ඔකිනාවා
ශාන්තිකර සාගරයේ උතුරින් ජපානයත් දකුණින් තායිවානයත් (ෆෝමෝසාවත්) අතර පිහිටා ඇති කොදිව් පෙළට අයත් දිවයිනකි. ඔකිනාවා යනු මෙම කොදිව් පෙළේ විශාලතම වූ ද වැදගත් ම වූ ද දිවයිනයි. එහෙයින් දූපත් සැත්තෑ තුනකින් සමන්විත කොදිව් පෙළ ම ඔකිනාවා යනුවෙන් හැඳින්වේ. මෙම කොදිව් පෙළ ඔකිනාවා ගුන්තෝ, මියාකෝ ගුන්තෝ, යයෙයාමා ගුන්තෝ යනුවෙන් කොටස් තුනකට බෙදේ.
ශාන්තිකර සාගරයේ ‘මුදුන් ගල’ යනුවෙන් හැඳින්වෙන ඔකිනාවා දිවයින තෝකියෝ නුවරට සැ. 1,100ක් නිරිත දිගින් ද මැනිලා නුවරට සැ. 920ක් හා හොංකොං නුවරට සැ. 900ක් ඊසාන දිගින් ද පිහිටා තිබේ. මෙහි ප්රමාණය ව.සැ. 454කි. දිවයිනේ වැඩිහරියක් විෂම කඳුකර ස්වරූපයක් දරයි. නාහා ප්රධාන නගරය වෙයි. එහි ජනගහනය (1963) 223,000කි. ඔකිනාවාහි ජීවිතයේ සෑම කාර්යයෙක්හි ලා මධ්යස්ථානය ලෙස සැලකෙනුයේ මෙයයි.
දෙවෙනි ලෝක සංග්රාමයට පෙර මෙම දිවයිනේ ආර්ථිකයේ මට්ටම ජපානයේ ආර්ථිකයේ මට්ටමට වඩා අතිශයින් පහත් විය. මුළු කොදිව් පෙළ ම ප්රධාන වශයෙන් නඩත්තු වූයේ සව්, බතල, කෙසෙල් හා උක් වැවීම වැනි කෘෂිකාර්මික කටයුතුවලිනි. යුද්ධයෙන් පසු ඇමරිකානුන් විසින් විවිධ ප්රමාණයේ යුද කඳවුරු ඉදිකිරීමත් ඇමෙරිකානු ඩොලර් භාවිතයත් හේතුකොටගෙන මෑත අවුරුදුවල දී ආර්ථිකයේ විශාල වර්ධනයක් දක්නට ලැබිණි.
1965 ජනලේඛනයට අනුව ඔකිනාවා කොදිව් පෙළේ ජනගහනය 934,176කි. ඔකිනාවා දිවයිනේ ජනගහනය 812,339කි. මෙය කොදිව් පෙළේ ජනගහනයෙන් සියයට අසූ එකකි. ඔකිනාවානු ජනයා මානව වර්ගයක් වශයෙනුත් භාෂාව අතිනුත් ජපන් ජාතිකයෝ ම වෙති. එහෙත් භූගෝලීය වශයෙන් ජපන් දූපත් පෙළේ නිරිතදිග අන්තයට වන්නට පිහිටා තිබීමත් චීනයට සමීප වීමත් නිසා චීන හා අග්නිදිග ආසියානු සංස්කෘතීන්ගේ සංකලනයක් ඔවුන්ගේ සිරිත් විරිත් කෙරෙන් ඉස්මතු වී පෙනේ.
ඉහත දී ඔකිනාවා දූපත්වල වෙන ම රාජ්යයක් විය. එම රාජ්යය දේශපාලන හා ආර්ථික වශයෙන් චීනය සමගත් ජපානය සමගත් සම්බන්ධකම් පැවැත්විය. එය චීනයේ හා ජපානයේත් පසුව අග්නිදිග ආසියාවේත් පාරසමුද්ර වෙළෙඳ මධ්යස්ථානයක් වශයෙන් අනුක්රමයෙන් සමෘද්ධ වන්නට විය. 1609 දී ජපානයේ සත්සුමා වංශිකයන් යටතට පත් මේ දූපත් 1879 දී පටන් ජපානයේ මධ්යම ආණ්ඩුව යටතේ ඔකිනාවා පළාත වශයෙන් පාලනය වන්නට විය. දෙවන ලෝක සංග්රාමයේ ශාන්තිකර සටනේ දී ප්රබල සටන් බිමක් වූයේ ඔකිනාවා දූපතයි. 1945 අප්රේල් 5 වැනි දා ඇමෙරිකානුන් විසින් මුළු කොදිව් පෙළ ම සිය පාලනයට නතු කොටගත් බව ප්රකාශ කරන ලදි. යුද්ධයෙන් විනාශ වී ගිය ඔකිනාවා දූපත් වර්තමාන තත්ත්වයට පත් වීමට අවුරුදු බොහෝ ගණනක් ගත විය. 1949 දී චීනයේ සිදු වූ රාජ්ය විපර්යාසයත් 1950 දී කොරියානු යුද්ධය පටන් ගැනීමත් හේතුකොටගෙන ඇමෙරිකානු පාලකයන් විසින් මෙම දූපත්වල ප්රබල යුද කඳවුරු පිහිටුවන ලදි. ජපානයේත් අසල රටවලත් ආරක්ෂාව උදෙසා එම කඳවුරුවල වැදගත්කම අනල්ප විය. 1951 දී ඇමෙරිකාවත් ජපානයත් විසින් අත්සන් කරන ලද සාම ගිවිසුමෙන් මෙම දූපත්වල පාලනය හා අධිකරණ බලය පිළිබඳ සම්පූර්ණ අයිතිය ඇමෙරිකානුන් වෙත රැඳිණි. ඇමෙරිකාවේ විදේශ ලේකම් විසින් සැන් ෆ්රැන්සිස්කෝ සාම සම්මේලනයේ දී මෙම දූපත් පිළිබඳ පරිශේෂ ආධිපත්යය (residual sovereignty) රඳවා ගැනීමට ජපානයට ඉඩදෙන බව ප්රකාශ කරනු ලැබීමෙන් ඉක්බිතිව එම දූපත් වැඩිකල් යෑමට මත්තෙන් ආපසු ජපානයට පැවරෙනු ඇත යනු ඔකිනාවානු වැසියන්ගේ දැඩි විශ්වාසය විය.
සාම ගිවිසුමට එළඹි කාලයේ පටන් ම ඇමෙරිකානු පාලනය පිළිබඳව ඔකිනාවානු වැසියන් තුළ මනාපයක් නොවූයෙන් නැවතත් ජපන් පාලනය යටතට පැමිණීම ඔවුන්ගේ අභිරුචිය විය. මෙම දූපත ජපානයට පවරන ලෙස ඔවුන් ඉල්ලා සිටිය ද ඇමෙරිකානුන්ගේ පිළිතුර වූයේ ඈත පෙරදිග තත්ත්වය එවකත් සතුටුදායක නොවූ හෙයින් ඒ ගැන තීරණයක් ගැනීමට නොහැකි බවයි. අනුක්රමයෙන් පැනනැගෙන්නට වූ නොයෙකුත් දේශපාලන පක්ෂ හා සංවිධාන මගින් දූපත ජපානයට පවරා දිය යුතු යයි උද්ඝෝෂණයක් අරඹන ලදි. යටකී සාම ගිවිසුමේ කොන්දේසිවලට අනුව 1953 දී අසල පිහිටි අමාමි දූපත් ද 1968 දී බෝනින් දූපත් ද ජපානයට පවරනු ලැබීමෙන් ඉක්බිති මෙම උද්ඝෝෂණ ව්යාපාරය තවදුරටත් උග්ර විය. 1969 පමණ වන විට ඔකිනාවානු වැසියන්ගේ මුඛ්යතම දේශපාලන ප්රශ්නය වූයේ එයයි.
තම ප්රධාන රටෙන් ඔකිනාවා දූපත් වෙන් කිරීම ගැන ජපන් ජාතිකයන් තුළ ද ප්රසාදයක් නොතිබිණි. ඇමරිකාවත් ජපානයත් අතර දීර්ඝ කාලයක් තිස්සේ පැවැති සාකච්ඡාවල ප්රතිඵල වශයෙන් ඇති කරගන්නා ලද ගිවිසුමට අනුව එම දූපත් 1972 මැයි 15 වැනි දින ආපසු ජපානයට පවරනු ලැබිණි.
(සංස්කරණය: 1974)