එළු විමාන වස්තු ප්‍රකරණය
බදරතිත්ථ විහාරවාසී ධම්මපාල තෙරණුවන් විසින් පාලි භාෂාවෙන් කළ ‘පරමත්ථදීපනී’ නම් විමානවත්ථු අට්ඨකථාව සිංහල භාෂාවට නගා කරන ලද ග්‍රන්ථයයි. පරිවර්තක ස්ථවිරයන් ඊට එළු විමානවස්තු ප්‍රකරණය යන නම දී ඇතත් මෑත කාලයෙහි පොත මුද්‍රණය කැරැවූවන් විසින් සිංහල විමාන වස්තු ප්‍රකරණය යන නමින් එය හඳුන්වන ලදි. දැනට එය ප්‍රකටව ඇත්තේ එම නමිනි.
දෙව්පුතුන් හා දෙව්දූන් කෙළිදෙළෙන් වෙසෙන දිව්‍යවිමානයන් ඔවුන්ට පහළ වීමේ හේතු දැක්වෙන විමානවස්තුව වූකලි සූත්‍ර පිටකයෙහි ඛුද්දක නිකායෙහි ඇතුළත් පසළොස් ග්‍රන්ථයන් අතුරෙන් එකකි. එය පුච්ඡාගාථාය, විස්සජ්ජනගාථා යයි කොටස් දෙකකින් සැදිණ. බුදුන් වහන්සේ හෝ බුදුසව්වකු, දෙවඟනක හෝ දෙවියකු, බමුණකු හෝ වෙළෙඳකු ආදි කිසිවකු කිසියම් දෙව්පුතකු හෝ දෙව්දුවක අතින් තමා සතු විමානය පහළ වීමට හේතුව විචාරන ගාථා පුච්ඡාගාථා නමි. ඒ ඒ දෙව්පුතුන් හා දෙව්දූන් එම විචෑරීම්වලට විසඳුම් වශයෙන් පවසන ගාථා විස්සජ්ජනගාථා නම් වෙයි. මේ විමානවස්තු ගාථාවලට පුරාණ ආචාර්යවරයන්ගේ අර්ථකථානුසාරයෙන් ධම්මපාල තෙරණුවන් විසින් විමානවත්ථු අට්ඨකථාව කරන ලදි. එහි පිළිවෙළින් පීඨ, චිත්‍රලතා, පාරිච්ඡත්තක, මඤ්ජෙට්ඨක, මහාරථ, පායාසි, සුනික්ඛීත්ත යයි වර්ග සතකි. ඉන් පළමුවන වර්ගයෙහි විමානවස්තු 17ක් ද දෙවන වර්ගයෙහි 11ක් ද තුන්වන වර්ගයෙහි 10ක් ද සිවුවන වර්ගයෙහි 12ක් ද පස්වන වර්ගයෙහි 14ක් ද සවන වර්ගයෙහි 10ක් ද සත්වන වර්ගයෙහි 11ක් ද වෙයි. මෙසේ මුළු විමානවස්තු සංඛ්‍යාව 85කි; ඉන් 50ක් දෙව්දූන් පිළිබඳ විමානවස්තුය; සෙස්ස දෙව්පුතුන් පිළිබඳ විමානවස්තුයි. අතුරුකථා ද සහිතව මුළු කථා සංඛ්‍යාව 123කි.
මෙසේ සංගෘහිත වූ විමානවත්ථු අටුවාව එළු විමානවස්තු ප්‍රකරණය නමින් සිංහල භාෂාවට නඟන ලද්දේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු (1747-1780) දවස මහනුවර මල්වතු මහාවිහාරයෙහි වැඩ විසූ ගම්මුල්ලේ රතනපාල (බ.) හිමියන් විසිනි. ගලගෙදර ඉන්දජෝති තෙරුන්ගේ අයැදීමෙන් 1770 දී පමණ එය කරන ලද බව පොතේ අග සඳහන් වෙයි. සම්පූර්ණ කථාවත්ථු අටුවාව ඇති සැටියෙන් පරිවර්තනය කිරීම උන් වහන්සේට අභිමත නොවීය. විමානවස්තු අසූ පහෙන් සතිසක් අත් හැර ඊට සමාන වෙනත් කථාවස්තු පෙන්වා ඒ නයින් සෙස්ස දත යුතු බව දැක්වීමෙන් හා කලින් සියබසට නැඟී තුබූ ඇතැම් කථා සංක්ෂේපයෙන් කියා ඒ කථා විස්තර වශයෙන් දැක්වෙන පොත් සඳහන් කිරීමෙන් උන් වහන්සේ පොත මහත් වීම වළකාලීමට අදහස් කළ බව පෙනේ. සද්ධර්මරත්නාවලියත් පරිච්ඡේද පොතත් එසේ සඳහන් කරන ලද පොත් දෙකකි. ඇතැම් තන්හි අනවශ්‍ය යයි සිතුණු විස්තර වර්ණනා ආදිය කෙටි කිරීමෙන් ද ඇතැම් තන්හි අටුවාවෙහි නොඑන ප්‍රස්තුතයට සුදුසු සේ සැලැකුණු තොරතුරු බහාලීමෙන් ද ඇතැම් තන්හි පැරණි ගත්කරුවන් ගිය මඟ යමින් සාටෝප විශේෂණ පද යෙදීමෙන් ද පරිවර්තක තෙරුන් වහන්සේ මේ ග්‍රන්ථයට ස්වතන්ත්‍ර ස්වරූපයක් දීමට තැත් කර තිබේ.
ග්‍රන්ථාරම්භයෙහි දී “මහාකාරුණිකං නාථං” යනාදි වශයෙන් විමානවත්ථු අටුවාවේ එන බුද්ධ නමස්කාර ගාථාවට ඡන්දෝලක්ෂණ හා ගාථාර්ථ දැක්වීම් වශයෙන් කරන ලද දිග විස්තරයක් වෙයි. එහෙත් ධර්ම නමස්කාරය හා සංඝ නමස්කාරය කරන ලද්දේ පරිවර්තක තෙරුන් විසින් ම රචිත ගාථාවකින් හා තනි වාක්‍යයකිනි. ත්‍රිවිධ රත්නයට කරන නමස්කාරයෙන් පසු විමානවස්තු පිළිබඳ විස්තරයක් කොට විමානවස්තු ප්‍රකාශ කිරීම අරඹා ඇත. ග්‍රන්ථාවසානයෙහි ශාසනෝපකාර සංග්‍රහවස්තුව යන මැයින් වැදගත් ඓතිහාසික නිබන්ධයක් වෙයි. එය තත්කාලීන ශාසනික ඉතිහාසය පිළිබිඹු කරන කැඩපතක් බඳුය.
භාෂාශාස්ත්‍ර මුළුමනින් ම පිරිහී තිබී යළිත් දියුණුවන්නට පටන් ගත් අවධියක කරන ලද එළු විමානවස්තු ප්‍රකරණය ව්‍යාකරණ දෝෂවලින් හා පරිවර්තන දෝෂවලින් නොමිදුණේ වී නමුත් එහි ව්‍යක්ත ස්වරූපයක් දක්නට ඇත. පරිවර්තක තෙරුන් වහන්සේ ඇතැම් තන්හි පැරණි බස්වහර යෙදීමට රුචියක් දැක්වූ බව “ධම්සෙනෙවි, සෝධා, ධරධරා, අභිභවමින්, සිටුපුත්‍රයක්හුගේ” වැනි භාෂා ප්‍රයෝගවලින් හෙළි වෙයි. ඒ පොතට උපහාරයක් වශයෙන් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සතර කෝරළයේ පසළොස් අමුණක කුඹුරු සහිත අලුත්නුවර විහාරයත් සත් අමුණක කුඹුරු සහිත හිඟුලේ විහාරයත් උන් වහන්සේට පිදූ බව ග්‍රන්ථ නිගමන ගාථාවලින් පැවැසෙයි.
1926 දී වතුවත්තේ පේමානන්ද හිමියෝ එළු විමානවස්තු ප්‍රකරණය සංස්කරණය කොට පරිවර්තක තෙරුන් වහන්සේ විසින් අත් හරින ලද විමානවස්තු ද සිංහල භාෂාවට නඟා උපග්‍රන්ථයක් වශයෙන් පොතේ අගට යොදා මුද්‍රණය කැරැවූහ. ඉන් පසු එය 1937 දී මාකෙහෙල්වල ධම්මානන්ද හිමියන් විසින් ද 1965 දී පණ්ඩිත දෙණගම පියතිස්ස හිමියන් විසින් ද සංස්කරණය කොට මුල් මුද්‍රණයේ උපග්‍රන්ථයෙහි බහාලූ කථා ද ඇතුළත් කොට මුද්‍රණය කරවන ලදි.
(සංස්කරණය: 1974)