ඒමයිල් ඇසිටේට්
ඒමයිල් මද්‍යසාර (බ.) හෝ එම මද්‍යසාරවල මිශ්‍රණයක් හෝ ඇසිටික් අම්ලය සමග ප්‍රතික්‍රියා වීමෙන් ලැබෙන එස්ටර (එස්ටර සහ එස්ටරීකරණය බ.) මෙනමින් හඳුන්වනු ලැබේ. බනානා තෙල් (banana oil) යනු මීට ම තවත් නමකි. C5H11OH පොදු සූත්‍රයෙන් හඳුන්වනු ලබන ඒමයිල් මද්‍යසාර අටක් ඇති නිසා ඊට අනුරූපව ඒමයිල් ඇසිටේට් ද අටක් තිබේ. ඒවායේ ආනුභවික සූත්‍රය CH3COOC5H11 මගින් දැක්විය හැකිය.
සාමාන්‍ය උෂ්ණත්වයේ දී ඒමයිල් ඇසිටේට් ද්‍රව අවස්ථාවේ පවතී. එය උදාසීනය; ප්‍රසන්න වූ සුවඳකින් යුක්තය. මෙම සුවඳ කෙසෙල් වැනි ඉදුණු පලතුරුවලින් නිකුත්වන සුවඳට සමානය. ඒ නිසා මෙම ද්‍රව සුවඳ විලවුන් නිපැදවීමේ දී සාර වශයෙන් යොදා ගනු ලැබේ. ඒමයිල් ඇසිටේට් ප්‍රබල ද්‍රාවකයකි. නයිට්‍රොසෙලියුලෝස් ද්‍රාවණය කිරීම සඳහා ද වාර්නිස් වර්ග හා ලැකර් වර්ග නිපැදවීමේ දී ද ද්‍රාවක වශයෙන් ඒමයිල් ඇසිටේට් යොදාගනු ලැබේ. ඒමයිල් ඇසිටේට්වල සමාවයවික සංයෝග අට අතුරෙන් හයක් ම වාණිජ අවශ්‍යතාවන් සඳහා විශාල වශයෙන් නිපදවනු ලැබේ.
(සංස්කරණය: 1974)