එලිසබත්
ඇමෙරිකාවේ නිව් ජ’සි ජනපදයේ න්යුඅ’ක් නගරයට දකුණින්, ස්ටැටන් දූපතට අභිමුඛව පිහිටා ඇති නගරයකි. මෙය 1928 දී විවෘත කරන ලද ගෝතල්ස් පාලම මගින් ස්ටැටන් දූපත හා සම්බන්ධ වෙයි. නිව් යෝක් නගරයේ නේවාසික ප්‍රාන්තය වූ මේ නගරය ලින්කන් මහා මාර්ගයෙහි පිහිටා ඇත. දුම්රිය මාර්ග කීපයක් මෙහි වැටී ඇත. මෙහි සිංගර් (මහන) මැෂින් සාදන විශාල කර්මාන්ත ශාලාවක් ද තෙල් පිරිසිදු කිරීමේ මධ්‍යස්ථානයක් ද නැව් සහ මෝටර් රථ නිෂ්පාදනාගාර ද වෙයි. කාර්මික උපකරණ හා රසායන ද්‍රව්‍ය ද නිෂ්පාදනය කරනු ලැබේ.
1664 දී ඉංග්‍රීසීන් විසින් රතු ඉන්දියන්වරුන්ගෙන් මිල දී ගන්නා ලද මේ නගරය 1686 වන තුරු ම නිව් ජ’සි ජනපදයේ අගනුවර වී පැවැත්තේය. මෙය විප්ලව සමයේ දී වොෂිංටන්ගේ යුද කටයුතු පිළිබඳ වැදගත් ස්ථානයක් වූයේය. ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලය බවට පත් පාසල 1747 දී ආරම්භ කරන ලද්දේ මෙහි දීය. ජනගහනය (1960) 107,698කි.
(සංස්කරණය: 1974)