ඒමයිඩ
ලෝහ ඒමයිඩ හා අම්ල ඒමයිඩ යනුවෙන් ඒමයිඩ කොටස් දෙකකට බෙදිය හැකිය.
ලෝහ ඒමයිඩ
ඇමෝනියා (බ.) අණුවක ඇති හයිඩ්රජන් පරමාණුවලින් එකක් ලෝහයකින් ප්‍රතිස්ථාපනය වීමෙන් සෑදෙන සංයෝග මෙනමින් හැඳින්වේ. සෝඩියම් ඒමයිඩය NaNH2 හා කැල්සියම් ඒමයිඩය Ca(NH2)2 මීට නිදසුනි. ක්ෂාරීය ලෝහ සමග ඇමෝනියා කෙළින් ම ප්‍රතික්‍රියා කිරීමෙන් මේවා නිපැදවේ. ලෝහ ඒමයිඩ වැඩි ප්‍රමාණයක් ම අන්තඃ අණුකව ප්‍රතික්‍රියා කිරීමෙන් ඇමෝනියා නිදහස් කෙරේ. එහෙයින් මේවා අක්‍රිය ද්‍රාවණයක බහා ආරක්ෂිතව තැබිය යුතුය. මෙම සංයෝග කාබනික සංශ්ලේෂණයන්හි යෙදෙන වැදගත් සංඝනන කාරකයෝයි (condensation agents). විශේෂයෙන් ම එස්ටරයන්හි හා නයිට්රයිලයන්හි සංඝනන ප්‍රතික්‍රියා සඳහා මෙය යෙදේ. සෝඩියම් ඒමයිඩය වැදගත් ම ලෝහ ඒමයිඩයයි (සෝඩියම් බලන්න).
අම්ල ඒමයිඩ
ඇමෝනියාවල ඇති හයිඩ්රජන් පරමාණු එකක් හෝ වැඩි ගණනක් අම්ල ඛණ්ඩයකින් ප්‍රතිස්ථාපනය වීමෙන් සෑදෙන සංයෝග පද්ධතියකි. ඇමෝනියා අණුවක ඇති හයිඩ්රජන් පරමාණු පිළිවෙළින් එකක්, දෙකක් හෝ සියල්ල විස්ථාපනය කිරීමෙන්, ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික ඒමයිඩ සෑදේ. අකාබනික අම්ලයන්ගෙන් ද ඒමයිඩ කිහිපයක් සෑදේ. නයිට්‍රික් අම්ලයෙන් සෑදෙන නයිට්රා ඒමයිඩය (H2NNO2) ද සල්පියුරික් අම්ලයෙන් සෑදෙන සල්ෆාමික් අම්ලය (H2NS03H) ද මීට නිදසුන් වශයෙන් දැක්විය හැකිය. එහෙත් ප්‍රධාන වශයෙන් ප්‍රයෝජනයට ගැනෙන ඒමයිඩ නිපදවනු ලබන්නේ RCO — හෝ RS02 — වැනි කාබනික අම්ල ඛණ්ඩක මගින් ඇමෝනියාවල ඇති හයිඩ්රජන් පරමාණු විස්ථාපනය කිරීමෙනි.
අවශ්‍යතාවට අනුරූප වන ආකාරයේ අම්ල ක්ලෝරයිඩයක්, අම්ල ඇන්හයිඩ්රයිඩයක් හෝ එබඳු එස්ටරයක් ඇමෝනියා සමඟ ප්‍රතික්‍රියා කරවීමෙන් ඒමයිඩ පහසුවෙන් ලබාගත හැකිය.
නිදසුන්
අවශ්‍ය ඒමයිඩයට අනුරූප වන අම්ලය ඇමෝනියා සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් ලැබෙන ඇමෝනියම් ලවණය සෙ. 140°-150° අතර තාප විච්ඡේදනය කිරීමෙන් වාණිජ අවශ්‍යතාවන් සඳහා ඒමයිඩ නිපදවනු ලැබේ.
නයිට්රයිලයන් ආංශික ජලවිච්ඡේදනය කිරීමෙන් ද ඒමයිඩ නිපදවිය හැකිය.
සාමාන්‍ය ක්‍රමය අනුව ඒමයිඩයට අනුරූප අම්ල නාමයෙහි අගට ‘ඒමයිඩ’ කොටස යෙදීමෙන් හෝ අයි.යූ.සී. ක්‍රමය අනුව ඒමයිඩයට අනුරූප හයිඩ්‍රොකාබනයේ අගට ඒමයිඩ කොටස යෙදීමෙන් හෝ ඒමයිඩ නම් කළ හැකිය. මේ අනුව CH3CONH2 යන්නෙන් දැක්වෙන ඒමයිඩය අම්ලය අනුව ඇසිටමයිඩ් යනුවෙන් ද, අයි.යූ.සී. ක්‍රමය අනුව මීතේන් ඒමයිඩ් යනුවෙන් ද, නම් කිරීම මීට නිදසුනි.
සරලතම අම්ල ඒමයිඩය වූ ෆෝම් ඒමයිඩය හැර අනෙක් සියලු ඒමයිඩ ස්ඵටිකරූපී ඝන ද්‍රව්‍යය. ඒමයිඩයන්හි තාපාංකය, එම ඒමයිඩ ලබාගත් අම්ලයෙහි තාපාංකයට වඩා වැඩිය. සරල ඇලිපැටික ඒමයිඩ ජලයේ ද්‍රාව්‍යය. නමුත් ඒමයිඩයන්හි අණුක භාරය වැඩි වීමත් සමඟ ම ද්‍රාව්‍යතාව අඩු වේ. සරල ඇරෝමැටික ඒමයිඩ සිසිල් ජලයෙහි අද්‍රාව්‍ය නමුත් උණු ජලයෙහි ද්‍රාව්‍යය. හැම ඒමයිඩයක් ම මද්‍යසාරයෙහි හෝ ඊතරවල දිය වේ. ප්‍රාථමික ඒමයිඩ ඉතා දුර්වල භස්මය. අම්ල, භස්ම හෝ එන්සයිම නිසා ඒමයිඩ ජලවිච්ඡේදනය වීමෙන් ඇමෝනියා හෝ ඇමීන සහ මව් අම්ලය ලැබේ.
ප්‍රාථමික ඒමයිඩ, නයිට්‍රස් අම්ලය සමඟ ප්‍රතික්‍රියාකරණයෙන් ප්‍රමාණාත්මකව නයිට්රජන් මුදාහරී.
සරල විජලකාරක මඟින් ඒමයිඩ නයිට්‍රයිල් සංයෝගවලට හැරවිය හැකිය.
බ්රෝමීන් හෝ ක්ලෝරීන් සහ සෝඩියම් හයිඩ්රොක්සයිඩ් මිශ්‍රණයක් සමග ඒමයිඩ ප්‍රතික්‍රියාකරණයෙන් ඒමයිඩයෙහි ඇති කාබන් පරමාණු ගණනට වඩා එකක් අඩු කාබන් පරමාණු ගණනකින් යුතු ඇමීනයකට ඒමයිඩය පරිවර්තනය කළ හැකිය. හොෆ්මාන්ගේ ප්‍රතික්‍රියාව නමින් හඳුන්වනු ලබන මෙම ප්‍රතික්‍රියාව සෛද්ධාන්තිකව වැදගත් එකකි. වෛද්‍ය විද්‍යාවෙහි ඖෂධ වශයෙන් බෙහෙවින් යෙදෙන සල්ෆා ඖෂධ (sulfa drugs) නිෂ්පාදනයෙහි දී, සල්පොනික් අම්ලයෙන් ලබා ගත හැකි ඒමයිඩ හෝ ඒමයිඩ සංයෝග හෝ බෙහෙවින් යෙදේ.
(සංස්කරණය: 1974)