ඔප්පුව
ඔප්පුව යනු කඩදාසියක, ඝන කොළයක හෝ හමක ලියා මුද්රා තබා දෙනු ලබන ලියවිල්ලකි. ඒ ලියවිල්ලෙන් දේපළක හෝ වෙන යමක අයිතිවාසිකමක් හෝ ඊට සම්බන්ධතාවක් කෙනකුට ලැබේ; එයින් යමකු කෙරෙහි යම් බැඳීමක් ඇති කෙරේ. එසේත් නැතහොත් කෙනකුට ලැබුණු දේපළක්, අයිතිවාසිකමක් හෝ සම්බන්ධතාවක් තහවුරු කෙරේ. මුල දී ඔප්පුවක් ප්රයෝජනයට ගන්නා ලද්දේ කිසිවකු විසින් කරන ලද වැඩක හෝ දෙපාර්ශ්වයක් අතර කැරුණු කිසියම් ගනුදෙනුවක සිහිවටනයක් ලෙසය. ඒ ඔප්පුව නොතාරිස් කෙනකු විසින් ලියන ලදුව එහි කරුණු සත්ය බව ඔහු විසින් සහතික කැරිණි.
1840 සිට මෙරට බලපවත්වන්නට වූ වංචා මර්දන ආඥාපනතෙහි විධිවිධාන පරිදි ඉඩමක් හෝ වෙනයම් දේපළක් විකිණීම, මිල දී ගැනීම, පැවරීම, වෙන් කොට දීම හෝ උගස් කිරීම හෝ ඒ කිසිවක් සඳහා පොරොන්දු වීම, ගිවිස ගැනීම හෝ එකඟ වීම නීතියෙන් වලංගු වීමට නම් ඒ පිළිබඳව ඔප්පුවක් ලියා ඔප්පුව ලියන හෝ ලියවන අය නොතාරිස් කෙනකු හා සාක්ෂ්යකරුවන් දෙදෙනකුන්ට වැඩි ගණනක් ඉදිරියේ අත්සන් තබා හෝ එවැන්නකු වෙනුවෙන් නීතියෙන් බලය ලත් තැනැත්තකු අත්සන් තබා, ඒ බව නොතාරිස් හා සාක්ෂ්යකරුවන් විසින් සහතික කළ යුතුය. මෙවැනි ඔප්පු පිළියෙල කළ යුත්තේ අනුපිටපතක් ද සමඟය. කුඹුරු හෝ හේන් වැපිරීම් ආදිය පිළිබඳව කැරෙන ගිවිසුම් සම්බන්ධයෙන් මෙවැනි ඔප්පු අවශ්ය නැති බව ද ඒ ආඥාපනතෙහි සඳහන් වේ. එමෙන් ම රජය විසින් කැරෙන ඉඩම්දීම් ආදිය සම්බන්ධව ද මෙවැනි ඔප්පු අවශ්ය නොවේ.
ඔප්පු ලියා අත්සන් කිරීම සම්බන්ධව තවත් විධිවිධාන ඔප්පු ලියා අත්සන් කිරීමේ ආඥාපනතෙහිත්, ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥාපනතෙහිත්, සන්නස් හා පැරණි ඔප්පු ආඥාපනතෙහිත් අඩංගු වී ඇත. ඔප්පු ලිය යුතු ආකාරය පිළිබඳ විධිවිධාන නොතාරිස් ආඥාපනතෙහි සඳහන් වේ.
(කර්තෘ: කේ.ඩී.පී. වික්රමසිංහ)
(සංස්කරණය: 1974)