ඒකක්ඛරකෝස

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

පාලි භාෂාවෙහි එන ඒකාක්ෂර ශබ්දයන්ගේ අනේකාර්ථ දැක්වීම සඳහා රචනා කළ පද්‍ය ග්‍රන්ථයෙකි. බුදු වසින් 2009 පමණේ දී තම්බදීප රටෙහි විසූ ‘සද්ධම්මකිත්ති’ නම් ස්ථවිර කෙනෙකුන් විසින් මෙය රචනා කරන ලද්දේය. කච්චායනභෙදටීකා, කච්චායනවණ්ණනා, සූත්‍ර නිර්දේශ, නිරුත්ති මඤ්ජූසා ආදි ග්‍රන්ථවල ඒකක්ඛරකෝසය සඳහන්ව ඇති හෙයින් මෙහි සම්භාව්‍යත්වය හා පෞරාණිකත්වය සලකාගත හැකිය. ‘අ’ කාරය පටන් බින්දුවර්ණය (අං) අවසන් කොට ඇති ඒකාක්ෂර ශබ්දයන්ගේ වාච්‍යාර්ථ දක්වමින් අනුෂ්ටුප්ගාථා 123කින් ග්‍රන්ථය අවසාන වේ.

සංස්කෘත භාෂාවෙහි ද නිපුණත්වයක් ඇති මේ ගත්කතුවරයා විසින් සංස්කෘතයෙන් ලියැවී ඇති ඒකාක්ෂරකෝෂය ම පාලි භාෂාවට අනුරූප වන සේ පරිවර්තන කරමින් ලියූ බව “ඉති සද්ධම්මකිත්ති නාම මහාථෙරෙන සක්කතභාසාතො පරිවත්තෙත්වා විරචිතං එකක්ඛරකොසං නාම සද්දප්පකරණං පරිසමත්තං” යන අවසාන වාක්‍යයෙන් දක්වන ලද්දේය. මේ තෙරුන් විසින් ම ‘ලිඞ්ගත්ථ විවරණ’, ‘අත්ථවිසෙසඤාපක’ ආදි ග්‍රන්ථ කීපයක් රචනා කළ බව සඳහන් වේ. තවද තම්බදීප රටෙහි ම උගත් තෙර කෙනකුන් විසින් ලියන ලද සවිස්තර ඒකක්ඛරකෝසටීකාවක් ද ඇත්තේය. ශ්‍රී සුභූති නායක ස්වාමීන්ද්‍රයන් සකස් කළ ඒකක්ඛරකෝසය අභිධානප්පදීපිකාව සමග මුද්‍රණය වී ඇත. ග්‍රන්ථය පිළිබඳ හැඳින්වීමක් දැක්වෙනුයේ නාමිකසද්දමාලා සංඥාපනයෙහිය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඒකක්ඛරකෝස&oldid=11469" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි