එස්පිරිතු සාන්තු
(Espirito Santo). බ්‍රසීලයේ කුඩා ජනපදයකි. නැගෙනහිර වෙරළබඩ පිහිටි මෙහි ප්‍රමාණය ව.සැ. 16,543කි. 1940 දී ජනගහනය 758,535කි. මෙහි අගනුවර වූ විටෝරියා නගරය එස්පිරිතූ සාන්තු බොක්කෙහි පිහිටා තිබේ.
ජනපදයේ උතුරු හා දකුණු භාග සාරවත්ය. එහෙත් මධ්‍ය ප්‍රදේශය බොහෝ දුරට නිසරු යැයි කිව හැකිය. බටහිර ප්‍රාන්තය හරහා පහත් කඳු වැටී විහිදී ගොස් තිබේ. මුහුදුබඩ පිහිටි නැගෙනහිර භාගය තැනිතලා ප්‍රදේශයකි. මේ තැනිතලාවේ ඇතැම් ප්‍රදේශ වගුරුවලින් හා නිසරු වැලිබිම්වලින් යුක්ත වන අතර තැනින් තැන කුඩා කඳුවැටි පිහිටා ඇත්තේය. රට ඇතුළත නිම්න ප්‍රදේශ සාරවත්ය; ඝන වනයෙන් වැසී තිබේ. බ්‍රසීලයෙන් පිටරට යැවෙන දැව වර්ග වැඩි හරියක් ම ලැබෙන්නේ මේ කැළෑවලිනි.
මෙහි ප්‍රධාන ගංගා නම් මුවුරි, ඉතාවුනා, සවුං දොමින්ගෝ, දෝස, සවුං මතෙවුස්, තිම්බුයි, සැංතා මරීයා, ජුසු, බෙනවෙන්ටේ, ඉතාපේමිරිම් සහ ඉතාවාපොවානාත්ය. මේ ගංගාවෝ මත්ස්‍යයන්ගෙන් පිරී පවත්නා නමුත් ධීවර කර්මාන්තය අතින් එතරම් සැලකිය යුතු නොවෙත්. ජනපදයේ කඳු ප්‍රදේශ උෂ්ණත්වයෙන් අඩුය; සැපදායකය. උක්, කෝපි, වී, කපු, දුම්කොළ ආදිය හා උෂ්ණ කලාපීය පලතුරුත් මෙහි ප්‍රධාන වැවිලි ලෙස සැලකිය හැකිය. එහෙත් මෙය බ්‍රසීලයේ ජනපද අතරෙහි දුප්පත්, නොදියුණු ජනපදවලින් එකක් ලෙස සැලකිය හැකිය.
විටෝරියා නගරයට සැතැපුම් 715ක් පමණ නැගෙනහිරින් අත්ලන්තික් සාගරයේ පිහිටි, මේ ජනපදයට ම අයත් වූ, ජනාවාසයෙන් තොර ට්‍රිනිඩෑඩ් හා මාර්ටිම් වාස් නමින් යුත් දිවයින් දෙකක් ද ඇත.
(සංස්කරණය: 1974)