එළවළු හා එළවළු වැවීම

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ශාකයක ආහාර කොටගත හැකි කොටස එළවළු වශයෙන් හැඳින්විය හැකිය. එළවළු අමුවෙන් ම හෝ පිස හෝ වෙනත් ක්‍රමයකින් සූදානම් කොට හෝ ආහාර කරගනු ලැබේ. ආහාර කොටගත හැකි ශාක කොටස එහි මුල හෝ අලය, බල්බය, දළුව හෝ කොළය (පලා), දණ්ඩ, බීජය, ගෙඩිය හෝ කරල, මල හෝ කැකුළ හා බඩය විය හැකිය. ශාකය සහමුලින් ම හෝ විය හැකිය.

බතල, අර්තාපල්, රාබු, බීට්, කැරට්, ටර්නිප් ආදිය මුල් හෙවත් අලය. ලූනු වර්ග බල්බ එළවළුය. කොහිල දළු, ගොටුකොළ, නිවිති, ගෝවා, කතුරුමුරුංගා ආදිය පලා එළවළු ගණයට වැටේ. ඇස්පැරගස් හෙවත් රට හාතාවාරිය දඬු කන එළවළුවකි. මුං, මෑ, පරිප්පු ආදිය ඇට එළවළුවලටත් බන්ඩක්කා, වැටකොළු, පතෝල වට්ටක්කා, තක්කාලි, මුරුංගා හා අළුකෙසෙල් ඵල එළවළුවලටත් නිදසුන්ය. එළවළු ගෙඩිවර්ගත් පලතුරුත් බොහෝ විට එකිනෙකින් වෙන් කොට ගත නොහැකිය.

අමු පැපොල්, අමු අඹ, අමු අළුකෙසෙල් හා අමු කොස් එළවළු වශයෙන් පාවිච්චි කරනු ලබන අතර ඒවා ඉදුණු විට පලතුරු වශයෙන් ගැනේ. ඇතැම්විට තක්කාලි ගෙඩිය ද පලතුරක් වශයෙන් ගැනේ. මල්ගෝවා, කතුරුමුරුංගා මල්, කෙසෙල්මුහ යනාදිය මල් (කැකුළු) එළවළුය. කෙසෙල්බඩ, පොල්බඩ ආදිය ආහාරයට ගනු ලබන බඩ එළවළුය. රාබු, බීට්, ලූනු ආදිය සහමුලින් ම ආහාර කරගත හැකි ශාකය.

ශාක කොටස් ආහාර කරගැනීමට මිනිසා පටන් ගන්නට ඇත්තේ දඩයම් යුගයේ දී ම බව පෙනේ. පීකිං අසල ජෝකෝත්‍යෙන් (Choukoutien) ගුහාවලින් ප්ලයිස්ටොසීන අවධියට අයත් පාෂාණීභූත වස්තු රැසක් සොයාගනු ලැබ ඇත. මේ ගුහාවල විසූ සේ පුරාවිද්‍යාඥයන් නිගමනය කරන පිතකැන්ත්‍රෝපුස් මිනිසා ආදි දඩයම් යුගයේ මානවයකු වුව ද ගුහා අසල තිබී සොයාගනු ලැබූ හැක්බෙරි (hackberry) නම් ඵලවර්ගයේ අවශිෂ්ට අනුව ඔහු එම ඵල වර්ගය ආහාර කොටගත් බව ද පිරිමින් දඩයමෙහි යෙදුණු අතර ස්ත්‍රීන් හා ළමයින් වනයේ ගෙඩි සොයා එකතු කොට ගත් බව ද පුරාවිද්‍යාඥයෝ සිතති. යුරෝපයේ පේලියොලිතික (පුරාශිලා) මිනිසා ‘හේසල්නට්’ කෑ බවට සාක්ෂි ලැබී ඇති අතර ඒ මහාද්වීපයේ ම මෙසොලිතික (මධ්‍යශිලා) මිනිසා වොල්නට්, වල්පේර හා දියමානෙල් ඇට කෑ බවත් ඉන් අනතුරුව දඩයම් යුගයේ අවසාන සමයේ කැළේට වැවුණු හෝ අර්ධ වශයෙන් වගා කරන ලද තෘණ වර්ගවල හා වෙනත් ශාකවල ඇට ආහාර කර ගැනීම වැඩි වූ බවත් පුරාවිද්‍යාඥයෝ ඔවුනට ලැබී ඇති සාක්ෂි අනුව අදහස් කරති. පලස්තීනයේ නැටූපියන්වරු මෙකී ශාක ඇඹරීමට ඇඹරුම් ගල් සාදාගෙන සිටි බව පුරාවිද්‍යාඥයන් සොයා ගෙන ඇති අවශිෂ්ටවලින් පෙනී යයි. ආදි මිනිසා ගොවිතැනට බට කෘෂි යුගයේ දී ආහාර වශයෙන් ගත හැකි අල, මුල්, ගෙඩි ආදිය හැදෙන ශාකයන් දැන හැඳින ක්‍රමයෙන් වවා ගන්නට වූ බව සිතාගැනීම දුෂ්කර නැත. මුල් අවස්ථාවේ දී වල් පැළෑටි වශයෙන් පැවති මුල් මව් ශාකවලින් ප්‍රචාරණය වී ගිය බොහෝ එළවළු ශාක අද මුල් මව් ශාකය කවරේ දැයි අඳුනාගත නොහැකි තරමට වෙනස්ව ගොස් ඇත.

ආහාර අගය

එළවළු ඒවායේ අන්තර්ගත ලෝහ හා විටමින් සී (ඇස්කෝබික් අම්ලය) අතින් සරුසාරය. කොළ එළවළුවලත් කහපාට එළවළුවලත් විටමින් ඒ බහුලය. නියැසින්, තයමින් හා රයිබොෆ්ලේවින් වැනි සංකීර්ණ විටමින් බී බොහෝ එළවළු වර්ගවල ඇත. රුබාබ් හා නිවිති වැනි එළවළුවල ඇති යකඩ හා කැල්සියම් ඒවායේ තිබෙන ඔක්සලික් අම්ලය නිසා ලබාගත හැක්කේ මඳ වශයෙනි. සාමාන්‍ය එළවළුවලින් ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් හා කාබොහයිඩ්‍රේට ලබාගත නොහැකිය. එහෙත් පරිප්පු, ලීම, බෝංචි, මුං යන මේවායේ ප්‍රෝටීන් ද ඒවායේ හා බතල, අර්තාපල් යන අලවර්ගවල කාබෝහයිඩ්‍රේට් ද අඩංගුය.

පමණට වඩා පිසීමෙන් එළවළුවල පෝෂ්‍යදායක පදාර්ථ විනාශ වී යයි. අමුවෙන් සලාද වශයෙන් හෝ මඳ වශයෙන් තම්බා හෝ තැම්බුම් හොදි (සුප්) සාදා හෝ එළවළු ආහාර කොටගැනීමෙන් ඒවායේ අඩංගු විටමින් වර්ග, ලවණ වර්ග, ඛනිජ ආදිය සුරක්ෂිතව අපට ලබාගත හැකියි.

එළවළු වගාව

එළවළු සැපයෙන ශාක වගාව සම්බන්ධයෙන් උෂ්ණත්වය බෙහෙවින් බලපාන සාධකයක් බැවින් එය පදනම් කොට කරන ලද වර්ගීකරණයක් වේ. ශීත ඍතු බෝග හා උෂ්ණ ඍතු බෝග යනු එම වර්ගීකරණය අනුව බෙදා ඇති ප්‍රභේද දෙකයි. පැ. 55°-70° දක්වා උෂ්ණත්වයේ ස්වාභාවික තත්වයන් යටතේ හොඳින් වැඩෙන ශීත සෘතු බෝගවලට ගෝවා, මල්ගෝවා, කැරට්, බීට්, සලාද, ටර්නිප්, ඇස්පැරගස් යනාදිය ඇතුළත්ය. උෂ්ණ ඍතු බෝග නම් ස්වාභාවිකව පැ. 65°-80° උෂ්ණත්වයෙහි මැනවින් වැඩෙන මෑ වර්ග, ලබු, පුහුල්, වට්ටක්කා, කොමඩු, බතල, පතෝල, වැටකොළු, පිපිඤ්ඤ, බටු, මිරිස් ආදියයි. කිසියම් බෝගයක් ඊට අවශ්‍ය උෂ්ණත්වය නොමැති ප්‍රදේශයක උණුසුම් වීදුරු ගෙවල් තුළ එම උෂ්ණත්වය ලබා දෙමින් විශාල වශයෙන් වගා කිරීම දියුණු රටවල අද සුලබව දක්නට ලැබෙන්නකි. ලංකාව සම්බන්ධයෙන් සලකන කල මෙහි දැක්වුණු ශීත ඍතු බෝග ස්වාභාවික තත්ව යටතේ උඩරට ද උෂ්ණ ඍතු බෝග පහතරට හා වියළි කලාපයේ ද වැවේ.

ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මෙරට වැඩෙන එළවළු රනිල (legumes), කොළ (පලා), සොලනේසි (Solanaceae) හෙවත් බටු මිරිස්, ක්‍යුකර්බිට් හෙවත් පිපිඤ්ඤ හා වෙනත් වර්ග වශයෙන් බෙදා දක්වා ඇත. රනිල හෙවත් ලෙගුම් ප්‍රභේදයට මෑ, මුං, බෝංචි, පරිප්පු ආදිය ද කොළ එළවළුවලට නිවිති, කංකුං, සලාද, ලීක්ස්, ගෝවා ආදිය ද සොලනේසී (බටු මිරිස්) ප්‍රභේදයට වම්බටු, මිරිස්, කැප්සිකම් (මාළු මිරිස්) ආදිය ද ක්‍යුකර්බිට් (පිපිඤ්ඤ) ප්‍රභේදයට පිපිඤ්ඤ, පතෝල, කරවිල, වැටකොළු ආදිය ද ඇතුළත් වේ. කැරට්, බීට්, තක්කාලි, ඛණ්ඩක්කා, රාබු ආදිය වෙනත් එළවළු වශයෙන් සැලකේ.

එළවළු වගාවේ දී පස සකස් කිරීම, පොහොර යෙදීම, ජල සම්පාදනය, බීජ සපයා ගැනීම, පළිබෝධකයන් හා රෝග මර්දනය යන මේවා ගැන ගොවියාගේ මූලික අවධානය යොමු විය යුතුය.

පස සකස් කිරීම

සාමාන්‍යයෙන් වැලි හා මැටි සමව අඩංගු පස එළවළු වගාවට ඉතාමත් හිතකර බැවින් මැටි අධික බර පස් සහිත පෙදෙස්වල පස, කුඩු කළ හුනුගල් වැනි දෑ මිශ්‍ර කොට පදම් කර ගැනීම මූලික අවශ්‍යතාවකි. වාතාශ්‍රය ඇති වන ලෙසත්, උෂ්ණය හා තෙතමන රැඳෙන ලෙසත්, පස සකස් විය යුතු අතර එය බුරුල්ව තිබීම ද අවශ්‍යය. මේ නිසා අඟල් 12ක් පමණ ගැඹුරට බිම දෙවරක් කොටා පෙරළීම, මතුපිට අඟල් 6ක් පමණ ගැඹුරට පසෙහි කැට කුඩු කිරීම, එපමණ ම ගැඹුරට කිසියම් ඓන්ද්‍රීය පොහොරක් මිශ්‍ර කිරීම හා ඊට ප්‍රථම, පසෙහි ජීවත් වන, වගාවට හානිකර කෘමීන් හා විෂබීජාදිය විනාශ වන පරිදි පිලිස්සීම හා කෘමිනාශක යෙදීම ද අවශ්‍ය වේ. පස් පිරවූ වළවල හෝ වැටිවල හෝ වගා කරන බෝග හැරුණු විට සෙසු බෝග සඳහා අඟල් 6-9 දක්වා උසට පාත්ති සකස් කිරීම වැඩදායකය. පාත්ති අඩි 3-4ක් පමණ පළල් වීම ප්‍රයෝජනවත්ය. පාත්ති අතර අඩියක් පමණ පළල කානු දමා තිබීමෙන් වතුර රැඳීම වැළැකෙයි.

පොහොර යෙදීම

ගොම පොහොර, කොම්පෝස්ට් පොහොර, කුකුළු පොහොර, රසායනික පොහොර ආදිය එළවළු වගාවේ දී භාවිතා කෙරේ. සාමාන්‍යයෙන් හොඳින් දිරා ගිය ගොම පොහොර රා. 9-10 ප්‍රමාණයක්, එනම් කූඩා බාගයක් හෝ තනිකර කුකුළු පොහොර රා. 1-2 ප්‍රමාණයක්, දිරාගිය කොම්පෝස්ට් සමඟ නම් රා. 6ක්, හතරැස් යාරයකට යොදා පස සාරවත් කරගත හැකිය. ස්වාභාවික පොහොරවල පොස්පරස් හා පොටෑසියම් ඌන බැවින් ද කොළ එළවළුවලත් අල එළවළුවලත් අවශ්‍යතාවන් සපුරාලීම සඳහා ද රසායනික පොහොර හා ස්වාභාවික පොහොර දෙවර්ගය ම යෙදීම වඩාත් මැනවි. වත්මන්හි පූර්ණ රසායනික පොහොර මිශ්‍රණ පහසුවෙන් ලබාගත හැකි හෙයින් විවිධ රසායනික පොහොරවල වෙළෙඳ නම් හා ඒවා මිශ්‍ර කළ යුතු හා යෙදිය යුතු ක්‍රම දැනගැනීම සාර්ථකව එළවළු වගාව කරගෙන යාමට උපස්තම්භකය.

ජල සම්පාදනය

ගෝවා හෝ නිවිති වැනි එළවළුවල අන්තර්ගත ජල ප්‍රමාණය 80% සිට 95% දක්වා විය හැකියි. අනිකුත් බොහෝ කොළ එළවළුවල ද සාමාන්‍යයෙන් 75%ක් තරම් වතුර අඩංගුය. පොදු වශයෙන් සලකන කල එළවළුවල ඉතා වැඩියෙන් අඩංගුව ඇත්තේ ජලයයි. මේ නිසා එළවළු වැවීමේ දී කොයි තරම් ප්‍රමාණයක් ජලය සැපයිය යුතු ද යන්න තේරුම් ගැනීම අමාරු නැත. විශේෂයෙන් ම, කවර එළවළුවක වුව ද ශේෂ වන්නේ එය හැදී වැඩි මේරීමට පසෙන් උරා ගන්නා ජලයෙන් ඉතා සුළු ප්‍රමාණයක් බව වටහා ගත හොත් එළවළු වගාවට කොතරම් විශාල දිය ප්‍රමාණයක් අවශ්‍ය ද යනු සිතා ගැනීම ඉතා ම පහසුය. එහෙත් පැළ අවට වතුර රැඳී සිටීම ඉක්මනින් දිය බැස ගොස් පස වේළීයාම මෙන් ම පැළයට හානිකරය. වර්ෂා සෘතුව එළවළු වගාවට හිතකර නොවන්නේ එහෙයිනි. මේ නිසා සත්ව හා වෘක්ෂ ද්‍රව්‍යවලින් සකස් කරගත් පොහොර යොදා වාතාශ්‍රය, උෂ්ණය හා තෙතමන රැකෙන පරිදි පස සකස් කර ගැනීම හා කානු යොදාගැනීම දිය සැපයීම අතින් ඉතා වැදගත්ය. සාමාන්‍යයෙන් වැසි නැති සමයේ දී දිනකට වරකුත් තද ඉඩෝර සමයේ දී, විශේෂයෙන් ඇතැම් බෝග සම්බන්ධයෙන්, දෙවරකුත් දිය සැපයීම අවශ්‍යය.

බීජ

එළවළු වගාවේ දී විශ්වාසදායක මාර්ගයකින් හෝ තම කොරටුවේ ඇති හොඳ ම පැළෑටිවලින් හෝ බීජ ලබාගැනීම ඉතා වැදගත්ය. රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙරට වැවෙන දේශීය හා විදේශීය එළවළු බීජ බෙදා හරින බැවින් එමගින් අවශ්‍ය බීජ සපයාගැනීම හොඳ ඇට ලබාගැනීමේ නොවරදින මාර්ගයකි.

හොඳ බීජ සපයා ගැනීම මෙන් ම තවානෙන් ශක්තිමත් වූ ද සනීපදායකව වැඩුණා වූ ද පැළෑටි පමණක් තෝරාගෙන සිටුවීම ද සාර්ථක ප්‍රතිඵල බලාපොරොත්තු වන ගොවියා සිතට ගත යුතු කරුණකි. සාමාන්‍යයෙන් තවානක් අවශ්‍ය වන්නේ බටු, මිරිස්, කැරට්, බීට්, තක්කාලි යන මේවායේ ඇට වැනි ඉතා කුඩා බීජ සඳහාය. මෑ, බෝංචි, පතෝල, කරවිල, වැටකොළු ආදියේ බීජ කෙළින් ම සිටවිය හැකිය.

තවානක් පිළියෙල කර ගැනීමේදී ගෙවතු වගා කරන්නන්ට ඒ සඳහා ලෑලි පෙට්ටි තවානක් සකස් කරගත හැකිය. වතුර බැස යාම සඳහා පෙට්ටියේ අඩියෙහි සිදුරු තැබිය යුතු අතර පෙට්ටියට පස් පිරවීමට පෙර පතුලෙහි කුඩා ගඩොල් කැට, කැබලිති කටු ආදිය ද ඒ මත වියළි කොළ තට්ටුවක් ද අතුරා අනතුරුව ලෝම් පස් කොටස් 2, කුඩු කළ ගොම හෝ කොම්පෝස්ට් කොටස් 1 හා වැලි කොටස් 1 යන අනුපාතයට මිශ්‍ර කොටගත් පස්වලින් පෙට්ටිය පිරවිය යුතුය. විශාල වශයෙන් එළවළු වචන අය ආවරණය කළ බිම් කොටසක තවාන සකස් කරගනිති. ළපටි පැළ පොළෝ මට්ටමෙන් ඉහළට එන තෙක් දැඩි අව්ව නොවැටෙන සේ ඒවාට සෙවණ සපයා දිය යුතු වන අතර පැළ ඇදුණු පසු සෙවණ ඉවත්කොට ස්වාභාවික ලෙස හැඩ ගැසීමට ඉඩ දෙනු ලැබේ. නැතහොත් දිලීර රෝගයනට පාත්‍ර විය හැකියි. තවානේ පස නිතර බුරුල්වත් තෙතමන සහිතවත් තිබිය යුතුයි. අඟල් 6-8ක් උස් වූ විට හෝ සති 4-6ක කාලයක් ගෙවුණු පසු බීජ පැළ සිටවීමට යෝග්‍යය.

පලිබෝධක හා රෝග මර්දනය

එළවළු වගාවට අත්‍යන්තයෙන් හානිකර පලිබෝධක රැසකි. විවිධ දළඹු වර්ග, විවිධ මැසි වර්ග, පණු වර්ග, කුඩිත්තන්, මකුණන් හා කුරුමිණියෝ ද ගොළුබෙල්ලන් හා දිමියෝ ද මෙබන්දෝය. ඩී.ඩී.ටී. අවුන්සයක් වතුර ගැලුමක මිශ්‍ර කොට සාදාගන්නා 25%ක් සැර ඩී.ඩී.ටී. තෛලෝදය ක්‍රමානුකූලව ඉසීමෙන් සියලු ම දළඹුවන් විනාශ කළ හැකිය. බෝගය වැඩෙන සම්පූර්ණ කාලය තුළ සතිපතා බෙහෙත් විදීමත් කොළයෙහි උඩු යටි දෙපැත්ත ම හොඳ හැටි තෙමෙන පරිදි කෘමිනාශකය විදීමත් අත්‍යවශ්‍යය. ගෝවා දළඹුවන් 20%ක් සැර එන්ඩ්රීන් විදීමෙන් විනාශ කළ හැකිය.

බෝංචි මැස්සා වැනි මැස්සන් ද පතෝල, කරවිල, තියඹරා වැනි එළවළුවලට හානිකර පණුවන් ද වැනසීම සඳහා 25%ක් සැර ඩී.ඩී.ටී. තෛලෝදය ඉසීම මැනවි. මේ හැර සුමිතියොන්, ඇන්තියෝ, ෆොලිතියොන් මෙටාසිස්ටොට්, රෝගෝ වැනි කෘමි නාශක අතුරෙන් ඒ ඒ කෘමි උවදුරු සඳහා විශේෂයෙන් නිර්දේශ කරන ලද කෘමිනාශක තෛලෝදයන් උපයෝගී කොටගැනීමෙන් සතුටුදායක ප්‍රතිඵල ලැබිය හැකියි.

එළවළු පැළෑටිවල ළපටි කොළ කෑමෙන් හා යුෂ උරා බීමෙන් වගාවට හානි කරන කුඩිත්තන් හා මකුණන් ද කෘමි නාශක තෛලෝද මගින් විනාශ කරගත හැකි හෙයින් උපදේශක නිර්දේශ අනුව එසේ කිරීම මැනවි. පතෝල, කරවිල, වැටකොළු වැනි බෝගවලට හානිකර කුරුමිණි විශේෂය පැළෑටියේ මුල ලන බිජු 1%ක් සැර එන්ඩ්රීන් කුඩු පැළ මුල ඉස අඟලක් පමණ පස තුළට ගැන්වීමෙන් විනාශ කළ හැකිය. ගැමැක්සින් කුඩු දිමි උවදුර දුරු කිරීමට ප්‍රයෝජනවත් වන අතර 20%ක් සැර එන්ඩ්රීන් තෛලෝදය පසට ඉසීමෙන් පැළෑටිවල මුල්වලට හානි කරන තවත් දිමි වර්ගයක් මර්දනය කරගත හැකිය. ගොළුබෙල්ලන් මැඩීම එතරම් දුෂ්කර නැත.

දිලීර රෝග මර්දනය

බීජ සිටුවීමෙන් පසු පැළවීමට ගත වන කාලය තුළ පසෙහි පොදුවේ දක්නට ලැබෙන දිලීර වර්ග කීපයකින් ඇති වන හානිය නිසා පැළවෙමින් පවතින බීජ කුණු වීමේ දිලීර රෝගයට භාජන වේ. පොළෝ මට්ටමින් ඉහළට නැඟුණු පසු ළපටි පැළ මුදුන් කඩා වැටීමත් මේ දිලීර රෝගයේ ම ලක්ෂණයකි.

තවාන වශයෙන් කිහිප විටක් පාවිච්චි කරන ලද පොළොවෙහි මේ රෝගය ඇති කරන දිලීරය දක්නට ලැබෙන හෙයින් තවානක් වශයෙන් වරක් පාවිච්චි කිරීමෙන් පසු එහි පාත්තියක් සකස් කරන අනතුරු සෑම වාරයක දී ම අලුත් පස් යෙදීම යෝග්‍යය. පාත්තිය මතුපිට කොළ රොඩු දමා පිලිස්සීමෙන් විෂබීජාදිය සුළු වශයෙන් හෝ විනාශ වී යයි. ෆෝමලින්, එතිල් මර්කරි ඇසිටේට් වැනි විෂබීජ නාශක පසෙහි විෂබීජ නැසීමට ඉතා ම සාර්ථක ලෙස යොදා ගත හැකි නමුත් මිල අධික හෙයින් සාමාන්‍ය ගොවියාට ඒවා උපයෝගී කොට ගත නොහැකිය. බීජවලට යොදන සෙරසාන් කුඩු වැනි බෙහෙත් භාවිතය දිලීර මර්දනයට ප්‍රශස්තය. බීජ නිෂ්පාදකයන්ගේ උවදෙස් පරිදි අවශ්‍ය බෙහෙත් කුඩු ප්‍රමාණය ද බීජ ද බෝතලයකට දමා වසා බීජ වටා ආරක්ෂක බෙහෙත් තට්ටුවක් බැඳෙන පරිදි විනාඩි දෙක තුනක් සොලවා අනතුරුව එම බීජ තවානෙහි වැපිරිය යුතුයි.

යම් පැළෑටියක් පස තුළින් මතු වූ පසු දිලීර රෝග ලක්ෂණ දුටුව හොත් වහා ම තඹ මිශ්‍ර දිලිරනාශක බෙහෙත් දියරක් ඉසිය යුතුයි. කැප්ටන් අවුන්සයක් වතුර ගැලුම් 4ක හෝ පෙරනොක්ස් අවුන්සයක් වතුර ගැලුම් 21/2ක හෝ දිය කොට තවානෙහි වර්ග යාරයකට බෙහෙත් වතුර ගැලුම් ½-1ක ප්‍රමාණයක් වැටෙන සේ ඉසීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබේ. ඇතැම් විට කීපවරක් බෙහෙත් දියර ඉසීමට ද සිදු විය හැකියි.

කොළ කොඩවීමේ රෝගය

රෝග හා පලිබෝධක උවදුරු නිසා මිරිස්, බටු, තක්කාලි වැනි එළවළු ශාකවල කොළ කොඩ වී වැඩීම බාල වීමෙන් පලදාව අඩුව යයි. කොළ කොඩවීමේ රෝගය මර්දනය කිරීමට සති දෙකෙන් දෙකට කෘමිනාශක දියර ඉසීම අවශ්‍යය. ෆෙනික්‍රෝතියන් 50% සාන්ද්‍ර තෛලෝදය හා ගෙන්දගම් වතුරට මිශ්‍ර කොට සාදාගන්නා මිශ්‍රණය මේ සඳහා ප්‍රශස්තය. මිශ්‍රණය සාදාගැනීම හා බෙහෙත් විදීම පිළිබඳ උවදෙස් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකියි.

නව නිෂ්පාදන හා විද්‍යානුකූල දැනුම

මේ මගින් එළවළු නිෂ්පාදනය හා පරිභෝජනය ආදි අංශ සම්බන්ධයෙන් විශාල පරිවර්තනයක් ඇති කොට තිබේ. බිම් පෙරළීම හා සකස් කිරීම, වගාව, ජලසම්පාදනය, කෘමි, විෂබීජ, රෝග හා වසංගත මර්දනය, අස්වැන්න නෙළා රැස්කොට ගැනීම හා ඇහිරීම, එළවළු කල් තබාගැනීම, ප්‍රවාහණය, රසායනික පොහොර නිෂ්පාදනය ආදි සැම අංශයක් ම යාන්ත්‍රික ක්‍රම මගින් විශාල වශයෙනුත් ප්‍රතිඵල අතින් ඉතා සාර්ථක ලෙසිනුත් කළ හැකිව ඇත. මේ නිසා ලෝක එළවළු නිෂ්පාදනයත් පරිභෝජනයත් පෙරට වඩා කිහිපගුණයකින් වැඩි වී ඇත. ඈත ප්‍රදේශවලින් කාර්මික නගරවලට විශාල වශයෙන් එළවළු ප්‍රවාහණය කරනු ලබන අතර ශීතාගාර පහසුකම් හා කල්තබාගැනීමේ වෙනත් ක්‍රම ඒ සඳහා ඉවහල්ව පවතී. ලංකාවේ එළවළු වැවීමේ දී මේ දක්වා ආදි කල්පික ක්‍රම වැඩි වශයෙන් භාවිත වෙතත් අංශ කීපයක ම නව නිෂ්පාදනවල බලපෑම දැනෙන්නට වී ඇත. බිම පෙරළීමේ දී ට්රැක්ටර් ආදිය භාවිතය, ජලනල, රසායන පොහොර හා කෘමිනාශක භාවිතය ආදියට මෙරට ගොවියා දැන් හුරුපුරුදුව සිටී. ශීතාගාර පහසුකම්, විජලනය ආදි කල්තබාගැනීමේ ක්‍රම භාවිතය මඳ නිසා එළවළු වාරයේ දී නිෂ්පාදන වියදම තරමට වත් ඒවා මිල කොටගත නොහැකි වීම හා අතිරික්තය බොහෝ දුරට විනාශ වීම අපරට එළවළු නිෂ්පාදනයේ දියුණුවට බාධාවක්ව පවතී.

මෙරට සුලබ එළවළු වර්ග කීපයක අක්කරයකින් ලැබෙන අස්වැන්න ප්‍රමාණය හා අක්කරයකට අවශ්‍ය ඇට ප්‍රමාණය ද පැළ සිටු විය යුතු පරතරය ද පහත දැක්වේ.

888888888888888888888888888

එක් එක් බෝගය මාතෘකා කොට සිංහල විශ්වකෝෂයේ පළ වන ලිපි හා අල, ආකන්ද, ආහාර (2), ආහාර ආරක්ෂණය, ආහාර ශාක, උද්‍යාන කර්මය, පලතුරු වැවීම, රනිල ශාක, හතු වැනි අදාළ ලිපි ද බලන්න.

(කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක් ඇසුරෙනි.)

(සංස්කරණය: 1974)