ඔලිම්පියා (1)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ශ්‍රේෂ්ඨතම පෞරාණික ග්‍රීක සිද්ධස්ථානය හැටියට සැලකෙන මෙය දකුණු ග්‍රීසියේ ඇල්ෆියස් හා ග්ලැඩියස් ගංගා හමුවන තැන වූ තැනිතලා ප්‍රදේශයේ පිහිටියේය. මෙහි පූජාවට පාත්‍ර වූ ප්‍රධාන දෙවියා සියුස්ය. සියුස් දෙවියාට බුහුමන් කිරීම් වශයෙන් ක්‍රි.පූ.776 දී ආරම්භ කරන ලදුව සිව් වසකට වරක් මෙහි පැවැත්වුණු ක්‍රීඩෝත්සවය ඔලිම්පික් ක්‍රීඩා (බ.) නමින් හැඳින්වේ. ක්‍රි.ව.393 දී ඔලිම්පික් ක්‍රීඩා තහනම් කරනු ලැබීමෙන් පසු ඔලිම්පියාව බලකොටුවක් බවට පරිවර්තනය විය. අනතුරුව වරින්වර ඇති වූ භූමිකම්පා හා ජලගැලීම් හේතුකොටගෙන මුළු ප්‍රදේශය ම පරිහානියට පත් විය.

ඔලිම්පියා භූමිය නැවත සොයාගන්නා ලද්දේ මොංෆොකොං (Montfaucon) නමැති ප්‍රංස ජාතික පුරාවස්තු ගවේෂකයා විසින් 1723 දීය. 1875-1881 හා 1936-1938 අතරතුර ජර්මන් පුරාවිද්‍යාඥයන් විසින් ඔලිම්පියා ප්‍රදේශය කැණීමේ දී ග්‍රීක හා රෝම යුගවලට අයත් පුරාවස්තු හා ගොඩනැඟිලි රාශියක් සොයාගනු ලැබිණි.

ක්‍රෝනස් කඳුවැටිය පාමුල ඇල්ටීස් නමින් හඳුන්වනු ලැබූ ප්‍රදේශයක දේවමන්දිරවලින් යුත් ශුද්ධ භූමිය පිහිටියේය. ආගමික ගොඩනැඟිලි අතර ක්‍රි.පූ. 1000 පමණ කාලයට අයත් හේරා දෙව් මැදුර (Heraeum) පැරණි ම ග්‍රීක දේව මන්දිරය ලෙස සලකනු ලැබේ. මන්දිරය තුළ වූ සතළිසක් පමණ ලී කුලුනු දිරා ගොස් තුබුණු බැවින් ඒ වෙනුවට ගල් කුලුනු යොදනු ලැබීය. ප්රැක්සිටිලිස්ගේ (බ.) උසස් කෘතියක් වන හර්මීස් මූර්තිය දෙව්මැදුරේ ගර්භගෘහය තුළ විය.

සියුස්‌ දේවමන්දිරය (ක්‍රි.පූ.460 පමණ) ඔලිම්පියාහි ප්‍රධාන ආගමික ගොඩනැඟිල්ල වේ. මෙය ඩොරික් සම්ප්‍රදාය අනුව තනවන ලද්දකි. හුනුගලින් ගොඩනැඟුණු මෙම දෙව්මැදුර ග්‍රීසියේ විශාල ම දෙව්මැදුරු අතුරෙන් එකක් විය. මන්දිරයේ ඇතුළත කළු හා සුදු කිරිගරුඬ ගල්පුවරු අතුරා තිබිණ. ගර්භගෘහය තුළ තිබී සොයාගනු ලැබූ සියුස් දෙවියාගේ මහා ප්‍රතිමාව විශිෂ්ට කලා කෘතියකි. ෆිඩියස් (බ.) විසින් ඇත්දතින් හා රනින් නිමවන ලද මෙම මූර්තිය ලෝකයේ පුදුම හතෙන් එකක් ලෙස සලකනු ලැබේ. සියුස් දෙව්මැදුරට නැගෙනහිරින් ත්‍රිකෝණාකාර උපපීඨයක් මත පයෝනියස් විසින් නිමවන ලද නිකේ නම් වූ ජයග්‍රහණය පිළිබඳ දෙව්දුවගේ ප්‍රතිමාව ද ශ්‍රේෂ්ඨ නිර්මාණයකි. මේ හැර සියුස් දෙවියාගේ මුණුබුරු පෙලොප්ස්ට කැප වූ පෙලෝපියම් දේව මන්දිරය, දේවමාතෘ දෙව්මැදුර (Metroum) හා නොයෙක් ආයුධ හා භාණ්ඩ සුරක්ෂිත කර තැබූ කෝෂ්ඨාගාර ද ඇල්ටිස් ශුද්ධ භූමිය තුළ වූ වැදගත් ගොඩනැඟිලිය.

ක්‍රීඩාමණ්ඩප, ජිම්නේසියම ආදි අවශේෂ ගොඩනැඟිලි ශුද්ධ භූමියෙන් පිටත පිහිටියේය. ශුද්ධ භූමියට කිට්ටුව ම ඊට දකුණින් බුලෙවුටීරියොන් (Bouleuterion) නම් මන්ත්‍රණ සභා මන්දිරය විය. මෙහි පිහිටි දිවුරුම්වලට අධිපති දෙවියාගේ ප්‍රතිමාව ඉදිරිපිට දී ක්‍රීඩකයෝ අවකෙළි නොකෙළින බවට දිව්රුම් දුන්හ. චතුරස්‍ර වේදිකාවක් මැදිකොට තනවන ලද මල්ලක්‍රීඩා මණ්ඩපයට අයත් ප්‍රේක්ෂාගාරයෙහි නරඹන්නන් 40,000 සිට 50,000කට පමණ අසුන් ගත හැකි විය. විශාල එළිමහන් භූමිභාගයක කුලුනු පේළිවලින් වට කොට සැදි ජිම්නේසියම (ක්‍රි.පූ. තුන්වන ශතවර්ෂය) ක්‍රීඩකයන් පුහුණු කරවීම පිණිස යොදනු ලැබීය. රිය හා අසුන් විහිදුවීම සඳහා තනන ලද හිපොඩ්‍රෝම් (Hippodrome) නම් ක්‍රීඩා පීඨය ජලගැලීම් නිසා මුළුමනින් ම විනාශ වී තිබේ. මලල පොර ආදිය සඳහා වූ පලයෙස්ට්‍රා (Palaestra) නම් ක්‍රීඩාපීඨය ද පූජකවරුන්ගේ වාසභවනයක් ලෙස සැලකෙන තෙයොකොලෙයොන් (Theokoleon) නම් ගොඩනැඟිල්ල හා විශිෂ්ට අමුත්තන් පිළිගැනීම සඳහා වූ ලියොනිඩයියම් (Leonidaeum) නම් මාළිගය ද ඔලිම්පියාහි අනිකුත් ප්‍රධාන ගොඩනැඟිලිය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඔලිම්පියා_(1)&oldid=11737" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි