එන්ර්යකුජි

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ජපානයේ තෙන්දයි නිකායට අයත් සුප්‍රසිද්ධ පැරණි බෞද්ධ විහාරයකි. ඕම් (වර්තමාන ෂිගා) පළාතෙහි ක්යෝතෝ නගරය අසල හියෙයි කන්දෙහි පිහිටි මෙය ක්‍රි.ව. 785 දී දෙන්ග්‍යෝ දයිෂි (සයිචෝ) නමැති සුප්‍රසිද්ධ බෞද්ධ ආචාර්යවරයකු විසින් ගොඩනංවන ලදි. එන්ර්යකුජි යුගයෙහි නිමවන ලද බැවින් මෙය එන්ර්යකුජි විහාරය නමින් හැඳින්විණ. සයිචෝ තමා විසින් ම නෙළන ලද භෛෂජ්‍යගුරු තථාගතයන්ගේ පිළිමයක් මෙම විහාර මන්දිරය තුළ තැන්පත් කෙළේය. එහි ප්‍රධාන ශාලාව ඒකයාන සමථ විපශ්‍යනා (විදර්ශනා) විහාරය (ඉච්ජෝ-ෂික්වන්-ඉන්) නමින් හැඳින්විණි.

ක්‍රමයෙන් දියුණුවට පත් මෙම විහාරයට රාජ්‍යානුග්‍රහය ද ලැබිණ. ක්‍රි.ව. 797 දී විහාරයේ ආරම්භකයා වූ සයිචෝ ආචාර්යවරයා රාජසභාවේ ප්‍රධාන අනුශාසක පදවියට පත් විය. මේ කරණ කොටගෙන ඕම් පළාතේ සියලු අයබදු මෙම විහාරය වෙත පිරිනමන ලදි. සයිචෝ චීනයේ සැරිසරා ආපසු පැමිණ අධිරාජයාගේ අණ පරිදි මෙහි තව තවත් විහාර මන්දිර තැනවීය. ඔහුගේ අභාවයෙන් පසු මහණ උපසම්පදාව පැවැත්වීමට ද මෙම විහාරයට රජයෙන් බලය ලැබිණි (මීට පෙර මහණ උපසම්පදාවන් පැවැත්වීමට රජයෙන් බලය ලබාගත යුතු විය).

වරින් වර හියෙයි කන්දේ තැනින් තැන ඉදි කරන ලද විහාර පන්සල්වලින් මුළු කඳු පෙදෙස ම පිරී ගියේය. නවවන සියවස අවසන් වීමට පෙර එන්ර්යකුජි විහාරය ජපානයේ ඇති විශිෂ්ට විහාරායතනයක් විය. ශකදෝ (ශාක්‍යමුනි විහාරය) ජොශින්-ඉන් විහාරය, ෂූරෝගන්-ඉන් මන්දිරය ආදි ප්‍රධාන ගොඩනැඟිලි සහිත සියලු විහාර මන්දිරයන් එක්ව ගෙන කු-ඉන් ජුරොකු-ඉන් (විහාර නවය හෝ සොළොස) සහ සන්තෝ ජුරොකුතනි (චෛත්‍ය තුන සහ නිම්න සොළොස) යන නම්වලින් හඳුන්වනු ලැබේ.

එන්ර්යකුජි විහාරය ජපන් බෞද්ධ ඉතිහාසයේ වැදගත් තැනක් උසුලයි. ජපානයේ හැම බෞද්ධ නිකායක් ම පාහේ ආරම්භ වූයේ මෙම විහාරායතනයෙනි. කමකුරා යුගයේ දී ජපානයේ පහළ වූ නිචිරෙන් ද ෂූ නිකායේ ආරම්භකයා වූ නිචිරෙන් ද ජෝදොෂූ (සුඛාවති) නිකායේ හෝනෙන් ද ජෝදොෂින් ෂූ නිකායේ ෂින්රන් ද මුලින් විසූයේ එන්ර්යකුජි විහාරයෙහිය. විවිධ ශාඛාවන්ගෙන් යුත් තෙන්දයි ෂූ නිකායේ මූලික ස්ථානය බවට පත් එන්ර්යකුජි විහාරය ඉතා ම දියුණු අඩියට පත් වූ කාලයේ දී ඊට අයත් ශාඛා විහාර තුන්දහසකට අධික වූ බව කියැවේ. මෙම විහාර පන්සල්වල විසූ භික්ෂූහු යුද්ධ භටයන් වශයෙන් ද සේවය කළහ. මොවුහු තම තමන්ගේ විහාරයන් අතර ඇති වූ අරගලවල දී පමණක් නොව රාජ්‍ය පාලකයන් සමඟ ද සටන් කළහ. මෙම අරගළ හේතුකොටගෙන ගෙන්කි යුගයෙහි (ක්‍රි.ව. 1571) ඔදා නොබුනගා නම් වූ පාලකයා විසින් එන්ර්යකුජි විහාරයට අයත් පන්සල් සියල්ලක් ම පාහේ පුලුස්සා දමන ලදි. මේ හේතුවෙන් විහාර ගොඩනැඟිලි සම්පූර්ණයෙන් ම විනාශයට පත් විය. එහෙත් පසුව රජ පැමිණි තොයොතොමි හිදෙයොෂී රජුගේ සහායෙන් සෙන්සා සහ සෙන්සුන් නමැති භික්ෂූන් විසින් පැරණි සැලැස්මවලට අනුකූලව සියලු ම ගොඩනැඟිලි නැවත නිමවන ලදි.

එන්ර්යකුජි විහාරය මෙකල ද ජපානයේ ඇති විශිෂ්ට සිද්ධස්ථාන අතුරෙන් එකකි. මෙකල පවතින ගොඩනැඟිලි අතර විහාරයට අයත් විශාල ම ගොඩනැඟිල්ල වන යකුෂිදෝ (භෛෂජ්‍යගුරු ශාලාව), දයිකෝදෝ (ධර්ම ශාලාව), ඉචිජෝ කයිදන්-ඉන් (භාවනා ශාලාව) සොරින්තෝ (අයෝමය චෛත්‍යය) ආදිය උසස් නිර්මාණයෝයි. විහාර තුළ මූර්ති කැටයම්, පැළලි චිත්‍ර, බිතු සිතුවම් ආදිය බෙහෙවින් දක්නා ලැබේ. එම කලාකෘති සියල්ලක් ම ජාතික කෞතුක වස්තු ලෙස ආරක්ෂා කරනු ලැබේ (ඔන්ජෝජි විහාරය ද බ.)

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එන්ර්යකුජි&oldid=11244" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි