එවුපෝබියාසේ

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(එරඬු කුලය - Euphorbiaceae) ද්විබීජ පත්‍රික බහුදළ ශාක කුලයකි. ගණ 220ක් පමණ වූ විශේෂ 4,000ක් තරම් මේ විශාල ශාක කුලයෙහි අඩංගු වේ. මින් වැඩි කොටසක් වැවෙන්නේ නිවර්තන ප්‍රදේශවලය. ආක්ටික් හා ඇල්පයින් ප්‍රදේශවල හැර ලෝකයේ අනික් සෑම ප්‍රදේශවල ම වාගේ මේ කුලයට අයත් ශාක දක්නට ලැබේ. පුරාණ ලෝකයේ මේ ශාකයන්ගේ මධ්‍යස්ථානය ඉන්දු මලයා ප්‍රදේශයයි.

මේ කුලයට අයත් ශාකවල පුෂ්පමංජරී ඇත. පුෂ්පමංජරිය සාමාන්‍යයෙන් සංකීර්ණය. එය බහු අක්ෂ හෝ ඒකාක්ෂ හෝ විය හැකිය. එවුපෝබියාවල පුෂ්පමංජරිය නම් චෂකයයි (cyathium). පුෂ්ප ඒකලිංගිකය. ශාක ඒකගෘහී හෝ ද්විගෘහී හෝ වේ. පුෂ්ප බොහෝ විට බෙහෙවින් ක්ෂීණ වී ඇත. එවුපෝබියාවල පුමංගී පුෂ්පය තනි රේණුවකින් පමණක් යුක්ත වීම මීට නිදසුනකි. පුෂ්පයේ මණිය හා මුකුටය තිබෙන්නට පුළුවන. ඇතැම් ශාකවල මුකුටයක් නැත. ඇතැමෙක මණිය, මුකුටය දෙක ම නැත. පුෂ්ප සාමාන්‍යයෙන් පංචාංක වේ. පුමංගී පුෂ්පයේ රේණු සංඛ්‍යාව මණිපත්‍ර සංඛ්‍යාවට සමානය; නැතහොත් එමෙන් දෙගුණයකි. රේණු බොහොමයක් හෝ එකක් පමණක් තිබිය හැකිය. කුලයේ නියම ලක්ෂණ දක්නට ලැබෙන්නේ ජායාංගී පුෂ්පයෙහිය. එහි වඳ රේණු තිබෙන්නට හෝ නොතිබෙන්නට පුළුවන. ජායාංගය සාමාන්‍යයෙන් ත්‍රිඅණ්ඩපය. ද්විඅණ්ඩප වීමට වුව ද පුළුවන. ජායාංගය සමාණ්ඩපිකය. ඩිම්බකෝෂය උත්තරය; ත්‍රිකෝෂ්ඨිකය. එය ද්විකෝෂ්ඨික වීමට ද පුළුවන. එක් එක් කෝෂ්ඨයේ ඩිම්බ එකක් හෝ දෙකක් හෝ තිබේ. ඵලය විදාරයකි. නොයෙක් විට කොටස්වලට (එරණ්ඩිකාවලට) පුපුරමින් එය පැළේ. ඇතැම් විට ඵලය බදරියක් හෝ අෂ්ටිලයක් හෝ විය හැකිය. බීජය භ්‍රෑණපෝෂය සහිතය. මැද පිහිටි ලොකු කලලයක් ඇත.

මේ කුලයට අයත් ශාකවලින් බොහොමයක් ඒවායේ පරිසරයට සම්බන්ධ වූ අපූරු වර්ධක ලක්ෂණ පෙන්වයි (නි. එවුපෝබියා විශේෂ). එවුපෝබියා විශේෂ කිහිපයක් ශුෂ්ක ශාක වේ. මේවායේ බොහෝවිට කොළ නැත. සාමාන්‍යයෙන් කොළ කටු වශයෙන් විකරණය වී ඇත. කඳන්වල ක්ලොරොපිල් විකසනය වී ඒවායේ ප්‍රභාසංස්ලේෂණය සිදු කෙරේ [නි. එවු. ටිරුකල්ලි - E. tirucalli (නවහන්දි) හා එවු. අන්ටික්වෝරුම් E. antiquorum (දලුක්)]. ඖෂධීය ශාක කිහිපයක් ද මේ කුලයට අයත්ය. රිසිනුස් කොමුනිස්-Ricinus communis (එරඬු) මීට නිදසුනකි. අප්‍රිකාවේ ස්වදේශීය ශාකයක් වන එරඬු ගස දැන් ලෝකයේ සෑම තැන ම වාගේ ව්‍යාප්ත වී ඇත. ඖෂධ ශාකයක් වන බැවින් එය ඉන්දියාව වැනි නොයෙක් රටවල වවනු ලැබේ. ඇතැම් ප්‍රදේශවල වල් ගසක් ලෙස ද වැවේ. මේ කුලයට අයත් ශාක බොහොමයක ක්ෂීරධර සෛල හෝ වාහිනී හෝ තිබේ. විෂ ශාක කිහිපයක් ද වේ. දකුණු අප්‍රිකාවේ වැවෙන ටොක්සිකොඩෙන්ඩ්‍රොන් (Toxicodendron) ඉතා විෂ සහිත ශාකයකි. සපියුම් සෙබිපෙරුම් (Sapium sebiferum) ශාකයෙන් තෙල් හා මේද ලැබේ. මෙයට සාමාන්‍යයෙන් ‘ඉටිගස’ යයි කියනු ලැබේ.

ක්‍රෝටන් ටිග්ලියුම් - Croton tiglium (ජාපාල) ශාකයේ බීජවලින් ප්‍රබල විරේචකයක් වන ‘ක්‍රෝටන්’ තෙල් ලැබේ. පාරා රබර් ලැබෙන හෙවෙයා බ්‍රසිලියෙන්සිස් (Hevea braziliensis) ශාකය දැන් සෑම නිවර්තන ප්‍රදේශවල ම වාගේ වවනු ලැබේ. මනිහොට් ග්ලසිඕවී (Manihot glaziovii) විශේෂයෙන් සේඅරා (Ceará) රබර් වර්ගය ලැබේ. මනිහොට් උටිසිලිමා - M. utilissima (මඤ්ඤොක්කා) වටිනා ආහාර ශාකයකි. එහි ආකන්දි මුල්වල බොහෝ පිෂ්ට අඩංගු වේ. මනහර වෛවර්ණ කොළ තිබෙන කෝඩියෙයුම් චරියෙගාටුම් - Cordiaeum variegatum (නාගවල්ලි) ශාකය ද පිලන්තුස් (Phyllanthus), ජට්‍රෝපා (Jatropa) හා එවුපෝබියා විශේෂ ද අලංකාර ශාක වේ. මේවා බෙහෙවින් වවනු ලැබේ. ඇතැම් ක්‍රෝටන් හා එවුපෝබියා විශේෂවලින් දුම්මල වැනි කර්කශ ද්‍රව්‍යයක් ලැබේ. මේ කුලයට අයත් විශේෂ කිහිපයක පරිමජ්ජා (perimedullary) ප්ලෝයම තිබේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එවුපෝබියාසේ&oldid=11353" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි