ඔරංඋටන්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(පොංගො පිග්මයියුස්-Pongo pygmaeus). බෝර්නියෝවේ හා සුමාත්‍රාවේ මඩවගුරු ඇති වනාන්තරවල ජීවත්වන මානවකල්ප වානරයෙකි. මේ වානරයන් අතර ජාති හයක් පමණ හඳුනා ගෙන ඇත. ගස් උඩ ජීවත්වන මේ සත්තු නිදාගැනීම සඳහා අතු සහ කොළවලින් ගස් උඩ කූඩු සාදා ගනිති. නොයෙක් ඵල හා කොළ වර්ග උන්ගේ ප්‍රධාන ආහාරය වේ.

ඔරංඋටන්ගේ ශරීරය ශක්තිමත් ලෙස සැදී ඇත. පිරිමි සතා ගෑනු සතාට වඩා ලොකුය. පිරිමි සතා සාමාන්‍යයෙන් අඩි 4½ක් පමණ උසය; රාත්තල් 250ක් පමණ බරය. උගේ ප්‍රමාණය ගොරිල්ලකුගේ ප්‍රමාණයෙන් 2/3ක් පමණ වේ. කුඩා කන් හා රතුපාටට හුරු දුඹුරුපාට දිග ලොම්වලින් වැසුණු දුඹුරුපාට සමක් ද කෙළින් සිටින විට වළලුකර දක්වා දික් වන බාහු ද තිබෙන බැවින් ඔරංඋටන් අනික් මානවකල්ප වානරයන්ගෙන් වෙන් කොට අඳුනාගත හැකිය. උගේ බාහු ද ශක්තිමත්ය. එහෙත් ගාත් දුර්වලය. එබැවින් ඌ බිම ගමන් කරන්නේ ඉතා හෙමිනි. ඔරංඋටන්ගේ මුහුණ, අත් සහ පාද ලොම්වලින් වැසී නැත. තන්තුමය පටකවල වර්ධනයේ හේතුවෙන් වැඩි වයස් පිරිමි සතුන්ගේ කම්මුල් මහත් වී ඇත. එබැවින් උන්ට පළල් වූ ද පැතලි වූ ද මුහුණු ඇත.

මේ වානරයාගේ පුදුම ලක්ෂණයක් නම් විශාල වාත කෝෂයක් (air sac) තිබීමය. මේ වාත කෝෂය ස්වරාලයෙන් (larynx) විවෘත වී බෙල්ලේ ඉදිරියෙහි වූ සම හා පේශි අතරට ද පපුවේ සිට කිහිලි දක්වා ද පැතිර පවතී. මෙම කෝෂය අනුනාදකයක් (resonator) සේ ක්‍රියා කරයි. ගෑනු සතාගේ වාත කෝෂය පිරිමි සතාගේ වාත කෝෂය පමණ ලොකු නැත. මේ වානරයන්ට උන්ගේ දිග බාහුවල ආධාරයෙන් ගසෙන් ගසට පැද්දී යා හැකිය. එහෙත් උන් බිම ඇවිදින විට උන්ගේ විලාසය අස්ථීරය, අවලක්ෂණය. උන්ට පුදුම ශක්තියක් හා බුද්ධියක් ඇත.

ඔරංඋටන් යන නාමය ‘කැලේ මිනිසා’ යන අර්ථය ඇති මැලේ වචනයකි. මමාලියා වර්ගයෙහි ප්‍රිමාටේස් ගෝත්‍රයෙහි අන්ත්‍රොපොයිඩෙයා (Anthropoidea) උප ගෝත්‍රයෙහි පොංගිඩේ (Pongidae) කුලයට ඔරංඋටන් අයත් වෙයි. (අග්‍රේශයෝ; ඒප් වානරයෝ යන ලිපි ද බලන්න.)

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඔරංඋටන්&oldid=11998" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි