එස්පෙරාන්තෝ

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Esperanto). පෝලිෂ්-යුදෙව් ජාතික වාග් විද්‍යාඥයකු වූ ලුඩොවික් ලාසරස් සාමෙන්හොෆ් (1859-1917) විසින් 1887 දී නිර්මාණය කරන ලද කෘත්‍රිම ජගද්භාෂාවකි. ජාත්‍යන්තර භාවිතය සඳහා කෘත්‍රිමව සකස් කර ගෙන ඇති මෙම ගණයේ භාෂාවන් අතර වඩා ම ප්‍රචලිතව පවත්නේ මෙම එස්පෙරාන්තෝ භාෂාවයි.

ලතින් හෝඩිය පදනම් කොට සකස් කොට ගත් අක්ෂර මාලාවට අතිරේකව ගුරු උච්චාරණයකින් යුත් අක්ෂර හයක් ද එස්පරාන්තෝ හෝඩියෙහි වේ. හෝඩිය උච්චාරණානුසාරීය. බෙහෙවින් ම රෝමනික ප්‍රභවයක් ඇති ප්‍රකෘතීන්ගෙන් සැදි කුඩා වචන මාලාවෙහි ජර්මනික හා ස්ලාවික ශබ්ද හා නිෂ්පාදිත වචන ද වේ. එස්පෙරාන්තෝ වචන මාලාව සකස් කරගැනීමේ දී යුරෝපීය හැම බසකට ම පොදු ශබ්ද වැද්දගැනීමට වෙහෙස දරා ඇත.

මෙම කෘත්‍රිම භාෂාවෙහි වියරණය සරලය; ලෙහෙසියෙන් උගත හැකිය. ප්‍රකෘතීන් අගට ප්‍රත්‍යයන් එකතු කිරීමෙන් නාම විශේෂණාදිය සාදාගනු ලැබේ. නාමපද -0 (ඕ) ප්‍රත්‍යයාන්තය; විශේෂණ පද -a (ආ) ප්‍රත්‍යයාන්තය; ක්‍රියා විශේෂණ -e (ඒ) ප්‍රත්‍යයාන්තය. මෙසේ උෂ්ණාර්ථවත් varm (වාර්ම්) යන ප්‍රකෘතියෙන් සාදාගන්නා නාමපදය varmo (වාර්මෝ) ය; විශේෂණය varma (වාර්මා) ය; ක්‍රියා විශේෂණය varme (වාර්මේ) ය. -i (ය්) ප්‍රත්‍යය බහ්වර්ථවත්ය. −n (න්) කර්ම විභක්ති ප්‍රත්‍යයයි. කාරක විශේෂත්වයක් නොමැතිව ක්‍රියාවල කාල භේදය දැක්වේ. අතීත, වර්තමාන, අනාගත ප්‍රත්‍යයෝ පිළිවෙළින් -as (අස්) -is (ඉස්) -os (ඔස්) වෙත්.

නිපාත පද යෙදීමෙන් නව වචන සාදා ගැනීමේ මූලධර්මය මෙම කෘත්‍රිම භාෂාවේ සරල, සුගම, සුකරභාවය දියුණු කරයි. mal (මාල්) යන විරුද්ධාර්ථවත් නිපාත පදය sana (සානා = සුවය) හා යෙදීමෙන් malsana (මාල්සානා) ‘රෝගය’ යන්න සෑදේ; granda (ග්‍රාන්දා = ලොකු) යන පදය සමග යෙදීමෙන් malgranda (මාල්ග්‍රාන්දා) ‘කුඩා’ යන්න තැනේ. -ino (ඉනෝ) ස්ත්‍රීවාචීය; patro (පාට්‍රෝ) ‘පියා’ යන අර්ථවත්ය. එහෙයින් patrino (පාට්‍රිනෝ) යනු මවය. එස්පෙරාන්තෝ බසෙහි මෙබඳු බහුලව යෙදෙන නිපාත හතලිහක් වේ. පන්සියයක් පමණ වූ මූල ප්‍රකෘති හා මෙම නිපාත යෙදීමෙන් 5,000ක් පමණ වචන නිපදවාගත හැකිව ඇත.

ලොව සෑම දියුණු රටක ම වාගේ මෙම භාෂාව ව්‍යවහාර කරන්නෝ සිටිති. වාණිජ කටයුතු හා සංචාරක සේවා සම්බන්ධයෙන් ද මෙය උපයෝගී කරගනු ලැබේ. මෙම භාෂාවෙන් කැරුණු නිත්‍ය වැඩ සටහන් ගුවන් විදුලි මධ්‍යස්ථාන විසි ගණනකින් විසුරුවා හරිනු ලැබේ. එස්පෙරාන්තෝ සමාජ මගින් නිත්‍ය වශයෙන් නිකුත් කැරෙන සඟරා සංඛ්‍යාව සියයකට අධිකය. බ්‍රිතාන්‍ය එස්පෙරාන්තෝ සමිතියේ පුස්තකාලයෙහි ලියාපදිංචි කොට ඇති එස්පෙරාන්තෝ ප්‍රකාශන සංඛ්‍යාව 30,000කි. එස්පෙරාන්තො සාහිත්‍යය නවකථා, කාව්‍ය, පද්‍ය ග්‍රන්ථ, පරිවර්තන, එස්පෙරාන්තෝ පාඨ ග්‍රන්ථ, සඟරා ආදියෙන් සමන්විතය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එස්පෙරාන්තෝ&oldid=11368" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි