුරනු ලැබේ. බොහෝ විශාල කම්හල් කුටීර 22 සිට 26 දක්වා ඇත්තාවූ ද ඒ එක් එක් කුටීරයෙහි උළු 3,000ක් පමණ ඇහිරීමට ඉඩ ඇත්තා වූද හොප්මන් පෝරනු භාවිතා කරන නමුදු කුඩා මෝල්වල මැනැවින් සැලැසුම් නොකළ ඉන්දියානු මෝස්තරයේ යටි දඟර පෝරනු (down draught-kilns) භාවිතා කරති. දෙවනුව කී පෝරනුවල උළු අඩුවට පිලිස්සෙන අතර ඒවා අඳුරු රත් පැහැයක් ගනී. කැඩී බිඳී යෑමෙන් ඇති වන පාඩුව ද විශාලය. පෝරනු විශාල ප්‍රමාණයක් දරවලින් දල්වනු ලබයි. රාජ්‍ය අංශයට අයත් වූ ද යන්ත්‍රෝපකරණ සවිකළාවූ ද විශාල වැඩපළවල පවා ඒ සඳහා දර යොදා ගනු ලැබේ. රාජ්‍ය කම්හල්වල පෝරනු තෙල්වලින් දැල්වීමට පරිවර්තනය කිරීම සඳහා සැලසුම් පිළියෙළ කෙරෙමින් තිබුණු නමුදු තවමත් ඒ ඉටු වී නොමැත. සිලෝන් පොටරීස් කර්මාන්ත ශාලාවේ එක් ඒකකයකුත් කොච්චිකඩේ නුරානි උළු වැඩපළ හා මහියංගණයේ උළු වැඩපළත් පමණක් තෙල් යෙදූ පෝරනුවලින් උළු පුලුස්සන කම්හල්ය. පසු කී කම්හලෙහි නූතන දෝනා පෝරනුවක් ද (Tunnel kiln) ඇත. උළු පිලිස්සීමෙන් පසු පළමුවැනි, දෙවෙනි, තෙවෙනි යනුවෙන් ඒවා වර්ග කරනු ලැබේ. ගත වූ පස් වර්ෂයෙහි කෙරුණු සංවර්ධන කටයුතු නිසා පාඩු අඩු වී ඉස්තරම් වර්ගයේ උළුවල සමානුපාතය වැඩි වී තිබේ. උළු වියළීමේ දී සහ පිලිස්සීමේ දී මුහුණ පාන්නට සිදු වූ දුෂ්කරතාවන්ගෙන් හොඳින් ම පෙනී යන්නේ උළුවල ඒකාකාර තත්ත්වයක් ස්ථීර වශයෙන් ලබා ගැනීම උදෙසා අමුද්‍රව්‍ය තේරීමේ හා කළවම් කිරීමේ පටන් ම ප්‍රමාණවත් පාලනයක් අවශ්‍ය බවත් තෙත් ගතිය ඉවත් කරන වියළුම් උපකරණ, නිෂ්පාදන ක්‍රම සඳහා යෝග්‍ය පරිදි සැලසුම් කළ ප්‍රමාණවත් යන්ත්‍රෝපකරණ හා මැනැවින් සැලසුම් කළා වූ ද තෙල්වලින් දිගට දැල්වෙන්නාවූ ද පෝරනු යන මේවා අවශ්‍ය බවත්ය.
ලංකාවේ උළු කර්මාන්තය
මැංගලෝර් හෙවත් කැලිකට් මෝස්තරයේ වහළ සෙවෙනි කරන පූට්ටු උළු භාවිතය ඉන්දියාවෙන් හඳුන්වනු ලැබ මුලින් ම ලංකාවේ භාවිත වූයේ ගිය ශතවර්ෂයේ අවසාන හරියේ දීය. මේ උළු පාවිච්චිය විශේෂයෙන් ම නාගරික පෙදෙස්වල ඉතා ශීඝ්‍රයෙන් පැතිරී ගියේය. අඩ වටකුරු පාරම්පරික උළු භාවිතය ග්‍රාමීය පෙදෙස්වල ම පැවැතිණි. මේ නව වර්ගයේ උළු නිෂ්පාදනය කිරීම සඳහා වූ පළමු කම්හල එක්තරා උද්යෝගවත් ලාංකිකයකු විසින් 1925 දී කොළඹ නගරයට සැතැපුම් කීපයක් නුදුරින් වූ අඹතලේ නම් ග්‍රාමයෙහි පිහිටුවන ලදි. එම වකවානුවේ දී ම තවත් කම්හලක් ඉන්දියානු සමාගමක් විසින් මාඔය අසබඩ ආරම්භ කෙරිණි. එසමයෙහි තෙවන කම්හලක් ද මාතර දිස්ත්‍රික්කයෙහි තිබුණු බවට සාක්ෂ්‍ය තිබේ. දෙවෙනි ලෝක සංග්‍රාමය නිසා භාණ්ඩ සම්පාදනයට බාධා ඇති වීමේ ප්‍රතිඵලයක් වශයෙන් උළු කර්මාන්තය සම්බන්ධයෙන් මෙන් ම වෙනත් ද්විතීයික කර්මාන්ත සම්බන්ධයෙන් ද බලවත් උද්යෝගයක් ඇති විය. 1925 සිට 1930 දක්වා කාලය තුළ උළු පන්ලක්ෂයක නිෂ්පාදන ශක්තියක් ඇති කම්හල් දෙකේ පටන් 1945 සිට 1950 දක්වා වූ පශ්චාත් සංග්රාම කාලය තුළ උළු හැට ලක්ෂයක සම්පූර්ණ නිෂ්පාදන ශක්තියක් ඇති කම්හල් දොළහ දක්වා කම්හල් ගණන වැඩි විය. කෙසේවෙතත් දකුණු ඉන්දියාවෙන් උළු ආනයනය කිරීම අධික ප්‍රමාණයකින් නැවතත් ඇරඹිණි. ලංකාවේ උළු කර්මාන්තය පුළුල් කරන ලද්දේ වී නමුත් පාරිභෝගිකයාගේ වැඩි කැමැත්ත යොමු වූ ආයාත භාණ්ඩ සමඟ තදබල තරඟයකට මුහුණ පෑමට ඊට සිදු විය. 1957ත් 1958ත් ඇතුළත ආයාත උළු ප්‍රමාණය කෝටි දෙක දක්වා ඉහළ නැංගේය.
මේ තත්වය නිසා තැතිගත් ප්‍රාදේශීය උළු කාර්මිකයන් විසින් එවක රජයට කරුණු ඉදිරිපත් කරන ලදින් රජයේ ගොඩනැඟිලි ඉදි කිරීමේ දී ලංකාවේ තැනුණු උළු ම භාවිතා කරන මෙන් විධානයක් නිකුත් විය. එපමණක් නොව ප්‍රාදේශීය නිෂ්පාදනයන්ගේ තත්වය ස්ථිර වශයෙන් පවත්වා ගනු වස් 1957 ලංකා ප්‍රමිති අංක 4 නිකුත් කරනු ලැබීය. ගල්ඔය සංවර්ධන මණ්ඩලය (දැන් ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය) විසින් ඉරක්කාමම්හි පිහිටුවන ලද වර්ෂයකට තිස් ලක්ෂයක උළු තැනීමේ ශක්තිය ඇති කම්හල හැරුණු විට එවක සියලු ම උළුකම්හල් පෞද්ගලික අංශයට අයත් විය. පසුව 1961 දී සමස්ත ලංකා උළු නිෂ්පාදන කම්හල් අයිතිකරුවන්ගේ සංගමය තවදුරටත් රජයට කරුණු ඉදිරිපත් කොට ප්‍රාදේශික කර්මාන්තයට තවදුරටත් ආධාර සැලැසෙන පරිදි ආයාත ප්‍රමාණය අඩු කරන මෙන් තදබල ලෙස ඉල්ලා සිටියේය. ආයාත අඩු කිරීමෙන් ඇතිවන පරතරය නැති කරනු පිණිස ප්‍රාදේශීය නිෂ්පාදන වැඩි කරන බවටත් ඒවායේ තත්වය දියුණු කරන බවටත් එම සංගමය පොරොන්දු විය. මේ පොරොන්දු අනුව 1961 දී ආයාත සලාක ක්‍රමයක් ඇති කොට එතැන් පටන් ආයාත සලාකය අනුක්රමයෙන් අඩු කොට 1965 දී සහමුලින් ම ආනයනය නවත්වන ලදි. මේ අවස්ථාවේ දී කම්හල් සංඛ්‍යාව හතලිහක් විය. සම්පූර්ණ උළු නිෂ්පාදන ප්‍රමාණය කෝටි තුනහමාරක් පමණ විය.
දකුණු ඉන්දියාවෙන් මැංගලෝර් මෝස්තරයේ උළු අධික වශයෙන් ආනයනය කිරීම අඩු කිරීමේ බලාපොරොත්තුවෙන් හා දෙවෙනි ලෝක සංග්රාමයෙන් පසු කාලයෙහි වඩා හොඳ වර්ගයේ උළු සඳහා වූ තදබල ඉල්ලුම සපුරාලන අටියෙනුත් රජය උළු කර්මාන්තය කෙරෙහි අවධානය යොමු කරන්නට විය. එමෙන් ම යුද්ධයෙන් පසු අවධියෙහි කාර්මික සංවර්ධනය පිළිබඳ පොදු වැඩපිළිවෙළෙහි ලා උළු කම්හල් පවත්වාගෙන යෑමේ ප්‍රතිපත්තිය පිළිගන්නා ලදී. මේ සම්බන්ධයෙන් ප්‍රථම අර්ථාන්විත පියවර ගන්නා ලද්දේ 1951 දී කොළඹ ක්රමයේ කාර්මික සහයෝගතා යෝජනා ක්‍රමය යටතෙහි, ඕස්ට්‍රේලියාවේ පොදු රාජ්‍ය විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ සංවිධානයේ ගොඩනැඟිලි පර්යේෂණ අංශයේ ආචාර්ය ජේ.එස්. හොස්කිංගේ සේවය ගඩොල් හා උළු කාර්මික උපදේශකවරයකු වශයෙන් රජය ලබාගත් විටය. අමු ද්‍රව්‍ය සම්පත් ඇතුළු ගඩොල් හා උළු කර්මාන්තය පිළිබඳ පෘථුල සමීක්ෂණයකින් පසු ආචාර්ය හොස්කිං වටිනා නිර්දේශ රාශියක් ඉදිරිපත් කෙළේ ය. 'ලංකාවේ නූතන ගඩොල් හා උළු කර්මාන්ත ශාලාවක් පිහිටුවීම පිළිබඳ වාර්තාව' (1952) නමින් යුත් ඔහුගේ වාර්තාවෙහි මේ නිර්දේශ අන්තර්ගත වෙයි. ඔහුගේ ප්‍රධාන නිර්දේශවලට පහත දැක්වෙන කරුණු ඇතුළත්ය. එනම්, ගඩොල්, හා උළු කර්මාන්තය සඳහා උපයෝගී කොට ගන්නා අමුද්‍රව්‍ය පිළිබඳව ක්‍රමවත් සමීක්ෂණයක් පැවැත්වීම, ගෘහ කර්මාන්තයක් වශයෙන් කෙරෙන ගඩොල් හා උළු කර්මාන්තයට අදාළ නිෂ්පාදන ක්‍රම දියුණු කිරීම පිණිස රජයෙන් ආධාර දීම, පළපුරුද්දක් ඇති වී පුහුණු කම්කරුවන් ලැබී තව තවත් කම්හල් පැතිරී යන පරිද්දෙන් ප්‍රාදේශීය නිෂ්පාදනයේ වර්ධනයක් ඇති කිරීම අරභයා ප්රාරම්භක වශයෙන් මීගමු හා කළුතර යන දිස්ත්‍රික්කවල මැංගලෝර් උළු ලක්ෂ පනහක් බැගින් නිපදවීමේ ශක්තිය ඇති කම්හල් දෙකක් පිහිටුවීම යන කරුණුය. 1952 දී හොස්කිං වාර්තාව ඉදිරිපත් වූ කාලයෙහි මුළු ගණනින් එක් කෝටි විසිලක්ෂයක් පමණ උළු නිපදවිය හැකි කම්හල් දොළහක දිස්නය නොදැමූ මැංගලෝර් මෝස්තරයේ උළු නිපදවූ බව ඔහු දැන සිටියේය. එහෙත් "ඒ කම්හල් නිෂ්පාදන ශක්තිය අතිනුත් ක්‍රම සැලසුම් කිරීම අතිනුත් සැලකිය යුතු ප්‍රමාණයකින් එකිනෙකට වෙනස් වූ බවත් ඒවා මලබාර් වෙරළේ ඉන්දියානු යන්ත්‍රෝපකරණවල ම දුබල අනුකරණ" බවත් ඔහුට පෙනී ගියේය. මේ වටිනා වාර්තාවේ ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම අවාසනාවකි. ලංකා වඩු කාර්මික සංස්ථාව, ජාතික කුඩා කර්මාන්ත සංස්ථාව යනුවෙන් නැවත නම් කොට එහි කටයුතු ගඩොල් හා උළු නිෂ්පාදනය ඇතුළත් වන පරිද්දෙන් පුළුල් කරනු ලැබුවේ අවුරුදු හතක් පමණ ඉක්ම ගියාට පසුය.
රජය උළු කර්මාන්තයට සම්බන්ධ වීම පිළිබඳ මූලික කටයුතු කලින් තිබූ කර්මාන්ත දෙපාර්තමේන්තුව විසින් භාරගන්නා ලදි. 1958 දී එය එක්සත් ජාතීන්ගේ කාර්මික ආධාර වැඩපිළිවෙළ යටතේ ගඩොල් හා උළු කර්මාන්තය ඇතුළු පිඟන් මැටි කර්මාන්තය සම්බන්ධයෙන් උපදෙස් දීම සඳහා ඉංග්ලෙඩ් මහතාගේ සේවාව ලබා ගත්තේය. ඔහුගේ උපදේශ අනුව දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය අංශයෙහි උළු කම්හල් සංඛ්‍යාවක් පිහිටුවීම උදෙසා සැලසුම් සම්පාදනය කරන ලදි. එම සැලසුම් මත පිහිටා ජාතික කුඩා කර්මාන්ත සංස්ථාව මුළු ගණනින් උළු අනූලක්ෂයක් නිපදවීමේ ශක්තිය ඇති උළු කම්හල් පහක් පිහිටුවීම පිණිස යන්ත්‍රෝපකරණ සපයා ගැනීමට චෙකෝස්ලෝවාකියානු සමාගමක් සමග ගිවිසුමකට බැඳුණේය. රාජ්‍ය කම්හල් පිළිබඳ විස්තර සම්පිණ්ඩනයක් පහත දැක්වේ.
කම්හලේ නම::::::::::::::දිස්ත්‍රික්කය::::::::::::::::පිහිටුවා ලූ වර්ෂය:::::::::::::::නිෂ්පාදන ප්‍රමාණය ලක්ෂ:::::::
බංගදෙණිය:::::::::::::::::පුත්තලම::::::::::::::::::::1963:::::::::::::::::::::::::::::20::::::::::::::::::::::::
යටියන:::::::::::::::::::::මාතර:::::::::::::::::::::1964:::::::::::::::::::::::::::::20::::::::::::::::::::::
වෑඋඩ::::::::::::::::::::කුරුණෑගල:::::::::::::::::::1965:::::::::::::::::::::::::::::20:::::::::::::::::::::
ඇලයපත්තුව:::::::::::::::අනුරාධපුරය:::::::::::::::::::1965:::::::::::::::::::::::::::::20::::::::::::::::::::
මුලතිවු:::::::::::::::::::::වවුනියා::::::::::::::::::::1968:::::::::::::::::::::::::::::10::::::::::::::::::::
ජර්මන් ෆෙඩරල් සමූහාණ්ඩුවේ ආධාර ඇතිව ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මහියංගණයේ ඉදිකරන ලද උළු කම්හල 1965 දී සංස්ථාව පවරාගත්තේය. උළු හතලිස් ලක්ෂයක් නිපදවිය හැකි මේ කම්හල ඉතා ම නූතන යන්ත්රාගාරවලින් එකක් විය. මෙහි විශේෂ අංගය වූයේ උසස් වර්ගයේ උළු සහතික වශයෙන් නිපදවීමට ඉවහල් වන දෝනා පෝරනුවයි. 1968 වන විට ඉරක්කාමම් හා මහියංගණ කම්හල්වල නිෂ්පාදනය ද ඇතුළුව රාජ්‍ය අංශයේ කම්හල්වල නිෂ්පාදන ප්‍රමාණය එක්කෝටි හැට ලක්ෂයක් විය. පසුව රාජ්‍ය කම්හල් කීපයක් පුළුල් කිරීම පිණිසත් යන්ත්‍රෝපකරණ ආනයනය කිරීම පිණිසත් සැලසුම් ඉදිරිපත් වුව ද මේ දක්වා ඒ ඉටු වී නොමැත.
උළු ආනයනය කිරීමේ තහනම අනුක්රමයෙන් ක්‍රියාත්මක වත් ම පෞද්ගලික අංශය ශීඝ්‍ර ලෙස පුළුල් වී ගියේය. 1960 දී පෞද්ගලික අංශයෙහි උළු එක්කෝටි අනූ ලක්ෂයක නිෂ්පාදන ශක්‍යතාවකින් යුත් කම්හල් 20ක් පමණක් වූ නමුදු ආනයනය කිරීමේ පූර්ණ තහනම ක්‍රියාත්මක වූ විට කම්හල් සංඛ්‍යාව ද්විගුණ වී නිෂ්පාදන ශක්‍යතාව උළු තුන්කෝටි පනස් ලක්ෂය පමණ දක්වා වැඩි විය. රාජ්‍ය අංශයේත් පෞද්ගලික අංශයේත් ඒකාබද්ධ නිෂ්පාදන ශක්තිය රටට අවශ්‍ය ප්‍රමාණයටත් වැඩි තරම් වූ පන් කෝටියකටත් තරමක් අධික වුව ද නියම නිෂ්පාදනය මේ ගණනට සැබැවින් ම අඩු වූ බැවින් පාරිභෝගිකයාට අවශ්‍ය ඉතිරි ප්‍රමාණය ඉන්දියාවෙන් ආනයනය කිරීමට සිදු විය. තහනමට පෙරාතුව උළු තොග රැස්කර ගැනීමේ අදහස නිසා සිදුවූවකැයි සිතිය හැකි නමුදු 1960 දී මේ ආයාත ප්‍රමාණය දෙකෝටි හැටපන් ලක්ෂය දක්වා ඉහළ නැංගේය.
උළු ගෙන්වීම නැවැත්වූ සැණෙකින් වෙනත් ප්‍රශ්නයක් උද්ගත විය. පුළුල් කරන ලද රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ ඒකාබද්ධ නිෂ්පාදනය ඒවායෙහි නිෂ්පාදන ශක්තියට වඩා බෙහෙවින් අඩු වුව ද උළු තොග නොවිකිණී ඉතා ශීඝ්‍ර ලෙස ගොඩගැසෙන්නට වන. මෙහි පළමු ලකුණු පහළ වූයේ 1963 දීය. 1966 දී නොවිකිණී ගොඩගැසුණු උළු සංඛ්‍යාව ලක්ෂ හැත්තෑව දක්වා ඉහළ නැංගේය. උළු පිළිබඳ ඉල්ලුමේ තියුණු වැටීමක් පැහැදිලිව දක්නට ලැබිණි. මේ අනතුරු අඟවන තත්ත්වයත් උළු ආනයනය කිරීමේ පූර්ණ තහනම සඵල වීමට පෙරාතුව රාජ්‍ය හා පෞද්ගලික යන උභය අංශයන්හි යෙදූ විශාල ධනයත් හේතුකොටගෙන ඒ ගැන සලකා බැලීමට රජයට සිදු විය. අනාගත ඉල්ලුමේ නම්යතාවනුත් උළු නිපදවීම හා අලෙවිය සීමා කෙරෙන කරුණුත් කර්මාන්තයේ ආරක්ෂාවට හා වර්ධනයට අවශ්‍ය විධි විධානත් ඇතුළු උළු කර්මාන්තය පිළිබඳව පෘථුල සමීක්ෂණයක් පැවැත්වීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට මෙය තුඩු දුන්නේය.
ප්‍රාදේශීය උළු කර්මාන්තයට රාජ්‍ය ආධාර ලැබිය යුත්තේ මන්ද යන්න සම්බන්ධයෙන් පිළිගත හැකි බොහෝ හේතු ඇති බව කමිටුවට හැඟී ගියේය. මැටි හෑරීම හා ප්රවාහණය වැනි කටයුතුවල දී නියම වශයෙන් මෙන් ම අනියම් වශයෙන් ද මෙම කර්මාන්තය මගින් සැපයෙන රැකියා පහසුකම් සැලකිය යුතු වූ අතර සැබැවින් ම එය සියයට සියයක් ම දේශීය අමු ද්‍රව්‍ය භාවිතා කළ ජාතික කර්මාන්තයක් විය.
1960 පටන් උළු කර්මාන්තය විෂයයෙහි වූ සංවර්ධන කටයුතු උළු ආනයනය කිරීම නවතා වටිනා විදේශ විනිමය ඉතිරිකරගැනීමට තුඩු දුන් බව කමිටුවේ අදහස විය. නිෂ්පාදනය කළ හැකිවාටත් වඩා අඩුවෙන් නිපැදවෙද්දී පවා එන්න එන්න ම උළු නොවිකිණී ගොඩගැසුණේ ඇස්බෙස්ටෝස් කර්මාන්තය සමග තියුණු තරඟයකට මුහුණ පෑමට සිදු වූ නිසා යයි සම්පූර්ණ පරීක්ෂණයකට පසු කමිටුව නිගමනයකට එළඹියේය. උළු කර්මාන්තය පිළිබඳ අනාගත සංවර්ධනය අරභයා වූ දීර්ඝ කාලීන නිර්දේශ හැරුණු විට වහා ක්රියාවේ යෙදවීම පිණිස කරන ලද නිර්දේශ මේවාය:
(අ) ප්‍රාදේශික ඇස්බෙස්ටොස් තහඩු නිෂ්පාදනය නියමිත ටොන් ගණනකට සීමා කළ යුතු අතර කර්මාන්ත සඳහා වෙන් කෙරෙන සලාකය අඩු කළ යුතුයි. නිර්යාත වෙළඳ ඉඩකඩ දියුණු වුවහොත් අතිරේක සලාක සඳහා ඉඩ දිය යුතුයි.
(ආ) ජාතික කුඩාකර්මාන්ත සංස්ථාව මගින් සැලසුම් කරන ලද පුළුල් කිරීමේ වැඩසටහන හැරුණු විට උළු කර්මාන්තය 1966 පැවැති තත්වයන් යටතේ ම පවත්වාගෙන යා යුතුයි.
(ඇ) රජයේ මුදලින් ඉදි කෙරෙන සියලු ම ගොඩනැඟිලිවලට (විශාල කාර්මික ගොඩනැගිලි හැර) උළු යොදාගත යුතුය.
1967 ජනවාරි මාසයේ දී ඉදිරිපත් කරන ලද කමිටු වාර්තාව මෙම කර්මාන්තය පිළිබඳ තර්කානුකූල වූ ද විධිමත් වූ ද සංවර්ධනයකට අඩිතාලම විය. වාසනාවකට මෙන් එහි ප්‍රධාන නිර්දේශ රජය විසින් පිළිගන්නා ලද අතර අවුරුදු දෙකක් ඇතුළත දී ගොඩගැසී තිබුණු උළු තොග විකිණී ගියේය.
රාජ්‍ය සහ පෞද්ගලික යන උභය අංශයන් සඳහා ම මැටි කර්මාන්ත විද්‍යාව හා නිෂ්පාදන ක්‍රම සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල පුහුණු කිරීම, ඔපදැමූ උළු බිමට අල්ලන උළු, ඝන මැට්ටෙන් තැනූ නළ ආදි වශයෙන් නිෂ්පාදන භාණ්ඩ විවිධ කිරීම, මැටි සම්පත් සම්බන්ධයෙන් ක්‍රමවත් අධ්‍යයනයක් කිරීම පිණිස පර්යේෂණ හා සංවර්ධන විද්‍යාගාර පිහිටුවීම හා නිෂ්පාදනය පිළිබඳ ශිල්පීය ක්‍රම දියුණු කිරීම යන මේ කරුණු කමිටුවේ දීර්ඝ කාලීන නිර්දේශවලට ඇතුළත් විය. කමිටුවේ වාර්තාව ඉදිරිපත් කරනු ලැබීමෙන් ටික කලකට පසු අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇලයපත්තුවේ උළු කම්හල ගොඩනැඟිලි හා සම්බන්ධ මැටි ද්‍රව්‍ය නිෂ්පාදනය උදෙසා අත්හදාබැලීමේ හා පර්යේෂණය කිරීමේ මධ්‍යස්ථානයක් වශයෙන් යොදාගනු වස් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට භාරදෙන ලදි.
නිගමනය
උළු කර්මාන්තයේ ආරම්භය හා එහි ව්‍යාප්තියත් දේශගුණික තතු, අමුද්‍රව්‍ය, ස්වාභාවික ලක්ෂණ, ප්‍රාදේශික හා නාගරික සංවර්ධනයේ තත්වය වැනි බොහෝ කරුණුත් අතර සමීප සම්බන්ධයක් ඇති බැවින් මෙම කර්මාන්තය ගැන සාකච්ඡා කිරීමට රට පිළිබඳ සවිස්තර දැනීමක් අවශ්‍ය වෙයි. විසිවැනි සියවසේ ආරම්භය තෙක් ම ප්‍රාදේශික උළු කර්මාන්තය බෙහෙවින් පදනම් වී තිබුණේ අත් අච්චුවලින් තනා ස්වාභාවික තත්වයන් යටතේ වියළාගෙන, චිරාගත දර පෝරනුවල පිලිස්සූ අඩ වටකුරු උළු නිපදවීම මතය. කල්යෑමේ දී මැංගලෝර් මෝස්තරයේ පූට්ටු උළු නිපදවීම ආරම්භ විය. දෙවෙනි ලෝක සංග්රාමයෙන් මෙම කර්මාන්තයට ප්‍රබල අනුබලයක් ලැබුණු නමුදු එය බහුල වශයෙන් කෙරුණේ අත්හදා බැලීමේ පදනමක් මතය. යුද්ධාවසානයෙන් පසු කාලයෙහි ඉල්ලුම සම්බන්ධයෙන් වූ අවිනිශ්චිතභාවය හේතුකොටගෙන මෙම කර්මාන්තය විෂයයෙහි දක්නට ලැබුණේ අල්ප උද්යෝගයකි. එක්දහස් නවසිය හැට ගණන්වල මුල් හරියේ දී රජයේ මැදිහත්වීමෙන් හා ආනයනය නවතාලීමෙන් මෙහි ලා නව උද්යෝගයක් ඇති විය. කලින් බස්නාහිර මුහුදුකරයේ සුළු ප්‍රදේශයක එක් රොක් වී තිබුණු උළුකම්හල් රජයේ සහභාගිවීම කරණකොටගෙන ප්‍රාදේශික වශයෙන් හා වඩා යෝග්‍ය අන්දමින් පැතිර යන්නට විය.
රාජ්‍ය අංශයේ කම්හල් පිහිටුවීමත් සමඟ මෙම කර්මාන්තයේ ස්වරූපය හා වර්ධනය අනුක්රමයෙන් වෙනස් වී තිබේ. කළ යුතු බොහෝ දේ ඇත ද දැනට ඉටු කළ යුතු ඉතා වැදගත් කාර්යය වනුයේ මෙම කර්මාන්තය පුනරුත්ථාපනය කිරීමත් සැලකිය යුතු ප්‍රමාණයකින් රැකියා ප්රශ්නය විසැඳී වටිනා විදේශ විනිමය ඉතිරි වන පරිද්දෙන් පූර්ණ ආනයන තහනමක් පැනවීමත්ය. උළු කර්මාන්තය විෂයයෙහි සැලකිය යුතු ප්රතිසංවිධානයක් ඇති වී තිබෙන නමුදු එහි අනාගත පැවැත්ම රඳා ඇත්තේ අමු ද්‍රව්‍ය තෝරාගැනීමේ හා හාරා ගැනීමේ ලා පරීක්ෂ්‍යකාරී පාලනය, මධ්‍යම විද්‍යාගාර පිහිටුවීම, කාර්යක්ෂම ලෙස උපකරණ පාලනය කිරීම හා නඩත්තු කිරීම, තෙල්වලින් ක්‍රියාකරන පෝරනු සම්පාදනය, පුහුණු පළපුරුදු කම්කරුවන් යෙදවීම යන කරුණු කෙරෙහිය. වහළවල් සෙවෙනි කරන වෙනත් ද්‍රව්‍ය තිබුණ ද උළු තවමත් ඉතා ම ජනප්‍රිය ද්‍රව්‍යය වශයෙන් සැලකේ. ඒ හුදෙක් කිසියම් හිතැඟියක් හෝ සම්ප්රදාය රුචිකත්වයක් නිසා නොව උළු වහළින් නිවසේ පෙනුමත් වටිනාකමත් ආරක්ෂා වන බවට ජනතාව තුළ එක්තරා විශ්වාසයක් පවත්නා බැවිනි.
(කර්තෘ: එල්.ජේ.ඩී. ප්‍රනාන්දු)
(සංස්කරණය: 1974)