එඩ්වඩ් VI
සිංහල විශ්වකෝෂය වෙතින්
(1537–53). එංගලන්තයේ හා අයර්ලන්තයේ රජ පදවිය ඉසුලූ මෙතෙම හෙන්රි VIII රජුගේ එක ම පුත්‍රයාය. ඔහු සිංහාසනාරූඪ කරනු ලැබුයේ (1547 දී) වයස 10 දී බැවින් රාජ්‍යාධිකාරි භාරය මාමා වූ සීමෝර් (පසුව සොමර්සෙට් ඈපා) ද, ඉක්බිති ජෝන් ඩඩ්ලි (පසුව වොරික් සාමි හා නෝතම්බර්ලන්ඩ් ඈපා) ද වෙත පැවරිණ. එඩ්වඩ් VI රජුගේ සාවුරුදු රාජ්‍ය කාලය යට සඳහන් දෙදෙනා අතර එක ම පොරයක් විය. 1549 දී වොරික් සිය අනුගාමිකයන්ගේ ද සහාය ලැබ සොමර්සෙට් බලයෙන් පහ කෙළේය. 1552 දී ඔහු ජීවිතක්ෂයට පමුණුවන ලදි. ඉන්පසු වොරික් පාලන බලය මුළුමනින් ම වාගේ සිය අතට ගෙන ක්‍රියා කෙළේය. 1551 දී හෙතෙම නොතම්බර්ලන්ඩ්හි ඈපා බවට පත් කරනු ලැබීය.
එඩ්වඩ් රජ 1553 දී කාස රෝගයෙන් මිය ගියේය. රජු ඇවෑමෙන් සිංහාසනාරූඪ වූයේ ඔහුගේ පියා විසින් නම නියම කොට සිටි එඩ්වඩ්ගේ සොහොයුරියක වූ කතෝලික මේරි (ටියුඩර්) කුමරියයි.
එඩ්වඩ් VI රජුගේ කාලයේ දී ප්‍රොතැස්තන්ත සභාව එංගලන්තයේ ස්ථාවරව පිහිටුවනු ලැබීය. ලතින් භාෂාවෙන් දේවමෙහෙය පැවැත්වීම නවත්වා ඉංග්‍රීසි යාච්ඤා පොතක් භාවිතයට ගැනීම ද ඇරඹිණ.
(සංස්කරණය: 1974)
