එයිසයි
(1141-1215). ජපානයේ සෙන් බුදු සමයේ ආදි කර්තෘ ලෙස සැලැකෙන එයිසයි හෙවත් යෙයිසයි තෙරුන්වහන්සේ සුප්‍රකට බෞද්ධ ආචාර්ය්ය කෙනෙක් වූහ.
කුඩා අවදියේ දී ම තෙන්දයි නිකායේ භික්ෂු නමක් වශයෙන් පැවිදි බිමට ඇතුළත් වූ එයිසයිතුමා 1168 දී චීනයේ සංචාරයක යෙදුණේය. එවක චීනයෙහි පෘථුල ලෙස ව්‍යාප්ත වෙමින් පැවැති සෙන් දර්ශනය මගින් ජපානයෙහි බෞද්ධ පුනර්ජීවනයක් ඇති කළ හැකි වේ යයි කල්පනා කළ එතුමා තියෙන්-තුං ෂාන් ශෙන් මධ්‍යස්ථානයට ඇතුළත් වී සෙන් දර්ශනය හදාරා රින්සයි (චීන: ලින්-චි) සෙන් නිකායේ ආචාර්‍ය්‍යවරයකු වශයෙන් 1191 දී ආපසු ජපානයට සම්ප්‍රාප්ත වූයේය. එතුමන් විසින් ජපානයේ රින්සයි නිකායට අයත් ප්‍රථම සිද්ධස්ථානය වූ ෂෝෆුකුජි ආරාමය ක්යුෂු දිවයිනෙහි පිහිටුවන ලදි.
එයිසයි තෙරණුවන් තම ව්‍යක්ත දේශනා මගිනුත් ලියවිලි මගිනුත් තෙන්දයි ධර්මයට වඩා සෙන් ධර්මයේ උත්කෘෂ්ටභාවය ප්‍රකාශ කොට සෙන් ධ්‍යාන ක්‍රම විවරණ කරන්නට වූ කල්හි ක්යෝතෝ නුවර හා ඒ වටා වූ තාන්ත්‍රික බෞද්ධ මූලස්ථාන කෙරෙන් නොයෙක් එදිරිවාදුකම් එල්ල විය. එහෙත් මිනමොතෝ යොරිඉයේ ෂෝගුන්වරයාගේ නොමසුරු ආධාරය එයිසයි තෙරුන්ට ලැබිණි. සෙන් සම්ප්රදාය නඟා සිටුවීමට ඉතා උනන්දුවෙන් ඉදිරිපත් වූ මෙම ෂෝගුන්වරයා අභිනවයෙන් ඉදිකරන ලද කෙන්නින්ජි නම් ආරාමයේ අධිපති ධුරයට ද එයිසයි තෙරුන් තෝරා ගත්තේය. එයිසයි තෙරුන්ගේ බලපෑම මුලින් භික්ෂූන්ට හා රදල පන්තියට පමණක් සීමා වූ නමුදු පසුව, එවක ජපානයේ බෞද්ධ පිළිවෙත්හි වෙනසක් බලාපොරොත්තුවෙන් සිටි අනෙක් නායකයෝ ද එතුමාගේ අඩි පාරේ ගමන් කරන්නට වූහ.
පසුව එයිසයි තෙරණුවෝ ක්යෝතෝ පරිසරයෙන් ඈත්ව නව දේශපාලන මධ්‍යස්ථානය බවට පැමිණි කමාකුරා නගරයට ගොස් එහි සිය ධර්මය පතුරුවන්නට වූහ. එහි දී සෙන් ධර්මය වෙත සාමාන්‍ය ජනතාව ද විශේෂයෙන් රණදෙටු පන්තිය ද සැලකිලි දක්වන්නට වූහ. ෂෝගුන්වරුන්ගේ අනුග්‍රහයෙන් සෙන් ධර්මය ඉගැන්වීමේ අභිනව මධ්‍යස්ථානයක් පිහිටුවන ලදි. මේ හේතුකොටගෙන ජපානයේ රණදෙටුවනුත් සෙන් සම්ප්‍රදායත් අතර වූ සම්බන්ධතාව තවදුරටත් තහවුරු වූයේය.
සිය ජීවිතයේ අවසාන සමයේ දී යළිදු ක්යෝතෝහි සෙන් ධර්ම ප්‍රචාරයෙහි යෙදීමට ගිය එයිසයි තෙරුනට පාරම්පරික බෞද්ධ නිකායන් හා සමගි සම්මුතියකට බැසීමට සිදු විය. එවක දේශපාලන බලය මෙන් ම පිළිගෙන තිබුණු අනෙකුත් ප්‍රබල බෞද්ධ නිකායයන් ද හා සමගි සන්ධානයෙන් සෙන් සම්ප්රදාය ජපානයෙහි නීත්යනුගත බෞද්ධ සම්ප්රදායක් කරලීමට එයිසයි තෙරුන් දැරූ තැත අති විශාල විය.
එයිසයි තෙරුන්ගේ නම සෙන් ධර්ම ප්රචාරයේ පුරෝගාමියා වශයෙන් පමණක් නොව ජපානයෙහි තේ වගාවේ පුරෝගාමියා හැටියට ද විශේෂ තැනක් ගනී.
(සංස්කරණය: 1974)