එක්සත් ජාතීන්ගේ ශරණාර්ථීන් පිළිබඳ මහකොමසාරිස්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(U.N. High Commissioner for Refugees). ශරණාර්ථීන් (සරණාගතයන්) යන්නෙන් අදහස් කැරෙන්නේ දේශපාලන හෝ ආගමික විශ්වාස නිසා හෝ වෙනස් ජාතිගෝත්‍රයකට අයත්වීම නිසා හෝ පීඩා අන්තරායාභිමුඛව සිය රට හැර රැකවරණ සොයා අන් දේශ කරා යන ජනතාවන්ය. ශරණාර්ථීන් සඳහා ජාත්‍යන්තර වශයෙන් සහනය සැලසීම මුලින් ම ඇරඹුණේ ජාතීන්ගේ සංගමය 1921 දී ශරණාර්ථීන් පිළිබඳ මහකොමසාරිස් වශයෙන් නෝර්වේහි ආචාර්ය ප්‍රිට්යෝෆ් නැන්සන් පත් කළ අවස්ථාවේ දීය.

අනතුරුව දෙවන ලෝක යුද්ධාරම්භයෙන් පසු 1943 දී එක්සත් ජාතීන්ගේ සහනාධාර හා පුනරුත්ථාපන පරිපාලනය (U.N. Relief and Rehabilitation Administration - UNRRA) පිහිටුවා ශරණාර්ථීන් හා උන්හිටිතැන් නැති වූවන් ගැන ක්‍රියා කරන ලදි. 1946 දී ජාත්‍යන්තර ශරණාර්ථින්ගේ සංවිධානය (International Refugee Organization - IRO) සම්මත කරගත් ව්‍යවස්ථාව එ.ජා. සංවිධානය පිළිගැනීමෙන් පසු එ.ජා. සහනාධාර හා පුනරුත්ථාපන පරිපාලනය මගින් එතෙක් කරගෙන යන ලද අසරණ සරණ කටයුතු එම සංවිධානයට පැවරිණ. 1952 පෙබරවාරි මාසයේ දී එහි කටයුතු නිම වන විට එය මගින් දසලක්ෂයකට අධික ශරණාර්ථින් සංඛ්‍යාවක් අලුත් නිවාසවල පදිංචි කරවන ලද අතර 73,000ක් ආපසු තම රටවලට යවා දහසය ලක්ෂයකට පමණ වෙනත් ක්‍රමයේ ආධාර ද දෙන ලදි. ජාත්‍යන්තර ශරණාර්ථීන්ගේ සංවිධානයේ කටයුතු නිම වුණු පසු ලෝක ශරණාර්ථීන් පිළිබඳ ප්‍රශ්නය සිය වගකීම බව සැලකූ එ.ජා. සංවිධානය ඒ සඳහා එ.ජා. ශරණාර්ථින් පිළිබඳ මහකොමසාරිස්වරයකු පත් කිරීමට තීරණය කෙළේ 1949 දෙසැම්බර් මාසයේ දීය. 1950 දෙසැම්බර් මාසයේ දී එම පදවිය පිළිබඳ ආඥාපනත සම්මත කර ගත් එ.ජා. සංවිධානය 1951 ජනවාරි 1 දා සිට එය ක්‍රියාත්මක කෙළේය.

ශරණාර්ථීන්ගේ මහකොමසාරිස් එ.ජා. මහලේකම්වරයා විසින් නම් කරනු ලැබ මහාමණ්ඩලය විසින් තෝරාගනු ලැබේ. මහකොමසාරිස්වරයා වගකිවයුත්තේ මහාමණ්ඩලයටය. කොමසාරිස්වරයාගේ වැඩ පිළිවෙළ විධායක කමිටුවක් විසින් පරිපාලනය කෙරේ. සිය මැන්ඩේට් බලය ඇතුළත ශරණාර්ථිනට ජාත්‍යන්තර සුරක්ෂිතතාව සැපයීම හා ස්වේච්ඡාවෙන් ආපසු යාම නැතහොත් නව ජාතික ප්‍රජාවන් හා එක්වීම පහසු කිරීමෙන් ඔවුන්ගේ ප්‍රශ්නවලට ස්ථිර පිළියම් සැලැස්සීම මහකොමසාරිස්වරයාගේ මූලික කාර්‍ය්‍යයයි.

1951 දී මහකොමසාරිස්වරයාගේ කටයුතු ඇරඹෙන විට ලොව දසත ශරණාර්ථීහු 1,250,000ක් ඔහුගේ මැන්ඩේට් බලය යටතට පත්වූහ. 1965 වන විට මින් දෙලක්ෂයක් පමණ සංඛ්‍යාවකගේ ප්‍රශ්න සම්පූර්ණයෙන් විසඳී තිබිණි. එහෙත් ඒ සමග ම ලෝකයේ සෑම පෙදෙසින් ම, විශේෂයෙන් විවිධ අප්‍රිකානු රටවලින් හා ආසියානු රටවලින්, නව ශරණාර්ථීන් ලක්ෂ ගණනින් මතුවීමෙන් මහකොමසාරිස්වරයාගේ කාර්‍ය්‍යය තව තවත් දුෂ්කර බවට හැරිණ. 1970 දී විසිපන්ලක්ෂයක් ලෝක ශරණාර්ථීහු කොමසාරිස්වරයාගේ සැලකිල්ලට යොමුව සිටියහ. මොවුන්ගෙන් දසලක්ෂයක් අප්‍රිකාවේ ද, එක්ලක්ෂ හැටදහසක් ආසියාවේ ද හත්ලක්ෂ පනස් දහසක් යුරෝපයේ ද හයලක්ෂ හැටපන්දහසක් අනික් මහාද්වීපවල ද විසිර සිටියහ.

ශරණාර්ථීන් පිළිබඳ ප්‍රශ්නය අත්‍යන්තයෙන් ම සංකීර්ණ වූයේ නැගෙනහිර පකිස්ථානය පකිස්ථාන ජනරජයෙන් බෙදී වෙන්වීමෙන් කෙළවර වූ පකිස්ථාන අරගලය පිළිබඳ මුල් අවස්ථාවේ (1971) දීය. බ. පකිස්ථාන් හමුදා නැ. පකිස්ථානය (නැ. බෙංගාලය) ආක්‍රමණය කොට ගෙන ගිය අමානුෂික මර්දන ක්‍රියාකලාපය නිසා එරට හැර රැකවරණ සොයා ඉන්දියා භූමියට සංක්‍රමණය වූ ශරණාර්ථින්ගේ සංඛ්‍යාව කෝටිය ඉක්මවිය.

ජාත්‍යන්තර ආරක්ෂාව

සරණ සොයා විදේශ ගතවූවනට ජාතික ආරක්ෂාව නැති වී යාමෙන් ඔවුනට ඇතිවන ආබාධයන්ගෙන් හා අවහිරතාවලින් ඔවුන් මුදා ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් හා නීත්‍යනුකූල ඕනෑ එපාකම් රැකදීම ශරණාර්ථින්හට මහකොමසාරිස්වරයාගෙන් ඉටුවන මූලික සේවයයි. මෙම ජාත්‍යන්තර ආරක්ෂාව සලසා දීමේ දී ජාත්‍යන්තර ගිවිසුම් සම්මත කර ගැනීමෙනි ඒ කරනු ලබන්නේ. මේ අතින් 1951 දී ජිනීවාහි දී සම්මත කරගන්නා ලද ශරණාර්ථින්ගේ තත්ත්වය (Status) පිළිබඳ වූ ගිවිසුම ඉතා වැදගත් තැනක් ගනී. වත්මන් එ.ජා. ශරණාර්ථින් පිළිබඳ මහකොමසාරිස්වරයා සද්රුද්දීන් අඝා ඛාන් කුමරාය. ප්‍රධාන කාර්යාලය ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පිහිටුවා ඇත.

එක්සත් ජාතීන්ගේ සමීප පෙරදිග පලස්තීන ශරණාර්ථීන් සඳහා වූ සහන හා වැඩ ආයතනය (UNRWA) විශේෂයෙන් පලස්තීනයේ අරාබි ශරණාර්ථීන් ගැන කටයුතු කිරීමට පිහිටුවා ඇති හෙයින් ශරණාර්ථීන්ගේ මහකොමසාරිස්වරයා (UNHCR) එම ශරණාර්ථීන් ගැන ක්‍රියා නොකරයි.

(සංස්කරණය: 1974)