එළු සිලෝ කාව්‍ය
වර්ණ ඡන්දසට අයත් වෘත්තවලින් බැඳුණු සිංහල පද්‍යවලට ‘එළු සිලෝ’ යන ව්‍යවහාරය ලැබී තිබේ. එසේ වුව ද සිංහල පද්‍ය සාහිත්‍යය බෙහෙවින් ම ගී, සිවුපද යන ප්‍රභේද දෙකින් යුක්තය. ගී, සිවුපද යන දෙක ම මාත්‍රා ඡන්දසෙහි ගැනෙන වෘත්ත විශේෂයෝයි. පැරණි සිංහල කවීන් විසින් ස්වභාෂාවෙහි පද්‍යරචනාව සඳහා මාත්‍රාඡන්දස ම ඇසුරු කරන ලද්දේය. සිංහලයෙහි එක ම ඡන්දෝ ග්‍රන්ථය වූ එළු සඳැස් ලකුණෙහි ද මාත්‍රා ගිණීමෙන් ඡන්දස පුරන මාත්‍රා ඡන්දස් හා වෘත්ත පමණක් ම දක්වන ලද්දේය. මාතෘභාෂාවල එන වර්ණ ගිණීමෙන් ඡන්දස පුරන වර්ණඡන්දස සිංහල පද්‍ය රචනය සඳහා කලින් උපයෝගී කොට නොගන්නා ලදි.
එහෙත් පසු කාලයෙහි ඇතැම් පද්‍යරචකයන් විසින් සිංහල පද්‍යය සඳහා වර්ණඡන්දස ද ඇසුරු කළ බව පෙනේ. කෝට්ටේ යුගයෙහි ලියන ලදැයි සලකන එළු සිලෝ සතකය (බ.) නමැති බුද්ධචරිත නිබන්ධය සංස්කෘත ශතක කාව්‍යයන් ආදර්ශයට ගනිමින් වර්ණ වෘත්තයෙන් සිංහල පද්‍යරචනාවට මග පෑදූ ප්‍රථම කාව්‍යය ලෙස සලකනු ලැබේ. මීට පසු මහනුවර කාලයෙහි විසූ ගිනිගත්පිටියේ හිමියන් විසින් ලියන ලද තෙරුවන් මාලාව ද, මාතර යුගයට අයත් වූ සාලිඇලේ මණිරතන තෙරුන්ගේ ප්‍රාතිහාර්ය ශතකය හා දිසානායක මුහන්දිරමගේ ගඞ්ගාරෝහණවර්ණනාව ද යන ග්‍රන්ථ සතර වර්ණ වෘත්තයෙන් බැඳුණු සිංහල කාව්‍යගණයට ඇතුළත් වේ. තවද මේ ග්‍රන්ථ සතර ම සිලෝ සියයකින් පරිමිත වූයේ සතක නාමයෙන් ද හැඳින්වේ. එකුන් විසිවැනි සියවසෙහි ලක්දිව සියලු පඬුවන් අතර මහත් වූ ශාස්ත්‍රීය ප්‍රබෝධයක් ඇති කළ සව්සත්දම් වාදයට මුල් වූයේ ද යටකී ගඞ්ගාරෝහණ වර්ණනායෙහි සිලෝවකි.
සව්සත්දම් වාදයට සහභාගි වූ කවීන් මෙන් ම මීරිපැන්නේ ධම්මරතන හිමි, ගජමන් නෝනා ආදි කිවි කිවිඳියන් විසින් සිලෝ විරිත් වහරට ගනු ලැබීමෙන් මෑතක් වන තුරු ජනප්‍රිය වී ගිය වර්ණ ඡන්දස නැවතත් ව්‍යවහාරයෙන් බොහෝදුරට ඈත් වී ගොස් ඇති සේයි.
(සංස්කරණය: 1974)