එට්‍රස්කන්වරු

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

වර්තමාන ටස්කනියත් අම්බ්‍රියාවේ කොටසකුත් වසා ඉතාලියේ පිහිටා තිබුණු එට්රූරියාව නම් පැරණි ප්‍රදේශය ක්‍රි.පූ. 12 වන සියවසේ දී පමණ වාසභූමි කොටගෙන ක්‍රි.පූ. 6 වන සියවසේ දී ස්වකීය ශිෂ්ටාචාරය ඉතාලිය පුරා ම වාගේ පතුරුවාලූ ජාතියක් මෙනමින් හැඳින්වේ.

එට්‍රස්කන්වරුන්ගේ භාෂාව හා සංස්කෘතිය එවක ඉතාලි අර්ධද්වීපයේ විසූ අනෙක් පැරණි ජාතීන්ගේ භාෂාවට හා සංස්කෘතියට හාත්පසින් වෙනස් වූවක් හෙයින් මොවුන්ගේ මුල් බිම අන් රටක වී යැයි සිතිය හැකිය. හෙරොඩොටස් නම් ග්‍රීක ඉතිහාසඥයා කියන පරිදි මොවුන් ඉතාලියට සංක්‍රමණය වූයේ සුළු ආසියාවේ ලිඩියාවෙන් වුව ද, එසේ නොවුව ද, හෙලස්පොන්ටයට හෙවත් ඩාඩනෙල්ස් සමුද්‍රසන්ධියටත් සිරියාවටත් අතර සුළු ආසියාවේ කිසියම් පෙදෙසක් ඔවුන්ගේ නිජබිම වූ බව පුරාවිද්‍යාඥයන්ගේ නිගමනයයි.

එට්‍රස්කන්වරුන්ගේ ආදි ම ජනාවාසය වූයේ රෝමයේ සිට එල්බා දිවයින තෙක් වූ ප්‍රදේශයයි. ක්‍රි.පූ. 7 වන සියවසේ මුල් අර්ධයේ දී පමණ මොවුන්ගේ ශිෂ්ටාචාරය පීසා ප්‍රදේශයේ සිට අම්බ්‍රියා, ෆ්‍යෙසෝලෙ (Fiesole), ආරෙට්සෝ (Arezzo), පෙරූජා (Perugia) ආදි ප්‍රදේශ තෙක් පැතිරී අවසානයේ දී නේපල්ස් දක්වා ව්‍යාප්ත විය. මේ සඳහා බෙහෙවින් හේතු වූයේ ඉතාලියේ අනෙකුත් ප්‍රදේශ හා ඔවුන් ඇති කරගත් වෙළඳ සම්බන්ධකම්ය. රෝමවරුන්ගේ තාඩන පීඩන යටතේ ක්‍රි.පූ. 5 වන හා 4 වන සියවස්හි දී එට්‍රස්කන් බලය මර්දනය වන විට ඔවුන්ගේ ශිෂ්ටාචාරය ද ක්‍රමයෙන් පිරිහෙමින් තිබිණි. එහෙත් එහි අවශිෂ්ට අංග ක්‍රි.පූ. I වන සියවස තෙක් ටස්කනියෙහි සමහර ස්ථානයන්හි දක්නට ලැබිණ.

එට්‍රස්කන්වරුන් විසින් මධ්‍යම හා උතුරු ඉතාලියට නාගරික ශිෂ්ටාචාරයක් හඳුන්වා දෙන ලදි. ටස්කනි ආදි කඳුකර ස්ථානයන්හි ඔවුන් ඉදි කරන ලද නගර ප්‍රාකාර තව ම ඇත. ටාර්ක්වීනී, සැටර්නියා, කෝසා, වේයි (Veii) ආදි ස්ථානයන්හි සොයාගෙන ඇති පවුරු මහත් තේජාන්විත ස්වරූපයක් උසුලයි. වෙටුලෝනියාවේ පැරණි මහා මාර්ගවල නටබුන්වලින් ඔවුන්ගේ නගර නිර්මාණ කෞශල්‍යය පිළිබඳ අවබෝධයක් ඇති කරගත හැකිය. වේයි හා වෙටුලෝනියා යන ප්‍රදේශයන්හි එකල මිනිසුන් විසූ ගෙවල නටබුන් රාශියක් ද සොයාගෙන ඇත.

එට්‍රස්කන්වරුන් පිළිබඳ ආදි ම පුරාවිද්‍යාත්මක තොරතුරු ටාර්ක්වීනී ප්‍රදේශයේ ඇති ඔවුන්ගේ සොහොන් ගැබ්වල නටබුන්වලින් හෙළි වී තිබේ. ඇතැම් සොහොන් ගැබ්වලින් දොරවල් හා ජනෙල් ද සමහර මළ සිරුරු තැන්පත් කිරීමට යෙදූ පීඨ ද සොයාගෙන ඇත.

එට්‍රස්කන් ගෘහනිර්මාණ අනෙක් රටවල සමකාලීන ගෘහනිර්මාණවලට වඩා වෙනස් වේ. එට්‍රස්කන් දේවාලයන්ගෙන් මේ බව සනාථ කළ හැකිය. මේවා බොහෝ විට ලීයෙන් හෝ නොපිලිස්සූ ගඩොලින් ඉදි කොට තිබේ. සරල ම මෝස්තරය වූයේ ප්‍රතිමාව තැන්පත් කිරීමට යෙදූ චතුරස්‍ර ගර්භයකින් ද ස්තම්භ පන්ති දෙකකින් සමන්විත වූ ද්වාර මණ්ඩපයකින් ද යුක්ත වූ දේවාලයයි. මේ දේවාල හැම විට ම පිහිටා තිබුණේ කඳු ගැටයක් මතය. මෙය එට්‍රස්කන් ආගමට සම්බන්ධ වූ භාවිතයක් විය හැකිය.

එට්‍රස්කන්වරුන් පෙරදිග රටවල් සමඟ කිට්ටු වෙළඳ සම්බන්ධකම් ඇතිව සිටි හෙයින් ඔවුන්ගේ කලා ශිල්පයන්හි පවා පෙරදිග ආභාසය පැහැදිලිව විද්‍යමාන විය. මුල් කාලවල දී ආසියාතික හා මිසර කලා ශිල්පයන්ගේ බලපෑම එට්‍රස්කන් කලාවෙහි දක්නට ලැබුණු අතර පසු කාලයේ දී ග්‍රීක කලා ශිල්පයන්ගෙන් එය පරිපෝෂිත වූ බව පෙනේ. එහෙත් එට්‍රස්කන්වරු තම ස්වතන්ත්‍රතාව බොහෝ දුරට රැකගත්හ.

මූර්ති කලා මාධ්‍යය සම්බන්ධයෙන් ආරම්භයේ දී මොවුන් ඇසිරියානු හා ෆිනීසියානු ලෝහ කර්මාන්ත අනුකරණය කර තිබෙන බව පෙනේ. පසුව ඔව්හු ග්‍රීක නිර්මාණ ක්‍රමය අනුගමනය කළහ. එට්‍රස්කන්වරුන්ගේ මූර්ති නිර්මාණය පිළිබඳ කෞශල්‍යය වඩාත් ඉස්මතුව පෙනෙනුයේ ලෝහ කර්මාන්තයෙහිය. එට්‍රස්කන්වරුන්ගේ දැනට ශේෂව ඇති මූර්ති වශයෙන් සැලකෙන්නේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති ස්ත්‍රියකගේ ඌර්ධ්වකාය දැක්වෙන රූපය හා පුරාකථා දර්ශන කැටයම් කරන ලද අශ්ව රථ මූර්තියකි. මේ හැරුණු විට, ළමයකුගේ රූපයක් ද යුද්ධය පිළිබඳ දෙවියාගේ රූපයක් ද යුද සෙබළකුගේ රූපයක් ද පූජකයකුගේ හිසක මූර්තියක් ද මොවුන්ගේ වැදගත් නිර්මාණයන් අතර වේ. සමූහ රූප අතර ඇපොලෝ හා හෙරක්ලීස් අතර වූ සටනක දර්ශනයක් ඉතා චමත්කාර ලෙස කැටයම් කොට ඇත. එසේ ම ගල් ලෑලිවල කැටයම් කරන ලද ග්‍රීක දේවකථා දර්ශන, යුද්ධ උත්සව, ක්‍රීඩා ආදිය ද අගනේයි.

කාලවර්ණ මැටිබඳුන් විශේෂයක් ගැන මොව්හු ප්‍රසිද්ධියක් ඉසිලූහ. ඒ සෑදීම සඳහා අවශ්‍ය වූ කුඹල්සක වැනි යන්ත්‍ර භාවිතා කිරීමේ ප්‍රවීණත්වයත් කාර්මික ඥානයත් ඔවුනට තිබුණු බව ඒ මැටි බඳුන්වල ඇති විශිෂ්ට කලාත්මක ස්වරූපයෙන් පෙනීයයි. බොහෝ විට ග්‍රීක බඳුන්වල හැඩහුරුකම ඇතිව තනා ඇති මේ බඳුන් එට්‍රස්කන් සොහොන් ගැබ්හි බහුල වශයෙන් දක්නට ලැබේ.

ස්වර්ණාභරණ තැනීමේ ද මනා ප්‍රවීණත්වයක් එට්‍රස්කන්වරුන්ට තිබුණු බව එක් සොහොන් ගැබක තිබී සොයාගත් ස්ත්‍රී පලඳනා රාශියකින් හෙළිවෙයි. මනාව ඔප මට්ටම් කරන ලද මාල, වළලු, කොණ්ඩකටු ආදි ආභරණ රාශියක් ඒ අතර විය.

එට්‍රස්කන් කාසි තනා තිබුණේ ග්‍රීක කාසිවලට බෙහෙවින් ම අනුරූපවය. රන්, රිදී, තඹ ආදි ලෝහ වර්ග මේ සඳහා උපයෝගී කරගෙන තිබුණි. මේ කාසිවල නානා කැටයම් ද එට්‍රස්කන් නගරවල නම් ද කොටා ඇත.

එට්‍රස්කන් දේවාලයන්හි ඉතා ස්වල්ප වශයෙන් ඉතිරි වී ඇති චිත්‍ර හැරුණු විට ඔවුන්ගේ චිත්‍ර වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ටාර්ක්වීනී, වේයි ආදි ස්ථානයන්හි ඇති සොහොන් ගැබ්වලය. මේ චිත්‍රවලින් වැඩි වශයෙන් ම දැක්වෙන්නේ නර්තන, ක්‍රීඩා, දේව රූප, දඩයම් දර්ශන ආදියයි. හොඳම චිත්‍ර ඇත්තේ ෆ්රාන්චෙස්කා ජියුස්ටිනියානි (Francesca Giustiniani) හා ට්‍රික්ලිනියෝ (Triclinio) යන සොහොන්වලයි. මේ චිත්‍රවලට කහ, රතු, කොළ, ගුරු හා නිල් යන පාටවල් බෙහෙවින් ම උපයෝගීකොට ගෙන ඇත.

මොවුන් සංගීතය හා ක්‍රීඩා උසස් කොට සලකා ඇති බව පෙනේ. සංගීත භාණ්ඩ වශයෙන් එක්තරා ද්වන්ද්ව වේණු නළා විශේෂයක් ද පරිහරණය කළ අතර ක්‍රීඩා වශයෙන් රථ ධාවනයෙහි යෙදුණු බව පෙනේ.

ග්‍රීක හෝඩියෙන් උපුටාගත් අකුරින් ලියැවී ඇති එට්‍රස්කන් භාෂාව පහසුවෙන් කියැවිය හැකි වුව ද එම වදන් මාලාවේ වචන ස්වල්පයක හැර අර්ථ තව ම වටහාගෙන නැත. ඉන්දු-යුරෝපීය හා ඉන්දු-යුරෝපීය නොවූ භාෂාවන්ගේ ඇතැම් ලක්ෂණ මෙම භාෂාවේ ඇත්තා සේ පෙනෙතුදු එය කිසියම් පිළිගත් භාෂා පවුලක් යටතේ ලා ගිණිය නොහැකිය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එට්‍රස්කන්වරු&oldid=10989" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි