ඔටුන්න

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

රාජකීයත්වය හඟවන ශිර්ෂාභරණයකි. සාම්ප්‍රදායික සමාජයන්හි ඇඳුම් ආයිත්තම්වලින් බොහෝ විට සමාජ තත්වය පිළිබිඹු කෙරේ. ඔටුන්න රටේ උසස් ම සමාජ තත්වය පිළිබිඹු කරන පැලඳුමයි. ඔටුන්න රජබව හා සම්බන්ධවීමේ ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ රටවල එය රජබව දැක්වීමේ සංකේතය බවට පත් විය. ලෝකයේ බොහෝ සාහිත්‍යයන්හි හා භාෂා ව්‍යවහාරයන්හි ද රජබවට පත් වීම ‘ඔටුනු පැලඳීම’ හැටියට දැක්වෙන්නේ එහෙයිනි. නීත්‍යනුකූල රජු වන්නේ ඔටුනු පලන් පුද්ගලයා වන හෙයින් රාජත්වය ඇතැම් රටවල පුද්ගලයාටත් වඩා ඔටුන්න ආශ්‍රිතව පැවැති බව හැඟේ. එවැනි සමාජයක ඔටුන්න යමකු සතු වී ද ඔහුට රජ බවට පත් විය හැකි වූ සේයි. ඔටුන්න රජබව හා බෙහෙවින් සම්බන්ධ වීම හේතුකොටගෙන බොහෝ සමාජයන්හි එය ශුද්ධ වස්තුවක් වශයෙන් ද සැලැකෙන බව පෙනේ. පැරණි සංකල්පයන්ට අනුව රජු දෙවි කෙනකු වශයෙන් ද රාජාභරණ දේවාභරණ වශයෙන් ද ගැණෙන හෙයිනි. මේ අනුව අනුව ඔටුන්න කෙරෙහි පැවැත්ම බොහෝ විට තහනම් නීති පද්ධතියකින් යුත් පිළිවෙත් අනුකූලව පවතී. නිදසුන් වශයෙන්, ඔටුන්න ඇල්ලීම, එය අසලට යාම ආදිය තහනම් වේ. මිසර රජවරුන්ගේ ඔටුන්න සතුව රජුගේ රහස් අභිමතාර්ථයන් ඉටු කිරීමේ බලය ද සතුරන්ගෙන් පළිගැනීමේ බලය ද තිබිණැයි සඳහන් වේ. ඔටුන්නේ රශ්මියෙන් සතුරන් දැවෙතැයි ද ඊට කිට්ටු වන්නවුන් සිහිසන් නැති වෙතැයි ද විශ්වාස කරන ලදි.

රාජ්‍යයට සුදුස්සා තෝරාගැනීමේ ගුප්ත බලයක් ඔටුන්න සතුව තිබූ බව ඇතැම් රටවල මිනිසුන් විශ්වාස කළ බව පෙනේ. එක් තැනක රැස්ව හුන් ජනයා ඉදිරියේ උස් තැනක තබන ලද ඔටුන්න අහස්ගතව සැරිසරා රජ වීමට සුදුස්සාගේ හිස මත තැන්පත් වන බව දැක්වෙන ට්‍රාන්සිල්වේනියානු ජනකථාවක් වේ. ඔටුන්න වනාහි දිව්‍යලෝකයෙන් නික්ම අවුත් රජුන්ගේ හිස මත පැලැඳුණු වස්තුවක් හැටියට ද ඇතැම් ජනයා අතර සැලකෙතැයි සඳහන් වේ. ජනපදය රාජශූන්‍ය වූ කල්හි ඔටුන්න හා කකුධ භාණ්ඩ පුෂ්ප රථයෙහි තබා යැවීමෙන් රජකු තෝරාගැනීමේ සිරිතක් පැවති බව පෙරදිග සාහිත්‍යයෙහි එයි. රජ කෙනකුන්ගේ ජීවිතාරක්ෂාව ද ඔටුන්නේ ආරක්ෂාව මත රඳා පවත්නේය යන විශ්වාසයක් ද ඇත.

මැණික් ඔබ්බන ලද විවිධ වර්ගවල හිස් පැලඳුම් පැරණි මිසර හා ඇසිරියානු රජවරුන් විසින් පලඳින ලදි. පෙර ඇතැම් ග්‍රීක හා රෝම රජුන්ගේ ඔටුනු කොළ, මල් ආදියෙන් සැදුණු ඒවා විය. එම මුල් ඔටුනු රාජත්වයේ සංකේත නොවීය. යුද්ධ ජයග්‍රාහකයන් මෙන් ම ක්‍රීඩා ජයග්‍රාහකයන් විසින් ද උත්සව අවස්ථාවන්හි දී බොහෝ දෙනා විසින් ද එම ඔටුනු පලඳින ලදි. කල්යාමේ දී මේවා ලෝහවලින්, විශේෂයෙන් ම රනින්, නිම වෙන්නට විය. රෝම අධිරාජවරුන් එසේ රනින් සෑදු ඔටුනු පැලැඳි බව පෙනේ. කොන්ස්ටන්ටයින් (306-337) රජු කල සිට මාණික්‍යයෙන් ද අලංකාර වූ රෝම ඔටුන්න බලධාරිත්වයේ සංකේතය විය. ඔටුනු පැලඳීමේ චාරිත්‍රය යුරෝපීය රජවරුන් අතර පැතිර ගියේ රෝම සංස්කෘතියේ ආභාසයෙනැයි සමහරු අදහස් කරත්. තවත් සමහරුන් කල්පනා කරන හැටියට ඔටුන්න පෙරදිග රාජ්‍යයන්ගෙන් බටහිරට ව්‍යාප්ත වූවකි. පෙරදිගින් ගියේ ශීර්ෂ මාණික්‍යය පමණක් වුව ද බයිසන්ටයින් රාජ්‍යයේ දී එය චක්‍රාකාර වූත් මැණික් ඔබ්බන ලද්දාවූත් ආභරණයක් වී යයි කියත්. ඉතාලියේ රවෙන්නා නුවර දක්නට ඇති මොසෙයික් චිත්‍රයන්හි මෙය ප්‍රතිබිම්බිතය. මැණික් ඔබ්බා ඇනමල් කරන ලද චක්‍රාකාර රන් පටියක් වූ මෙම ඔටුනු විශේෂය පිළිබඳ නිදසුන් ස්පාඤ්ඤයේ තිබී සොයාගෙන ඇත. ලොම්බාඩිහි යකඩ ඔටුන්න නමින් හැඳින්වෙන සුප්‍රසිද්ධ ඔටුන්න විශාල වළල්ලක හැඩය ගත්තකි. එහි එල්බෙන මුතු මැණික් ආදියක් නැත්තේය. එය යකඩ ඔටුන්න නමින් හැඳින්වෙන්නේ ක්‍රිස්තුස්වහන්සේ කුරුසියෙහි ඇණ ගැසීම සඳහා යොදාගත් ඇණයකින් සාදාගන්නා ලදැයි විශ්වාස කෙරෙන කුඩා යකඩ පටියක් එහි තිබීම නිසායි. ෂාල්මේන් රජුගේ ඔටුන්න ද බයිසන්ටයින් වර්ගයේ ඔටුන්නක් ලෙස සැලකේ. දැනට මියුනික්හි තිබෙන, දෙවන හෙන්රි රජුගේ ඔටුන්න යයි සැලකෙන ඔටුන්න වෙනත් ඔටුනු වර්ගයකට අයත් වේ. බොහෝවිට ස්ට්‍රෝබෙරි පත්‍රවලට සමාන හැඩය ඇති පත්‍ර රටාවකින් නිර්මිත මෙම ඔටුන්නට තවත් නිදසුනක් නම් ශාන්ත වෙන්සෙස්ලාස්ගේ (St. Wenceslas) ඔටුන්න නමින් හැඳින්වෙන දැනට ප්‍රාග් නුවර දක්නා ලැබෙන ඔටුන්නයි. මෙය ප්‍රංස සම්ප්‍රදායකට අනුකූලව 14 වැනි ශතවර්ෂයේ පමණ සාදන ලද්දකැයි විශ්වාස කරනු ලැබේ. නැපෝලියන්ගේ අභිෂේකය සඳහා ගන්නා ලද ඔටුන්න ද මේ වර්ගයට අයත් සේ සැලකිය හැක්කකි. මෙය දැනට ප්‍රංසයේ ලූව්‍ර කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත.

සිංහල ඔටුන්න

මහාවංසටීකාවෙහි සඳහන් වන පරිදි උතුරු ඉන්දියාවේ භාවිත වූ අභිෂේක ක්‍රමය ලංකාවේ රජවරුන් විසින් ද පිළිගන්නා ලදි. රජබවෙහි උදාවත් සමග රාජ කකුධභාණ්ඩ හා පලඳනා අනර්ඝත්වයෙන් හා සංකීර්ණත්වයෙන් වැඩි වන්නට ඇතැයි සිතිය හැකිය.

රනින් හා මැණිකෙන් නිමවන ලද ඔටුන්නක් පොළොන්නරු යුගය වන විට රජු සිංහාසනාරූඪව සිටිය දී පාවිච්චි කළ බව පෙනේ. ඔබ්බන ලද මැණික් අතුරින් අනර්ඝතම මැණික වූයේ ඔටුන්න මුදුනේ බඳනා චූඩාමාණික්‍ය සංඛ්‍යාත මැණිකයි. සිද්ධ, මිණි, සිංහ, ව්‍යාඝ්‍ර, රුවන් වශයෙන් ඔටුනු පස්වර්ගයක් ගැන ථූපවංසයෙහි සඳහන් වේ. 1017 දී සොළීන් විසින් අත්පත් කරගන්නා ලද සිංහල රාජකීය වස්තු අතර ඔටුන්න (මකුට) ද වී යයි සඳහන් වේ (මහාවංස 55.16). සිව්සැට රාජාභරණ අතර කිරීටය ද එකක් ලෙස දැක්වේ.

මහනුවර රාජ්‍ය සමයේ ඔටුනු සෑදීම හා සම්බන්ධ නොයෙක් තොරතුරු සඳහන් වේ. රජවාසල රන් රිදී හා වෙනත් ලෝහ වැඩ සඳහා මුලින් වූ ආභරණ පට්ටලය පසුව කොටස් කීපයකට බෙදන ලදින් ඔටුනු සෑදීම ඔටුනු පට්ටලය (බ.) නම් වූ විශේෂ කාර්යාංශයකට පැවරිණි. මෙහි ප්‍රධාන තනතුර දරන ලද්දේ මූලාචාර්ය කෙනකුන් විසිනි. සෙංකඩගල රාජ්‍යසමයේ දී ඔටුනු පැලඳවීමේ මංගලය කළ සැටි මන්දාරම්පුර පුවතෙහි මැනැවින් විස්තර කොට ඇත.

ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ ඔටුන්න 1820 ජූනි 13 වැනි දා තෝමස් කිං නම් තැනැත්තකු විසින් ලන්ඩන් නුවර කවන්ට් ගාර්ඩන්හි රජවීථියේ අංක 38 දරන සිය වෙන්දේසි පොළේ දී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන ලදි. ඒ සඳහා මුද්‍රණය කරන ලද පත්‍රිකාවෙහි එම ඔටුන්න පිළිබඳ කෙටි විස්තරයක් වේ. ඒ අනුව ඔටුන්න රනින් නිමවා තිබිණි. ප්‍රිය උපදවන හැඩයෙන් යුක්ත විය. පිටතට නෙරාගිය කොන්වලින් යුතු විය. එම කොන්වලින් දියමන්තියෙන් හා රතු කැටයෙන් සැදි ආභරණ එල්විණි (මේවායින් දෙකක් පමණක් ඉතිරිව තිබිණැයි පත්‍රිකාවේ සඳහන් විය). නළල වසා හිස වට ගිය රවුමෙහි රන් ආභරණ පසළොසක් විය. දියමන්ති හා රතු කැට ද එහි ඔබ්බා තිබිණි. මුදුනෙහි රන්තලියක් හා මුතුඇට විය. ඉදිරිපසින් ඇනමල් ගෑ අලංකාර රන් ආභරණයක් එල්බිණි. දියමන්ති, රතුකැට හා නිල්කැටවලින් සැදි මෙය පිහාටුවක සිරිය ගත්තේය. ඔටුන්න මැද ඉතා අගනා විශාල රතුකැටයක් විය. පත්‍රිකාවට අනුව ඔටුන්නේ ඒ ඒ කොටස් වෙන වෙන ම මිල දී ගත හැකි වූ බව පෙනේ.

ශ්‍රී වික්‍රමරාජසිංහ රජුට අයත් වී යයි සැලකෙන ඔටුන්නක් දැනට කොළඹ කෞතුකාගාරයෙහි දක්නට ලැබේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඔටුන්න&oldid=11449" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි