ඒප් වානරයෝ
ගිබනයා, ඔරං උටං, චිම්පන්සියා හා ගොරිල්ලා වැනි, මිනිසාට සමානකම් දක්වන ලොකු වානරයන්ට ඒප් වානර නාමය භාවිතා කරනු ලැබේ. ඔව්හු මානවකල්ප වානරයන් (anthropoid apes) වශයෙනුත් හැඳින්වෙත්. උතුරු අප්‍රිකාවේ හා ජිබ්රෝල්ටරයේ වෙසෙන බාබරි (Barbary) ඒප් හා සෙලිබීස්හි වෙසෙන කළු ඒප් නැමති වානරයන්ටත් ඒප් යන නාමය යෙදනු ලැබේ. ඔරං උටං, චිම්පන්සියා හා ගොරිල්ලා පොන්ගිඩෙ (Pongidae) කුලයේ පොන්ගිනෙ (Ponginae) උපකුලයට ද ගිබනයා හිලොබටිනෙ (Hylobatinae) උපකුලයට ද අයත්ය.
වලිගයක් නැති බැවින් ද තරමක් දිග උණ්ඩුක පුච්ඡයක් ඇති බැවින් ද මස්තිෂ්ක (cerebral) අර්ධගෝලවල ප්‍රමාණයෙන් ද ඒවායේ සංචලිතයන්ගේ (convolutions) සංකීර්ණතාවෙන් ද ඒප් වානරයෝ මිනිසාට සමාන වෙති. වඩා ලොකු ගාත් ද පිළිමල් (opposable) පා මාපටැඟිල්ලක් ද ලොම් සහිත හමක් ද ලොකු රදනක (canine) දත් ද ඇති බැවින් ඒප් වානරයෝ මිනිසාට අසමාන වෙති. තව ද ඒප් වානරයන්ට නැති ලක්ෂණ කිහිපයක් මිනිසාට ඇත. ලොකු අනුඛණ්ඩිකාවක් (lobule) මිනිසාගේ බාහිර කනේ තිබේ. මිනිසා ඍජු කායිකය. පිළිමල් නොවූ පා මාපටැඟිල්ලක් සහිත පැතළි පාදයක් මිනිසාට ඇත. ඇද නැති ගාත්රා අස්ථි ද වඩා පළල් ශ්‍රෝණියක් (pelvis) ද නිකටක් ද ඔහුට ඇත. සාපේක්ෂ ලෙස වඩා ලොකු වූ කපාලයත් සමඟ සසඳා බලන කල මිනිසාගේ හන් කුඩා බව පෙනේ. මිනිසාගේ කශේරුවේ පැහැදිලිව පෙනෙන සිග්මාකාර සම්මිංජයක් (sigmoid flexure) ද ඇත.
ඒප් වානරයන් හා මිනිසා අතර සෑබෑ රුධිර සම්බන්ධයක් ඇති බව ඇතැම් ජෛව රසායනික ප්‍රතික්‍රියාවලින් පෙන්වා දී තිබේ. ඒප් වානරයන්ගේ හා මිනිසාගේ රතු රුධිරාණුවල විෂ්කම්භයන්ගේ අගය පහත දැක්වේ. ශිබනයා: අඟලෙන් 1/3549; චිම්පන්සියා: අඟලෙන් 1/3412; ඔරං උටං: අඟලෙන් 1/3383; මිනිසා: අඟලෙන් 1/3200. මෙයින් දැක්වෙන්නේ රතුරුධිරාණුවල විෂ්කම්භය ගිබනයාගේ සිට මිනිසා දක්වා ක්‍රමයෙන් වැඩි වන බවය. මිනිසාට වැලඳෙන ඇතැම් රෝග මේ වානරයන්ටත් වැලඳිය හැකි බව ව්‍යාධිවේද පරීක්ෂණ මගින් දැනගෙන තිබේ. උපදංශය (ඵිරංගය) පවා ඒප් වානරයන්ට ආසාදනය කළ හැකිය. මේ රෝගය වැලඳීමෙන් ඇතිවන විපර්යාසයන්ගේ උග්රතාව වානරයාත් මිනිසාත් අතර ඇති සම්බන්ධතාවේ කිට්ටුකම අනුව වැඩි වේ. මෙසේ ඔරං උටං කෙරෙහි ඇති වන විපර්යාසයන්ට වඩා උග්‍ර විපර්යාස චිම්පන්සියා කෙරෙහි ඇති වේ.
ඒප් වානරයන්ගේ, විශේෂයෙන් ම චිම්පන්සියාගේ, බුද්ධිය පරීක්ෂා කර බැලීම සඳහා මනෝ විද්‍යාඥයන් විසින් මෑතක දී බොහෝ පරීක්ෂණ පවත්වා ඇත. මිනිස් බුද්ධියේ බීජාවස්ථාවක් මුන් කෙරෙහි ඇති බව මේ පරීක්ෂණවලින් දැක්වෙන්නා සේයි. මිනිස් බුද්ධියේ වඩා සංකීර්ණ ක්‍රියාවන් පිළිබඳ අධ්‍යයනය සඳහා මේ වානරයන්ගේ සාපේක්ෂ ලෙස සරල වූ බුද්ධිය පදනමක් වශයෙන් යොදා ගත හැකිය. ඈත අතීතයේ දී ආදි මිනිසාට ඉතා සරල බුද්ධියක් තිබෙන්නට ඇතැයි යනු විද්‍යාඥයන්ගේ විශ්වාසය වේ. එහෙත් ආරක්ෂාව, දඩයම, නිවාස සෑදීම යනාදිය ඇතුළත් ජීවිත සටන කරගෙන යාමේ දී මිනිසාගේ මොළය ද ක්‍රමයෙන් විකාසනය විය.
තරමක් දියුණු වූ මානවකල්ප වානරයන්ගේ පොසිල ශේෂ කැබලි පුරාණ ලෝකයේ මයොසීන හා ප්ලයොසීන පාෂාණවලින් ලබා ගෙන තිබේ. ලැබී ඇති ශේෂවලින් බොහොමයක් දත් හා හනුය. මේ ශේෂවල තිබෙන ඇතැම් ලක්ෂණ වර්තමාන චිම්පන්සියා, ගොරිල්ලා හා මිනිසා කෙරෙහි ද දක්නට ලැබේ. මේ ශේෂ ඩ්රියොපිතෙකුස් (Dryopithecus) නමින් හැඳින්වේ. ප්රොප්ලියොපිතෙකුස් (Propliopithecus) හා පැරපිතෙකුස් (Parapithecus) නමින් හැඳින්වෙන ඒප් වානර පොසිල දෙකක් මිසරයේ ඔලිගෝසීන අවධියෙන් ලැබී තිබේ. ආදි මානවකල්ප වානරයකු වූ ප්රොප්ලියොතෙකුස් කෙටි හනු සහිත කුඩා සතෙක් විය. ගිබනයාට සබඳකම් දක්වන මේ වානරයාගේ දන්ත සූත්‍රය (dental formula) මිනිසාගේ දන්ත සූත්‍රයට සමාන විය. පැරපිතෙකුස් ඉතා ආදි මානවකල්ප වානරයෙක් විය. මෑතක දී නැගෙනහිර අප්‍රිකාවෙන් ලබාගෙන ඇති ප්රෝකොන්සල් (Proconsul) නමින් හැඳින්වෙන පොසිලය බෙහෙවින් දියුණු වූ ඒප් වානරයකුට අයත් යයි සිතනු ලැබේ.
(ගොරිල්ලා, චිම්පන්සියා, ඔරං උටං, ගිබනයා යන ලිපිත් බලන්න.)
(සංස්කරණය: 1974)