එයොහිපුස්
(Eohippus). අවුරුදු කෝටි 5කට පමණ පෙර පහළ ඉයොසීන කාලයේ දී තරමක් දුරට අශ්වයකුට සමානකම් ඇතිව ජීවත් වූ සතෙකි. නූතන අශ්වයාගේ මීමුතු පරම්පරාවට අයත් ඉතා ම ආදි සතා එයොහිපුස් හැටියට සලකනු ලැබේ. බටහිර එක්සත් ජනපදයෙහි ද බටහිර යුරෝපයෙහි ද උගේ පොසිල හමු වී තිබේ. හයිරකොතේරියුම් (Hyracotherium) යන නාමයෙන් ද මේ සතා හැඳින්වේ. එය නිවැරදි විද්‍යාත්මක නාමය වුව ද එයොහිපුස් යන නාමය වඩා ජනප්‍රිය වී ඇත.
එයොහිපුස් විශාලත්වයෙන් ලොකු බල්ලකු පමණ විය. ඇතැම් විශේෂ ඊට වඩා කුඩා විය. උගේ ඇස් ලොකුය. ඒවා පිහිටා තිබුණේ හිස් කබලේ මැදය. උගේ දත් කුඩාය. ඒවායේ මෝස්තරය ද සරලය. හක්කේ දත්වල මස්තකය පහත්ය. ඒවායින් තද ආහාර ද්‍රව්‍ය ඇඹරීමට නුපුළුවන. ඌ තණකොළ උලා කෑ සතකු නොවූ බව මෙයින් වැටහේ. කොළ හා මෘදු ශාක අනුභව කරමින් කැළෑවල හා වගුරුවල ඌ ජීවත් වන්නට ඇතැයි සලකනු ලැබේ. පසු කාලයේ ජීවත් වුණු අශ්වයාගේ මොළයට වඩා උගේ මොළය කුඩා විය. ඉස්සරහ ගාතයේ ඇඟිලි 4ක් ද පස්සා ගාතයේ ඇඟිලි 3ක් ද විය. වැඩි වශයෙන් උගේ බර වැටුණේ බල්ලකුගේ මෙන් ඇඟිලි යට තිබෙන පැතළි කොට්ට උඩය. නූතන අශ්වයාගේ සම්පූර්ණ බර වැටෙන්නේ උගේ මැද කුරය මතය.
අශ්වයාගේ පෙළපත පිළිබඳ සාක්ෂ්‍ය අපට ලැබී ඇත. අශ්ව කුලයේ ආරම්භය ඇති වුණේ ඉතා සුළු වශයෙනි. පෙළපතේ පළමුවැන්නා වශයෙන් සලකනු ලබන කුඩා සතකු වූ එයොහිපුස්ගෙන් පටන් ගෙන නූතන අශ්වයා දක්වා ශ්‍රේණියක් වශයෙන් සතුන් කිහිප දෙනකුන් අපට පෙළ ගැස්සිය හැකිය. අශ්වයාගේ පරිණාමයේ දී උගේ උස ප්‍රමාණය වැඩිවීම, උගේ දත් වඩ වඩා සංකීර්ණ වීම හා මොළයේ ප්‍රමාණය වැඩි වීම වැනි විපර්යාසයන් ඇති වූ බව පෙනේ. ඇඟිලි සංඛ්‍යාව අඩු වීමෙන් ඌට ශීඝ්‍ර ලෙස දුවන්නට පුළුවන් විය.
ලැබී ඇති සාක්ෂි අනුව ජීවිත සටනේ දී එයොහිපුස්ට වැඩි ජයක් නොලැබුණ ද ලත් අවස්ථාවන්ගෙන් ඌ ප්‍රයෝජන ගත් බැවින් උගෙන් පැවතුණු සතුන්ට පරිණාමය අතින් උන්නතියක් ඇති විය. මිනිසාගේ ආධාරයත් ඇතිව අශ්වයා දැන් ලෝකයේ සෑම තැන ම වාගේ පැතිර ගොස් සිටී.
(සංස්කරණය: 1974)