ඒඩන්
දකුණු යෙමන් ජනරජයේ අගනුවර හා ප්‍රධාන වරාය ද වූ ඒඩන් අරාබි මුහුදෙන් විහිදී ගිය අත්තක් වූ ඒඩන් මුහුදු බොක්කේ උතුරු වෙරළබඩ රතුමුහුදට ඇතුළු වන දකුණු දොරටුව අසල පිහිටියේය. නැගෙනහිරින් යමහල් ආශ්රිත ඒඩන් අර්ධද්වීපවලටත් බටහිරින් කුඩා ඒඩන් ප්‍රදේශයටත් මැදිව ඒඩන් වරාය පිහිටා ඇත. ඒඩන් ප්‍රදේශය උස් බිම්වලින් ගහනය. එහි ඉතා උස් භූමිය අඩි 1,725ක් උස් වූ ජෙබල් සැම්සන්ය. කුඩා ඒඩන්හි උස්බිම් අඩි 1,210 දක්වා උසය. මෙහි දේශගුණය වියළිය. සාමාන්‍ය උෂ්ණත්වය පැරන්හයිට් අංශක 68° පටන් 101° දක්වා වේ. වර්ෂාපතනය අඟල් තුනක් පමණය. ඇතැම් වර්ෂවල වැස්ස ඇත්තේ ම නැත. කලින් කල වැලි සහිත කුණාටු ඇති වේ. නගරයට ජලය හිඟ බැවින් ෂයික් ඔත්මන් නගරයෙන් හාරා ගන්නා ලද ළිංවලින් එහි වැඩි කොටසකට ජලය සැපයේ. මුළු ඒඩන් ප්‍රදේශය විශාලත්වයෙන් ව.සැ. 75කි. ජනගහනය (1968) 250,000ක් පමණ වේ.
අරාබි අර්ධද්වීපයේ ඒඩන් වරාය මධ්‍යතන යුගයේ දී වැදගත් වෙළඳ මධ්‍යස්ථානයක්ව පැවතියේය. 16 වන සියවසේ දී ඔටෝමන් තුර්කීන් අතට පත් ඒඩන් 1735 දී ලාහෙජ්හි අබ්දලි සුල්තාන් යටතට පත් විය. 1802 දී ඔහු සමග ඇති කරගත් ගිවිසුමක් අනුව ඉංග්රීසිහු එයින් ප්‍රයෝජන ගත්හ. 1839 දී බ්‍රිතාන්‍ය ඉන්දියාව සමග කරගෙන ගිය වෙළඳ කටයුතු මුහුදු කොල්ලකරුවන්ගෙන් ආරක්ෂා කරගැනීම හා නැව්වලට ගල් අඟුරු සපයන මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා ඉංග්‍රීසින් විසින් ඒඩන් වරාය අත්පත් කරගන්නා ලදි. ඉන්පසු එය බ්‍රිතාන්‍ය ඉන්දියාවට එකතු කැරිණි. 1869 දී සූවස් ඇළ විවෘත කිරීමෙන් පසු ඒඩන්හි වැදගත්කම වැඩි විය. අනතුරුව ඒ අවට ප්‍රදේශ කීපයක් මිලයට ගෙන ඒඩන් නගරයට යා කිරීමෙන් පසු 1937 දී මුළු ප්‍රදේශය ම බ්‍රිතාන්‍ය කිරීටය යටතේ පාලනය වන යටත් විජිතයක් බවට පමුණුවන ලදි. 1956 දී ඇති වූ සූවස් අර්බුදයෙන් පසු එය බ්‍රිතාන්‍යයන්ගේ මැද පෙරදිග ප්‍රධාන හමුදා මධ්‍යස්ථානය විය. දෙවන ලෝක සංග්රාමයෙන් පසු බ්‍රිතාන්‍යය එය ස්වරාජ්‍ය තත්වයට පැමිණවීමට කටයුතු කිරීමට පොරොන්දු විය. 1963 දී ඒඩනයත් බ්‍රිතාන්‍යය යටතේ පැවති විවිධ ජාතිකයන්ගෙන් සමන්විත ප්‍රදේශ විස්සක වැසියෝත් දකුණු අරාබි සමුහාණ්ඩු සංගමයට බැඳුණාහ. 1968 වන විට එය නිදහස් රාජ්‍යයක් කරන බවට බ්‍රිතාන්‍ය ආණ්ඩුව පොරොන්දු වී තිබුණු අතර දකුණු යෙමන් නිදහස් පෙරමුණ හා ජාතික නිදහස් පෙරමුණ අතර එහි බලය අල්ලා ගැනීම සඳහා බලවත් පොරයක් ඇති විය. ඔවුන්ගේ විප්ලවකාරී ක්‍රියා බිහිසුණු වත් ම 1967 දී බ්‍රිතාන්‍ය හමුදා ඒඩනයෙන් ඉවත් කර ගන්නා ලදහ. 1967 දී දකුණු යෙමන් ජනරජයේ කොටසක් වශයෙන් ඒඩනයට නිදහස ලැබිණි. ඒ සමඟ ම ඒඩන් එම ජනරජයේ අගනුවර බවට පත් විය.
කුඩා යාත්‍රා, සබන්, සිගරැට්, මුහුදු ලුණු ආදිය මෙහි නිපදවනු ලැබේ. කෝපි, ධාන්‍ය, සුවඳ ලී වර්ග, ලාටුවර්ග, සම්, ලුණු, රෙදිපිළී, ආහාර ද්‍රව්‍ය හා දුම්කොළ මෙම වරායෙන් පිටරට යවනු ලැබේ. ඉන්ධන තෙල්, ගැසොලීන් හා ගල් අඟුරු මෙහි ආයාතයි. මෙම වරායෙන් නැව්වලට හා ගගන යාත්‍රාවන්ට ඉන්ධන සපයනු ලැබේ. මෙහි තෙල් පිරිසිදු කරන මධ්‍යස්ථානයන් ද පිහිටුවා තිබේ. දුම්රිය මාර්ගවලින් තොර වුව ද නැගෙනහිර දේශසන්ධියෙහි බෝර්මක්සර් නමින් හැඳින්වෙන ගගනයාත්රා තොටුපොළක් ඇත. දකුණු අරාබියේ නිෂ්පාදන පිළිබඳ වෙළඳ ගබඩා මධ්‍යස්ථානය ද වූ ඒඩන් නිදහස් වරායක් වශයෙන් සුප්‍රකටය.
ඉතිහාසය
කිතුවසින් දෙවන තුන්වන සියවස්වල ඇඩනා නමින් හඳුන්වනු ලැබූ ඒඩනය ක්‍රිස්තු පූර්ව අවධියේ සිට ම ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත් රටක් විය. රතු මුහුදට පිවිසෙන දොරටුව මෙහි පිහිටීම හේතුකොටගෙන වැදගත් නාවික මධ්‍යස්ථානයක් බවට පත් ඒඩනය, එම හේතුව නිසා ම පෙර අපර දෙදිග වෙළඳ මධ්‍යස්ථානයක් බවටත්, වාණිජ පරමාර්ථ මුල්කොට ගෙන අධිරාජ්‍ය කටයුතුවල යෙදුණු ජාතීන්ට කදිම ආරක්ෂක මූලස්ථානයක් බවටත් පත් විය. මෙලෙස ග්‍රීසියේ හා රෝම අධිරාජ්‍යයේ මෙන් ම ලංකාව ඇතුළු ආසියාවේ අනිකුත් රාජ්‍යයන්ගේ ද විශේෂ අවධානයටත් පෘතුගීසි හා ලන්දේසි වැනි ජාතීන්ගේ පහරදීම්වලටත් තුර්කිවරුන්ගේ සහ ඉංග්රීසින්ගේ ආධිපත්‍යයටත් ලක් වීමෙන් හැඩ ගැසුණු ඉතිහාසයක් ඒඩනයට ඇත.
ඉන්දියාවේ සිට ගෙන එන ලද වෙළඳ ද්‍රව්‍යයන් රතුමුහුදේ වරායවලට බෙදාහැරීම පිළිබඳ නාවික මධ්‍යස්ථානයක් ලෙස ඒඩනය වැදගත් වූයේ ක්‍රිස්තු පූර්ව කාලයේ සිටය. මේ නිසා එයට හිමි වූ ආර්ථික සෞභාග්‍යය මුල්කොටගෙන ග්‍රීකයෝ එයට ආශීර්වාද ලත් යන අර්ථය ඇති ‘යූඩයිමෝන්’ යන නම ව්‍යවහාර කළහ. කිතුවසින් මුල් සියවස්වල දී රතුමුහුද හා ඉන්දියාව අතර වෙළඳ ගනුදෙනු කෙළින් ම ඇති වූ විට ඒඩනයට බලවත් පහරක් වැදුණු නමුදු මධ්‍යතන යුගයේ දී බාධකවලින් මිදීමෙන් ශීඝ්‍ර ලෙස වෙළඳ කටයුතු දියුණු විය. මිසරයේ සුල්තාන්වරුන්ගේ ඉතිහාසය ඇතුළත් අල් මැක්රිසි නමැති ග්‍රන්ථයේ ලංකාවේ යාපහුවේ රජ කළ පළමුවන බුවනෙකබාහු (1272–1284) රජු යයි සැලකෙන පාලකයා විසින් මිසරයට යවන ලද දූත පිරිසක් ගැන විස්තරයක් අන්තර්ගතය. “මගේ තානාපතියා ආපසු එන විට ඔහු සමග මිසර දූතයකුගේ පැමිණීම බලාපොරොත්තු වෙමි. තවත් මිසර ජාතිකයකු ඒඩන් නගරයේ වාසය පිණිස යවනු ඇතැයි ද බලාපොරොත්තු වෙමි” යනුවෙන් ලංකාවේ පාලකයා මිසර රජුට කීවේල. 13 වැනි සියවසේ දී මාර්කෝ පෝලෝ පෙරදිග සිට ආපසු යන විට ඒඩනය දියුණු වාණිජ ස්ථානයක ස්වභාවය දැරූ බව වාර්තා කිරීමෙන් ද හෙළි වනුයේ මධ්‍යතන යුගය තුළ දී ඒඩනය වාණිජ කටයුතු සම්බන්ධයෙන් දියුණුවක් ලබා තිබුණ බවයි.
16 වැනි සියවසේ දී මිසරය ආක්‍රමණය කළ තුර්කිවරුත්, ආසියාවට පැමිණ සිටි පෘතුගීසීහුත් පෙර අපර වෙළඳ තරඟයේ පුරෝගාමීහු වූහ. 1506 දී අල්බුකර්ක්ගේ නායකත්වය යටතේ යාත්‍රා පහකින් යුත් පෘතුගීසි නාවික හමුදාවක් ප්‍රථම වරට ඒඩනයට පහර දින. මෙහි දී ඔවුන්ගේ අරමුණ වූයේ ඒඩනය මධ්‍යස්ථානයක් කොටගෙන පැවති මුස්ලිම් වෙළඳාමට පහර ගැසීමය. ප්රයත්නය අසාර්ථක විය. 1517 දී යාත්‍රා 20කින් සැදුණු පෘතුගීසි හමුදාවක් නැවතත් අල්බුකර්ක්ගේ නායකත්වය යටතේ ඒඩනයට පහර දින. මේ අවස්ථාවේ පෘතුගීසින් සමත් වූයේ ඒඩන් වරායේ නවතා තිබූ නැව් කීපයක් විනාශ කිරීමට පමණක් වුව ද ඔවුන්ගේ අරමුණ වූයේ ඒඩනය සිය ආධිපත්‍යයට යටත් කරගැනීමයි. අල්බුකර්ක් එවැනි පහර දීමක් සඳහා පෘතුගාලයේ දොම් මානුවෙල් රජුගෙන් අවසර ලද්දේ රතුමුහුදේ ආධිපත්‍යය තබා ගැනීමට ඒඩනය ප්‍රයෝජනවත් බව පෙන්වා දීමෙන් පසුව බව පෘතුගීසි ලියවිලිවලින් හෙළි වෙයි. කෙසේ වුව ද ඒඩනය සිය ආධිපත්‍යයට යටත් කර ගැනීමට පෘතුගීසින් දැරූ ප්රයත්නය සම්පූර්ණයෙන් ම අසාර්ථක විය. ඉන්පසු ඔවුහු පර්සියන් බොක්ක කරා පසු බැස්සාහ. මේ අතර ඒඩනය කෙරෙහි උතුරින් තුර්කි ආක්‍රමණයක් එල්ල විය. 1538 දී ඒඩනය සිය ආධිපත්‍යයට යටත් කරගැනීමට සමත් වූ තුර්කිවරුන් 1580 වන විට එහි බලවත් කඳවුරක් ගොඩනඟා තිබිණි. ඉන්පසු නැගෙනහිර අප්‍රිකාවේ පෘතුගීසි ජනපදවලට හා මස්කැට් ප්‍රදේශයට සාර්ථක ලෙස පහර ගැසීමට ඒඩනයේ සිටි තුර්කීහු සමත් වූහ. මේ වකවානුව තුළ තුර්කීන් පලවා හැරීමට දේශීය අරාබි ජනතාව ගෙන ගිය ප්රයත්න සාර්ථක වූයේ තාවකාලික වශයෙනි. කෙසේ වුව ද ආසියාවට පැමිණීම සඳහා සුබ පැත්මේ තුඩුව හරහා මාර්ගය පෘතුගීසීන් විසින් සොයා ගැනීමෙන් පසු වෙළඳ මධ්‍යස්ථානයක් වශයෙන් ඒඩනය දැරූ වැදගත් ස්ථානය තරමක් යටපත් වී ගියේය.
බ්‍රිතාන්‍ය සබඳතා
ඒඩනය හා සමඟ බ්‍රිතාන්‍ය සබඳතා ආරම්භ වනුයේ 16 වැනි සියවස අවසානයේ දී ඉංග්‍රීසි වෙළඳුන් පෙරදිග රටවල් කෙරෙහි අවධානය යොමු කිරීමෙන් පසුවය. ක්‍රි.ව. 1600 දී එලිසබත් I රැජිනගෙන් වරපත්රය ලැබූ පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමේ මූලික අරමුණ වූයේ ස්වකීය මුහුදු තරඟකරුවන් වූ පෘතුගීසීන් හා ලන්දේසීන් යටපත් කොට බ්‍රිතාන්‍ය වෙළඳාම ඉන්දියාවේ ගොඩනැගීමයි. මෙහි ලා 1608, 1609 යන වර්ෂවල දී ඒඩනයේ බලකොටුවක් ගොඩනගා ගැනීමට ඉංග්‍රීසීන් දැරූ ප්රයත්න අසාර්ථක වූ පසු හොද්රොමෞත් වෙරළේ වඩාත් නැගෙනහිරට පිහිටි බලකොටුවකට පසුබැසීමට ඔවුන්ට සිදු විය. මේ අතර ඒඩනය පිළිබඳව නැපෝලියන් බොනපාට්ගේ සැලකිල්ල යොමුවීම නිසා ඉංග්‍රීසීන්ට ඒඩනයේ වැදගත්කම තවදුරටත් අවබෝධ විය. 1799 දී ඉංග්‍රීසීන් විසින් පෙරිම් දූපත අල්ලා ගන්නා ලද නමුදු මාස කීපයකට පසු ජලය හිඟකම නිසා ඔවුන්ට ඒඩනය කරා පැමිණීමට සිදු විය. එකල ඒඩනයේ අධිපති වූ ලාහෙජ්හි සුල්තාන්වරයා ඔවුන්ට සාදරයෙන් සැලකීය. 1802 දී වාණිජ ගිවිසුමක් ඇති කරගන්නා ලද පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමට අයත් නැවක් අරාබි වෙරළේ දී කොල්ලකනු ලැබීමෙන් පසු 1839 දී සමාගම වෙනුවෙන් කපිතන් හේන්ස් විසින් ඒඩනය බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට යටත් කරන ලදි. එතැන් සිට 1932 දක්වා ම ඒඩනය බොම්බාය ප්රෙසිඩන්සියේ කොටසක් ලෙස පැවතිණ. පළමුවන ලෝක සංග්රාමයෙන් පසු ඉන්දියාව තුළ ඇති වූ දේශපාලන ප්රවණතාවන්හි ප්‍රතිඵලය වූයේ ඒඩනය පාලන ඒකකයක් වශයෙන් ඉන්දියාව හා සම්බන්ධ කොට තවදුරටත් තබා ගැනීම දුෂ්කර වීමයි. යටත් විජිත කාර්යාලය වෙත අරාබි දූත පිරිස් කළ ඉල්ලීම් අනුව 1932 සිට ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවේ ඍජු පාලනය යටතේ පැවති ඒඩනය 1937 අප්‍රේල් මස 1 වැනි දින සිට බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් බවට පත් කරන ලදි.
ඒඩනයේ ව්‍යවස්ථානුකූල සංවර්ධනය ද අනිකුත් බ්‍රිතාන්‍ය යටත් විජිතවල මෙන් ම යටත් විජිත කාර්යාලය යටතේ ස්වයංපාලනය කරා යොමු වූ ගමනක් විය. 1937 ඒඩන් යටත් විජිත ආඥාව මගින් ප්‍රධාන අණදෙන නිලධාරි තනතුර ද හිමි කොටගත් ආණ්ඩුකාරයකුගෙන් ද විධායක සභාවකින් ද සමන්විත පාලන තන්ත්රයක් ඉදිරිපත් කැරිණි. ශ්‍රේෂ්ඨාධිකරණයක් ද ඇති කැරිණි. එහෙත් බොම්බායේ අධිකරණ කටයුතු පිළිබඳ ඉහළ උසාවියට තවදුරටත් අභියාචන ඉදිරිපත් කැරිණි. ඉන්දියාවට නිදහස දුන් පසු 1947 සිට අභියාචන ඉදිරිපත් කරන ලද්දේ අප්‍රිකා අභියාචන උසාවිය වෙතය. 1947 ඇති වූ ව්‍යවස්ථානුකූල ඉදිරි පියවරක් වූයේ ව්‍යවස්ථාදායක සභාවක් ඇති කිරීමය. එය ආණ්ඩුකාරයා විසින් නම් කිරීමෙන් පත් කරන ලද නිලනොලත් සාමාජිකයන් 8 දෙනකුගෙන් ද නිලලත් සාමාජිකයන් 8 දෙනකුගෙන් ද සමන්විත විය. 1955 ජූලි මස සිට මෙම සභාවට සාමාජිකයන් ඡන්දබලයෙන් පත් කරන ක්‍රමය අරඹන ලදි.
ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සැකැස්ම ද පුළුල් කැරිණි. නව මණ්ඩලය සාමාජිකයන් 18 දෙනකුගෙන් සමන්විත වූ අතර ඉන් 9 දෙනෙක් නිල නොලත් අය වූහ. මේ අයගෙන් 4 දෙනකු ඡන්දයෙන් පත් වූ අතර ඉතිරි පස් දෙනා ආණ්ඩුකාරයා විසින් නම් කිරීමෙන් පත් කරන ලදහ. නිලනොලත් සාමාජිකයන් 9 දෙනා අතුරින් 4 දෙනෙක් ම නිලබලයෙන් පත් වූ අය වූහ. කෙසේ වුව ද මෙම ව්‍යවස්ථාව යටතේ ඡන්දයෙන් පත්වූවන්ට සැලකිය යුතු බලයක් නොලැබිණ. නම් කිරීමෙන් පත් කළ නිලනොලත් සාමාජික පිරිස හැම විට ම ආණ්ඩුකාරයාට පක්ෂ වූවන්ගෙන් යුක්ත විය. ඒ හැර තීරක ඡන්දය පාවිච්චි කිරීමේ බලය ද ආණ්ඩුකාරයා සතු වී තිබිණි. 1955 දෙසැම්බර් මස නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම සඳහා පැවැත්වූ මැතිවරණය එක්සත් ජාතිවාදීන්ගේ පෙරමුණ නම් දේශපාලන සංවිධානය මගින් වර්ජනය කරන ලදි. මැතිවරණයට සහභාගි වූයේ වෙළඳ පන්තිය නියෝජනය කළ සුළු පිරිසක් වූ ඒඩන් සම්මේලනය පමණි. 1956 දී බ්‍රිතාන්‍ය විජිත කටයුතු පිළිබඳ උපරාජ්‍ය ලේකම්වරයා ඒඩනයට පැමිණි අවස්ථාවේ ඒඩන් සම්මේලනය මගින් ස්වයංපාලනය පිළිබඳ මාර්ගයේ ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටි නමුදු එවැනි තත්වයක් ඒඩනයට දීමට තව ම කාලය නොවන බව දැක්විණ. 1957 නොවැම්බර් මස විධායක හා ව්‍යවස්ථාදායක සභාවල ව්‍යවස්ථානුකූල වෙනස්කම් ප්‍රකාශයට පත් කිරීමෙන් නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන ලදි. එය 1958 නොවැම්බර් මස සිට නීතිගත විය. ඡන්දයෙන් පත් වූ සාමාජිකයන් 12 දෙනකුගෙන් ද නිලබලයෙන් පත් වූ සාමාජිකයන් 5 දෙනකුගෙන් ද ආණ්ඩුකාරයා විසින් පත් කරන ලද කථානායකයකුගෙන් ද යුක්ත වූ ව්‍යවස්ථාදායක සභාවක් ඒ අනුව පත් කැරිණි. ව්‍යවස්ථාදායක සභාවේ සිටි නිල ලත් බහුතරය ඉවත් කිරීමත්, අධ්‍යාපනය, ප්‍රසිද්ධ වැඩ, ගමනාගමන, කම්කරු හා සමාජසේවා, වෛද්‍ය කටයුතු යන මේවා පිළිබඳ දෙපාර්තමේන්තු සම්බන්ධ වගකීම් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් 5 දෙනකු වෙත පැවරීමත් නව ලක්ෂණ විය. ඒ හැර දෙපාර්තමේන්තු භාර ව්‍යවස්ථාදායක සභා නියෝජිතයන් 5 දෙනාට විධායක සභාවේ ද අසුන් ලැබිණ. තවද ව්‍යවස්ථාදායක සභාවේ නිල කටයුතු සම්බන්ධයෙන් ඉංග්‍රීසි භාෂාවට අතිරේකව අරාබි බස ද යොදාගත හැකි බවට නිල වශයෙන් ප්‍රථමවරට පිළිගන්නා ලදි. ව්‍යවස්ථාදායක සභාවේ නිලකාලය වර්ෂ 3 සිට 4 දක්වා දීර්ඝ කැරිණි. කෙසේ වුව ද විධායක හා ව්‍යවස්ථාදායක කටයුතු පිළිබඳ විශේෂ බලතල තවමත් ආණ්ඩුකාරයා අත රැඳී තිබිණි. 1962 මාර්තු 1 වැනි දින ඒඩන්හි ව්‍යවස්ථානුකූල සංවර්ධනයේ තවත් ඉදිරි පියවරක් තැබිණ. ඇටෝර්නි ජනරාල් ධුරය හැර අන් සෑම පදවියක් ම ඒඩන් ජාතිකයන්ට හිමි වූ අමාත්‍ය මණ්ඩලයක් ඇති කැරුණු අතර එය වග කිවයුතු ආණ්ඩුක්‍රමයක් පවරාදීම පිළිබඳ එක් පියවරක් විය. එහෙත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ආරක්ෂක අවශ්‍යතා සම්බන්ධයෙන් ඕනෑ ම අමාත්‍යාංශයක් අවශ්‍ය විටක දී නැවත පවරා ගැනීමේ අයිතිය අධිරාජ්‍ය ආණ්ඩුව වෙත තබාගන්නා ලදි. 1965 සැප්තැම්බර මස 25 දින හේතූන් කීපයක් නිසා ඒඩන් ව්‍යවස්ථාව අවලංගු කොට, ඇමති නිල තහනම් කරමින් අධිරාජ්‍ය ආණ්ඩුව යටතේ කෙළින් ම පාලනයක් ඇති කරන ලදි. ඇමති මණ්ඩලය ත්රස්තවාදයට පහර ගැසීම ප්‍රතික්ෂේප කළ බවටත් ජාතික විමුක්ති පෙරමුණ වැනි අන්තගාමී යයි සැලකුණ දේශපාලන සංවිධානවලට සහාය දුන් බවටත් අධිරාජ්‍ය ආණ්ඩුවෙන් චෝදනා නැඟිණ. ජාතික විමුක්ති පෙරමුණ ත්‍රස්තවාදය පිළිබඳ විදේශීය සතුරන් විසින් මෙහෙයවුණු අවියක් ලෙස අධිරාජ්‍ය ආණ්ඩුව සැලකුවේය. තවද ඇමති මණ්ඩලය, ඒඩනය ද සාමාජික රටක් වූ දකුණු අරාබි ඒකාබද්ධ ආණ්ඩුවේ කටයුතුවලට බාධාකාරී ලෙස ක්‍රියා කිරීම ද හේතුවක් වශයෙන් දැක්විණ. ව්‍යවස්ථාව අවලංගු කිරීමෙන් පසු ඇති වූ උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් වශයෙන් 1965 නොවැම්බර් මස ඒඩනයට පැමිණි පොදුරාජ්‍ය මණ්ඩල සම්බන්ධතා සහ යටත් විජිත පිළිබඳ පාර්ලිමේන්තු උපලේකම්වරයා, 1968 වන විට ඒඩනයට ස්වාධීනත්වය දීම පිළිබඳ ප්‍රකාශය කෙළේය. ඒ අනුව දකුණු අරාබියේ නිදහස් එක්සත් සමූහාණ්ඩුවක් ඇති කිරීමට බ්‍රිතාන්‍යය බලාපොරොත්තු වන බවත් ඒඩනය එයට අයත් වන බවත් දැක්විණ. කෙසේ වුව ද නොනැවතී කැරුණු උද්ඝෝෂණවල ප්‍රතිඵලය වූයේ තවදුරටත් ඒඩනය තබා ගැනීමේ අදහස වෙනුවට 1967 නොවැම්බර් 30 වැනි දින සිට එයට නිදහස් රාජ්‍ය තත්වය ප්රදානය කිරීමය. ඒඩනයේ වර්ෂ 128ක් පැවති බ්‍රිතාන්‍ය පාලනය මෙයින් අවසන් විය.
ඒඩන් නිදහස් රාජ්‍යය
ඒඩන් නිදහස් රාජ්‍යය බිහිවීම බ්‍රිතාන්‍ය ආරක්ෂක ප්රතිපත්තියෙහි ඒඩනයට ක්‍රමයෙන් පැවරුණ වැදගත්කම බිඳ වැටීමේ ප්රතිඵලයකි. 1957 බ්‍රිතාන්‍ය ආරක්ෂක ධවල පත්‍රිකාව මගින් ආරක්ෂක ප්‍රතිපත්තියේ විප්ලවාත්මක වෙනසක් ඉදිරිපත් කැරිණ. එතෙක් පැවති ක්‍රමය වූයේ ජිබ්‍රෝල්ටාව, මෝල්ටාව, සයිප්‍රස්, සූවස්, ඒඩනය, සිංගප්පූරුව හා හොංකොං වැනි ස්ථාවර කඳවුරු හා බලකොටු වැළක් මගින් මධ්‍යධරණියේ සිට ඈත පෙරදිග දක්වා ආරක්ෂක කටයුතු පිළිබඳ බ්‍රිතාන්‍යය සතු වගකීම් ඉටු කිරීමයි. එහි දී ඒඩනය බලකොටු වැළක් සම්බන්ධ කළ එක් පුරුකක් පමණි. මහා යුද්ධයක දීත් ප්‍රාදේශීය ගැටුම්වල දීත් බ්‍රිතාන්‍යයට ඉදිරිපත් වී ක්‍රියා කළ හැකි මූලස්ථාන ලෙසත් ගගන යාත්රාංගණ, නාවික කඳවුරු, පාබල හමුදා සහ කේබල් මධ්‍යස්ථාන වශයෙනුත් ඒවා ප්‍රයෝජනවත් විය. 1957 දී ඇති කැරුණේ මධ්‍යගත කරන ලද ආරක්ෂක මූලස්ථානවල සිට ගගන යාත්‍රා මගින් ක්‍රියාත්මක වූ වඩාත් නම්ය ආරක්ෂක ක්රමයකි. මේ අනුව යටත් විජිතවල සිට ආපසු කැඳවා ගන්නා ලද සේනාවන්ගෙන් තර කළ ප්‍රධාන හමුදා මූලස්ථානයක් එක්සත් රාජධානියේ ඇති කරන ලදි. ප්‍රාදේශීය මූලස්ථානය වශයෙන් කිනියාව තෝරාගෙන එහි පාබල, ගගන සහ නාවික සේනාංක රඳවන ලදි. එහෙත් 1963 දී කිනියාව නිදහස දිනා ගැනීමෙන් පසු ඒඩනය කෙරෙහි අවධානය යොමු විය. 1962 දෙසැම්බර් මස ඩොලර් දශලක්ෂ 3.5ක් ද 1963 සිට ඉදිරි වර්ෂ තුන සඳහා ඩොලර් දශලක්ෂ 20ක් ද ඒඩනයේ හමුදා ගොඩනැඟිලි සඳහා ආයෝජනය කරන ලදි. මෙපරිද්දෙන් අධිරාජ්‍ය ආරක්ෂක බලකොටු වැළක පුරුකක්ව පැවැති ඒඩනය ආරක්ෂක කටයුතු පිළිබඳ ප්‍රාදේශීය කඳවුර බවට පත් විය.
බලකොටු වැළක් මගින් පවත්වා ගත් ආරක්ෂක ක්‍රමය බිඳ වැටුණේ අධිරාජ්‍යයේ ඇති වූ ප්‍රශ්න කීපයක් නිසාය. 1947 දී ඉන්දියාවට නිදහස ලැබීමෙන් පසු අධිරාජ්‍ය ආරක්ෂක හමුදාව බෙහෙවින් ම තර කළ බ්‍රිතාන්‍ය ඉන්දියා විශේෂ සේනාංකය තව දුරටත් පවත්වා ගත නොහැකි විය. එහි ප්‍රතිඵලය වූයේ අධිරාජ්‍යය අවසන් වී බලකොටු වැළක් පමණක් ඉතිරි වීමයි. 1956 දී සූවස්හි බ්‍රිතාන්‍ය බල කඳවුරුවලට විරුද්ධව ඊජිප්තු ජාතිවාදීන් නැඟී සිටීම නිසා නැඟී එන දේශපාලන ප්රබෝධය හමුවේ තවදුරටත් පැරණි අධිරාජ්‍ය පදනම පවත්වා ගත නොහැකි බව පැහැදිලි විය. බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව සූවස් ඇළේ දෙකොන ම පාලනය කළ සමය මින් අවසන් විය. මෙපරිද්දෙන් කඳවුරු පද්ධතියකට ශක්තිය සැපයූ පාබල හා නාවික හමුදා බලයේ පදනම බිඳ වැටිණ.
ඒඩනයේ ජාතිවාදී ව්‍යාපාරය නිසා ඒ වෙත අභිනවයෙන් පැවරුණු වගකීම් ඉටු කිරීම තබා, යුදහමුදා බලකොටුවක් වශයෙන් වත් එහි පැරණි වැදගත්කම රැකගත නොහැකි විය. ඒඩනයේ ජාතිවාදී ව්‍යාපාරයේ ලක්ෂණය වූයේ එය කම්කරු ව්‍යාපාරයක් මගින් ක්‍රියාත්මක වීමයි. වෘත්තීය සමිති අධිරාජ්‍ය පාලන අධිකාරීන්ට විරුද්ධව සටන් කිරීමට මහඟු සංස්ථා ලෙස සැලකූ තරුණ ජාතිවාදීහු ඒවාට බැඳීමට උනන්දු වූහ. මෙහි ප්‍රතිඵලය වූයේ ඒඩනයේ වෘත්තීය සමිති ශීඝ්‍රයෙන් බලවත් තත්වයකට පත්වීමයි. ජාත්‍යන්තර නිදහස් වෘත්තීය සමිති සම්මේලනය මගින් සංස්ථාගත කරන ලද ඒඩන් වෘත්තීය සමිති සම්මේලනය මැද පෙරදිග මනා ලෙස සංවිධානය වූ එක ම වෘත්තීය සමිති ව්‍යාපාරය ලෙස පිළිගැනිණ. ඒඩනයේ වෘත්තීය සමිති බලවත් වීමට හේතු කීපයක් විය. රාජ්‍යයේ ආර්ථික ක්ෂේත්රයේ වැදගත් අංශ වූ තෙල් ශෝධන ස්ථාන, වරාය, හමුදා මූලස්ථාන යන සියල්ලෙහි ම සේවයේ යෙදුණේ අරාබි කම්කරු ජනතාවයි. වැඩ වර්ජන මගින් ඒ අංශවල කටයුතු බිඳලීමෙන් රාජ්‍ය තන්ත්රයේ කටයුතු නවතාලීම ඔවුන්ට දුෂ්කර නොවීය. මේ නිසා දේශපාලන ඉල්ලීම් ලබා ගැනීමට වෘත්තීය සමිති ආයුධය කොට ගනු ලැබිණ. ඒඩන් වෘත්තීය සමිති සම්මේලනය 1955 මැතිවරණය වර්ජනය කිරීම සාර්ථක ලෙස සංවිධානය කළා පමණක් නොව, 1960 වැඩ වර්ජන නීතිවිරෝධී බවට පත් කළ නීති ක්‍රියාත්මක වී තිබිය දීත් ලන්ඩන්හි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සාකච්ඡාවලට විරුද්ධව වැඩ වර්ජනයක් කරමින් පැය 24ක් ඒඩන් වරාය වසා තැබීමට ද සමත් විය. ඒඩන්හි කම්කරු ජනතාවේ වැඩි කොටසක් යෙමන්වරු වූහ. යෙමනයේත් ඒඩන්හි බ්‍රිතාන්‍ය පාලනයේත් සම්බන්ධතාවල ලක්ෂණය වූයේ නිරන්තර ගැටීම්ය. ඒඩනයේ බ්‍රිතාන්‍ය ආධිපත්‍යය යෙමන්වරුන් විසින් නොපිළිගන්නා ලදි. මිසර ජනාධිපති නසාර්ගේ කටයුතු නිසා ඇති වූ දේශපාලන ප්රබෝධය ද සැලකිය යුතුය. 1964 අප්‍රේල් මස 23 වැනි දා යෙමනයේ දී කථා කරමින් “අරාබි ලොව සෑම තැනින් ම බ්‍රිතාන්‍යයන් පහ කිරීමට” නසාර් කළ දිවිරීම වැනි බාහිර දේශපාලන ප්රබෝධයන්ගෙන් ඒඩන්හි ජාතිවාදී ව්‍යාපාරයට නව පණක් ලැබිණ. ඒ හැර එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා ඒඩන්හි බ්‍රිතාන්‍ය හමුදා ක්‍රියා කලාපය විවේචනයට භාජන කළ අවස්ථා විය. ඒඩනය තුළ මෙවැනි දේශපාලන වාතාවරණයක් පවතිද්දී එය කඳවුරක් ලෙස යොදා ගැනීම දුෂ්කර විය.
නව ආරක්ෂක ප්රතිපත්තියෙහි ලා ඒඩනයේ වැදගත්කම පිරිහීමට ප්‍රායෝගික හේතු ද මුල් විය. ඒඩනය ප්‍රාදේශීය ආරක්ෂක කේන්ද්‍රස්ථානය ලෙස යොදා ගැනීමේ දී එක්සත් රාජධානියේ සිට එහි අවශ්‍යතා හදිසියේ සැපයීම දුෂ්කර ප්‍රශ්නයක් විය. සූවස් ඇළ වසා තැබූ විට නාවික ගමනාගමනය අපහසු වූ හෙයිනි. අපේක්ෂා කළ පරිදි ගගන යාත්‍රා මගින් ද අවශ්‍යතා සැපයීම දුෂ්කර විය. එක්සත් රාජධානියේ සිට ඒඩනයට අරාබි රටවල් හරහා ගුවන් පහසුකම් රිසි පරිදි ලබා ගත නොහැකි විය. ලිබියාවේ සිට සුඩාන් හරහා ඒඩනයට ඇති ඍජු මාර්ගය වැසූ විට ගුවන් යානාවක් යා යුතු වූයේ අප්‍රිකාව හරහාය. එය ද දේශපාලන හේතු නිසා දුෂ්කර විය. මේ ආදි කරුණු නිසා බ්‍රිතාන්‍ය ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ඒඩනයේ පැවති වැදගත්කම පිරිහී යෑමේ ප්‍රතිඵලය වූයේ තව දුරටත් යටත් විජිතයක් ලෙස එය පවත්වා ගැනීම අනවශ්‍ය බවට පත් වීමයි.
(සංස්කරණය: 1974)