ඕගයි මොරි

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1862-1922). නූතන ජපන් සාහිත්‍ය ඉතිහාසයෙහි ඉතා වැදගත් තැනක් ගන්නා මොහු අනුවාදකයකු, විචාරකයකු, නවකථාකරුවකු හා නාට්‍ය රචකයකු වශයෙන් විශිෂ්ට කීර්තියක් ඉසිලීය. ජපානයේ ප්‍රබල සාහිත්‍යය සඟරා කීපයක ම ආදිකර්තෘවරයා වූයේ මොහුය.

දිර්ඝ වෛද්‍ය පරම්පරාවකින් පැවත එන්නකු වූ ඕගයි තම පියාගේ අඩිපාරේ යමින් වෛද්‍යවිද්‍යාව හැදෑරීමට පටන් ගත්තේය. දහනව වැනි වියේ දී තෝකියෝ විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබා වෛද්‍ය වෘත්තියට බටුයේය; පසුව යුද සේවයට බැඳී ශල්‍ය වෛද්‍ය ජනරාල් ධුරය දක්වා උසස් වූයේය. ලන්දේසි, ප්‍රංස, ජර්මන් යන භාෂා මැනවින් හදාළ ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයකු වුව ද රුචියෙන් සාහිත්‍යය දෙසට - විශේෂයෙන් බටහිර සාහිත්‍ය දෙසට නැඹුරු වන්නට විය.

ජපානයට බටහිර සාහිත්‍යය හඳුන්වා දීමේ ලා උත්සුක වූ ලේඛකයන් ටික දෙනා අතුරෙන් ඕගයිට වැදගත් තැනක් හිමි වෙයි. ජර්මන් සාහිත්‍ය කෘතින් විශේෂයෙන් ලෙසිං, ග’ට, ෂිලර් හොෆ්මාන්, ක්ලයිට්ස්, හවුප්ට්මාන් ආදීන්ගේ කෘතීන් ජපන් බසට පරිවර්තනය කිරීමෙන් හේ විශිෂ්ට සාහිත්‍ය සේවයක් ඉටු කළේය. එපමණක් නොව ඔහු ෂේක්ස්පියර්, කාල්දේරෝන්, ඉබ්සන්, ඩෝඩේ, ටෝල්ස්ටෝයි, ටුර්ගිනියෙෆ් ආදි ලේඛකයන්ගේ සුපකට කෘති ද පරිවර්තනය කළේය.

ඕගයි නවකථා හා කෙටිකථා රාශියක් ද රචනා කළේය. ඔහුගේ ඉතා ම සාර්ථක වූ නිර්මාණාත්මක කෘතිය ලෙස සැලකෙන්නේ ‘ගන්’ (වල් පාත්තයෝ) නමැති නවකථාවයි. ඒ වූකලි තම වාසනාව උදා නොවීමන් සිත්තැවුලට පත් තරුණියකගේ දෛවය පිළිබඳ සියුම් විමසීමකි. ‘තකසෙබුනේ’ නමැති කෙටිකතාව ඔහුගේ ශ්‍රේෂ්ඨතම කෙටිකතාව වශයෙන් ගිණිය හැක. එහි ලා ඔහු දුර්ලභ ගණයේ චරිත දෙකක් නිරූපණය කරයි. එක් චරිතයක් සිරකරුවකුගේය. ඔහු සිරකරුවකු නමුදු සිත තැන්පත් බැවින් නිදහස් පුද්ගලයෙකි. අනික් චරිතය එම සිරකරුවාගේ ආරක්ෂක භටයාගේයි. ඔහු බාහිර වශයෙන් නිදහස් නමුදු චිත්තාකූලභාවය නිසා සැබැවින් ම සිරකරුවෙකි.

ප්‍රබන්ධ කථාකරුවකු වශයෙන් ඕගයිගේ විශිෂ්ටත්වය කැපී පෙනෙන්නේ ප්‍රබන්ධකරණයේ දී ප්‍රේමය අත්‍යුත්කර්ෂයෙන් වැණීමේ ගතානුගතිකත්වයෙන් ඈත් වීම නිසාය. හේ තමා ලත් විද්‍යාත්මක පුහුණුව උපයෝගී කොටගෙන මානසික තත්වයන්, විශේෂයෙන් ලිංගික හැසිරීම් විග්‍රහ කළේය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඕගයි_මොරි&oldid=12102" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි