එංගලන්ත සභාව

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

එංගලන්තයේ රජය මගින් ප්‍රතිෂ්ඨාපිත ක්‍රිස්තියානි සභාව මෙනමින් හැඳින්වේ. බ්‍රිතාන්‍ය දේශයට මුලින් ම ක්‍රිස්තියානිය පැමිණියේ කවර අයුරින් දැයි ඉඳුරා කිව නොහැකියි. ශුද්ධ වූ පාවුලු ස්පාඤ්ඤයෙන් ඔබ්බට ගිය බව කියැවෙන පුරාවෘත්තයක් වෙයි. සමහරු අරිමතියාවේ යෝසෙප් බ්‍රිතාන්‍යයට ගිය බව පවසති. එහෙත් ප්‍රමාණවත් ඓතිහාසික සාක්ෂි මත පිහිටා බ්‍රිතාන්‍යයේ ක්‍රිස්තියානිය පිළිබඳව ආදිතම සීමාව හැටියට ගත හැක්කේ තුන්වැනි ශතවර්ෂයේ ආරම්භක අවධියයි. ක්‍රි.ව. 208 දී ටර්ටලියන් (Tertullian) ද 230 දී ඔරිජන් (Origen) ද බ්‍රිතාන්‍යයේ සමහර ප්‍රදේශවල කෙල්ටික් වැසියන් අතර පදිංචිව සිටි ක්‍රිස්තියානි පිරිසක් ගැන සඳහන් කරත්. ක්‍රි.ව. 304 දී පමණ එවකට බ්‍රිතාන්‍ය දේශය රෝම අධිරාජ්‍යයේ කොටසක්ව තුබුණු හෙයින් එහි වුසූ ක්‍රිස්තියානිකාරයන් වධහිංසාවට භාජන කරන ලද බව වාර්තාගතය. මේ පීඩාකාරී අවධියේ දී ඕල්බන් (Alban) නමැත්තා ක්‍රිස්තියානි පූජකයකුට රහසේ ආරක්ෂාව සැලැසීය. රෝම අධිරාජ්‍යයේ හේවායන් ක්‍රිස්තියානිකාරයන් සොයා ආ අවස්ථාවේ දී ඕල්බන් පූජකකබායෙන් සැරැසී තමා විසින් රැකවරණය කරන ලද පූජකයා වෙනුවට ඔවුන් අතින් මරුමුවට පත් විය. ශුද්ධවරයකු ලෙස සිහිපත් කරනු ලබන, ආගම නිසා ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කළ ප්‍රථම බ්‍රිතාන්‍ය ජාතික ක්‍රිස්තියානිකාරයා ඕල්බන් වේ. මීට අවුරුදු අටකට පමණ පසු - එනම් 312 දී - කොන්ස්ටන්ටයින් අධිරාජයා ක්‍රිස්තියානිකාරයනට නිදහසේ සිය ආගම ඇදහීමට අවසර දීමෙන් පසු බ්‍රිතාන්‍යයේ ක්‍රිස්තියානි සභාව ද ඉක්මනින් දියුණු වන්නට විය. මීට ආසන්න සමයේ එරටේ බිෂොප්වරුන් කිහිපදෙනකු වූ බවට සාක්ෂි හමු වීමෙන් පෙනී යන්නේ එවකට ක්‍රිස්තියානි සභාව එහි මනාව පිහිටා තුබුණු බවයි.

පස්වැනි සියවසේ දී පෙලේගියස් (Pelagius) නම් උගත් වෙල්ෂ් ජාතික පුජකවරයෙක් යුරෝපයේ සැරිසරමින් සදාචාර ශක්තිය හා මානව අභිමානය ගැන නව උගැන්වීමක් පතළ කළේය. හෙතෙමේ සිය නව උගැන්වීම මගින් සාන්ත ඔගස්ටීන්ගේ දේව ධර්මය විචාරයට ලක් කළේය. ස්කොට්ලන්තයෙන් පිටත්ව දකුණට සම්ප්‍රාප්ත වූ නිනියන් (Ninian) පූජකාරාමයක් පිහිටුවීය. අයර්ලන්තයට වහලකු ලෙස ගෙන යන ලද පූජකයකුගේ පුත්‍රයා වූ පැට්රික් ප්‍රංසයට බේරී පලා ගිය නමුදු පසු කලෙක අයර්ලන්තයේ බිෂොප්වරයා ලෙස ආපසු එහි යවන ලද්දේය. එහි දී හේ අයර්ලන්තවාසීන් ක්‍රිස්තියානි ආගමට හරවාගනිමින් දහස් ගණන් පූජකයන්ගෙන් හෙබි පූජකාරාම ගොඩනංවාලීය. මෙසේ අයර්ලන්තයේ ක්‍රිස්තියානි සභාව ශීඝ්‍රයෙන් උන්නතියට යෙමින් පැවති අවදියේ දීය, බ්‍රිතාන්‍යයේ රෝම ආධිපත්‍යය කෙළවර වූයේ. පසු කාලයේ දී ඉංග්‍රීසි ජාතිකයන් නමින් තමන් හඳුන්වා ගත් ඇන්ගල් හා සැක්සන් වර්ගයා බ්‍රිතාන්‍යය ආක්‍රමණය කළෝය. මොව්හු ක්‍රිස්තියානිකාරයෝ නොවූහ. මේ සමයේ දී ශතක එකහමාරක් පමණ කාලයක් බ්‍රිතාන්‍යයේ කෙල්ටික් වැසියන් අතර පැවති 'කෙල්ටික් සභාව' අක්‍රියව අවිද්‍යමානව වාගේ පැවැතිණි. භවැනි සියවසෙහි දී සගයන් දොළොස් දෙනකු ද සමග අයර්ලන්තය හැර ගිය සාන්ත කොලම්බා (Columba) අයෝනා දූපත තමාගේ වාසභූමිය කරගනිමින් එහි තනාගත් පූජකාරාමය ක්‍රිස්තියානි සභාවේ ඉතා වැදගත් මධ්‍යස්ථානයක් බවට පත් විය.

රෝමානු කතෝලික සම්බන්ධය

ක්‍රි.ව. 597 දී කොලම්බා ශුද්ධවරයාගේ දිවි කෙළවර විය. මේ එංගලන්ත සභා ඉතිහාසයේ වැදගත් අවුරුද්දකි. ඔගස්ටීන් ශුද්ධවරයා රෝමයේ සිට කැන්ටබරියට පැමිණ ඉංග්‍රීසි ජාතිකයන් අතර ධර්මදූත කටයුතු ඇරැඹුයේ මේ අවුරුද්දේ දී ය. උතුරු ප්‍රදේශයේ අයෝනාවේ මධ්‍යස්ථානයෙන් ආ කෙල්ටික් පූජකවරු ඉංග්‍රීසීන් අතර ධර්මප්‍රචාරයෙහි යෙදුණහ. මේ අයුරින් මේ අවධිය වන විට බ්‍රිතාන්‍යයේ පැරැණි කෙල්ටික් සභාව ද අලුතින් එහි පැමිණි රෝම සභාව ද යන සංවිධාන දෙකක් විය. ඔවුනතර කැපී පෙනුණු වෙනස්කම් වූයේ සභා දෙකට අයත් වූවන් වෙන වෙන දින දෙකක දී පාස්කු මංගල්‍යය පැවැත්වීමට පුරුදුව සිටීමයි. 663 දී හ්විට්බි (Whitby) නම් ස්ථානයේ දී පවත්වන ලද සම්මේලන වාරයේ දී රෝම සම්ප්‍රදාය පොදුවේ පිළිගන්නට එකඟ වීමෙන් පාස්කු දිනය ගැන සම්මුතියක් ඇති විය. ක්‍රමයෙන් කෙල්ටික් සභාවේ ආගමික චාරිත්‍ර විධි රෝම සභාවේ බලපෑම්වලට ද භාජන වෙමින් වෙනස් වන්නට පටන් ගති. රෝම හා කෙල්ටික් සම්ප්‍රදායයන්ගේ මේ සම්මිශ්‍රණය නිසා එවක යුරෝපයේ අන් කිසි ම රටක ක්‍රිස්තියානි සභාවකට නොදෙවැනි වන තරමේ උන්නතියක් ලබමිනි, සිය ඉතිහාසයේ ස්වර්ණමය යුගයකට පිවිසීමේ භාග්‍යය එංගලන්ත සභාවට අත් වූයේ. මේ හත්වැනි ශත වර්ෂයේ දීය. මේ උන්නති අවස්ථාවේ තමන් ක්‍රිස්තියානි රටක් බවට පත්වීමෙන් අනතුරුව ඔවුහු 732 දී ජර්මනියටත් 995 දී ස්කැන්ඩිනේවියාවටත් ධර්මදූත කණ්ඩායම් පිටත් කර යැවූහ.

දෙවැනි සහස්‍රකය ආරම්භ වන විට එංගලන්තය පුරා බිෂොප්වරු දහ අට දෙනෙක් වූහ. මෙකල පූජකවරු විවාහ ජීවිත ගත කළෝය. 1009 දී ඔවුන් අවිවාහක ජීවිත ගෙවිය යුතු යැයි පැනවීමක් ඇති කරන ලද නමුත් එය ක්‍රියාත්මක වශයෙන් පිළිගැනුණු බවක් නොපෙනේ. පළමුවැනි විලියම් යටතේ 1966 දී මේ දේශයට නෝර්මන්වරුන්ගේ පැමිණීම සිදු විය. ඒ සමඟ ම එංගලන්තයෙහි සභාව ද නව ප්‍රබෝධයකින් නැගී සිටිනු දක්නට ලැබිණි. විලියම් රජ තෙමේ තමා දේශයේ ද ක්‍රිස්තියානි සභාවේ ද නායකයා හා ප්‍රමුඛයා ලෙස සලකා ගනිමින් එරට සහා සංවිධානයේ කටයුතුවල දී මැදිහත් වීමට පාප්තුමාට ඉඩකඩ නොතැබීය. මේ සමඟ ම ඉංග්‍රීසින්ගේ ආවේණික සංස්කෘතිය, කලාව හා වාස්තුවිද්‍යාව ද කෙමෙන් අතුරුදහන් වී යද්දී මහාද්වීපයේ ජනප්‍රිය සැලැසුම්වලට අනුව සුවිසල් දෙව් මැදුරු ගොඩනංවා සැරැසීම ද ඇරැඹිණි.

පූජකාරාමයන්ගේ සංවර්ධනයත් සමඟ ම බුද්ධිමය පුනර්ජීවන ව්‍යාපාරයකට ද මඟ පෑදිණි. 1167 දී ඔක්ස්ෆඩ්හි ද 1209 දී කේම්බ්‍රිජ්හි ද විශ්වවිද්‍යාල පිහිටුවන ලදි. මේ ස්ථාන බුද්ධිමතුන්ගේ හා උගතුන්ගේ මධ්‍යස්ථාන බවට පත්වීමත් සමඟ ම, පුහුණුව හා උසස් අධ්‍යාපන සුදුසුකම් ඇති දේශකයෝ විශාල ගණනින් පිට වී රට පුරා යන්නට වූහ. ඔවුන්ගේ කාර්ය සිද්ධීන් නිසා ආගම සමාජයේ වඩා පෞද්ගලික ජීවමාන බලවේගයක් බවට පත් විය.

ආගමික ප්‍රතිසංස්කරණ යුගය

ජෝන් වික්ලිෆ් (John Wycliffe) 1378 දී පාප් තනතුර හා සභා සංවිධානයේ දූෂණ ක්‍රියාවන් සිය විවේචනයට ලක් කළේය. බයිබලය ඉංග්‍රීසි බසට පෙරැළීම ඔහුගේ විශිෂ්ටතම සේවාව විය. මේ අවදියේ බයිබලයක මිල අධිකව පැවැතියෙන් ඉන් පිටපතක් ලබාගත නොහැකිකමේ අඩුව පිරිමැසීමට ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් ආගමික නාට්‍ය සම්ප්‍රදායයක් බිහි විය. රට පුරා පාසැල් ද ඇති විය. 1500 වන විට එංගලන්තයේ ශ්‍රේෂ්ඨ මානවහිතවාදීහු තිදෙනෙක් වූහ. ඒ ජෝන් කොලට් (Colet), ඉරැස්මස් (Erasmus) හා තෝමස් මෝර් (More) ය. මේ වන විට පූජකයන් තරමට ම උගත් ගිහියෝ ද විශාල ගණනක් පහළ වී සිටියහ. මුද්‍රණ ශිල්පය ප්‍රචලිතව යාමෙන් දහස් ගණනින් පොතපත පළ වන්නට ද විය. හැම අතින් ම වෙනස්කම් හා ප්‍රතිසංස්කරණයන් ඇති කිරීමේ අවශ්‍යතාව කාටත් පෙනී යන්නට විය. මාටින් ලූතර්ගේ අදහස් 1520 දී කේම්බ්‍රිජ් අධ්‍යයන මාතෘකා ලෙස සලකනු ලැබිණි; ඒ කෙරෙහි උගතුන්ගේ ද අවධානය යොමු විය. එකල රජ කළ අටවැනි හෙන්රි රජ පාප්තුමාගේ හිතවතකුව මේ ප්‍රතිසංස්කරණ අදහස්වලට විරුද්ධව ක්‍රියා කළේය. 1530 දී තමාගේ දෙවැනි විවාහයට වුල්සි කාඩිනල්වරයා විරුද්ධ වන බැව් දැනගත් විට රජ තෙමේ තෝමස් ක්‍රොම්වෙල් චාන්සලර් ධුරයට පත් කළේය. ඉන් දෑවුරුද්දකට පසු තෝමස් ක්රැන්මර් කැන්ටබරියේ ආච්බිෂොප් තනතුරට පත් විය. වැඩිකල් යෑමට පෙර රජතුමා විසින් ම සභාවට නව්‍ය මුහුණුවරක් ලැබෙන අයුරින් ප්‍රතිසංස්කරණ පියවර කිහිපයක් ම ගන්නා ලදි. මේවා සභාව විසින් ම ඇති කරන ලද ප්‍රතිසංස්කරණයන් නොව පාර්ලිමේන්තුවේ උපකාරයෙන් රජු විසින් කරන ලද ඒවායි. පාප් විරෝධී හැඟීම් හා ප්‍රොතෙස්තන්ත අදහස් පිළිබඳ උද්යෝගය මේ වන විට හොඳ හැටි පැතිර තුබුණු හෙයින් ජනතා විරෝධයක් මේ ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් නිසා උද්ගත නොවීය. පොදු ජන චින්තනයේ අරමුණ හා අධිෂ්ඨානය වූයේ කවර ආකාරයකින් හෝ රෝමයෙන් වෙන්වීමයි.

තමා විසින් කරන ලද ප්‍රතිසංස්කරණයන්ගෙන් පාප්තුමන්ගේ බලය ඉවත ලන ලද නමුත් තමා ද රෝමානු කතෝලික සභාවේ මූලික ඉගැන්වීම් හයක් පිළිගන්නා බව 1539 දී හෙන්රි රජතුමා ප්‍රකාශ කළේය. මේ පිළිගැනීම්වලින් එකක් නම් පූජකයන් අවිවාහකයන් වශයෙන් ජීවත් වීමේ ඇති අවශ්‍යතාවයි. කෙසේ වුව ද හෙන්රි රජුගේ මේ ප්‍රතිසංස්කරණ කටයුතු හුදු ව්‍යවස්ථා ප්‍රඥප්ති මාත්‍ර බවට පත් විය. එදිනෙදා කටයුතුවල දී සභාව සම්බන්ධයෙන් වෙනසක් විද්‍යමාන නොවූ අතර දේව මෙහෙය ද පෙර පුරුදු ආකාරයෙන් ම සිදු විය. නියම වශයෙන් ක්රැන්මර්ගේ නායකත්වයෙන් සිදු කරන ලද මේ පෙරැළිය ක්‍රියාත්මක වූයේ හෙන්රි රජුගේ පුත්‍ර එඩ්වර්ඩ් VI රජුගේ රාජ්‍ය කාලයේ දී බව පෙනේ.

මෙකල දේවස්ථාන සැරැසිලි ක්‍රමයන්හි හා දේව මෙහෙයයන්හි සැලැකිය යුතු විපර්යාස ඇති වීය. 1549 දී ප්‍රථම වරටත් ඊට තෙවසරකට පසුව දෙවන වරටත් ප්‍රකාශයට පත් අලුත් යාච්ඤා පොත්වල එංගලන්ත සභාව පිළිගත් ඉගැන්වීම් අන්තර්ගත විය. 1554 දී රෝමානු කතෝලික කාන්තාවක වූ මේරි රැජින සිහසුනට පත් වී 1558 දී ඇගේ මරණය සිදුවන තෙක් සියල්ල වියවුල් ස්වරූපයක් ගත්තේය. එහෙත් ඇගෙන් පසුව බලයට පත් වූ පළමුවැනි එලිසබත් රැජින මැදුම් පිළිවෙතක් අනුගමනය කළාය. ප්‍රශ්නය ගැන ඇගේ විරෝධය කෙතරම් දැඩි වුව ද ඇගේ රාජ්‍ය කාලය තුළ දී ද පූජක සමාජයෙන් අඩක් ම විවාහක ජීවිත ගත කළ බව පෙනේ. දහඅටවන සියවසේ දී ජෝන් වෙස්ලි හා ඔහුගේ සගයන් විසින් එංගලන්ත සභාව පිළිබඳ විශිෂ්ට පුනර්ජීවයකට මඟ පාදන ලදි. 1791 දී නායකයාගේ මරණින් පසු ඔහුගේ අනුගාමිකයෝ ඇංග්ලිකානු සභාවෙන් බිඳී ගියහ. සභාව ඇතුළත ම නව ප්‍රබෝධයකින් ශුභාරංචි ප්‍රකාශ කිරීමේ ව්‍යාපාරයක් ඇති වූයේ මේ සමයේ දීය. චාර්ල්ස් සිමියන්, විලියම් විල්බර්ෆෝස් වැන්නෝ ඒ ව්‍යාපාරයේ මුල් තැන් ගෙන ක්‍රියා කළහ. වහල් සේවය සමාජයෙන් බැහැර කිරීම හා ධර්ම දූත කටයුතු පිළිබඳව උත්සුකව ක්‍රියා කළේ මේ ව්‍යාපාරයට අයත් වූවන්ය.

ලෝක ව්‍යාප්තිය

මීළඟ ශතකයේ දී එංගලන්ත සභාව විදේශයන්හි ද පැතිර ගියේය. ශතකය ඇරැඹෙන විට ම කැනඩාවේ දියොකීසි දෙකක් විය. 1882 වන විට එංගලන්ත සභාවට අයත් දියොකීසි දෙසැත්තෑවක් අප්‍රිකාවේ, ඉන්දියාවේ, චීනයේ, ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ විවිධ ප්‍රදේශවල පිහිටුවා තිබිණි. 1867 දී ප්‍රථම වරට ලැම්බත් සම්මේලන වාරයක් පවත්වන ලද අවස්ථාවේ දී ඊට බිෂොප්වරු හැත්තෑ දෙනෙක් සහභාගි වූහ. වර්තමානයේ ලැම්බත් සම්මේලනය දශවාර්ෂිකව රැස්වීම් වාර පවත්වයි. 1958 දී ඊට රටවල් හතලිහකින් බිෂොප්වරු තුන්සිය දහදෙනෙක් සහභාගි වූහ. අද එංගලන්ත සභාව පන්සියයකට අධික බිෂොප්වරුන් සංඛ්‍යාවකින් යුක්ත දියොකීසි හාර සියයකින් පමණ යුක්තය. ලෝකයේ ක්‍රිස්තු ලබ්ධිකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 8000ක් පමණ වන අතර ඉන් ලක්ෂ 400ක් පමණ මේ සභාවට අයත් වූවෝ වෙති. එක එක දියෝකීසිය බිෂොප්වරයකුගේ ප්‍රධානත්වයෙන් පවත්නා අතර දියෝකීසි කිහිපයක් ඇතුළත් ප්‍රදේශයක් ආච්බිෂොප්වරයකුගේ ප්‍රධානත්වයෙන් සංවිධානය වී ඇත. ඉන්දියාව, පකිස්ථානය, බුරුමය හා ලංකාව මෙට්‍රොපොලිටන් හෙවත් ආච්බිෂොප්වරයකු සහිත ප්‍රදේශයක් ලෙස සංවිධානය වී ඇත. ලැම්බත් සම්මේලන වාරවල මුලසුන කැන්ටබරියේ ආච්බිෂොප්වරයා විසින් හොබවනු ලැබෙන නමුදු ස්වකීය ප්‍රදේශවල කටයුතු සම්බන්ධයෙන් ඒ ඒ ප්‍රදේශයේ ආච්බිෂොප්වරයා සම්පූර්ණ ස්වෛරීභාවයෙන් යුතුව ක්‍රියා කරයි.

1814 වර්ෂයේ දී කල්කටාවේ බිෂොප්වරයකු සහිතව එංගලන්ත සභාව ඉන්දියාවේ තහවුරු කරන ලද අවස්ථාවේ දී කොළඹ එංගලන්ත සභා භක්තිමතුන්ගේ සංවිධානයේ පරිපාලනය ද එතුමා යටතට ම පත් කැරිණි. 1930 දී, එතෙක් මේ රටේ පැවැති එංගලන්ත සභා සංවිධානය 'ලංකා සභාව' නමින් ස්වාධීනව සංවිධානය විය. 1845 දීය, ප්‍රථම වරට කොළඹට බිෂොප්වරයකු පත් කරන ලද්දේ. අවුරුදු සියයක් ගත වන තුරු ම ලංකාවේ එංගලන්ත සහා ශාඛාවේ පැවැති මේ උසස් ම තනතුර හෙබැවූවෝ ඉංග්‍රීසි ජාතිකයෝ වූහ. 1945 දී අතිගෞරවාර්හ ලක්දාස ද මැල් උතුමන් කොළඹ අතිරේක බිෂොප්වරයකු ලෙස පත් කරන ලද අතර පසුව එම දියෝකීසියට අයත් රට මැද ප්‍රදේශ එතුමන්ගේ පාලනය හා මාර්ගෝපදේශකත්වය යටතේ කුරුණෑගල දියෝකීසිය වශයෙන් වෙන්ව සංවිධානය කරන ලදි. 1962 අවුරුද්දේ දී ද මැල් බිෂොප්තුමන් ඉන්දියාව, පකිස්ථානය, බුරුමය හා ලංකාව ඇතුළත් ප්‍රදේශයේ මෙට්‍රොපොලිටන් තනතුරට තෝරා පත් කර ගන්නා ලදින් අතිගෞරවාර්හ ලක්ෂ්මන් වික්‍රමසිංහ උතුමා කුරුණෑගල දියෝකීසියේ දෙවැනි බිෂොප්වරයා ලෙස පත් කරනු ලැබීය. 1965 දී අතිගෞරවාර්හ හැරල්ඩ් ද සොයිසා උතුමා බිෂොප් තනතුරට පත් කරනු ලැබීමෙන් කොළඹ දියෝකීසියේ උසස් ම තනතුර ද ප්‍රථම වරට සිංහලයකු අතට පත් විය.

(කර්තෘ: පූජ්‍ය හැරල්ඩ් ද මැල්)

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එංගලන්ත_සභාව&oldid=10967" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි