ඒකදේවවාදය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Monotheism). එක් දෙවි කෙනෙක් පමණක් වෙතැයි ද දෙවියෝ ‘ඒක’ යයි ද සැලකෙන දේවවාදය ඒකදේවවාදය යනුවෙන් හඳුන්වනු ලැබේ. ඒකදේවවාදය යනුවෙන් සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ පුද්ගලත්වයෙන් යුත් වූ, ශුද්ධ වූ, ලෝකයෙන් බාහිර ව වෙසෙන එහෙත් ලෝකයෙහි නිරන්තරයෙන් ක්‍රියාකාරී වූ දෙවි කෙනකුන් පිළිබඳ විශ්වාසයයි. දාර්ශනික වශයෙන් ඒකදේවවාදය සියල්ල ම දෙවියෝය, සෑම ධර්මයක් ම දෙවියෝය, නැතහොත් දෙවියෝ සෑම ධර්මයක් මය යනුවෙන් ප්‍රකාශිත සර්වේශ්වරවාදයට (pantheism) පටහැණි වෙයි. දෙවිවරු බොහෝ ගණනක් ඇතැයි සැලැකෙන බහුදේවවාදයට (polytheism) ද දෙවි කෙනෙක් නැතැයි යෙන අනීශ්වරවාදයට (atheism) ද දෙවියන්ගේ අස්තිත්වය පිළිබඳව දැනගත නොහැකි යයි ප්‍රකාශ කරන අඥෙයවාදයට (agnosticism) ද එය පටහැණි වෙයි.

සර්වේශ්වරවාදය හා ඒකදේවවාදය අතර පවත්නා වෙනස කුමක් ද යන්න එතරම් පැහැදිලි නැත. ඒකදේවවාදී විශ්වාසය අනුව දෙවියන් ස්වභාවය පිළිබඳව එක ම මතයක් දක්නට නොමැත. දෙවියන් ලෝකයෙහි අන්තර්වර්තීය යන්න එක් මතයකි. දෙවියෝ ලෝකෝත්තර වෙතැයි හෙවත් ලෝකය ඉක්මවා සිටිතැයි යන මතය තවෙකකි. මේ මත දෙක ම සංකලිතව ඉදිරිපත් කෙරෙන අවස්ථා ද ඇත. ඒ අනුව දෙවියෝ කිසියම් අර්ථයකින් ලෝකයෙහි අන්තර්වර්තී වන අතර තවත් අර්ථයකින් ලෝකෝත්තර වෙති.

ඒකදේවවාදී විශ්වාසය අනුව දෙවියෝ මනසින් මෙන් ම චේතනාවෙන් ද යුක්ත වූවෝ වෙති. පූර්ණ පුද්ගලත්වයක් දෙවියන්ට ආරෝපණය කැරේ. එහෙයින් මිනිස් ජීවිතයෙන් ගත් සංකේතයන් මගින් සංකල්පනය කොට පිහිට පතා එම දෙවියන්ට යාච්ඤා පැවැත්වේ. පුද්ගලත්වය සමඟ ම සර්වබලධාරිත්වය සහ අනන්ත සාධුත්වය ද දෙවියන්ට ආරෝපණය කිරීම ඒකදේවවාදයෙහි ලක්ෂණ වශයෙන් හැඳින්විය හැකිය. මේ හේතුව නිසා ඒකදේවවාදී විශ්වාසය පරිදි දෙවියෝ අන්‍යයන්ගේ වන්දනමානනාදියට සුදුසු පුද්ගලයෙක් වෙති. ඒකදේවවාදය අනුව දෙවියන් විසින් ලෝකය නිර්මාණය කරන ලදැයි කිව හැකි නමුදු සර්වේශ්වරවාදය අනුව ලෝකය දෙවියන්ගේ ම කොටසකි. වෙනත් වචනවලින් කියතොත්, සෑම ලෝක ධර්මයක් ම දෙවියන් හා තාදාත්ම්‍ය වෙයි. මේ අනුව ශංකර, ස්පිනෝසා, හේගල් සහ බ්රැඩ්ලි යන දර්ශනවාදීන් ඉදිරිපත් කළ සර්වේශ්වරවාදය එ්කදේවවාදයට පටහැණි යයි සැලකිය හැකිය.

භාරතයෙහි දේවවාදී චින්තනය කෙසේ විකාසනය වී ද යන්න සෙවීම සඳහා ආදි ම භාරතීය ආගමික සාහිත්‍යය වන වේදමන්ත්‍ර පරීක්ෂා කළ යුතු වෙයි. ආදි ම යුගයෙහි පැවැත්තේ බහුදේවවාදී චින්තනයක් බව අග්නි, මිත්‍ර, වරුණ, ඉන්ද්‍ර ආදි දෙවිවරුන් රාශියක් මුල් කොට ගෙන ඍග්වේදයෙහි දක්නට ඇති සූක්තයන්ගෙන් පෙනේ. බහුදේවවාදී චින්තනය ක්‍රමයෙන් එකෛකේශ්වරවාදී (henotheistic) චින්තනයකට නැඹුරු වන අයුරු ඒ ඒ අවස්ථාවන්හි දී වෙන වෙන දෙවිවරුන් අත්‍යුත්තම, ප්‍රධාන දෙවියන් වශයෙන් සලකා ස්තූති ගීතිකා පැවැත්වීමෙන් පෙනේ. ඍග්වේද යුගයෙහි ලෝකයෙහි ධර්ම නියමය පිළිබඳව පැවති ඍත සංකල්පයෙහි දාර්ශනික වශයෙන් ඒකදේවවාදයෙහි මූල බීජය අන්තර්ගත වේ. ආරම්භයේ දී වෙනත් දෙවිවරුන් සඳහා යෙදූ ප්‍රජාපති නාමය පසුව සියලු දෙවිවරුන්ට අධිපති වෙන ම දෙවිකෙනකුන් හැඳින්වීමට යොදා ඇත (ඍ.වේ. 10. 121). විශ්වකර්ම(න්) දෙවියන් ද පිතෘ, සියලු ප්‍රජාවගේ නිර්මාතෘ, හා ස්වයම්භූත දෙවියන් වශයෙන් දක්වා ඇත (ඍ.වේ. 10.82.3). මෙය ඒකදේවවාදී දර්ශනයෙහි ආරම්භය පිළිබිඹු කරයි. එම ඒකදේවවාදී චින්තනය බ්‍රාහ්මණ යුගයේ දී තවදුරටත් තහවුරු විය. එහෙත් භාරතයෙහි ඒකදේවවාදය බහුදේවවාදයට සම්පූර්ණයෙන් පටහැණි වූවක් වශයෙන් වර්ධනය නොවීය. ඒකදේවවාදයෙහි දියුණු ම ස්වරූපයෙන් වුව ද දෙවියෝ ‘ඒක’ වුවත් අනෙකුත් බොහෝ දෙවිවරුන් එම දෙවියන්ගේ ම ස්වරූපයන් නිසා ඒ දෙවිවරුන් අතුරෙන් කවර දෙවි කෙනකුන් හෝ පිදීම අර්ථවත් වෙයි. භාරතීය ඒකදේවවාදය ඍග්වේද යුගයේ පටන් අද දක්වා ම එක් දෙවි කෙනකුන්ගේ අස්තිත්වය සනාථ කිරීමට නානා දෙවියන්ගේ අස්තිත්වය ප්‍රතික්ෂේප කරනු වෙනුවට නානා දෙවියන් ‘ඒක’ වූ දෙවියන්ගේ නානා ස්වරූපයන් වශයෙන් දක්වයි. මේ නිසා බහුදේව විශ්වාසය සමඟ ම ඒකදේව විශ්වාසය ද සමාන්තරව පවතී.

ඊශ්‍රායෙලයෙන් නැඟි ඒකදේවවාදය එක් අතකින් ක්‍රිස්තියානි ඒකදේවවාදයටත් අනෙක් අතින් ඉස්ලාමික ඒකදේවවාදයටත් අත්තිවාරම විය. ඒ අනුව දෙවියෝ පුද්ගලත්වයෙන් යුක්තය; මනෝමයය; අත්‍යුත්තමය; අනුත්තර වූ සදාචාරාත්මක ගුණයෙන් යුක්තය. පරණ ගිවිසුමේ දක්නට ඇති මේ සදාචාරාත්මක ඒකදේවවාදය අනාගත වක්තෘෘන්ගේ (prophets) යුගයේ දී (ක්‍රි.පූ. 8 වැනි සියවස සිට 6 වැනි සියවස දක්වා) ආරම්භ වූ බව ඇතැම් විචාරකයන්ගේ මතයයි. එම ඒකදේවවාදය අනුව දෙවියෝ ලෝකයෙහි ධාර්මික පාලකයා වෙති; යුක්තිය හා සාධාරණය ඉටුකරන්නා වෙති. දෙවියන්ගේ නියමය ශුද්ධය (holy). දෙවියෝ සත්‍යයෙහි ජයග්‍රහණය ඉටු කරන්නා වෙති. මෙම දේවවාදය පසුව නානාවිධ ස්වරූපයන් ගත් නමුදු එහි සාමාන්‍ය ස්වරූපය හැඳින්වීම සඳහා එය ඊශ්‍රායෙලයෙහි අනාගත වක්තෘෘන් බිහි කළ සදාචාරාත්මක ඒකදේවවාදය යයි කිව හැකිය. මෙම ඒකදේවවාදය දාර්ශනික චින්තනයෙහි ප්‍රතිඵලයක් නොවීය. එහෙත් ක්‍රිස්තුධර්මය ආරම්භයේ දී දාර්ශනික විවරණයන් සැපයීම අවශ්‍ය විය. ක්‍රිස්තියානි ධර්මය විකාසයට පත්වීමේ දී සදාචාරාත්මක වූ දෙවියන් පිළිබඳ සංකල්පයට දාර්ශනික පදනමක් දීම සඳහා ග්‍රීක දාර්ශනික චින්තනය උපකාරී විය. ක්‍රිස්තියානියෙහි පරමාර්ථ වශයෙන් දෙවියන් ඒක වුව ද ව්‍යවහාරයෙහි පිතෘ, පුත්‍ර, ශුද්ධාත්ම යැයි ත්‍රිත්වයකි. ඉස්ලාමික ධර්මයෙහි එවන් බෙදුමක් නැත. එහි දැක්වෙනුයේ හුදු පිරිසිදු ඒකදේව සංකල්පයකි.

ග්‍රීසියෙහි ද දේවවාදයේ ආරම්භය භාරතයෙහි මෙන් බහුදේවවාදී ස්වරූපයක් ගත් බව පෙනේ. එමෙන් ම එම බහුදේවවාදය ඒකදේවවාදයක් වශයෙන් විකාසනය වූයේ භාරතයෙහි මෙන් ම ලෝකය ‘ඒක’ය යන සංකල්පය බිහිවීමෙනි. සෙනොෆනිස් නම් ග්‍රීක දාර්ශනික කවියා ග්‍රීක ඉතිහාසයෙහි පළමු කොට ජනප්‍රිය වූ මනුෂ්‍යත්වාරෝපිත බහුදේවවාදය ප්‍රතික්ෂේප කෙළේය. දෙවියන් අතර එක් දෙවිකෙනකුන් අත්‍යුත්තම බව හේ කියයි. එම දෙවියන් ඔහු හඳුන්වන්නේ විටෙක ඒකදේවවාදී චින්තනයට ද විටෙක සර්වේශ්වරවාදී චින්තනයට ද තුඩු දෙන ප්‍රකාශයන් මගිනි.

භාරතය හා ග්‍රීසිය යන රටවල දේව සංකල්පය විකාසනයට පත් වූ අයුරු විමසීමෙන් ඒකදේවවාදය බහුදේවවාදී චින්තනයට වඩා මිනිසාගේ ආගමික හා දාර්ශනික අවබෝධය මුහුකුරා ගිය අවස්ථාවකට අයත් වූ බව පැහැදිලි වේ.

(කර්තෘ: පී.ඩී. ප්‍රේමසිරි)

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඒකදේවවාදය&oldid=11472" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි