ඔහයෝ
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ උතුරුමැද භාගයෙහි පිහිටි ජනපදයකි. මෙහි ප්‍රධාන ගංගාව වන ඔහයෝ ගංගාව නිසා (ඉරොක්වොයි බසින් ‘මහ ගඟ’ යන තේරුම ඇති) ඔහයෝ නාමයෙන් හැඳින්වෙන මේ ජනපදය ‘බක්අයි ජනපදය’ (Buckeye state) යනුවෙන් දන්නා ලැබේ. ප්‍රමාණයෙන් ව.සැ. 41,222ක් වූ මෙය නැගෙනහිරින් පෙන්සිල්වේනියා ජනපදයෙන් හා ඔහයෝ ගංගාවෙන් ද දකුණින් බටහිර වර්ජිනියා ජනපදයෙන් හා කෙන්ටකි ජනපදයෙන් ද බටහිරින් ඉන්දියානා ජනපදයෙන් ද උතුරින් මිචිගන් ජනපදයෙන් හා ඊරි විලෙන් ද සීමා වී තිබේ. 1967 දී මෙහි ජනගහනය 10,462,000ක් විය. අගනුවර වනුයේ කොලොම්බස් නගරයයි. ක්ලීව්ලන්ඩ් සින්සිනැටි, ටොලීඩෝ, ඇක්රන්, ඩේටන්, යංස්ටවුන්, කැන්ටන්, පර්මා සහ ස්ප්‍රිංෆීල්ඩ් අනික් ප්‍රධාන නගරයෝයි.
උත්තර අක්ෂාංශ 38° 27´ හා 41° 57´ත් බටහිර දේශාංශ 80° 34´ හා 84° 49´ත් අතර පිහිටා ඇති ඔහයෝ ජනපදය භෞතික වශයෙන් ඇලිගනි සානු ප්‍රදේශය, මධ්‍යම තැනිතලා ප්‍රදේශය, විල් තැනිතලා ප්‍රදේශය යනුවෙන් කොටස් තුනකට බෙදේ. ඇලිගනි සානු ප්‍රදේශය වූකලි දිග රැළි කඳු පන්තියකි. මධ්‍යම හා විල් තැනිතලා ප්‍රදේශ වූකලි ගංගාවන් නිසා ඇති වූ පහත් මිටියාවත් සහිත පැතලි බිම් පෙදෙසකි. ජනපදයේ උස් ම ස්ථානය (මුහුදු මටට්මේ සිට අඩි 1,550) පිහිටියේ මධ්‍යම තැනිතලා ප්රදේශයෙහිය. ඔහයෝ ගංගාව හැරුණු විට අන් සියලු ම ගංගා ඔහයෝ ගංගාවට නැතහොත් ඊරි විලට ගලා බස්නා කුඩා ගංගාවෝයි. ඔහයෝ ගංගාවෙහි අතු ගංගාවන් අතුරෙහි මස්කිංගම්, සයිඕටෝ හා එහි අතු ගංගා, ග්‍රේට් මියැමි, ලිට්ල් මියැමි යන ගංගා ප්‍රධානය. මෝමි ගංගාව හා එහි අතුගංගා ජනපදයේ වයඹ දිග ප්‍රදේශය ඔස්සේ ගලා යයි. සැන්ඩස්කි, කයියහෝගා යන ගංගා හා තවත් කුඩා ගංගා කීපයක් උතුරුකරය ඔස්සේ ගලා යයි. ඊරි විල හැරුණු විට අන් සියලු ම විශාල විල් ජනපදයේ ඇළ මාර්ග පද්ධතියට සම්බන්ධ වූ කෘත්‍රිම ජලාශයෝයි. සෙන්ට් මේරීස් විල, ඉන්ඩියන් විල, පෝටිජ් විල හා බක්අයි විල මේ විල් අතුරෙන් කිහිපයකි. ඊරි විල හැරුණු විට අක්කර 43,000ක පමණ ප්‍රදේශයක් වසා සිටින විල් 110ක් ජනපදයේ ඇත්තේය.
ඔහයෝ ජනපදයෙහි ඇත්තේ සෞම්‍ය මහාද්වීපික දේශගුණයකි. මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය පැ.51°කි. මධ්‍ය වර්ෂාපතනය අඟල් 38කි. වර්ෂාපතනයෙන් වැඩි ප්‍රමාණයක් වගා සමය වූ මාර්තු මාසයේ සිට අගෝස්තු මාසය දක්වා වූ කාලය තුළ පවතී. වන බිම් පෙදෙස්වල ගස්කොළන් දිරා යෑම හේතුකොටගෙන මේ ප්‍රදේශයේ පස ස්වභාවයෙන් ම සාරවත්ය. කෘෂිකාර්මික කටයුතු සඳහා මුලින් වනාන්තර එළි කරනු ලැබුව ද කාර්මික වැදගත්කම සලකා සුදු හා රතු ඕක්, සුදු හා රතු ඈෂ්, මේපල්, වොල්නට්, ට්යුලිප්, පොප්ලර්, බැස්වූඩ්, හිකරි, බීච් ආදි ගස් වර්ග වචනු ලැබේ. අක්කර 100,000කටත් අධික බිම් පෙදෙසක් ජනපද ආණ්ඩුවට අයත්ය. ඔහයෝගි ශාක වර්ග විවිධය. ඇල්ෆැල්ෆා, බාම්, බෙඩ්ස්ට්රෝ, හනිසකල්, ඩැන්ඩිලයන් ආදි පොදු පුෂ්පශාක බහුලව වැවේ. ස්පයිස්බුෂ්, හොප් ට්‍රී විච්හේසල් ආදි පඳුරු ජනපදයේ සෑම තැන ම දක්නට ලැබේ. මෙහි සත්ව වර්ගයා අතර විවිධ පක්ෂීහු වෙති. සයිඕටෝ, ඇඩම්ස්, පයික් යන කෝරළවල සුදු වල්ගය ඇති මුවෝ බහුලය. ජනපදයේ දක්ෂිණ භාගයෙහි ද මධ්‍යම හා උතුරු භාගයෙහි ද විවිධ වර්ගවල ලේන්නු එමට සිටිති. මස්ක් රැට්, මිංක්, රැකුන්, රෙඩ්ෆොක්ස්, ග්රූ ෆොක්ස්, ඔපොසම් යන මොහු ලෝම සහිත සතුන් අතර ප්‍රධාන වෙති.
පළමුව කෘෂිකර්මය හා දැව කර්මාන්තය සම්බන්ධයෙන් වැදගත් කොට සැලකුණු ඔහයෝ ජනපදය 1850 දී පමණ ඛනිජ සම්පත්වලින් ආඪ්‍ය යයි සැලකෙන්නට වන. මෙහි ඛනිජ වර්ග අතර රට අඟුරු, මැටිවර්ග, ඩොලොමයිට්, වැලිගල්, හුනුගල්, වට පිඬුපාෂාණ (conglomerate), යපස්, හුනු මැටි, පීට්, ජිප්සම් හා ආකර ලුණු ප්‍රධානය. රටඅඟුරු, භූමි වායුව, කීල් මැටි හා පීට් අතින් මෙම ජනපදය පොහොසත් යයි කිව හැකිය. මැටි වර්ග බහුල වීමත් ඒවායේ උසස් තත්වයත් හේතුකොටගෙන ඔහයෝ ජනපදය පිඟන් භාණ්ඩ නිෂ්පාදනය අතින් උසස් තැනක් ගන්නා අතර මැටි භාණ්ඩ නිෂ්පාදනවල වටිනාකම අතින් එක්සත් ජනපද රාජ්‍යයේ ජනපද අතුරෙහි ප්‍රථම ස්ථානය ගනී. මුල දී ජනපදයේ දියුණුවට ප්‍රබල සාධකයක්ව තිබුණු යපස්වල දැන් එතරම් ආර්ථික වටිනාකමක් නැත. භූමිවායුව හා පැට්රෝලියම් සැලකිය යුතු ප්‍රමාණයකින් නිපදවනු ලැබේ.
වෙළෙඳපොළවල් සුලභවීම, එක් එක් පවුලකට වැඩ කළ හැකි ප්‍රමාණයේ කුඩා ගොවිපළවල් බහුලව තිබීම, බෝග ජාතීන්ගේ විවිධත්වය යන මේ කරුණු ඔහයෝ ජනපදයේ කෘෂිකර්මයේ විශේෂ ලක්ෂණයකි. ජනපදයේ අක්කර දෙකෝටි විසි ලක්ෂයක පමණ බිම් පෙදෙසක් කෘෂිකටයුතු සඳහා වෙන් වී ඇත. ගොවිපළවලින් සියයට අනූහතක් පමණ ම දියුණු මාර්ග ආසන්නයෙහි පිහිටා තිබේ. මෙහි වගා කෙරෙන බෝග අතර බඩ ඉරිඟු, තිරිඟු, ඕට්, දුම්කොළ හා පලතුරු මුල් තැන ගනී. පලතුරු වර්ග අතුරෙහි ඇපල්, පීච්, පෙයාර් හා මිදි විශාල වශයෙන් වවනු ලැබේ. මේපල් සිරප් සම්බන්ධයෙන් ජියෝගා කෝරළය සුප්‍රකටය. මේ ජනපදයෙහි අශ්ව, ගව, බැටළු, ඌරු, කුකුළු, කළුකුම් යනාදි සත්තු ඇති කරනු ලැබෙත්. ධීවර කර්මාන්තය අතින් ද ඔහයෝ ජනපදය දියුණුය. ලෝකයේ අන් කවර වරායකින් වත් සැන්ඩස්කි වරායෙන් තරම් මිරිදිය මාළු අපනයනය කරනු නොලැබේ.
ඔහයෝ ජනපදයෙහි කර්මාන්ත අතර රසායන ද්‍රව්‍ය, ගෘහභාණ්ඩ, රෙදිපිළී, හම්භාණ්ඩ හා කඩදාසි නිපදවීමේ කර්මාන්ත ප්‍රධාන තැන ගනී. ලෝකයෙහි රබර් නිෂ්පාදනය කෙරෙන නගර අතුරෙහි ඇකරන් නගරයට ප්‍රධාන තැනක් හිමි වෙයි. සින්සිනැටි නගරය යන්ත්‍රෝපකරණ නිපදවීම අතින් අන් නගරවල් පරයන තරම්ය. ලිප් හා උදුන් වැඩි ප්‍රමාණයක් නිපදවනු ලබන්නේ ද ඔහයෝ ජනපදයෙහිය. මෙසේ නිෂ්පාදන කටයුතු වැඩි නිසා ම ඔහයෝ ජනපදයේ වෙළඳ කටයුතු ද අධික වෙයි.
මෙහි මහාමාර්ග සැතපුම් 18,416ක් විහිදී සිටියි. සැතපුම් 8,482ක දුම්රිය මාර්ග වෙයි. දුම්රිය මාර්ග සැතපුම් ගණන අතින් එක්සත් ජනපද රාජ්‍යයේ සවැනි ස්ථානය ලැබෙන්නේ මේ ජනපදයටය. ජලප්රවාහණය සැමවිට ම මෙහි ආර්ථිකයේ වැදගත් තැනක් ගත්තේය. දුම්රිය මාර්ග ඉදි කරනු ලැබීමට පෙර ගංගා විල් හා ඇළවල් ප්‍රධාන ප්‍රවාහණ මාර්ග විය. දැන් ඇළවල් ප්රවාහණය පිණිස ප්‍රයෝජනයට නොගැනෙතත් ගංගා හා විල් ඒ සඳහා විශාල වශයෙන් උපයෝගී කරගනු ලැබේ.
ඔහයෝ ජනපදයේ ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (1802) ආර්ථිකයේත් ජනගහනයේත් ශීඝ්‍ර වෙනස් වීම හේතුකොටගෙන සංශෝධනය කිරීමට සිදු විය. 1851 දී නව ආණ්ඩුක්‍රම පනතක් අනුමත කරගන්නා ලදි. මෙහි විධායක අංශය ආණ්ඩුකාර තැන, නියෝජ්‍ය ආණ්ඩුකාර තැන, ඇටෝර්නි ජනරාල්, ජනපද ලේකම්, ජනපද භාණ්ඩාගාරික, ජනපද ගණකාධිකාරී යන නිලධාරීන්ගෙන් සමන්විත වෙයි.
මහජන වැඩ, මුදල්, කෘෂිකර්මය, ස්වාභාවික සම්පත්, මහජන ශුභසාධනය, සෞඛ්‍යය, මහා මාර්ග, බදු අය කිරීම, වෙළඳ කටයුතු, මද්‍යසාර පාලනය, කාර්මික සම්බන්ධතා, රක්ෂා නැතියවුන් සඳහා වූ සහනාධාර යන කාර්ය භාර අධ්යක්ෂවරු ද සහකාර සේනාපති ජනරාල්වරයා ද මහජන අධ්‍යාපන අධිකාරීවරයා ද ආණ්ඩුකාරතැනගේ කැබිනට් මණ්ඩලයට අයත් වෙති. ව්‍යවස්ථාදායක අංශය මන්ත්‍රීවරුන් තිස්තුන් දෙනකුන්ගෙන් යුත් සෙනට් සභාවකින් ද මන්ත්‍රීවරුන් අනූනව දෙනකුන්ගෙන් යුක්ත නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් ද සමන්විත මහාමණ්ඩලයකින් සැදුණේ වෙයි. පළාත් පාලනය පිළිබඳ ඒකකයන් වනුයේ කෝරළය, දිස්ත්‍රික්කය, නාගරිකය හා ග්‍රාමයයි. අග්රවිනිශ්චයකරුවකුගෙන් හා සහාය විනිශ්චයකරුවන් සදෙනකුන්ගෙන් සමන්විත ශ්‍රෙෂ්ඨාධිකරණය, එක් එක් උසාවියෙහි විනිශ්චයකරුවන් තිදෙනකු බැගින් වූ ඇපැල් උසාවි නවය, සෑම කෝරළයක ම එක බැගින් වූ පොදු අයදුම් උසාවි හා ප්‍රොබේට් උසාවි යන ආයතන කෙරෙහි ජනපදයේ අධිකරණ බලය රඳා පවතී.
ජනපදයේ අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක වනුයේ මහජන අධ්‍යාපන භාර අධිකාරී තැන හා සාමාජිකයන් විසිතුන් දෙනකුන්ගෙන් යුත් ජනපද පාසැල් මණ්ඩලය මගිනි. වයස අවුරුදු 6ත් 18ත් අතර වූ ළමුන් අනිවාර්යයෙන් ම පාසැල් යා යුතුය. උසස් අධ්‍යාපන ආයතන හැටකටත් වැඩි ප්‍රමාණයක් ඔහයෝහි ඇත්තේය. ඇතන්ස්හි ඔහයෝ විශ්වවිද්‍යාලයත් ඔක්ස්ෆඩ්හි මියැමි විශ්වවිද්‍යාලයත් කෙලොම්බස්හි ඔහයෝ ජනපද විශ්වවිද්‍යාලයත් කෙන්ට්හි කෙන්ට් ජනපද විශ්වවිද්‍යාලයත් බෝලිං ග්‍රීන්හි බෝලිං ග්‍රීන් විශ්වවිද්‍යාලයත් විල්බර්පෝස්හි මධ්‍ය ජනපද විශ්වවිද්‍යාලයත් ක්ලීව්ලන්ඩ්හි ක්ලීව්ලන්ඩ් ජනපද විශ්වවිද්‍යාලයත් යංස්ටවුන් විශ්වවිද්‍යාලයත් සින්සිනැටි විශ්වවිද්‍යාලයත් උසස් අධ්‍යාපන ආයතන අතර ප්‍රධානය. මේ හැරුණු විට ආගමික විෂයයන් සඳහා ම ඇරුණු විශ්වවිද්‍යාල කීපයක් ද ඇත. පොත්ගුල් පහසුකම් ද සංස්කෘතික වශයෙන් වැදගත් වූ කෞතුකාගාර සමූහයක සේවය ද මෙම ජනපදයට නොඅඩුව ලැබේ.
ඔහයෝ ජනපදයේ මුල් ම පදිංචිකරුවන් වූයේ ඇමෙරිකන් ඉන්දියන්වරුන්ය. ප්රංස ජාතික සිය ද ලා සාල් (sieur de La Salle) මේ ප්‍රදේශයට මුලින් ම ඇතුළු වූ සුදු මිනිසා වශයෙන් සැලකේ. හේ 1669 දී ඊරි විලත් ඔහයෝ ගංගාවත් අතර ප්‍රදේශ ගවේෂණය කළේය. 1673 දී ප්රංස ජාතිකයන් ඔහයෝ දේශයට අයිතිවාසිකම් කී නමුදු එය ඔවුන්ගේ ස්ථිර ජනාවාසයක් ලෙස නොපැවතිණි. 1700 ගණන්වල දී ඔහයෝ ප්‍රදේශයේ අයිතිය සම්බන්ධයෙන් ප්රංස ජාතිකයනුත් බ්රිතාන්යයනුත් අතර බොහෝ සටන් ඇති විය. 1763 දී බ්‍රිතාන්‍යයට පැවැරුණු මේ ප්‍රදේශය ඇමෙරිකානු විප්ලවයෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ කොටසක් බවට පත් වූ අතර 1787 දී වයඹ දිග ප්‍රදේශයට ඇතුළත් විය. මෙහි ප්‍රථම ස්ථිර ජනාවාසය ඇති වූයේ 1788 දී මස්කිංගම් ගංමෝය අසලය. ඇමෙරිකානු ඉන්දියන්වරුන් අතර වූ ගැටීම් 1794 දී උග්‍ර අවස්ථාවකට එළඹිණි. අන්තිමේ දී ඉන්දියන්වරු පරාජයට පත් වූහ. ඊළඟ වර්ෂයේ දී ඔහයෝ ජනපදයට අයත් ප්‍රදේශ වැඩි හරියක් ඇමෙරිකන් ඉන්දියන්වරුන් විසින් ග්රීන්වි ගිවිසුමෙන් පවරා දෙන ලදි. 1803 දී ඔහයෝ ජනපදයක් වශයෙන් එක්සත් ජනපද රාජ්‍යයට ඇතුළු විය. අවුරුදු කිහිපයක් මුළුල්ලේ ම ඔහයෝ උතුරු සීමාව පිළිබඳව ඔහයෝ ජනපදයත් මිචිගන් ජනපදයත් අතර අර්බුදයක් පැවතිණි. මේ ජනපද දෙක ම ටොලීඩෝ නගරය ඇතුළත් බිම් පෙදෙසකට අයිතිවාසිකම් කියන්නට වූහ. මේ මතභේදය හේතුකොටගෙන ජනපද දෙක අතර ටොලීඩෝ යුද්ධය නමින් දන්නා සටනක් ද ඇරඹිණි. මේ සටන 1836 වන තුරු ම පැවැත්තේය. කොන්ග්‍රෙස් සභාව මැදිහත් වී එම බිම් පෙදෙස ඔහයෝ ජනපදයටත් උත්තර අර්ධද්වීපය මිචිගන් ජනපදයටත් පැවරීමෙන් අර්බුදය සමථයකට පැමිණියේය. 1800 ගණන්වල දී ඔහයෝ ජනපදයේ වැසියකු වූ තෝමස් අල්වා එඩිසන් ඇමෙරිකාවේ ශ්‍රේෂ්ඨතම විද්‍යා නිර්මාපකයෙක් වූයේය. තවද ඔහයෝ ජානපදිකයන් වූ රයිට් සහෝදරයෝ ප්‍රථම අහස් යානය නිර්මාණය කළහ. 19 වැනි සියවසේ සිට ඔහයෝ ජනපදයේ කාර්මික දියුණුව ශීඝ්‍ර ලෙස වැඩි විය. 1959 දී සෙන්ට් ලෝරන්ස් මුහුදු මාර්ගය විවෘතවීමත් සමග ම ඊරි විල් තොටවල් අත්ලන්තික් සාගරය හා සම්බන්ධ වීමෙන් වෙළෙඳ කටයුතු පිළිබඳ විශාල දියුණුවක් ඇති විය.
(සංස්කරණය: 1974)