ඔට්රාන්ටෝ
සිංහල විශ්වකෝෂය වෙතින්
දකුණු ඉතාලියේ අපුලියා ප්‍රදේශයට අයත් ලෙච්චේ පළාතේ නගරයකි. මෙය ඔට්රාන්ටෝ සමුද්‍රසන්ධිය අසල පැරැණි කැලේබ්රියන් අර්ධද්වීපයේ නැගෙනහිර වෙරළෙහි පිහිටා තිබේ. මෙය දුම්රිය මධ්‍යස්ථානයක් මෙන් ම කෘෂිකාර්මික මධ්‍යස්ථානයක් ද වේ. ජනගහනය (1961) 4,107කි. ඔලිව්, මිදි ආදි පලතුරු වර්ග හා එළවළු වර්ග මෙහි සිට පිටරට යවනු ලැබේ. මසුන් මැරීමත් මාලු දැල් තැනීම හා මාලු තෙල් වර්ග නිෂ්පාදනයත් මෙහි ප්‍රධාන කර්මාන්තයි.
ග්‍රීක ප්‍රභවයක් ඇති හයිඩ්රුස් හෙවත් හයිඩ්රුන්ටුම් නම් පැරණි නගරය වූ භූමිභාගයෙහි පිහිටා ඇති, මුල දී ඉතා වැදගත් මුහුදු තොටක් ව පැවැති ඔට්රාන්ටෝ නගරය 1480 දී තුර්කි හමුදාවන් විසින් විනාශ කර දමනු ලැබූ පසු යළි පෙර තත්වයට නොපැමිණියේය. මේ නගරය බලකොටු මන්දිරයත් දෙව් මැදුරත් නිසා විශේෂයෙන් ප්රකටය.
(සංස්කරණය: 1974)