ඔලිම්පික් ක්රීඩා
පුරාණ ග්රීසියේ ප්රධාන ක්රීඩා උත්සවය වූ මෙය ක්රිස්තු වර්ෂයෙන් ඉතා ඈත යුගයක සිට පැවතිණැයි සලකන නමුදු ආරම්භක වර්ෂය අවිනිශ්චිතය. ලේඛනගත වී ඇති මුල් ම ඔලිම්පික් ක්රීඩෝත්සවය වශයෙන් සැලකෙන්නේ ඔලිස්හි කොරොයිබොස් ජයග්රාහකයා වශයෙන් සඳහන් කර ඇති ක්රි.පූ. 776 දී පැවැත් වූ ක්රීඩා උත්සවයයි. මෙම ක්රීඩා උත්සවයේ මූලාරම්භය ගැන ග්රීකයන් අතර විවිධ ජනප්රවාද ප්රචලිතව ඇත. එහි ගෞරවය හ’කියුලීස්ට පිරිනමන අය ඊලිස්හි ඔගියාස් රජු පරදවා ලබා ගත් ජයග්රහණයෙන් උද්දාම වූ හ’කියුලීස් තම සහෝදරයන් සිව්දෙනා අතර දිවීම් තරඟයක් පවත්වා ජයග්රාහකයාට ඔලිව් කොළවලින් තනන ලද දාමයක් හිස පලඳවන ලද බවත් ධාවන පථයේ දුර අඩි 600 (මී.22)ක් විය යුතු යයි ඔහු විසින් නියම කරන ලද බවත් සලකති. අද ද ක්රීඩාංගණයක තිබිය යුතු දුරප්රමාණය වශයෙන් සලකනු ලබන්නේ මේ දුරප්රමාණය වේ. ඔලිම්පස් පර්වතය වාසභවනය කොටගත් සියුස් නම් දෙවියාට උපහාර පිණිස සිව්වසරකට වරක් ග්රීෂ්ම ඍතුවේ දී මෙය පවත්වන ලද්දේ යයි සලකන තවත් අය සියුස් ලෝක ආධිපත්යය සඳහා කළ සටන්වල දී තම පියා වූ ක්රොනොස් පරදවා ලැබූ ජයග්රහණයෙන් මත් වී මෙම ක්රීඩා උත්සවය ඇරඹූ බව සලකති.
ආදි ග්රීකයන්ට ඔලිම්පික් ක්රීඩා උත්සවය නොයෙක් හේතූන් නිසා වැදගත් විය. ක්රීඩෝත්සවයේ මූලාරම්භය සියුස් දෙවියා හා සම්බන්ධ කොට තිබීමෙන් එහි ආගමික වැදගත්කම පෙනේ. ක්රි.පූ. 9 වන ශතවර්ෂයේ මැද භාගය වන විට මෙම ක්රීඩා උත්සවය අත්හිටවී තිබිණ. ඉපිටොස් රජු ඊලිස්හි රජ කළ අවධියේ ඒ රටේ වසංගතයක් පැතිරී ගියෙන් එයට හේතු සොයා බලා වසංගතයෙන් රට මුදා ගැනීමට කළ යුතු දෑ ගැන උපදෙස් දෙන ලෙස ඩෙල්ෆිහි දෙවොලින් විමසූ අවස්ථාවේ දී දෙන ලද පිළිතුර වූයේ පුරාණ ඔලිම්පික් ක්රීඩා උත්සවය නැවත පැවැත්විය යුතුය යන්නය. එයින් ද පෙනෙන්නේ මෙම ක්රීඩා උත්සවය ආගමික වැදගත්කමක් ඉසිලූ බවය. අනෙක් අතට එකිනෙකාට ප්රතිවිරුද්ධ වූ කුඩා රාජ්යයන් රාශියකට බෙදී ගොස් තුබුණු ග්රීක ජාතීන් අතර තාවකාලික හෝ සමගියක් හා සාමයක් ඇති කිරීමට මෙම ක්රීඩා උත්සවය හේතු විය. එකිනෙකා හා නිරතුරු යුද්ධයෙහි පැටලී සිටි ග්රීක රාජ්යයන් ක්රීඩා උත්සවය පැවැත් වූ තුන්මස් කාලය තුළ සටන් නතර කළ අතර විරුද්ධ රාජ්යයන්ගේ නියෝජිතයන්ට කිසිදු අතවරයක් හෝ ගැහැටක් නැතිව යෑම්ඊම් පහසුකම් ද සලස්වන ලදි. තවද මෙම ක්රීඩා උත්සවය ඒ ඒ ජාතීන්ගේ ජාති මමත්වය දියුණු තියුණු කිරීමට මහෝපකාරී විය. එයින් ලැබූ ජයග්රහණය යුද්ධයකින් ලද ජයග්රහණයට වඩා වැදගත් ලෙස සලකන ලදි. වර්ෂ ක්රමයක් හඳුන්වා දීමට ද මෙය හේතු විය. උත්සවය පවත්වන ලද්දේ සිව්වසරකට වරකි. ඔලිම්පික් ක්රීඩා පවත්වන මේ සිව්වන වසර ‘ඔලිපියඩ්’ නමින් හැඳින්වේ. වර්ෂ ක්රමය ක්රි.පූ. 776 ජූලි 1 දා සිට ගණන් ගැනේ. පුරාණ ග්රීකයන්ට මෙම ක්රීඩෝත්සවය කෙතරම් වැදගත් වී ද යත් සතුරු ආක්රමණිකයන් තම රටේ යුද වැදී සිටින විට ද රට පිරිහෙමින් පවතින විට ද ක්රීඩෝත්සවය පවත්වන ලදි.
මුල දී ක්රීඩාංගණය දිවීමේ තරඟයකට පමණක් සීමා වුව ද පසුව නොයෙක් අවස්ථාවන්හි දී විවිධ තරඟ ඇතුළත් කරන ලදි. ආරම්භයේ දී පෙලොපනීසස්හි ඩොරික් ජාතිකයන්ට පමණක් සීමා වූ ක්රීඩෝත්සවය කල් යාමේ දී සියලු ග්රීක ජාතිකයන්ට පමණක් නොව මධ්යධරණිය අවට ග්රීක යටත්විජිතයන්ට ද විවෘත විය. එනමුදු ස්ත්රීන්ට ද විදේශිකයන්ට ද සමාජ තත්වයෙන් පිරිහුණු අයට හා වහලුන්ට ද ඔලිම්පික් ක්රීඩාවන්හි යෙදීම තහනම් විය. තරඟයට මාස දහයකට පමණ පෙර සිට තරඟකරුවන් ඊට මැනවින් පුහුණු විය යුතු විය. ක්රීඩාවලට සහභාගි වන්නවුන් ඔලිම්පික් ක්රීඩා භාරව සිටි එලිස්හි ජනයාගේ පරීක්ෂාවට භාජනව දවස් තිහක් සිටිය යුතු ද විය. තරඟ බිමට බැසීමට පෙර යෝග්ය පරිද්දෙන් පුහුණු වූ බවට දිවුරුම් දීම ද අවශ්ය විය. මුල් යුගයේ දී ක්රීඩා උත්සවය එක් දිනකට සීමා විය. පසුව තරඟ ඉසව් සංඛ්යාව වැඩිවීම නිසා දින තුන දක්වා ද අනතුරුව දින පහ දක්වා ද වැඩි කරන ලදි. මුල් දිනය ආගමික පුද පූජාවලට වෙන් කරන ලදි. සියුස් දෙවියාට පූජෝපහාර දැක්වීමෙන් පසු තරඟකරුවෝත් ඔවුන්ගේ පවුල්වල අයත් පුහුණු කරන්නෝත් විනිශ්චයකරුවෝත් තරඟය අවංකව හා සාධාරණව කරගෙන යාමට හා අපක්ෂපාත තීරණ දීමටත් දිවුරුම් දුන්හ. ඔලිම්පික් ප්රදේශය ශුද්ධ ස්ථානයක් වශයෙන් සලකන ලද අතර ජයග්රාහකයන්ට පිරිනමන ලද්දේ ශුද්ධ වූ වෘක්ෂයක් වශයෙන් සැලකුණු ඔලිව් ගසේ අත්තකි. ප්රාරම්භක පෙරහැර, සංගීතය, ආගමික පුදපූජා හා ජය පානය ආදිය හේතුකොටගෙන ඔලිම්පික් ක්රීඩා උත්සවය උත්කර්ෂවත්භාවයක් ඉසිලීය. ග්රීකයකු විසින් දිනිය හැකි විශාල ම ගෞරවය වූයේ මෙම උත්සවයේ ජයග්රාහකයන්ට පිරිනමන ලද ඔලිව් අත්තය. සාමාන්ය ජනයා පමණක් නොව පසු කාලයේ දී රජවරු ද මේ සඳහා තරඟ කළහ. නීරෝ එවැන්නෙකි. ජයග්රාහකයන් ජාතික වීරයන් බවට පත් වූ අතර සංගීතඥයෝ ඔවුන්ගේ ගුණ ගැයූහ. මූර්ති ශිල්පියෝ ඔවුන්ගේ රූ ඇඹූහ. ලේඛකයෝ ඔවුන්ගේ සමත්කම් වැනූහ. ක්රීඩාවේ දී පෙන්වන ක්රීඩාශීලීභාවය මෙන් ම ආචාරසම්පන්නභාවය ද ජයග්රහණය සේ ම උසස් කොට සලකන ලදි. පින්ඩාර්ගේ කාව්ය රචනයන්හි ද පෝසේනියස්ගේ ලේඛනයන්හි ද ඔලිම්පික් ක්රීඩාවන්ගේ ශ්රී විභූතිය මැනවින් වර්ණනා කර තිබේ.
ඔලිම්පික් ක්රීඩෝත්සවයට රජවරුන්ගේ අනුග්රහය නොමඳව ලැබිණ. ක්රි.පූ. 680 දී ක්රීඩා තරඟවලට සහභාගි නොවන රජවරුන් සඳහා තරඟයක් පැවැත්විය යුතුයයි සලකනු ලැබූ හෙයින් අශ්වරථ තරඟයක් ආරම්භ කරන ලදි. එහෙත් එහි දී රජවරුන් තරඟයට ඉදිරිපත් නොවී තම දාසයන් ඒ සඳහා යොදවනු ලැබූයෙන් වහලුන්ට සහභාගි විය හැකි වූ එක ම තරඟය එය විය. ස්ත්රීන්ට තහනම් වී තිබිය දී පිරිමි වෙස් ගත් රොසොස්හි ක්ලියොපැට්රා නම් ස්ත්රියක් ක්රි.පූ. 396 දී තරඟයට සහභාගි වීම විශේෂ සිද්ධියක් සේ සැලකේ. ඔලිම්පික් නීති උල්ලංඝනය කිරීම ගැන ඇයට මරණ දඬුවම පැනවිය හැකි වුව ද ඇය වර්ෂ 68කට ඉහත දී ක්රි.පූ. 464 දී පැවැත්වූ ක්රීඩා උත්සවයේ බොක්සිං ශූරයා වූ ඔයගොරස්ගේ දියණිය වූ හෙයින් ඇයට සමාව දෙන ලදි. ඔලිම්පික් ක්රීඩා උදාර තත්වයකට පත් කරලීමේ ගෞරවය හිමි පෙලොප්ස් රජුගේ කාලයේ දී ඔහුගේ අගමෙහෙසිය වූ හිපොඩමෙනියා රැජින විසින් කාන්තාවන් සඳහා විශේෂ වූ ක්රීඩා උත්සවයක් ආරම්භ කරන ලද බව ද කියැවේ. ක්රි.ව. 393 දී ග්රීසිය යටත් කර ගත් තියොඩෝසියස් නමැති රෝම අධිරාජයා ඔලිම්පික් උත්සව පැවැත්වීම නතර කරන තුරු ග්රීසියෙහි හා ඒ ආශ්රිත රටවල වූ අත්යලංකාර උත්සවය මෙය විය.
පටුන
නූතන ඔලිම්පික් ක්රීඩෝත්සවය
අභාවයට ගිය ඔලිම්පික් ක්රීඩාවට නව පණක් දීමේ ගෞරවය හිමි වන්නේ ප්රංසයේ බරොං පියෙර් ද කුබෙර්තැංටය. 1889 දී ප්රංස රජය මගින් ලෝකයේ ශාරීරික අභ්යාස පිළිබඳව සොයා බැලීමේ කටයුත්ත ඔහුට පවරන ලදි. ශාරීරික අභ්යාස හා කලින් කල පැවැත්වූ මලල ක්රීඩෝත්සව ගැන ග්රීකයන් දැක්වූ උනන්දුව පුරාණ ග්රීසියේ ස්වර්ණමය යුගය උදා කරලීමට අත්යන්තයෙන් උපකාරී වූ බව වටහා ගත් හෙතෙම ධන, කුල, බල, නිල, දේශපාලන, ආගමික ආදි භේද ද ඊර්ෂ්යා ක්රෝධාදී හැඟීම් ද දුරලා වර්ෂ හතරකට වරක් පොදු ක්රීඩෝත්සවයක් ඔලිම්පික් ස්වරූපයෙන් පැවැත්වීම වැඩදායී බව කල්පනා කොට ප්රංස රජයේ අනුග්රහයෙන් 1894 දී ජාතීන් නවයක නියෝජිතයන්ගෙන් සමන්විත සම්මේලනයක් පැරිසියේ සොර්බොන්හි දී පැවැත්විය. මෙහි දී කරන ලද සාකච්ඡාවන් ඉතා සාර්ථක වූයෙන් ජාත්යන්තර ඔලිම්පික් ක්රීඩා කමිටුවක් පත්කර ඔලිම්පික් ක්රීඩෝත්සවය නැවතත් ආරම්භ කිරීමේ කාර්ය්ය සංවිධානය එයට පවරන ලදි. ඔලිම්පික් ක්රීඩාවේ මූලාරම්භය ග්රීසියේ සිදු වූ හෙයින් ඒ රටට කරන ගෞරවයක් වශයෙන් පළමුවැනි නූතන ජගත් ඔලිම්පික් ක්රීඩා උළෙල 1896 දී ග්රීසියේ ඇතන්ස් නුවර පැවැත්වීමට තීරණය කරන ලදි. ඇතන්ස් නුවර ඒ සඳහා ම පිළියෙල කෙරුණ කිරිගරුඬ ක්රීඩාංගණයේ දී ඔලිම්පික් ක්රීඩා උත්සවය ආරම්භ කරන ලද අතර ඉන්පසු පළමුවැනි හා දෙවැනි ලෝක යුද්ධ සමයන්හි හැර අවුරුදු හතරකට වරක් ඒ සඳහා නියම කර ගන්නා ලද නගරයක ඔලිම්පික් ක්රීඩා උත්සව පවත්වනු ලැබීය. ග්රීෂ්ම ඍතුවේ දී පවත්වනු ලබන ඔලිම්පික් ක්රීඩෝත්සවයට සමාන වූ, ශීත සෘතුවේ දී පවත්වනු ලබන ක්රීඩා උළෙලක් 1924 දී ප්රංසයේ ශමෝනී (Chamonix) නුවර ආරම්භ කැරිණ. එය ද සිව් වසරකට වරක් නොකඩවා පවත්වාගෙන එනු ලැබේ. ඔලිම්පික් ක්රීඩා උළෙල පවත්වනු ලබන වර්ෂයේ ජනවාරි-මාර්තු කාලය තුළ පවත්වනු ලබන මෙහි දී ප්රධාන කොට හිම ක්රීඩා පවත්වන අතර ඊට සහභාගි වන රටවල් ගණන සීමිතය. 1972 තෙක් ඔලිම්පික් උළෙල පවත්වනු ලැබූ නගර හා වර්ෂ පහත දැක්වේ:
ග්රීෂ්ම සෘතු ක්රීඩා
1. ඔලිම්පියඩය 1896 ඇතන්ස් (ග්රීසිය)
2. ඔලිම්පියඩය 1900 පැරිසිය (ප්රංසය)
3. ඔලිම්පියඩය 1904 සැන් ලුවී (ඇ.එ.ජ.රා.)
4. ඔලිම්පියඩය 1908 ලන්ඩන් (එංගලන්තය)
5. ඔලිම්පියඩය 1912 ස්ටොක්හෝම් (ස්වීඩනය)
6. ඔලිම්පියඩය 1916 ලෝක යුද්ධය නිසා නොපැවතිණ.
7. ඔලිම්පියඩය 1920 ඇන්ට්ව'ප් (බෙල්ජියම)
8. ඔලිම්පියඩය 1924 පැරිසිය (ප්රංසය)
9. ඔලිම්පියඩය 1928 ඇම්ස්ටර්ඩෑම් (නෙදර්ලන්තය)
10. ඔලිම්පියඩය 1932 ලොස් ඇන්ජලිස් (ඇ.එ.ජ.රා.)
11. ඔලිම්පියඩය 1936 බර්ලින් (ජර්මනිය)
12. ඔලිම්පියඩය 1940 ලෝක යුද්ධය නිසා නොපැවතිණ.
13. ඔලිම්පියඩය 1944 ලෝක යුද්ධය නිසා නොපැවතිණ.
14. ඔලිම්පියඩය 1948 ලන්ඩන් (එංගලන්තය)
15. ඔලිම්පියඩය 1952 හෙල්සිංකි (පින්ලන්තය)
16. ඔලිම්පියඩය 1956 මෙල්බ’න් (ඕස්ට්රේලියාව)
17. ඔලිම්පියඩය 1960 රෝමය (ඉතාලිය)
18. ඔලිම්පියඩය 1964 තෝකියෝ (ජපානය)
19. ඔලිම්පියඩය 1968 මෙක්සිකෝ නුවර (මෙක්සිකෝව)
20. ඔලිම්පියඩය 1972 මියුනික් (ජර්මනිය)
1896 ආරම්භක ක්රීඩා උත්සවය ශ්රී විභූතියෙන් හා ක්රීඩා ශූරත්වයෙන් ඌන නොවුව ද තරඟ ඉසව් සංඛ්යාව ද සහභාගි වූ රටවල සංඛ්යාව ද සීමා විය. 80,000ක් පමණ ජනයා විසින් නරඹන ලද එම ක්රීඩාවාරය පුදපූජා හා ආචාර වෙඩි මුර පැවැත්වීමෙන් හා සාමයේ සංකේතයක් වශයෙන් සුදු පරෙවියන් මුදා හැරීමෙන් පසු ආරම්භ කරන ලදි. මලල ක්රීඩා ඉසව් පසළොසකින් නවයක් ම අමෙරිකානුන් විසින් දිනා ගන්නා ලද අතර ප්රංස ජාතික ක්රීඩකයෝ සයිකල් ශූරයන් වශයෙන් ද ජර්මන් ක්රීඩකයෝ ශාරීරික අභ්යාස ශූරයන් වශයෙන් ද හංගේරියානු ක්රීඩකයෝ පිහිනීම් ශූරයන් වශයෙන් ද මුල්තැන් අත්කර ගත්හ. ඔලිම්පික් ක්රීඩා උළෙලේ විශේෂාංගයක් වූ මැරතන් ධාවන තරඟය මෙහි දී තරඟාවලියට ඇතුළත් කරන ලදි.
නූතන ඔලිම්පික් ක්රීඩා උත්සවයන්ට විවිධ නවාංග එකතු කිරීම නොයෙක් විට දක්නට ලැබිණ. ලෝකයේ සියලු ම ජාතීන් නියෝජනය කිරීම් වස් පංචමහාද්වීප හා පංචමහාවර්ණ සංකේත කොටගත් පංච වලල්ලකින් යුත් ඔලිම්පික් කොඩිය නිල වශයෙන් ප්රථම වරට ඔසවන ලද්දේ 1920 දී ඇන්ට්ව’ප්හි පැවැත්වූ තරඟ වාරයේ දීය. 1928 දී පළමුවරට කාන්තාවෝ ද මෙම ක්රීඩා උත්සවයට ඇතුළු කරගනු ලැබූහ. 1932 දී ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පවත්වන ලද 10 වැනි ක්රීඩා උත්සවයේ නවාංගයක් වූයේ ඔලිම්පික් ගමය. විවිධ රටවලින් පැමිණෙන දහස් සංඛ්යාත ක්රීඩක ක්රීඩිකාවන්ට එක ම අංගණයක නවාතැන් ගෙන එකට ක්රීඩා පුහුණුව ලබා ගැනීමේ අවස්ථාව ලබා දුන් මෙයින් සිදු වූ විශාල ම සේවය වශයෙන් සැලකිය හැක්කේ ඔවුනොවුන් තුළ වගාවුණු ජාත්යන්තර සුහදතාවයි.
ක්රීඩා ආරම්භයේ සිට අවසානය දක්වා ක්රීඩා උත්සව භූමියේ නොනිවී දැල්වෙන විශාල ඔලිම්පික් පහන දැල්වීමට ගින්දර ගෙන එන ‘ඔලිම්පික් පන්දම’ ඔලිම්පික් ක්රීඩාවේ ආරම්භක ස්ථානය වූ ඇතන්ස් නුවර ඔලිම්පියාවේ සිට විවිධ රටවල් හරහා කඩින් කඩ ධාවනය කරන ක්රීඩකයන් ගෙන ඒමේ නවාංගය 1936 දී බර්ලින්හි පැවැත්වූ උත්සවයේ දී ආරම්භ කරන ලදි.
සංවිධානය හා මෙහෙයවීම
ඔලිම්පික් ක්රීඩා සංවිධානය භාරව ඇත්තේ ජාත්යන්තර ඔලිම්පික් ක්රීඩා කමිටුවටය. ස්විට්සර්ලන්තයේ ලෝසාන්හි මොං රොපෝහි (Mon Repos) කමිටුවේ ප්රධාන කාර්යාලය පිහිටුවා ඇත. එහි සාමාජිකයන් පත් කිරීම ඉතා දැඩි පරීක්ෂණයකින් පසුව කරනු ලැබේ. එසේ සාමාජිකත්වය ලබන්නෝ යාවජීව සාමාජිකයෝ වෙති. මේ සංවිධානයේ සාමාජිකයන් රටවල් නියෝජනය කරන්නන් නොව ඒ ඒ රටවල සිටින ජාත්යන්තර ඔලිම්පික් ක්රීඩා කමිටුවේ නියෝජිතයන් වීම නිසා එය අද්විතීය සංවිධානයක් වේ. කිසි ම රටකින් දෙදෙනකුට වැඩි නියෝජිත පිරිසක් තෝරා නොගන්නා අතර කිසි ම සාමාජිකයකු වෙනත් සංවිධානයකින් හෝ තම රටේ පාලකයන්ගෙන් හෝ තම ඡන්දයේ නිදහස සම්බන්ධයෙන් බලපෑමක් කෙරෙන කිසිදු බැඳීමකට යටත් නොවිය යුතුය. ඔලිම්පික් ක්රීඩෝත්සවය පවත්වන ස්ථාන නියම කරනු ලබන්නේ මෙම කමිටුව මගින්ය. ඒ ඒ ක්රීඩා වාරය සංවිධානය කිරීමේ වගකීම භාර දෙනු ලබන්නේ රටකට නොව නගරයකටය. ඔලිම්පික් ක්රීඩා උළෙල පවත්වන නගරයේ දී උළෙල අවසානයේ රැස්වන මෙම කමිටුව ඊළඟ ක්රීඩා වාරය පවත්වන ස්ථානය නියම කරයි. ඔලිම්පික් ක්රීඩා සඳහා විවිධ රටවලින් තරඟකරුවන් තෝරා යැවීම පිළිබඳ සංවිධාන කටයුතු ඒ ඒ රටවල ජාතික ඔලිම්පික් ක්රීඩා කමිටුවලට අයත් කාර්යයකි. 1960 ගණන්වල දී මෙවැනි කමිටු 100ක් පමණ ජාත්යන්තර ඔලිම්පික් ක්රීඩා කමිටුව මගින් පිළිගෙන තිබුණි.
උත්සව චාරිත්ර
ක්රීඩා උළෙල ආරම්භයේ දී විවිධ රටවල තරඟකරුවන් විසින් පවත්වනු ලබන ආචාර පෙළපාලිය අති දර්ශනීයය. පිළිගැනීමේ සුළු කථාවක් පවත්වන සංවිධායක කමිටුවේ සභාපතිවරයාගේ ආරාධනයෙන් උත්සවය පවත්වනු ලබන රටේ රාජ්ය ප්රධානියා විසින් චාරිත්රානුකූලව විවෘත කරනු ලබන ක්රීඩෝත්සවය සාමාන්යයෙන් දින දහහතරක් තිස්සේ පැවැත්වේ. හොරණෑ නාද මැද ඔලිම්පික් ධජය එසවෙද්දී පරෙවියන් මුදා හැර ආචාර වෙඩිමුර පවත්වන අතර ඔලිම්පික් ගිනිහුල ක්රීඩාංගණයට ගෙන එනු ලැබේ. එම ගිනි හුලෙන් ශුද්ධ සම්මත වූ ගිනිමැලය දල්වනු ලැබේ. ඉක්බිති ඔලිම්පික් ගීතය ගයා නිමවීමත් සමග ම උත්සවය පැවැත්වෙන රටේ ක්රීඩකයෙක් නැගී සිට රැස්ව සිටි ක්රීඩකයන් වෙනුවෙන් ශපථය දෙයි. තරඟවලින් ජය ගන්නා අය අතුරින් පළමුවැන්නාට රන් පදක්කමක් ද දෙවැන්නාට රිදී පදක්කමක් ද තුන් වැන්නාට ලෝහ පදක්කමක් ද ලැබෙන අතර ජයග්රාහක රටවලට හා තරඟකරුවන්ට විශේෂ ගෞරවයක් ද හිමි වේ.
ඔලිම්පික් ක්රීඩකයන් තරඟ කරන්නේ හුදෙක් ජය ලබාගැනීමට ම නොව තරඟ කිරීම උදෙසාය. ක්රීඩා ආරම්භයේ දී ම තරඟකරුවන් දිවුරුම් දෙන්නේ “අපි නියම ක්රීඩා කෞශල්යයෙන් අපේ රටේ ගෞරවයත් ක්රීඩාවේ දීප්තියත් නැංවීම සඳහා නීතිරීතිවලට එකඟව සාධාරණ ලෙස ඔලිම්පික් ක්රීඩාවට සහභාගි වන්නෙමු” කියාය. එමෙන් ම ක්රීඩාවසානයේ දී ක්රීඩා කමිටුවේ සභාපතිවරයා පවසන්නේ “සදාකල් මනුෂ්ය සංහතියේ යහපත තකා ඔලිම්පික් පන්දම වඩ වඩාත් උද්යෝගවත්ව ද ධෛර්ය්ය සම්පන්නව ද ගෞරවාන්විතව ද දැල්වෙන පරිදි සියල්ලෝ ම ප්රීතිප්රාමෝද්යය හා සාමග්රිය පළ කෙරෙත්වා” යනුවෙනි. ඔලිම්පික් ක්රීඩාවන්ට සහභාගිවන්නන් එය වෘත්තියක් කොට නොගෙන හුදෙක් ක්රීඩාපරවශභාවයෙන් ම ඊට සහභාගි වන්නන් (ආධුනිකයන්) විය යුතුය.
ජයග්රහණ
සෑම තරඟ වාරයක දී ම පාහේ එක් පුද්ගලයකු කැපී පෙනෙන අන්දමේ විශිෂ්ට දක්ෂකම් පා තිබීම මෙහිලා සඳහන් කළ යුත්තකි. මෙතෙක් එක් ක්රීඩකයකු විසින් දිනා ගන්නා ලද වැඩි ම රන්පදක්කම් ගණන වූ රන්පදක්කම් 8ක් දිනා ගත් ඇමෙරිකාවේ රේ. එව්රි 1900 හා 1904 තරඟ වාරවල විශිෂ්ට ශූරයා විය. ඒ තරඟ වාර දෙකේ දී ම රන් පදක්කම් තුන බැගින් දිනූ හේ 1908 දී තවත් දෙකක් දිනා ගත්තේය. 1920 තරඟවාරයේ දී පින්ලන්තයේ පාවෝම් නූර්මි රන් පදක්කම් දෙකක් දිනමින්, එතෙක් ඇමෙරිකන් ක්රීඩකයන්ගේ ඒකාධිකාරයක්ව පැවති ජවන හා පිටිය ශූරතාවලියට තර්ජනයක් එල්ල කිරීමට සෑහෙන තරම් ජයග්රහණයක් කුඩා රටක් වූ පින්ලන්තයට ගෙන දුන්නේය. 1924 දී හේ රන් පදක්කම් තුනක් ම දිනා ගත්තේය. 1928 දී ලබා ගත් රන් පදක්කමත් සමඟ ඔහුගේ මුළු රන් පදක්කම් ගණන හයක් විය. 1924 දී ඔහුගේ ජයග්රහණ කැපී පෙනුණේ එක් සැන්දෑවක පැය දෙකක් තුළ මීටර් 1,500 හා 5,000 තරඟ ඔලිම්පික් වාර්තා පිහිටුවමින් දිනා ගැනීම නිසාය. එම තරඟ වාරයේ දී ඔහු මීටර් 10,000 තරඟයට අමතරව තරඟාවලියට අයත් නොවූ මීටර් 3000 කණ්ඩායම් තරඟයකින් ද ජයගත්තේය.
1928 තරඟාවලියේ දී ජවන හා පිටිය තරඟයකින් ආසියාතික ශූරයකුට ලැබුණු ප්රථම ඔලිම්පික් රන් පදක්කම තුන්පාදපිමි තරඟය ද දිනූ ජපානයේ මිකියෝ දදා විසින් දිනාගන්නා ලදි. හොකි ශූරතාව සඳහා වූ රන් පදක්කම ඉන්දියාව විසින් ලබාගන්නා ලද්දේ ද එම වර්ෂයේ දීය. 1936 තරඟයේ විශිෂ්ටතම ශූරයා වූයේ ඇමෙරිකානු නීග්රෝ ජාතික ජෙසි ඕඑන්ස්ය. නව ඔලිම්පික් වාර්තා දෙකක් පිහිටුවා තවත් වාර්තාවක් හා සමකක්ෂයට පැමිණෙමින් ඔහු රන් පදක්කම් 4ක් ම දිනා ගත්තේය. ලන්ඩන් නුවර 1948 දී පැවැත් වූ තරඟ වාරය දෙවන මහා ලෝක යුද්ධය නිසා 1936න් පසු පැවැත් වූ පළමු වැන්නයි. සෝවියට් දේශය හැර අන් සියලු මිත්ර පාක්ෂික හා මධ්යස්ථ රටවල් ඊට සහභාගි වූ නමුත් ජපානය හා ජර්මනිය සහභාගි නොවූහ. මෙම තරඟයේ දී ඇමෙරිකාවට තර්ජනයක් වූයේ තවත් කුඩා රටක් වූ ස්වීඩනය පමණි. 1952 විශිෂ්ටතම ශූරයා වූ එමිල් සටොපෙක් ප්රථම ඔලිම්පික් රන් පදක්කම දිනා ගන්නා ලද්දේ මෙම වාරයේ දීය. ලංකාව හාපුරාකියා සහභාගි වූ මෙම තරඟ වාරයේ දී ඩන්කන් වයිට් විසින් රිදී පදක්කමක් දිනා ගනිමින් මෙරටට අත්කර දුන්නේ විශාල කීර්තියකි. 1952 තරඟ වාරය හෙල්සිංකිහි පවත්වන ලද අතර 1920 සිට 1928 දක්වා ශ්රේෂ්ඨතම ඔලිම්පික් ශූරයා වූ පාවෝ නූර්මි විසින් ඔලිම්පික් පහන දල්වන ලදි. ඔලිම්පික් ඉතිහාසයේ ශ්රේෂ්ඨතම දුර දිවීමේ ශූරයා වශයෙන් සැලකෙන චෙක් ජාතික එමිල් සටොපෙක්ගේ ජයග්රහණ මෙහි කැපී පෙනුණ අංගයයි. එතෙක් කිසිවකු විසින් දිනා නොගත් ගෞරවයක් ලබමින් ඔහු මීටර් 5,000 හා මීටර් 10,000 මැරතන් තරඟ දිනා ගත්තේය. මැරතන් තරඟයක් සමඟ දීර්ඝ දුර දිවීමේ තරඟ දිනූ ප්රථම තැනැත්තා මොහුය. තවත් විශේෂ සිද්ධියක් වූයේ එම තරඟ වාරයේ දී ම සටොපෙක්ගේ බිරිඳ ද රන් පදක්කමක් දිනා ගැනීමය. සෝවියට් දේශය ප්රථම වරට ඔලිම්පික් තරඟවලට ඇතුළු වූයේ ද 1952 දීය. එය ඇමෙරිකානු ක්රීඩකයන්ගේ ආධිපත්යයට බලවත් තර්ජනයක් වූ අතර ක්රීඩාවේ වර්ධනයට විශාල රුකුලක් විය. 1956, 1960 හා 1964 තරඟවාරවල දී වැඩි ම පදක්කම් සංඛ්යාවක් දිනමින් ඇමෙරිකාව අභිභවා යාමට ද සෝවියට් දේශය සමත් විය. 1956 ඔලිම්පික් වාරයේ කැපී පෙනුණ ශූරයා වූයේ සෝවියට් දේශයේ ව්ලැඩිමිර් කුට්ස්ය. මීටර් 5,000 හා 10,000 ඉසව් සඳහා වූ රන් පදක්කම් දිනා ගත් ඔහු ඔලිම්පික් ජවන හා පිටිය තරඟයක දී සෝවියට් දේශය ලද ප්රථම රන් පදක්කම් ඊට ලබා දුනි. අවුරුදු 1500කට පමණ ඉහත දී රෝම අධිරාජයා විසින් තහනම් කරනු ලැබූ ඔලිම්පික් ක්රීඩා 1960 දී නැවතත් රෝම නගරයේ දී ම පවත්වනු ලැබීය. ඔලිම්පික් ක්රීඩා ඉතිහාසයේ පැරණිම වාර්තාව වූ 1936 දී ජෙසි ඕඑන්ස් විසින් පිහිටුවන ලද දුර පැනීමේ වාර්තාව මෙහි දී බිඳ වැටිණ. මෙහි දී කැපී පෙනුණ ක්රීඩකයා වූයේ ඉතියෝපියාවට ප්රථම ඔලිම්පික් රන් පදක්කම ලබා දෙමින් පාවහන් රහිතව ධාවනය කොට මැරතන් තරඟය දිනා ගත් අබිබි බිකිලාය. ප්රථම වරට ආසියාතික නගරයක දී පවත්වනු ලැබූ 1964 තරඟවාරයේ කැපී පෙනුණ ක්රීඩකයා වූයේ නවසීලන්තයේ පීටර් ස්නෙල්ය. එහි දී රන් පදක්කම් දෙකක් දිනූ එක ම ක්රීඩකයා වූයේ ද ඔහුය. ඔලිම්පික් ඉතිහාසයේ ප්රථම වරට මැරතන් ශූරතා දෙකක් දිනා ගත් ඉතියෝපියාවේ අබිබි බිකිලා 1964 තරඟයේ දී ද මැරතන් ශූරතාව දිනා ගත්තේය. 1968 දී ප්රථම වරට ලතින් ඇමෙරිකානු නුවරක පැවැත්වූ ඔලිම්පික් තරඟාවලියේ දී විශේෂ සිද්ධි කිහිපයක් වාර්තාගත විය. ඇමෙරිකාවේ අල් ඌටර් පිට පිට හතරවැනි වතාවටත් කව පෙත්ත විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත්තේය. දිර්ඝ දුර දිවීමේ තරඟ සියල්ල ම අප්රිකානු ක්රීඩාශූරයන් විසින් දිනා ගන්නා ලදි. කින්යා ජාතික ශූරයන් රන් පදක්කම් තුනක් දිනා ගනිමින් තම රටේ නගරයක ඊළඟ ඔලිම්පික් තරඟවාරයක් පැවැත්වීමේ ගෞරවය ලබා ගැනීමට සුදුසුකම් කියා පෑමට සමත් වූ අතර ඉතියෝපියාව තුන්වැනි වරටත් මැරතන් ධාවනය සඳහා වූ රන් පදක්කම දිනා ගත්තේය. ඔලිම්පික් තරඟයක දී මෙක්සිකෝව ලද ප්රථම පදක්කම වූ රිදී පදක්කම දිනා ගන්නා ලද්දේ ද මෙක්සිකෝ නුවර පැවැත්වූ මෙම තරඟ වාරයේ දීය.
1928 දී කාන්තාවන්ට ද ඔලිම්පික් තරඟය විවෘත වීමෙන් පසු කැපී පෙනෙන දස්කම් පෑ ක්රීඩිකාවෝ රාශියක් ම වූහ. ඔවුන් අතර ප්රධාන ස්ථානයක් හිමි වන්නේ 1960 දී රන් පදක්කම් තුනක් දිනා ගත් ඇමෙරිකාවේ විල්මා රුඩොල්ෆ්ටය. 1964 දී කැපී පෙනුණේ සෝවියට් දේශයේ නමරා ප්රෙස්ය. 1960 දී රන් පදක්කමක් දිනූ ඇය විසින් 1964 දී රන්පදක්කම් දෙකක් ම දිනා ගන්නා ලදි. තවත් විශේෂයක් වූයේ 1960 දී රන් පදක්කමක් දිනූ ඇයගේ සොහොයුරිය වූ අයිරින් ප්රෙස් 1964 දී ආරම්භ කරන ලද පස්ඉසව් තරඟය දිනා ගැනීමයි. 1952 දී තම සැමියා ශ්රේෂ්ඨත්වයෙන් සැලකුම් ලැබූ අවස්ථාවේ දී රන් පදක්කමක් දිනා ගත් සටොපෙක් බිරිඳ ද කැපී පෙනෙන ක්රීඩිකාවක් වූවාය. ඒ හැර ඕස්ට්රේලියාවේ බී. කට්බත් හා නෙදර්ලන්තයේ එප්. බ්ලැන්කර්ප්-කූන් කාන්තාවෝ දෙදෙන රන් පදක්කම් තුන බැගින් දිනා ගෞරව ලැබූහ.
බාස්කට් බෝල් ක්රීඩාව ඔලිම්පික් තරඟයට ඇතුළත් කරන ලද දින සිට (1904) ඒ සඳහා වූ රන් පදක්කම ඇමෙරිකා එක්සත් ජනපදය විසින් දිනා තිබීම වැදගත් සිද්ධියකි. එමෙන් ම 1928න් පසු හොකි ක්රීඩාව පිළිබඳ ශූරතා රන් පදක්කම හා රිදී පදක්කම ඉන්දියාව හෝ පකිස්තානය විසින් දිනා ගනු ලැබීමෙන් හොකි ක්රීඩාව ආසියාතිකයන්ගේ ක්රීඩාවක් බව ඔප්පු කොට ඇත. පකිස්තානය රන් පදක්කම දිනුයේ 1960 දී හා 1968 දී පමණි. අන් අවස්ථාවල දී රිදී පදක්කම දිනා ගන්නා ලදින් ඉන්දියාව ලෝක හොකි ශූරයා වශයෙන් පිළිගැනිණ. එහෙත් ප්රථම වරට ඉන්දියාවට ඔලිම්පික් තරඟවාරයක දී අවසාන පූර්ව තරඟයෙන් පවා ඉවත් වීමට සිදු වූයේ 1968 දී ඕස්ට්රේලියාවට පැරදීමෙනි.
නූතන ඔලිම්පික් තරඟාවලියේ ප්රථම රන් පදක්කම දිනූ ඔලිම්පික් ශූරයා වශයෙන් සැලකෙන්නේ ඇමෙරිකානු ජාතික ජේම්ස් කොනොලිය. ග්රීක ජාතිකයකු විසින් ප්රථම මැරතන් තරඟය දිනා ගනු ලැබීම ද විශේෂ සිද්ධියකි.
ලංකාව හා ඔලිම්පික් ක්රීඩා
ලංකාව ජාත්යන්තර ඔලිම්පික් ක්රීඩා තරඟවලට මුලින් ම සහභාගි වූයේ 1948 දීය. ඒ ලන්ඩන් නුවර දී පැවැත්වූ 14 වැනි ඔලිම්පික් උළෙලේ දීය. එතැන් සිට මේ දක්වා පැවැත් වූ සෑම ඔලිම්පික් උළෙලකට ම ලංකාව සහභාගි වී ඇත. හාපුරාකියා සහභාගි වූ ලන්ඩන් ඔලිම්පික් තරඟයේ දී ලංකාව වෙනුවෙන් මීටර් 400 බාධක දිවීමේ තරඟයට ඉදිරිපත් වූ ඩන්කන් වයිට් දෙවන තැන දිනා ගනිමින් රිදී පදක්කම අත්කර ගැනීම රටට ම ගෞරවයක් විය. මෙම තරඟයේ දී ඩන්කන් වයිට් විසින් ඒ ඉසව්ව සඳහා එවකට තිබූ ඔලිම්පික් වාර්තාව අභිභවා යාම ද විශේෂයෙන් සැලකිය යුතුය. මෙතෙක් ඔලිම්පික් ක්රීඩා උළෙලක දී පදක්කමක් දිනාගත් එක ම ක්රීඩකයා ඩන්කන් වයිට්ය. එම උළෙලේ දී ම බොක්සිං තරඟ සඳහා ද ලංකාවෙන් තරඟ කරුවන් සිව්දෙනකු ඉදිරිපත් කරනු ලැබුව ද පදක්කම් ලබාගැනීමට කිසිවෙක් පොහොසත් නොවීය. එහෙත් ඒ සිව්දෙනා ම මුල් වටයේ දී ප්රති මල්ලවයන් පැරදවූහ.
1952 හෙල්සිංකිහි ඔලිම්පික් උළෙලට ලංකාව මලල ක්රීඩා, බොක්සිං හා පීනීම යන ඉසව්වලට තරඟකරුවන් ස්වල්ප දෙනකු ඉදිරිපත් කළ ද කිසිවෙක් සැලකිය යුතු දස්කම් පෑමට සමත් නොවීය. ක්රීඩකයන් තිදෙනකුගෙන් සමන්විත වූ කණ්ඩායමක් 1956 දී මෙල්බ'න් නුවර පැවැත්වූ 16 වැනි ඕලිම්පික් උළෙලට යැවිණ. ඉන් බොක්සිං ශූරයන් දෙදෙනා මුල් වටයේ දී ම පරාජය වුව ද උස පැනීමේ ශූරයා වූ එන්. එදිරිවීරසිංහම් අවසාන වටයට සුදුසුකම් ලැබුවේය. මොහු 1958 දී ආසියාතික ක්රීඩා උළෙලේ දී උස පැනීමේ තරඟයෙන් රන් පදක්කම දිනා ගත්තේය. 1960 දී හා 1964 දී ඔලිම්පික් උළෙලවලට සහභාගි වූ ලංකා ක්රීඩකයන්ට කැපී පෙනෙන සමත්කම් දැක්වීමට නොහැකි විය. 1968 මෙක්සිකෝ ඔලිම්පික් උළෙලේ දී ලංකාවේ මැරතන් ශූරයා වූ විමලදාස පෙරේරා 51 වැනි ස්ථානය අත්කර ගත් අතර බොක්සිං ශූරයා වූ එච්.කේ. කරුණාරත්න මුල් වටයේ දී බුරුම ශූරයා පැරද වුව ද ඊළඟ වටයේ දී වෙනිසුවෙලා ශූරයා අතින් පරාජය විය. යාත්රා පැදිමේ තරඟයෙන් රේ. විජේවර්ධන ලබාගත්තේ 12 වැනි ස්ථානය වුව ද ඔහු ආසියාතික තරඟකරුවන් සියලු දෙනා අභිභවා සිටියේය.
1970 ආසියාතික ක්රීඩා උළෙලේ දී ලංකාවට රන් පදක්කම් කිහිපයක් ම දිනා දුන් දීර්ඝ දුර ධාවන ශූරයා වූ ඇස්.ඇල්. බෙනඩික්ට් රෝසා (මීටර් 10,000 හා මැරතන්) ද ඩබ්ලිව්.ඒ. විමලදාස (මීටර් 400), සුනිල් ගුණවර්ධන (මීටර් 100) හා ලෙප්ටිනන්ට් බී. නඩරාජසිංහම් (ඉලක්ක වෙඩි තැබීම) ද 1972 මියුනික් ඔලිම්පික් උළෙලට සහභාගි වූ නමුත් සැලකිය යුතු තැනක් ලබාගැනීමට අපොහොසත් වූහ.
මෙතෙක් ලංකා ක්රීඩකයන් සහභාගි වූ ඉසව් සංඛ්යාව මෙන් ම ක්රීඩකයන්ගේ සංඛ්යාව ද විශාල නොවේ. 1948 දී ලැබූ ජයග්රහණයෙන් පසු තව ම සැලකිය යුතු ජයග්රහණයක් ලබාගැනීමට ලංකාව සමත් වී නැත. එහෙත් ඒ තරඟවලට සහභාගි වීමෙන් ලංකා ක්රීඩක ක්රීඩිකාවන් ලබා ඇති අත්දැකීම් නිසා ක්රීඩාවේ වර්ධනයට විශාල රුකුලක් ලැබී ඇත. ඔලිම්පික් තරඟවලට ද සහභාගි වූ බොක්සිං ශූරයකු වූ එඩී ග්රේ 1968 මෙක්සිකෝ ඔලිම්පික් උළෙලේ බොක්සිං විනිශ්චයකරුවකු ලෙස කටයුතු කිරීම ද ලංකාවට ලැබුණු ගෞරවයක් සේ සැලකිය හැකිය.
(සංස්කරණය: 1974)