ඔලිපීන

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ද්විත්ව බන්ධන එකකින් හෝ වැඩි ගණනකින් සම්බන්ධ කරන ලද කාබන් පරමාණුවලින් සමන්විත කාබනික සංයෝග ඔලිපීන නමින් හැඳින්වෙයි. ඔලිපීන ශ්‍රේණියෙහි සංයෝගයන්හි ඇති ද්විත්ව බන්ධන නිසා ඒවා අසන්තෘප්තය. ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව අනුව මේ අසන්තෘප්ත ද්විත්ව බන්ධන නිර්මාණය වන්නේ sp2 දෙමුහුමට භාජන වූ කාබන් පරමාණුවලිනි. මෙම කාබන් පරමාණුවල කාක්ෂිකයන් අතිච්ඡාදනය වීමෙන් සෑදෙන σ- බන්ධනයෙකින් හා π- බන්ධනයෙකින් ද්විත්ව බන්ධනය යුක්තය.

ඔලිපීන ශ්‍රේණියෙහි සරල සාමාජිකයෝ විශේෂ නාමයන්ගෙන් හැඳින්වෙති. එතිලීන් (බ.), ප්‍රොපිලීන් (බ.) හා බියුටිලීන් (බ.) යනාදිය නිදසුනි. එහෙත් ඔලිපීන ශ්‍රේණියෙහි සංකීර්ණ ව්‍යුත්පන්නයෝ ජිනීවා ක්‍රමය අනුව නම් කෙරෙත්. මෙහි දී සංයෝගයෙහි ඇති දිග ම කාබන් පරමාණු දාමයට අනුරූප පැරපීන නාමයෙහි “-ඒන්” වෙනුවට “-ඊන්” යොදා ද්විත්ව බන්ධනය පිහිටි ස්ථානය කාබන් දාමයෙහි අංකයෙන් හඳුන්වනු ලැබේ. ..................... සූත්‍රයෙන් හඳුන්වනු ලබන සංයෝගය 2-මීතයිල් 1-බියුට්ඊන් යනුවෙන් නම් කිරීම නිදසුනි.

අවශ්‍ය ඔලිපීනයට අනුරූප මද්‍යසාරය විජලනය කිරීමෙන් ද ඇල්කිල් හේලයිඩයකින් හයිඩ්රජන් හේලයිඩ අණුවක් ඉවත් කිරීමෙන් ද අවශ්‍ය ඔලිපීනයට අනුරූප ඇසිටේටයක් තාපවිච්ඡේදනය කිරීමෙන් ද ග්‍රිනාඩ් ප්‍රතිකාරකය (බ.) යෙදෙන සංශ්ලේෂණ ක්‍රමවලින් ද ඔලිපීන නිපදවිය හැකිය.

එතිලීන්, ප්‍රොපිලීන් හා බියුටිලීන් හැර අනෙක් ඔලිපීන සාමාන්‍ය උෂ්ණත්වය හා පීඩනය යටතෙහි ද්‍රවයෝයි. ඔලිපීන අල්ප වශයෙන් ජලයේ ද්‍රාව්‍යය.

මොනොඔලිපීන, ඩයිඔලිපීන, ට්‍රයිඔලිපීන හා බහුඔලිපීන යනුවෙන්, අණුවක ඇති ද්විත්ව බන්ධන ගණන අනුව, ඔලිපීන කොටස්වලට බෙදිය හැකිය. මෙයින් මොනොඔලිපීන සහ ඩයිඔලිපීන රසායනික වශයෙන් හා වාණිජ වශයෙන් ඉතා වැදගත් ඒවාය.

මොනොඔලිපීන

මෙහි සංයෝග CnH2n පොදු සූත්‍රයෙන් දැක්විය හැකිය. මේවා ස්වාභාවිකව නිදහස් අවස්ථාවේ නොපිහිටයි. ගැසොලීන් ලබාගැනීම සඳහා පැට්‍රෝලියම් බිඳීමෙහි දී මොනොඔලිපීන විශාල වශයෙන් ලැබේ. භෞතික හා රසායනික ක්‍රම උපයෝගී කොට මෙම ඔලිපීන අනෙක් හයිඩ්රොකාබනවලින් වෙන් කොටගත හැකිය. 1:2 අනුපාතයකින් යුතු කාබන් මොනොක්සයිඩ් හා හයිඩ්රජන් මිශ්‍රණයක් කොබෝල්ට් හෝ යකඩ වැනි උත්ප්‍රේරකයක් (බ.) මතින් ගමන් කරවීමෙන් මොනොඔලිපීන නිපදවිය හැකිය. මද්‍යසාර විජලනය කිරීම හෝ ඇල්කිල් හේලයිඩයකින් හයිඩ්රජන් හේලයිඩ අණුවක් ඉවත් කිරීම හෝ වණික් කටයුතු සඳහා ඔලිපීන නිපදවිය හැකි අනෙක් ක්‍රමයි. විශාල වශයෙන් ඇල්කොහොල විජලනය කිරීමේ දී රත් කරන ලද ඇලුමිනා හෝ තෝරියම් වැනි උත්ප්‍රේරකයක් මතින් ඇල්කොහොල වාෂ්ප ගමන් කරවනු ලැබේ.

ඇල්කිල් හේලයිඩයකින් හයිඩ්රජන් හේලයිඩ අණුවක් ඉවත් කිරීම සඳහා මද්‍යසාරීය පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් යෙදිය හැකිය. වෙළඳ නිෂ්පාදනයෙහි දී සෙ.350°ට පමණ රත් කරන ලද ඇලුමිනියම් සිලිකේට් මතින් හේලයිඩ වාෂ්ප ගමන් කරවයි.

ග්‍රිනාඩ් ප්‍රතිකාරකය උපයෝගී කොට අතුරු දාමයන් සහිත ඔලිපීන සංශ්ලේෂණය කිරීම මෙන් ම ඔලිපීන දාමයක දිග වෙනස් කිරීම ද කළ හැකිය.

ප්‍රතික්‍රියා

මොනොඔලිපීනවල ප්‍රධාන ප්‍රතික්‍රියාවන්හි දී වෙනස් වෙනස් ඛණ්ඩක (radicals) ද්විත්ව බන්ධනයෙන් යුතු කාබන් පරමාණුවලට සම්බන්ධ වෙයි.

ප්ලැටිනම් දැලි හෝ නිකල් වැනි උත්ප්‍රේරකයක් ඇති විට හයිඩ්රජන් සමග ප්‍රතික්‍රියාවෙන් පැරපීන ලැබෙයි.

ක්ලෝරීන්, බ්රෝමීන් හෝ අයඩීන් සමග ප්‍රතික්‍රියාකරණයෙන් ඩයිහේලෝපැරපීන ලැබෙයි.

හයිඩ්රජන් හේලයිඩ සමග ඇතිවන ආකලන ප්‍රතික්‍රියාවන්හි දී මාර්කෝව්නිකෝෆ්ගේ නියමයට (Markovnikov's rule) එකඟව එනම් අඩු ම හයිඩ්රජන් පරමාණු සංඛ්‍යාවකින් යුතු කාබන් පරමාණුවට හේලයිඩ ඛණ්ඩකය සම්බන්ධ වෙයි.

එහෙත් පෙරොක්සයිඩයන් ඇති විට හයිඩ්රජන් බ්රෝමයිඩ සමග ප්‍රතික්‍රියාවෙහි දී මාර්කෝව්නිකෝෆ්ගේ නියමයට විරුද්ධව ප්‍රතික්‍රියාව සිදුවෙයි. මෙය ඛරාෂ් (Kharasch) බලපෑම නමි.

හයිපොක්ලෝරස් අම්ලය හෝ හයිපොබ්රෝමස් අම්ලය සමග ප්‍රතික්‍රියා වීමෙන් වෙළඳ වටිනාකමින් යුත් හේලො හයිඩ්රින ලැබෙයි.

තනුක සල්පියුරික් අම්ලය හෝ පොස්පොරික් අම්ලය උත්ප්‍රේරකයක් වශයෙන් ඇති විට ජලය සමග ප්‍රතික්‍රියාවෙන් මද්‍යසාර ලැබෙයි.

තනුක පොටෑසියම් ප’මැංගනේට් උපයෝගීකොට ඔක්සිකරණය කිරීමේ දී ද්විත්ව බන්ධනය හරහා හයිඩ්‍රොක්සයිල් ඛණ්ඩක දෙකක් සම්බන්ධ වීමෙන් ග්ලයිකෝල් සෑදෙයි. එහෙත් ප්‍රබල ඔක්සිකාරකයන් යොදා ඔක්සිකරණය කිරීමේ දී ද්විත්ව බන්ධනය පිහිටි ස්ථානයෙන් අණුව බිඳීයාමෙන් අම්ල, කීටෝන හෝ ඇල්ඩිහයිඩ වැනි සංයෝග දෙයි.

ඕසෝන් සමග ප්‍රතික්‍රියාකරණයෙන් ඕසොනයිඩ නමින් හැඳින්වෙන සංයෝගයක් දෙයි. මෙම ඕසොනයිඩය ජලවිච්ඡේදනය කිරීමෙන් ඇල්ඩිහයිඩ හා කීටෝන ලැබෙයි. ඇල්ඩිහයිඩයේ හා කීටෝනයේ ව්‍යූහ සූත්‍රය පහසුවෙන් සොයා ගැනීමට හැකි නිසා ඔලිපීනවල ව්‍යූහය නිශ්චය කිරීමෙහි ලා මෙම ප්‍රතික්‍රියාව ඉතා වැදගති.

උත්ප්‍රේරකයක බලපෑම යටතේ ඔලිපීන අණු දෙකක් හෝ වැඩි ගණනක් ප්‍රතික්‍රියාකරණයෙන් බහු අවයවකයෝ ලැබෙත්.

ඩයිකොබෝල්ට් කාබිනෝල් [Co(CO)4]2 වැනි කොබෝල්ට් උත්ප්‍රේරකයක ක්‍රියාකාරිත්වය යටතේ, අධි පීඩනයකින් යුතු කාබන් මොනොක්සයිඩ් හා හයිඩ්රජන් ප්‍රතික්‍රියාකරණයෙන් ඇල්ඩිහයිඩ සහ මද්‍යසාර ලැබෙයි. මෙය ඔක්සෝ (Oxo) ක්‍රමය නමි.

අයිසො පැරපීන, ඇරෝමැටික හයිඩ්‍රොකාබන හා පීනොල් වැනි කාබනික සංයෝගයන් සමග ප්‍රතික්‍රියාකරණයෙන් වාණිජ අංශයෙන් ඉතා වැදගත් සංයෝග රාශියක් ද ලැබෙයි. මෙම සංයෝග අහස්යානා ගැසොලීන් (aviation gasoline), කෘත්‍රිම රබර්, ක්ෂාලක (detergents) හා ප්ලාස්ටික් ද්‍රව්‍ය නිෂ්පාදනයෙහි යෙදෙයි.

ඩයිඔලිපීන

මෙය CnH2n-2 පොදු සූත්‍රයෙන් දැක්විය හැකිය. ඉහළ උෂ්ණත්වයේ දී පැට්රෝලියම් බිඳීමෙන් සුළු ප්‍රමාණයක් ඩයිඔලිපීන ලැබෙයි. ඒකාන්තර ඩයිඇල්කොහොල විජලනය කිරීමෙන් ද උත්ප්‍රේරක යොදා ක්ලෝරො ඔලිපීනවලින් හයිඩ්‍රොක්ලෝරික් අණුවක් ඉවත් කිරීමෙන් ද ඩයික්ලෝරෝ පැරපීන තාපවිච්ඡේදනය කිරීමෙන් ද තුත්තනාගම් කුඩු යොදා ටෙට්ර බ්රෝමෝ පැරපීනවලින් බ්රෝමීන් ඉවත් කිරීමෙන් ද ඩයිඔලිපීන නිපදවිය හැකිය.

ඩයිඔලිපීනයන්හි ඇති ද්විත්ව බන්ධන දෙක එකිනෙකට ආසන්නව (නි. 1, 2 ප්‍රොපාඩයින් CH2=C=CH2) ද, ඒකලිතව (නි. 1, 4 පෙන්ටඩයීන් CH2=CH-CH2-CH=CH2) ද ඒකාන්තරව (නි. 1, 3 බියුටාඩයීන් CH2=CH-CH=CH2) ද පිහිටිය හැකිය. ඩයිඔලිපීනයන්ගේ ප්‍රතික්‍රියා මොනොඔලිපීනයන්ගේ ප්‍රතික්‍රියා මෙනි. ඊට අමතරව විශේෂ ප්‍රතික්‍රියා ද තිබේ. එකිනෙකට ආසන්න ද්විත්ව බන්ධනවලින් සමන්විත ඩයිඔලිපීන බහුඅවයවීකරණය වීමෙන් චක්‍රීය සංයෝග දෙයි. සමඅවයවීකරණය වීමෙන් ඒකාන්තර හා ඒකලිත සංයෝගයන්ට පරිවර්තනය වේ. උත්ප්‍රේරකයක් වශයෙන් ක්‍රියාකරන අම්ලයන් ඇති විට ඒකාන්තර හා ඒකලිත ඩයිඔලිපීන චක්‍රීය සංයෝග දෙයි. ඒකාන්තර ද්විත්ව බන්ධනයන්ගෙන් යුතු ඩයිඔලිපීන බහුඅවයවීකරණය වීමෙන් දිග දාමයන්ගෙන් යුතු රබර් වැනි සංයෝග දෙන හෙයින් වාණිජ වශයෙන් ඉතා වැදගත් වේ. ඩීල්ස්-ඇල්ඩර් (Diels-Alder) සංඝනන ප්‍රතික්‍රියාවන්ට සහභාගී වීමට ඇති හැකියාව ඒකාන්තර ඩයිඔලිපීනවල විශේෂ ලක්ෂණයකි. එහි දී >C=C1-X හෝ – C≡C1-X පොදු සූත්‍රයෙන් දැක්විය හැකි ආකාරයේ සංයෝග සමග ඒකාන්තර ඔලිපීන ප්‍රතික්‍රියාවේ යෙදෙයි. X යනු සාමාන්‍යයෙන් – C=O ඛණ්ඩකය වුවත් එය නයිට්රො, සල්පොනයිල්, සයනො, වයනයිල් හෝ හයිඩ්රජන් ඛණ්ඩක විය හැකිය.

වෙළඳාම අතින් ඉතා වැදගත් සංයෝග වශයෙන් ඩයිඔලිපීනයන්ගෙන් 1,3 බියුටාඩයීන් CH2=CH-CH=CH2 හා අයිසොප්‍රීන් (බ.) ගත හැකිය.

1,3 බියුටාඩයීන්

කෘත්‍රිම රබර් නිෂ්පාදනයෙහි ඉතා වැදගත් සංයෝගයක් වන මෙය කාර්මිකව ඉතා විශාල ලෙස නිපදවනු ලැබෙයි. උත්ප්‍රේරකයක් ඇති විට සාමාන්‍ය බියුටීන් හයිඩ්රජන් හරණයෙන් ද සයික්ලොහෙක්සීන් බිඳීමෙන් ද බියුටාඩයීන් නිපදවිය හැකිය. තවත් වාණිජ ක්‍රමයක දී ආරම්භක ද්‍රව්‍යය වශයෙන් ඇසිටිලීන් යොදා ගනිත්.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඔලිපීන&oldid=11570" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි