ඔටාවා ගඟ

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

කැනඩාවේ සෙන්ට් ලෝරන්ස් ගංගාවේ විශාලතම අතු ගංගාව වන මෙය දිගින් සැතැපුම් 696කි. ඔටාවා නගරයට සැතැපුම් 150ක් පමණ උතුරින්, දකුණු ක්විබෙක් ප්‍රදේශයෙන් ආරම්භ වන මේ ගංගාව පළමුව බටහිර දෙසට ටිමිස්කමිං විල දක්වා ද ඉන්පසු ගිනිකොන දෙසට හා නැගෙනහිර දෙසට ද ගලා ගොස් සෙන්ට් ලෝරන්ස් ගංගාවට සම්බන්ධ වෙයි. රූෂ්, නෝත් නේෂන්, ල්යේව්ර්, ගැට්නෝ, කූලෝන්, ඩිමොයින්, සවුත් නේෂන්, මිසිසිපි, රිදෝ, මැඩවොස්කා, පැටවෝවා යනු මෙහි ප්‍රධාන අතුගංගාවෝ වෙති. සෙන්ට් ඈන් කාර්ලන්, ග්රෙන්විල් යන නගර අසල වූ වාරිමාර්ග ඔස්සේ මොන්ට්‍රියෝල් නගරයේ සිට ඔටාවා නගරය දක්වා ජලයාත්‍රා ගමන් කළ හැකිය. මේ ගංගාව රිදෝඇළ පද්ධතිය මගින් ඔන්ටේරියෝ විල හා සමග සම්බන්ධ වෙයි. ඔටාවා අසල, ශෝදියේ ඇල්ලට ඉහළින් වූ ගංගා කොටස පල්ප් දැව කොට පා කොට යැවීමටත් විදුලිය නිපදවීමටත් යොදාගනු ලැබේ. ටිමිස්කමිං විලට ඉහළින් වේලි බැඳ තනන ලද විශාල ජලාශයෝ වෙත්. මේවායේ ජලවහන ප්‍රදේශය ව.සැ. 29,900කි.

ඔටාවා ගංගාව ප්‍රථමයෙන් ගවේෂණය කරන ලද්දේ 1613 දී සමුවල් ද ශොම්ප්ලැං විසිනි. මේ ගංගාව දහනවවැනි ශත වර්ෂය මුළුල්ලේ ම මොන්ට්‍රියෝල් හා ක්විබෙක් යන ප්‍රදේශ දක්වා දැව දඬු ගෙන ගිය ප්‍රධාන ගංගා මාර්ගයව පැවැත්තේය. මහාමාර්ගයන්හි මෝටර් රථ ගමනාගමනය සුලභ වීමත් සමඟ ම 1886-1914 අතර කාලය තුළ කඩිසර ලෙස කෙරුණු දුම් නැව් ගමනාගමනය අභාවයට ගියේය. ඉන්පසු ඔටාවා ගංගාවත් ඊට සම්බන්ධ ඇළවලුත් විනෝද යාත්‍රාවලට පමණක් සීමා විය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඔටාවා_ගඟ&oldid=11412" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි