ඕලන්ද යුගය (ලංකාවේ)
ඕලන්දය වනාහි නෙදර්ලන්ත සමූහාණ්ඩුවට අයත් ප්‍රදේශයන්ගෙන් එකකි. නෙදර්ලන්තයේ දේශගවේෂණ හා ව්‍යාප්ති කටයුතුවල දී ප්‍රධාන තැනක් ගෙන කටයුතු කෙළේ ඕලන්ද (හොලන්ඩ්) ප්රදේශයයි. මේ නිසා සාමාන්‍ය භාවිතයේ දී නෙදර්ලන්තයට ඕලන්දය යනුවෙන් භාවිත වන්නට විය.
දහසයවැනි ශතවර්ෂය අවසානයෙහි නෙදර්ලන්තයේ ආර්ථික තත්වය දේශගවේෂණයට හා වෙළඳාම ව්‍යාප්ත කරලීමේ කටයුතුවලට ඉතා යෝග්‍ය විය. එවකට නෙදර්ලන්තවාසීහු යුරෝපයේ වෙළඳාමේ අතරමැදියන් වශයෙන් අද්විතීය ස්ථානයක් ලබා සිටියහ. මේ නිසා අවශ්‍ය මූලධනය වෙළඳ හා මුදල් හුවමාරු ක්‍රම පිළිබඳ දැනීම හා නැවියන් වශයෙන් අත්දැකීම් ද ප්‍රමාණවත් ලෙස ඔවුන්ට තිබිණ. උතුරු මුහුදේ මසුන් මරන්නන් වශයෙන් ලබා සිටි අත්දැකීම් නිසාත් නාවිකශිල්පය අතින් නෙදර්ලන්තවාසීහු ප්‍රවීණයෝ වූහ. මෙම කරුණු නිසා නෙදර්ලන්තවාසීන් දේශගවේෂණ කටයුතු කෙරෙහි සැලකිල්ලක් දැක්වූ කාලයක පෘතුගාලයේ දෙවන පිලිප් රජ 1594 දී නෙදර්ලන්ත වැසියන්ට ලිස්බන් නුවර වෙළඳාම තහනම් කෙළේය. එතෙක් කල් ආසියාතික වෙළඳ ද්‍රව්‍ය නෙදර්ලන්තවාසීන් යුරෝපයේ වෙළඳාම සඳහා ලබා ගත්තේ ලිස්බන් නුවරින්ය. නව තහනම ඕලන්දයේ වෙළඳුන් කෙළින් ම ආසියාතික ප්‍රදේශ බලා යාත්‍රා කිරීම කෙරෙහි යොමු කැරැවීය.
මේ සඳහා අවශ්‍ය වූ ආසියාව පිළිබඳ භූගෝල ශාස්ත්‍රීය දැනීම ආසියාවේ පෘතුගීසි අධිරාජ්‍යයේ සේවය කළ යාන් හයිහන් ෆන් ලින්ෂොටන් නම් ලන්දේසි ජාතිකයා විසින් සපයන ලද්දේ දහසය වැනි ශත වර්ෂයේ අවසානයේ දීය. ෆන් ලින්ෂොටන් ආසියාවේ පෘතුගීසි මධ්‍යස්ථාන ගැනත් මුහුදු මාර්ග ගැනත් විස්තර අඩංගු පොත් දෙකක් ප්‍රසිද්ධ කිරීම නිසා නෙදර්ලන්තවාසීන්ට ආසියාව පිළිබඳ අවශ්‍ය දැනීමක් ලැබුණේය. මෙම නිසා 1595 පටන් නෙදර්ලන්තයේ සිට ආසියාව කරා වෙළඳාම සඳහා වෙළඳ නැව් එන්නට විය (ඕලන්ද පෙරදිග වෙළඳ සමාගම බ.). ඉහත සඳහන් ව්‍යාප්ති කටයුතුවල ප්රතිඵලයකි, ලංකාවේ ලන්දේසි වෙළඳ හා දේශපාලන කටයුතු.
පටුන
කන්ද උඩරට රාජ්‍යය හා ලන්දේසි සබඳතා; ලන්දේසීන් යටතේ පහතරට පෙදෙස්
17 වන සියවසේ මුල් දශකයේ සිට ලංකාවත් ලන්දේසීනුත් අතර සබඳකම් පැවති බැව් පෙනේ. මේ වන විට, ලංකාවේ පහතරට ප්‍රදේශ පැවතියේ පෘතුගීසීන් අතේය. දිවයිනේ ස්වාධීන රාජ්‍යයක් ලෙසින් ශේෂව පැවති කන්ද උඩරට රාජ්‍යය 16 වන සියවසේ මැද භාගයේ සිට ම පෘතුගීසි විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම, 1602න් පසු ඇරඹෙන ලන්දේසි-ලාංකික සබඳකම් දියුණු වී යාම කෙරේ බෙහෙවින් බලපෑ සාධකයක් ලෙස හැඳින්විය හැකිය. විමලධර්මසූරිය I රජුගෙන් ඇරඹුණු උඩරට රාජ්‍යයේ නව රාජවංශය හා පහතරට ප්‍රදේශවල බලය ලබාගත් පෘතුගීසීන් අතර පැවතියේ අනවරත අරගලයකි. උඩරට රාජ්‍යයේ සිටි විමලධර්මසූරිය I රජු වරින්වර පෘතුගීසීන්ගෙන් තමාට එල්ල වූ අතවර මැඩලමින්, දිවයින ඔවුන්ගෙන් මුදාගනු වස් ආසියාතික ප්‍රදේශවල කටයුතු කරන කිසියම් යුරෝපීය ජාතියකගේ සහාය පැතීමට මාන බලමින් සිටිය දී 1602 දී යෝරිස් ෆන් ස්පිල්බර්ජන් නම් ලන්දේසි ජාතිකයා මඩකලපුවට පැමිණ, උඩරට රාජ්‍යයට ගමන් ගැනීමෙන් ලන්දේසි-ලංකා සබඳකම් ඇරඹිණ. පෘතුගීසීන් අත පැවති පෙර’පර දෙදිග වෙළඳාමේ ඒකාධිකාරය බිඳ දමා ලාභදායී එම වෙළඳාම සියතට ගැනීම ලන්දේසීන්ගේ අභිප්‍රාය වූ හෙයින්, කුරුඳු ඇතුළු අපනයන වෙළඳ ද්‍රව්‍ය පිළිබඳව අපරදිග පවා ප්‍රකට නමක් ලත් ලංකාව සමග ඔවුන් සබඳකම් ඇති කර ගැනීමට පෙලඹීම නිතැතින් ම සිදු විය යුතුව තිබුණේය. ස්පිල්බර්ජන්ගේ පැමිණීමට අනතුරුව 1602 ජූලි මස මෙහි ආ සීබල්ඩ් ද වර්ට්ගේ අමනෝඥ ක්‍රියා කලාපය හේතු කොටගෙන, උඩරට රාජ්‍යය සමඟ ඇති වීමට ඉඩ තිබුණු මිතු සබඳකම් අත්හිටියේය. කෙසේ වුවත් 1604 රජ පැමිණි සෙනරත් රජු ද පෘතුගීසින් දිවයිනෙන් පලවා හැරීමේ අදහසින් ලන්දේසි ආධාර පැතීමට උත්සුකව, එවක කොරමැන්ඩල් වෙරළේ තහවුරුව සිටි ලන්දේසි වෙළඳ සමාගමේ නියෝජිතයන් හා ගෙනගිය සබදකම්වලින් පවා වැඩි සාර්ථකත්වයක් නොලද හැකි විය. 1615 දී මාසලස්ද බොෂ්කව්රි විසින් ද උඩරට රාජ්‍යය සමඟ සබඳකම් ගෙනයාමට උත්සාහ දරන ලදි. හෙතෙම බතාවියානු ලන්දේසි ආණ්ඩුවෙන් විමලධර්මසූරිය I රජුට ආධාර ගෙන දීමට වෑයම් කළ නමුත් ඉන් වැඩක් නොවූ විට ඕලන්දය බලා ගොස් ඒ පිළිබඳව ක්‍රියා කිරීමට ඉදිරිපත් විය. එහෙත් එය ද අසාර්ථක විය. ඉන්පසු හෙතෙම ඩෙන්මාර්කයට ගොස් එහි ක්‍රිස්ටියන් රජුගේ ද සහායෙන් ඉන්දියා වෙළඳ සමාගමක් පිහිටුවා විමලධර්මසූරිය රජුට ආධාර හමුදාවක් කැටුව ඒමට සමත් විය. එහෙත් අතරමඟ දී ඔහු මිය ගියේය. 1620 දී මෙම ඩෙන්මාක් නැවියන් ලංකාවට පැමිණිය ද එවක රජ වූ සෙනරත් ඔවුන් ප්‍රතික්ෂේප කෙළේය. සාර්ථක ලෙස ලන්දේසි-ලාංකික සබදකම්වලට මුල පිරුණේ 1629 දී රජ පැමිණි රාජසිංහ II රජුගේ කාලයේ දීය. මේ වන විට ආසියාතික ප්‍රදේශවල පාතුගීසි බලය බිඳ වෙළඳාම තනිකර සියතට ගැනීමට ලන්දේසි අධිකාරීන් අදහස් කොටගෙන සිටීම නිසා මේ සම්බන්ධය තහවුරුවීමට අවශ්‍ය පසුබිම සකස් වූයේය. රාජසිංහ රජු ලන්දේසි සහාය කෙතරම් ඕනෑකමින් පැතුයේ දැයි යන්න ලන්දේසීන් විසින් දෙනු ලබන යුද්ධ ආධාර වෙනුවෙන් වියදම් ගෙවීමට අමතරව ත්‍රිකුණාමලය හා මඩකලපුව යන වරාය දෙකින් එකක් දීමට ද කැමති වීමෙන් පෙනේ. රජුගේ උනන්දුව සිය වාසියට යොදාගත් ලන්දේසීහු 1638 මැයි මස මඩකලපුවට පහර දී එය අල්වා ගැනීමෙන් අනතුරුව 1638 මැයි මස 23 දින රාජසිංහ රජු සමග ගිවිසුමකට ද එළඹියහ. මුලින් පෘතුගිසි බසින් ලියන ලදුව පසුව පහසුව පතා ලන්දේසි බසට පරිවර්තනය කරනු ලැබූ මේ ගිවිසුම පසු කාලයේ දී දෙපක්ෂය අතර ඇති වූ මතභේදවලට මූලික හේතුව බවට පත් වූයේය. මේ ගිවිසුමින් පෘතුගීසීන් සිය සතුරා සේ දෙපක්ෂය විසින් ම පිළිගනු ලැබූ අතර පෘතුගීසීන්ගෙන් අල්වා ගනු ලබන බලකොටු රජු කැමති නම් පමණක් මතුවට පෘතුගීසීන්ගෙන් එල්ල විය හැකි උවදුරු වළකාලීම් වස් සුරක්ෂිත කොට, ලන්දේසීන්ගේ ප්‍රයෝජනයට තිබිය යුතු බව රජුගේ පිටපතේ සඳහන් විය. එහෙත් ලන්දේසි පිටපතේ ‘රජු කැමති නම්’ යන ඉතා වැදගත් වැකිය ඇතුළත් නොකරන ලදි. මින් ලන්දේසීන් අදහස් කෙළේ ඒවා රජුගේ කැමැත්ත නොවිමසා ම තමන් යටතට ගැනීමය. ගිවිසුම අනුව රජු විසින් සියලු ම යුද වියදම් ලන්දේසීන්හට ගෙවිය යුතු විය. රජුගේ ප්‍රදේශවල වෙළඳ ද්‍රව්‍ය නිරවශේෂයෙන් ම ලන්දේසීන් හට පමණක් විකිණිය යුතු වූ අතර, තංජෝරය හා ඒ අවට පෙදෙස් සමග කෙරෙන සුළු වෙළඳාම හැරුණු විට ලන්දේසීන් සමඟ විනා අන් කිසිදු යුරෝපීය ජාතියක් සමග හෝ සබඳකම් පැවැත්වීම උඩරට රාජ්‍යයට තහනම් විය. මේ ගිවිසුම විශේෂයෙන් ලන්දේසීන් සිය පිටපත සකස්කොට ගත් අයුරු සලකන විට, කිසිසේත් ම රාජසිංහ රජුගේ අපේක්ෂාව, එනම් දිවයින විදේශීය ජාතීන්ගෙන් තුරන් කොට තබා ගැනීම, ඉටු කරනසුලු වූවක් නොවූ බව පෙනේ. ඇත්තවශයෙන් රාජසිංහ රජු මේ ගිවිසුම ගැන මනා විමසීමකින් පසුව ඊට එකඟ වූ බව කියවෙන හෙයින් බලකොටුවල ලන්දේසීන්ට පදිංචිවීමට අවකාශ ලැබෙන ගිවිසුමකට ඔහු එකඟ වීම කිසිසේත් ම විය නොහැක්කකි. මෙයින් පැහැදිලි වන්නේ ලන්දේසීන් 1638 ගිවිසුම මගින් රජු මුළා කරවා මෙහි පැලපදියම් වීමේ තම අභිමතාර්ථයන් මුදුන්පත්කරගැනීමේ අදහසින් මුල සිට ම වංචනික ලෙස ක්‍රියා කළ බවයි.
මඩකලපුව අල්වා ගත් වහා ම, ලන්දේසීන් අනුගමනය කළ ක්‍රියා මාර්ගයෙන් රාජසිංහට පෙනී ගියේ, බලකොටු සම්බන්ධයෙන් මෙන් ම යුද වියදම් සම්බන්ධයෙන් ද තමන් රවටනු ලැබූ බවයි. 1639 දී ලන්දේසීන් ත්‍රිකුණාමලය අල්වා ගත් විට, ඔවුන් බලකොටු ආපසු රජුට භාරදීමට කිසිසේත් අදහස් නොකරන බව හොඳින් ම පෙනී ගියේය. මෙවැනි මතභේද ඉස්මතු වුව ද, දෙපක්ෂය අතර මිත්‍ර සම්බන්ධතා මුළුමනින් ම බිඳ නොවැටීමට කරුණු කීපයක් හේතු විය. එක් අතකින් ලන්දේසීන් සිය පිළිමල් පෘතුගීසීන් තරම් අහිතකර නොවන බව රාජසිංහ රජුට පෙනී ගිය අතර, අනෙක් අතින්, රජුගේ සහාය නොමැතිව කිසිසේත් පෘතුගීසීන්ට එරෙහිව සටන් ගෙනගිය නොහැකි බව ලන්දේසීන්හට පෙනී ගියේය. මේ නිසා 1640 දී යුද වියදම් ගෙවූ පසු බලකොටු භාර දීමටත්, එක බලකොටුවක් පමණක් ලන්දේසීන්ගේ ප්‍රයෝජනයට ලබා දීමටත් දෙපක්ෂය එකඟ වූහ. එහෙත් 1640 දී ගාල්ල අල්වා ගැනීමෙන් පසු එම පෙදෙසින් ආදායම් එකතු කොට ගනිමින්, සිය මූලස්ථානය එහි පිහිටුවා ගැනීමට ලන්දේසීන් ක්‍රියා කිරීම හේතුකොටගෙන යළිත් මතභේද මතු වූයේය. මෙහි දී, ලන්දේසීහු ගිවිසුමේ තෙවන කොන්දේසිය තම වාසියට යොදා ගැනීම අසීරු වූ විට, රජු විසින් යුද වියදම් ගෙවනු ලබන තෙක් මේ බලකොටු තමන් අතේ තබාගත යුතුව ඇතැයි යන තර්කය ඉදිරිපත් කළහ. එහෙත්, ලන්දේසීන් ගණන් බැලූ ආකාරයට රජු විසින් කිසිසේත් ම මේ යුද වියදම් ගෙවා අවසන් කළ හැකි බවක් පෙනෙන්නට නොතිබුණි.
මේ අතර 1641 දී යුරෝපයේ ඇති වූ සාමය පෙරදිග ද ක්‍රියාත්මක වන තැනට කරුණු යෙදීම නිසා පෘතුගීසි-ලන්දේසි දෙපිළ අතර සාමයක් ඇති විය යුතුව තිබුණි. දිගු කලක් වාද කිරීමෙන් පසු 1642 දී දෙපක්ෂය අතර ඇති වූ සාම ගිවිසුමින් කොළඹ හා මීගමුව අතර පෙදෙසින් අඩක් ද කොළඹ හා ගාල්ල අතර පෙදෙසින් අඩක් ද ලබා ගැනීමට ලන්දේසීන් සමත් වූ අතර, යම් හෙයකින් රාජසිංහ රජුගේ විරුද්ධත්වය එල්ල වුවහොත්, ඊට පිළිතුරක් වන පරිදි පෘතුගීසි-ලන්දේසි ආරක්ෂක ගිවිසුමක් ද 1645 මාර්තු මස ඇති කර ගන්නා ලදි. රාජසිංහ රජ ලන්දේසීන් මේ අයුරින් තමාට හිමි පෙදෙස් ලබා ගැනීම කිසිසේත් ම යුක්ති යුක්ත නොවන බව දන්වා, ඉන් පලක් නොවූ තැන එම ප්‍රදේශවලින් ලන්දේසීන්ට ලාභ ප්‍රයෝජන ලද නොහැකි වන පරිදි ඒවා ආලාපාලු කිරීමටත් එම පෙදෙස්වල වැසියන් රටමැද සිය පෙදෙස්වලට පලවා හැරීමටත් ක්‍රියා කෙළේය. මෙයින් ලන්දේසීන් කෙතරම් ගැහැටට පත් වූයේ දැයි කිවහොත් 1645 දී රාජසිංහට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමට පවා ඔවුන්ට සිදුවිය. එහෙත් බතාවියානු අධිකාරීන් මෙය වළක්වාලමින් යළි සාමකාමී ලෙස කටයුතු කිරීමට ඔවුන් යොමුකළ නිසා, මීගමුව හා මාතර දිසාවනි ආපසු රජුගේ භාරයට පවරාදීම සම්බන්ධයෙන් 1747 දී සාම සාකච්ඡා ඇරඹුණ ද, ඇත්ත වශයෙන් ම ලංකාවේ ලන්දේසි අධිකාරීන් එවැන්නකට කිසිසේත් ම සුදානම් නොවූ හෙයින් එය ද ප්‍රතිඵල විරහිතව අවසන් විය. කරුණු මෙසේ පවත්නා අතර 1652 දී සාම කාලය කෙළවර වුවද, 1655 වන තෙක් පෘතුගීසින්ට එරෙහිව ක්‍රියා කිරීමට ලන්දේසීහු පසුබට වූහ. ඉනික්බිති රජුගේ ද සහාය ඇතිව 1656 මැයි මස 12 වැනි දින කොළඹ ද 1658 මාර්තු මස ඉතිරිව පැවති එක ම පෘතුගීසි බලකොටුව වූ මන්නාරම ද යටත් කොට පෘතුගීසි බලය කෙළවර කරමින් ඔවුන් අත පැවති බලකොටු සියල්ල ම යටත් කර ගැනීමට ලන්දේසීහු සමත් වූහ. එහෙත් රාජසිංහ අපේක්ෂා කළ පරිදි ඒවා ආපසු ඔහුට පවරා නොදීම හේතුකොටගෙන අවසානයේ දී හෙතෙම යළි කිසිසේත් සමගි සම්මුතියකට පිවිසිය නොහැකි වන පරිදි ලන්දේසීන්ගේ ඇසුරින් දුරස්තර වන පියවරක් ගත්තේය.
1658 වන විට පෙනී ගියේ ලන්දේසීන් 1638 ගිවිසුමේ වූ යම් යම් නොපැහැදිලි තැන් සිය වාසියට යොදා ගනිමින්, රාජසිංහ රජු රවටාලූ බවයි. දිවයිනේ වෙරළබඩ පෙදෙස්වල එතෙක් පදිංචිව සිටි පෘතුගීසීන් පන්නා දමා ලන්දේසීන් ඒ වෙනුවට පලපදියම් වීමෙන් රාජසිංහ රජුගේ අභිමතාර්ථය මුළුමනින් ම බිඳ වැටිණ. කෙසේ වුවත් 1638 දී පැවතියාට වඩා වාසිදායක තත්ත්වයක් 1658 දී රජුට ලැබී තිබුණ බවට තර්ක කළ හැක. මක්නිසාද යත්, 1658 දී ඔහු මුළු දිවයිනේ ම නීත්‍යනුකූල අධිස්වාමියා සේ පිළිගනු ලැබූ අතර කලින් තමා යටතේ නොපැවති නැගෙනහිර වෙරළේ, ත්‍රිකුණාමලය, කොට්ටියාර් හා මඩකලපුව ද බටහිර වෙරළේ කල්පිටිය හා පුත්තලම ද යන වරායන් සහිත වඩා විශාල භූමි ප්‍රදේශයක ස්වාමිත්වය ද ලත් හෙයිනි.
1658න් පසු කලක් ම රාජසිංහ රජු ලන්දේසීන් සමඟ සබඳකම් ඉඳුරා ම අත්හළ බවක් පෙන්නුම් කළේය. එපමණක් නොව ඔහු පහතරට ප්‍රදේශවල වෙළඳ ද්‍රව්‍ය පිවිසෙන කඩවත් වසා දමා ලන්දේසීන්ට නුදුරු ප්‍රදේශවල සිටි වැසියන් රට මැදට පලවා හැරීමේ ප්‍රතිපත්තියක් ද ගෙන ගියේය. අනෙක් අතට, ලන්දේසීන් එතෙක් තමන් අත්කොටගෙන සිටි අයිතිවාසිකම් ස්ථිරසාර පදනමක පිහිටුවාගෙන වෙළඳ කටයුතුවල ඵල ප්‍රයෝජන භුක්ති විඳීමට කටයුතු කළ බැව් පෙනේ. ලන්දේසීන් පහතරට ප්‍රදේශවල බලකොටු තමන්ගේ ම පදිංචියට යොදාගැනීම රාජසිංහ රජු සැලකූයේ පොරොන්දු කඩ කිරීමක් ලෙසිනි. ලන්දේසීහු තමන්ගේ එම පියවර යුක්ති යුක්ත කෙරෙමින් යුද වියදම් ගෙවා නිම වන තෙක් ම එම බලකොටු සියතේ තබා ගන්නා බව යළි යළිත් කියා සිටියහ. ඔවුන් රාජසිංහ රජුගේ ක්‍රියාමාර්ගවලින් පැනනැඟි දුෂ්කරතාවන් මැඩලමින් උඩරට රාජ්‍යය ආර්ථික වශයෙන් දුබල කොට අවසානයේ දී එය ලන්දේසි ආධිපත්‍යයට නතු කරලීමේ අදහසින් 1658 සිට අලුත් ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවක් දක්නට ලැබෙයි. එනම්, මේ වන විට ඉතා දියුණු අය මාර්ගයක් මෙන් ම උඩරට කෙරේ බෙහෙවින් බල පෑ හැකි ආර්ථික ක්‍රියාමාර්ගයක් ද වූ ලංකාව හා ආසියාතික පෙදෙස් අතර කැරුණු වෙළඳාම ස්වකීය ඒකාධිකාරයක් බවට පත්කරලීමය. මේ වෙළඳාම ලංකාවේ වෙරළබඩ පෙදෙස් මධ්‍යස්ථාන කොටගෙන පැවති අතර එය පෘතුගීසි-ලන්දේසි සටන් පැවති කාලයේ දී බෙහෙවින් ම වර්ධනය විය. මෙය උඩරට රාජ්‍යයේ ආර්ථික ශක්තියට බෙහෙවින් ම රුකුලක් වූ බැව් නිසැකය. අනෙක් අතට, උඩරට රාජ්‍යය සෙසු යුරෝපීය ජාතීන් හා එක්ව තමන්ට හදි කිරීමෙන් වළකාලීම සඳහා ද ලංකාවේ වරාය කෙරේ කිසියම් ආකාරයක පාලනයක් කිරීම මේ වන විට ලන්දේසීන්ට අත්‍යවශ්‍ය කරුණක් ව තිබුණි. මන්ද යත්, 1638 ගිවිසුමින් යුරෝපීය තරඟකාරී ජාතීන් හමුවේ, දිවයිනේ පහතරට ප්‍රදේශ අරභයා හිමිකමක් තමන්ට ඇතැයි පෙන්වා ලීමට හැකියාවක් ලන්දේසීන්ට නොවූ හෙයිනි. මේ නිසා 1658 සිට ලන්දේසීහු, එක්වරම නොවූවත් නැගෙනහිර හා බස්නාහිර වෙරළේ පිහිටි වරාය මගින් කැරෙන වෙළඳාම පාලනය කිරීමට පියවර ගෙන 1659 පෙබරවාරි මස කල්පිටිය ද 1664න් පසු සෙසු වරායයන් ද සම්පූර්ණයෙන් ම සියතට ගැනීමේ ක්‍රියාමාර්ගයකට පිළිපන්හ. මේ අවධියේ දී ලංකාවේ ආණ්ඩුකාරධුරය හෙබවූ ෆන් හූන්ස් (1660-1675) උඩරට හා ලන්දේසි සබඳකම් පිළිබඳව අපූරු ප්‍රතිපත්තියක් අනුගමනය කෙළේය. ඔහුගේ අදහස වූයේ රාජසිංහයන් ලන්දේසීනට එරෙහිව ඉදිරිපත් නොවන්නේ ඔහුගේ අබල දුබලකම නිසා බවයි. එහෙයින් වහා ඉදිරිපත්ව, රාජසිංහ ලන්දේසි ආධිපත්‍යය යටතට පත් කරගත යුතු යැයි හේ යෝජනා කෙළේය. 1664 දී උඩරට රාජ්‍යය තුළ ඇති වූ කැරැල්ල ද ඔහු සිය මතය සනාථ කිරීමට යොදා ගති. මෙය අඹන්වෙල රාල ප්රමුඛ රදල පිරිසක් විසින් තම පක්ෂයට රාජ්‍යය තුළ වැඩි ලාභ ප්‍රයෝජන ලබා ගැනීමේ අපේක්ෂාවෙන්, රාජසිංහ රජු පහ කොට ඔහුගේ පුත්‍රයා රජ කරවීමට දරන ලද ප්රයත්නයකි. එය කිසිසේත් පුළුල් ලෙස පැතිර නොගිය කැරැල්ලකි. එහෙත් කිසියම් හේතුවක් නිසා රාජසිංහ රජ කොට්ටියාර් හා මඩකලපුව කරා ලන්දේසි යාත්‍රා යවන මෙන් ද, උඩරට රාජධානිය කරා ලන්දේසි හමුදා එවන මෙන් ද ඉල්ලා සිටියේය. සමහර විට අභ්‍යන්තර සතුරන් විදේශීය ආධාර ලැබීම වළක්වා ලනු වස් මෙවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට රාජසිංහ රජු පෙලඹුණා විය හැකිය. එහෙත් ලන්දේසීහු මෙය සිය අදහස් ඉටුකර ගැනීමට කදිම අවස්ථාවක් බවට පෙරළා ගත්හ. ඔවුන් එකී වරාය දෙක පමණක් නොව 1665 දී ත්‍රිකුණාමලය ද 1668 දී කොට්ටියාරම ද අල්වා ගත්හ. එයින් ද නොනැවති ඔව්හු ප්‍රදේශ මායිමේ පිහිටි පස්දුන්, රයිගම් හා සියනෑ කෝරළ ද රට තුළ පිහිටි හේවාගම්, පනාවල්, කුරුවිටි, නවදුන්, කුකුලු, අටකලන් හා කොලොන්න යන කෝරළ ද අත්කොට ගත්හ. රාජසිංහ මේ සියල්ල නිශ්ශබ්දව ඉවසා සිටීම ඔහු මෙම අවධිය තමාට අසුබදායක යැයි සැලකීම නිසා සිදු වුව ද ලන්දේසීන් අදහස් කෙළේ ඉතා දුබල බවකට පත්වීමක් සේය. කෙසේ වුව ද බතාවියානු අධිකාරීහු මුළු දිවයින ම අල්වා ගැනීමක් බඳු මේ ක්‍රියාමාර්ගයට එකහෙළා ම විරුද්ධ වූහ. ෆන් හූන්ස් එම අදහස් නොතකා, අධ්‍යක්ෂවරුන්ගේ අනුමැතිය ලබාගෙන, 1669 දී වලවේ ගඟේ සිට පානම දක්වා ලුණු ලේවාය පැවති ප්‍රදේශ ද අල්වා ගනිමින් 1670 වන තෙක් ම උඩරට රාජ්‍යය කෙරේ ආක්රමණකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.
1670 දී රාජසිංහ රජු ලන්දේසි ප්‍රදේශ ආක්‍රමණය කරමින් පෙදෙස් ගණනාවක් යළි අල්වා ගැනීම නිසා ලන්දේසීන් උඩරට පිළිබඳව දැරූ ආකල්පය වෙනස්ව ගියා පමණක් නොව ෆන් හූන්ස්ගේ අදහස් වැරදි බවත් රාජසිංහ යුක්ති ගරුක අයකු බවත් පැහැදිලි වී යාමට තුඩුදුන් බලවත් වෙනසක් ද ඇති විය. ලන්දේසීන් අත සිරකරුවකුගේ තත්ත්වයට රාජසිංහ පත් නොවූ අතර 1665 දී පැවති දේශසීමා යළිත් ලබා ගැනීමට ද රජ සමත් විය. මේ නිසා බතාවියානු ආකල්පය රාජසිංහ කෙරේ මෙතැන් සිට වඩාත් සාමකාමී වුව ද එපමණින් දෙපිළ අතර සාමයට ඉඩක් නොලැබුණි. මීට ප්‍රධාන ම හේතුව වූයේ, බතාවියාව නිර්දේශ කළ පරිදි, 1664න් පසු අල්වා ගනු ලැබූ පෙදෙස්, උඩරට හා ඇති කර ගනු ලබන නව සාම ගිවිසුමක් නොමැතිව, ආපසු භාර දීමට කනිෂ්ඨ ෆන් හූන්ස් (1675-1679) ආණ්ඩුකාරයා අකැමැති වීමය. ලංකාවේ එවක තත්වය විමසීමේ යෙදුණු නිලධාරියකු වූ ලෝරන්ස් පෙයිල් (පීල්) ගේ අදහස වූයේ, අල්වා ගත් පෙදෙස් කිසිදු පොරොන්දු බැඳීමකින් තොරව ආපසු දීමකින් විනා අන් ලෙසකින් දෙපක්ෂය අතර මිත්‍රත්වය තහවුරු කළ නොහැකි වන බවයි. එහෙත් දිවයිනේ ආණ්ඩුකාර ධුරයට පත්කරනු ලැබූ පසු (1679-1692) හෙතෙම මේ අදහස ඉවත ලා ක්‍රියා කිරීමට වෑයම් කෙළේය. රාජසිංහ රජතෙමේ ද තම ප්‍රදේශ කොන්දේසි විරහිතව ආපසු දිය යුතු යයි එකහෙළා ම කියා සිටියේය. කෙසේ හෝ මෙවක් පටන් වඩාත් සාමකාමී ලෙස උඩරට කෙරේ ක්‍රියා කිරීමට ලන්දේසීන් පෙළඹී ගිය බව පෙනේ. මෙයට හේතු වූයේ එසේ ක්‍රියා කිරීමකින් තොරව, වෙළඳ කටයුතුවලින් ලාභ ප්‍රයෝජන ලද නොහැකි වීමය. පෙයිල් ආණ්ඩුකාරයා චාටු වදනින් ද තෑගි බෝගවලින් ද රජු සතුටු කරවීමෙන් පමණක් නොව, රට ඇතුළත මුර පොළවල් තර නොකිරීමෙන් ද භටයන්ගෙන් තොරව කුරුඳු තළන්නන් රට මැද කරා යැවීමෙන් ද උඩරට රජුගේ විශ්වාසය දිනා ගැනීමටත්, එමගින් පෙරට වඩා හිතවත් සබඳකම් ඇතිකොට ගැනීමටත් සමත් විය. 1687 දී සිදු වූ රාජසිංහගේ අභාවයෙන් පසුව ද මෙම ආකල්පයේ වෙනස්වීමක් සිදු නොවූ අතර උඩරටින් කුරුඳු තළා ගැනීමට ද උඩරට පෙදෙස් ඔස්සේ පහතරටින් අල්වා ගත් අලි ඇතුන් ගෙනයාමට ද වාර්ෂිකව අවසර දෙනු ලැබිණ.
විමලධර්මසූරිය II රජුගේ රාජ්‍ය සමය (1687-1707)
මේ අවධියේ දී ද, ඉහත කී ආර්ථික ඵල ප්‍රයෝජන අපේක්ෂාවෙන් ලන්දේසීන් ක්‍රියා කිරීමත් උඩරට ප්‍රදේශයේ බුදුසමය නගා සිටුවීමට උඩරට පාලකයන් ලන්දේසි ආධාර පැතීමත් නිසා දෙපක්ෂය අතර මිත්‍ර සබඳකම් එසේ ම පැවතිය ද එය කිසිසේත් ස්ථිරසාර බවකින් යුත් සබඳකමක් නොවූයේය. 1638 ගිවිසුම අඩුපාඩු රැසකින් ගහන වූ බව මේ වන විට උඩරැටියන්ට මෙන් ම ලන්දේසීනට ද පෙනී ගියේ වන. එහෙයින් 1638න් පසු තවත් විවිධ මාර්ගවලින් ලත් අයිතිවාසිකම් තහවුරු වන අන්දමේ ගිවිසුමක් උඩරටින් ලබාගැනීම ලන්දේසීන්ගේ අරමුණ වූයේය. විදේශිකයන් හා ගනුදෙනු කිරීමට කිසිදු අයිතියක් උඩරටට නොලැබෙන මෙවැනි ගිවිසුමකට එළඹීම විමලධර්මසූරිය II රජු විසින් එකහෙළාම ප්‍රතික්ෂේප කරනු ලැබිණ.
මේ අයුරින් 1687න් පසු කාලයේ දී පවා උඩරට ලන්දේසි සබඳතා ස්ථිර සාම ගිවිසුමකින් පැහැදිලි කොට නොතිබීමෙන් දෙපක්ෂයට ම අවිනිශ්චිත තත්ත්වයක් ඇති විය. එක් අතකින්, පහතරට ප්‍රදේශ භුක්ති විඳිමින් ලන්දේසීන් කටයුතු කළ ද ඒ පිළිබඳ නීත්‍යනුකූල අයිතියක් පෙන්නුම් කිරීමට සාක්ෂ්‍ය ඔවුන්ට නොමැති විය. අනෙක් අතට, නැව් හමුදාවන්හි සහාය ලබමින් ලන්දේසීන් ගෙනගිය කටයුතු නිසා උඩරට රාජ්‍යය විදේශීය වෙළෙඳාමෙන් ලබන ලාභ ප්රයෝජනවලින් සම්පූර්ණයෙන් ම ඉවත් කරනු ලැබූ තත්ත්වයකට පත් වූයේය. මූලික වශයෙන් ම, උඩරට වෙළඳ කටයුතු උදෙසා පැවති වරායයන් විවෘත කරවා ගැනීම එම රාජ්‍යයේ බලවත් අපේක්ෂාව වූයේය. එකී වරායයන් විවෘත කරනු ලබන තෙක් කිසිසේත් ස්ථිර වශයෙන් සාමය ඇති කරගත නොහැකි බව ලන්දේසීනට පෙනී ගිය හෙයින්, 1696 දී එම වරාය රජුගේ අබාධ වෙළඳාමට විවෘත කැරිණ. එහෙත් ලංකාවේ ලන්දේසි නිලධාරීන් මෙයින් සිදුවන හානි පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම නිසා යළිත් 1703 දී ඒවා වසනු ලැබූ පසු, කිසිවිටෙකත් එම වරායයන් උඩරට රාජ්‍යයේ වෙළඳ කටයුතු උදෙසා විවෘත නොවීය. එහෙයින් දෙපක්ෂය අතර මතභේදයනට මුල් වූ ප්‍රශ්න නොවිසඳුණු ස්වරූපයෙන් 1740 ගණන් වන තෙක් පමණ වත් පැවතියේය. කරුණු කීපයක් කරණකොටගෙන දෙපක්ෂය අතර රාජසිංහ II සමයේ මෙන් දැඩි විරුද්ධවාදීකම් මතු නොවීය. වරින් වර, පහතරට කුරුඳු තළන්නන්ගේ කැරලි ඇති වූ කල කුපිත කිරීම් වැනි දෑ හැරුණු විට කුරුඳු තළා ගැනීමට අවසර නොදීම ආදී එතරම් ම බරපතළ නොවන ක්‍රියාමාර්ග පමණක් ලන්දේසීනට එරෙහි ව ගනු ලැබූ බැව් පෙනේ. මෙවැනි සුළු සුළු බාධක හැරුණු විට, දෙපක්ෂය අතර සබදකම් යහපත් වීම කෙරෙහි බලපෑයේ, උඩරට පිරිහී ගිය බුදුසසුන නංවාලීම් සඳහා උපසම්පදාකාරක භික්ෂූන් රක්ඛංග (බුරුම) දේශයෙන් ගෙන්වා ගැනීමට ද, උඩරට පාලකයන් සඳහා බිසෝවරුන් තංජෝර් පෙදෙසින් ගෙන්වා ගැනීමට ද උඩරටට අවශ්‍ය වූ අතර ලන්දේසිනට විවිධ වෙළඳ පහසුකම් උඩරටින් ලබාගත යුතුව තිබීමයි.
මේ තත්වය 18 වන සියවසේ මුල් දසක තුන තුළ එසේ ම පැවතියේය. ලන්දේසි ආර්ථික වෙළඳ ඒකාධිකාරයේ ප්‍රතිවිපාක වශයෙන් මේ කාලය ඇතුළත උඩරට රාජ්‍යය දුබලව ගිය අයුරු පෙනේ. අනුක්රමයෙන් උඩරට රාජ්‍යයේ රජුගේ මෙන් ම වැසියාගේ ද ආදායම අඩුව යාමට මූලික හේතුව වූයේ ඒ වෙළඳ ඒකාධිකාරය බැව් ලෝරන්ස් පෙයිල් ආණ්ඩුකාරයා වැනි සමකාලීන නිරීක්ෂකයන්ගේ සඳහන්වලින් පෙනේ. මේ අතර 1739 දී උඩරට රාජ්‍යයේ සිහසුන නායක්කර් වංශිකයන් අතට පත් වුව ද, ලන්දේසීන් අපේක්ෂා කළ ආකාරයෙන් ඒ නිසා ලන්දේසි-උඩරට සබඳතාවන් කෙරේ වැඩි වෙනසක් සිදු නොවීය. නායක්කර් වංශික පාලකයෝ එතෙක් උඩරට පැවති සම්ප්රදායයන් ආරක්ෂා කොට පවත්වාගෙන යන්නවුන් ලෙස ක්‍රියා කළෝය. බොහෝ ඉතිහාසඥයන් පෙන්වා දෙන්නේ නායක්කර්වරුන් ඉන්දියාවේ වෙළඳ කටයුතු පිළිබඳව මනා අවබෝධයක් ලබා සිටි හෙයින්, ඔවුන් ලංකාවේ පදිංචි වීමෙන් පසුව ලන්දේසීන් උඩරට වෙළඳ කටයුතුවලට බාධා කරනු වළක්වාලීමට දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරලීම සඳහා උඩරට රාජ්‍යය පොලඹවා ලූ බවයි. එහෙත් 1739න් පසු උඩරට රාජ්‍යයේ නිලධාරීන් අතර නායක්කර් වංශිකයන් නොවූ අයුරු ෆන් ගොල්ලනැස්ස, ලෝටෙන් හා ස්ක්‍රෝදර් වැනි ආණ්ඩුකාරවරුන්ගේ සමරු සටහන්වලින් පෙනී යන හෙයින් පමණක් නොව, එවක් පටන් ලන්දේසීන් වෙතින් අපේක්ෂා කළ දෑ ඊට පෙරාතුව ඉල්ලා සිටි දෑට වඩා බෙහෙවින් ම අඩු බව පෙනී යන හෙයින් ද මේ අදහස පිළිගත නොහේ.
1658න් පසු කාලයේ උඩරට රාජ්‍යය හා ලන්දේසීන් අතර සබඳතා අයහපත් වීම කෙරේ බල පෑ ප්‍රධාන ම සාධකය ලෙස පෙනී යන්නේ, ලන්දේසීන් වෙළඳ ඒකාධිකාරයක් ඇති කිරීමට දැරූ ප්රයත්නයයි. මේ නිසා උඩරට රාජ්‍යයේ ආර්ථික සමෘද්ධිය පරිහාණියට ගියා පමණක් නොව, මේ දිවයිනේ පදිංචිව සිටි අතරමැදි වෙළඳුන්ට ද දකුණු ඉන්දීය වෙරළබඩ වෙළඳ පිරිස්වලට ද පාඩු සිදු වූ සේයි. එහෙයින් 1740 ගණන්වල සිට ත්‍රිකුණාමලය, මඩකලපුව, මන්නාරම, කොට්ටියාරම වැනි ස්ථාන මුල් කොටගෙන හොර වෙළඳාමක් ඇරඹුණේය. ලංකාවට අවශ්‍ය රෙදිපිළී, සහල් වැනි ද්‍රව්‍ය රැගත් සුළු වෙළඳ යාත්‍රා මෙකී ස්ථාන හා වෙනත් ස්ථාන කරා පැමිණ එම ද්‍රව්‍ය ලංකාවේ පුවක්, කුරුඳු, ගම්මිරිස් වැනි වෙළඳ ද්‍රව්‍යවලට හුවමාරු කෙළේය. මේ කාලයට අයත් ලිපිලේඛනවලින් පෙනී යන්නේ මේ හොර වෙළඳාම ඉතා පුළුල් වශයෙන් සිදු වූ බවයි. යළි යළිත් පණවනු ලැබූ ආඥාවනට පටහැණි ලෙස මෙය පැතිර ගියේය. මේ හොර වෙළඳාමට උඩරට රජු ද රදලවරුන් ද අනියම් ලෙස ආධාර දුන් බැව් සිතිය හැකිය. ලන්දේසීන් වෙළඳ ඒකාධිකාරයක් බිහිකිරීමෙන් මතු වූ දුෂ්කරතාවන් මැඩලීමට උඩරට රාජ්‍යය ගත් පියවර මෙබඳු වූයේය.
1741-1750 දසකයට පසුව ලන්දේසි-උඩරට සබඳතාවන් කෙරේ බෙහෙවින් බලපෑ සාධකයක් නම්, උඩරට රාජ්‍යය තුළ 18 වන සියවසේ මුල් දසක කීපයේ දී ඇති වූ බෞද්ධ ප්‍රබෝධයයි. වැලිවිට පිණ්ඩපාතික සරණංකර හිමියන් විසින් අරඹනු ලැබූ මේ බෞද්ධාගමික ප්රබෝධයේ ප්‍රධානතම අරමුණ වූයේ අභාවයට ගිය උපසම්පදාව යළි ඇතිකර ලීමයි. මේ සඳහා උපසම්පදාකාරක භික්ෂූන් කැඳවා ගැනීමට ලන්දේසි නැව්වල සහාය වුවමනා වූ හෙයින්, උඩරට රාජ්‍යය ලන්දේසීන් සමඟ මිත්‍රත්වය අපේක්ෂා කිරීම කෙරෙහි එය බලපෑවේය. 1742 වන තෙක් ම, ලන්දේසීන් මෙහි ලා සහාය වීම ප්‍රතික්ෂේප කළ හෙයින්, උඩරට රාජ්‍යය කුරුඳු තැළීමට අවසර නොදීම වැනි මාර්ගවලින් ඔවුන්ට බාධා කිරීමේ යෙදුණේය. 1736-1740 අතර කාලයේ ආණ්ඩුකාරධුරය දැරූ ෆන් ඉම්හෝෆ් උඩරට රාජ්‍යය සමග ලන්දේසි සබඳතාවන් අයහපත් වීම වළකාලමින් යළිත් මිත්‍ර සබඳතාවන් තහවුරු කිරීමටත් මෙතෙක් දෙපක්ෂය අතර මතභේදයට තුඩුදුන් ප්‍රශ්න නිරාකරණය කිරීමටත් උත්සාහ දැරුයේය. වෙළඳාම නිදහස් කිරීම විනා අන් විසඳුමක් නොවුව ද, ඒ වෙනුවට උඩරට රාජ්‍යයට යම් වාසියක් ගෙන දීමට සමත් වෙතැයි තමා අදහස් කළ යෝජනාවන් හෙතෙම උඩරටට ඉදිරිපත් කළේය. එයින් කියාසිටිනු ලැබුයේ වාර්ෂිකව ඉන්දීය වෙරළ කරා කුඩා යාත්‍රා විශේෂයක් වූ ද්‍රෝණි දෙක තුනක වෙළඳ ද්‍රව්‍ය රැගෙන යාමට ද අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන ඒමට ද සීමිත අවසරයක් දෙන බවයි. එහෙත් මේ යෝජනාව උඩරට රාජ්‍යය විසින් මෙන් ම බතාවියානු අධිකාරීන් විසින් ද ප්‍රතික්ෂේප කරන්නට යෙදුණි. 1742න් පසුව ද මෙහි ලා වැඩි වෙනසක් නොවූ අතර, ෆන් ගොල්ලනැස්ස ආණ්ඩුකාරයා (1743-1751) පෙන්වා දුන්නේ උඩරැටියන්ගේ ඉල්ලීම් දිගින් දිගට ම නොතකා හළ නොහැකි බවයි. ඒ අනුව, 1752 දී භික්ෂූන් කැඳවා ගැනීමට සහාය දැක්වීමට අවසර දෙනු ලැබීමෙන් පසුව පමණක් උඩරට මිත්‍ර ලීලාවෙන් ක්‍රියා කිරීමට එළඹියේය. 1753 මැද භාගයේ දී සියම් දේශයෙන් උපසම්පදාකාරක භික්ෂූන් ගෙන්වා ගැනීම තෙක් දෙපිළ අතර මිත්‍රත්වය හොඳින් පැවතිය ද ඒ අතරතුරේ පවා උඩරට රාජ්‍යය වරින් වර බාධක ක්‍රියාමාර්ග, විරෝධය පළ කිරීම් ආදිය මගින් යළි යළිත් ලන්දේසීන්ට ඔවුන්ගේ ආධිපත්‍යයේ සීමාවන් කවරේ දැයි පෙන්වාදීමේ යෙදුණේය. සිය පාලන සමය අවසානයේ දී ෆන් ගොල්ලනස්ස කියා සිටියේ වෙළඳාම නිදහස් කිරීම පිළිබඳ ප්රශ්නය උඩරැටියන්ගේ වාසියට විසඳන තෙක් ම කිසිසේත් ස්ථිර සාමයක් ලද නොහැකි බවයි.
1752 දී උඩරට රාජ්‍යය, ඉන්දීය වෙරළබඩ ප්‍රදේශ සමග නිදහසේ වෙළඳාමේ යෙදීමට අවකාශ ඉල්ලා සිටියේය. ලන්දේසීන් සියම් භික්ෂූන් කැඳවා ගැනීමට දුන් සහාය නිසාදෝ, යළිත් මේ ඉල්ලීම කැරුණේ 1757 දීය. ඒ වන විට අවුරුදු පතා ද්‍රෝණි කිහිපයක් වෙළඳ ද්‍රව්‍ය රැගෙන ඉන්දීය වෙරළ කරා ගොස් තමන්ට අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන ඒමට උඩරට රාජ්‍යය අවසර පැතීය. සමහර විට මෙයින් හැඟෙනුයේ ලන්දේසීන් කිසිසේත් මුළු වෙළඳාමට ඉඩ දීමට සූදානම් නොමැති බැව් දැන, උඩරට රාජ්‍යය තමන්ට ලද හැකි ඉල්ලීම් පමණක් ඉදිරිපත් කළ බවයි. එහෙත් ලන්දේසීහු මේ ඉල්ලීම් වත් ඉටු කිරීමට කැමති නොවූහ. මේ නිසා දිගින් දිගට ම උඩරට රාජ්‍යය වෙළඳ කටයුතුවල යෙදීමේ අවසරය ලබාගැනීමට දැරූ ප්රයත්න කඩවීම 1757 සිට ඉදිරි කාලයේ දී සබඳකම් කෙරේ අතිශයින් බලපෑවේය.
1757 දී, පහතරට ප්‍රදේශවල කුරුඳු තළන්නන්ගේ කැරලි වැලක් ඇති විය. ප්‍රධාන කොට ම, ධනවාදී අපේක්ෂාවන් සාම්ප්‍රදායික නිෂ්පාදන මාර්ගයකින් ඉටු කර ගැනීමට දැරූ ප්රයත්නයක් ලෙස හැඳින්විය හැකි කුරුඳු නිෂ්පාදනය ලන්දේසි ආණ්ඩුව ඉතා දැඩි ලෙසින් රැක බලාගත් අයමාර්ගයක් වූයේය. 17 වන සියවසේ සිට ම දිවයිනේ වෙරළබඩ පෙදෙස්වල කුරුඳු තැළීම සලාගම කුලයේ ජනයා විසින් රාජකාරියක් සේ ඉටු කරන ලද අතර, විවිධ දුක්ගැනවිලි හේතුකොටගෙන ඔවුන් අතර කැරලි ඇතිවීම 18 වන සියවසේ දී දක්නට ලැබුණේය. 18 වන සියවසේ මුල් භාගය වන තෙක් ඇම්ස්ටර්ඩෑම්හි ස්ථාවරව පැවති කුරුඳු මිල 1740ස් ගණන්වල දී ඉහළ යාම නිසා කුරුඳු ඉල්ලුම වැඩි විය. එහෙත් ලන්දේසි ආණ්ඩුව ඇතැම්විට වැඩි වැඩියෙන් ඉඩම් ප්රදානය කිරීම නිසා 18 වන සියවසේ මැද වන විට මෙම පෙදෙස්වල කුරුඳු කැළෑවලට බරපතළ හානි පැමිණුණේය. මේ නිසා කුරුඳු තළන්නන්ගේ සංඛ්‍යාව වැඩිව ගිය ද, ඔවුන් විසින් ලද හැකි වූ කුරුඳු ප්‍රමාණය අල්ප විය. එහෙයින් දුර බැහැර පෙදෙස්වල කුරුඳු සොයා යමින් අවුරුද්දෙන් වැඩි කලක් ඉතා කටුක දිවි පෙවෙතක් ගත කිරීමට ඔවුන්ට සිදු විය. ඔවුන්ගේ වේතනය ද ප්‍රමාණවත් නොවීය. එහෙයින් වරින් වර කැරලි ඇති විය. ෆන් දොම්බර්ග්ගේ අවදියේ (1734-1736) ද, 1744 දී ද, 1757 දී ද, මෙවැනි කැරලි හට ගැනුණේය. මේ හැම විටක ම කුරුඳු තළන්නෝ සිය දුක් ගැනවිලි උඩරට මහවාසල වෙත ඉදිරිපත් කරමින් පහතරට පෙදෙස්වලින් පලා ගියහ. උඩරට රජුගේ සහාය නොමැතිව ඔවුන් යළි ගෙන්වා ගැනීම ඉතා දුෂ්කර කටයුත්තක් වූයේය. 1757 වන විට ස්ක්රොදර් ආණ්ඩුකාරයාට (1757-1762) පෙනී ගියේ පවුල් 800කට ආසන්න සංඛ්‍යාවක් මෙසේ උඩරට පළාත්වලට පලා ගොස් වෙසෙන බවයි. පහතරට පෙදෙස්වල වැසියෝ උඩරට රජු සිය අධිස්වාමියා සේ සැලකූහ. උඩරට ක්‍රියා කළේ ද එම අදහස තහවුරු වන පරිද්දෙනි. මේ වැසියන්ගේ දුක්ගැනවිලිවලට මැදිහත්වන ව්‍යාජයෙන් තම අපේක්ෂාවන් ද ඉටු වන පරිදි පහතරට ලන්දේසි ප්‍රදේශවල කටයුතුවලට මැදිහත්වීමට උඩරටට අවකාශ ලැබුණි. අනෙක් අතට, ලන්දේසීනට කුරුඳුකාරයන් ආපසු ලබාගැනීමට උඩරට සහාය අත්‍යවශ්‍ය වූ හෙයින් වඩාත් මිත්‍රශීලී ආකල්පයක් උඩරට කෙරේ දක්වාලනු සඳහා ඔවුන් පොලඹවා ගැනීමට ද මෙය උපකාරී විය.
1757 කුරුඳු තළන්නන්ගේ මෙම කැරලි ගැසීම් අතරේ ම බටහිර, දකුණු හා නිරිත දිග ප්‍රදේශවල පුළුල් වශයෙන් පැතිරගිය සාමාන්‍ය වැසියාගේ කැරැල්ලක් ද හේතුකොටගෙන 1760 දක්වා ම පහතරට ප්‍රදේශවල මහත් අර්බුදකාරී තත්වයක් පැවැත්තේය. මේ සාමාන්‍ය වැසියාගේ කැරලි මුලින් ම ඇති වූයේ මාතර දිසාවේ ගිරුවා පත්තුවේය. එහි ලා දක්නා මූලික හේතූන් අතර වී බදු අරභයා ලන්දේසි ආණ්ඩුව අනුගමනය කළ කෘෂිකාර්මික ප්රතිපත්තිවලින් හා ක්‍රියාමාර්ගවලින් ඇති වූ පීඩාවන් මෙන් ම ඒ පෙදෙසේ යම් යම් ජන කොටස්වලට විඳීමට සිදු වූ අතවර ද විය. කෙසේ වුවත් සාමාන්‍ය ජනයා අතර පැවති වෙනත් දුක්ගැනවිලි ද හේතුකොටගෙන මේ කැරලි 1757-1760 අතරතුර කාලයේ දී සියනෑ, සල්පිටි, හේවාගම් ආදි කොළඹ දිසාවේ කෝරළ කරා ද පැතිර ගියේය. මේ කැරලි ඇතිවීමෙහි ලා උඩරටින් ඇති වූ කුපිත කිරීම් මුල් වූ බව ස්ක්‍රෝදර් ආණ්ඩුකාරයාගේ අදහස වුවත් එය සත්‍යයෙන් ඈත් වූවකි. එහෙත් යම් ප්‍රමාණයකට හෝ උඩරැටියන්ගේ බලපෑම මෙහි ලා දක්නට ලැබෙන බව නම් පිළිගත හැකිය. කැරලි ඇති වූ වහා ම පහතරට වැසියෝ සිය දුක්ගැනවිලි උඩරට රජවාසලට ඉදිරිපත් කළෝය. උඩරට රජ මේවා විමසා බැලීමට ඉදිරිපත් විය. ලන්දේසි ආණ්ඩුව කැරලි සංසිඳවාලීමට යළි යළිත් කළ ඉල්ලීම ව්‍යර්ථ වූයේය. උඩරටින් කියන ලද්දේ මහවාසල හොඳ හිත දිනාගත් මුලාදෑනින් පිටුවහල් කිරීම ඇතුළු ලන්දේසි ආණ්ඩුව විසින් ගන්නා ලද යම්යම් පියවර ඉවත් කරන තෙක් මෙහි ලා තමන්ට කිසිවක් කළ නොහැකි බවය. මේ කරුණුවලින් පැහැදිලි වන්නේ උඩරට රාජ්‍යය පහත රට ප්‍රදේශ කෙරේ සැලකිය යුතු බලපෑමක් කිරීමට හැකි තත්වයක පැවති බවය. පහතරට පෙදෙස්වල වැසියන් උඩරට රජු කෙරේ පක්ෂපාතිත්වය දැක්වීම ඊට මුල් හේතුව වූයේය. අවසානයේ දී පහතරට වැසියන්ගේ දුක්ගැනවිලි විසඳාලීමේ ව්‍යාජයෙන් 1760 දී උඩරට රාජ්‍යය පහතරට ලන්දේසි ප්‍රදේශ ආක්‍රමණය කිරීමේ යෙදුණේය.
පහතරට කැරලි පැවති අවස්ථාව වාසියට ගෙන කළ මේ ආක්‍රමණය නිසා නිරිත දිග පෙදෙසේ කොටස් බොහොමයක් මුලින් උඩරට රාජ්‍යයට අල්වා ගැනීමට හැකි වුවත්, අනුක්රමයෙන් ලන්දේසි හමුදා එකී පෙදෙස් කරා ගමන් ගැනීම නිසා එම සාර්ථකත්වය ඉක්මනින් ම නැතිව ගියේය. 1761 වන විට, උඩරට රාජ්‍යයේ හමුදා පෙරළා ගමන් ගනිමින් සිටියහ. මෙසේ පහතරට පෙදෙස් කරා එල්ල කළ ආක්‍රමණය අසාර්ථක වූ අතර එක්වර ම ලන්දේසි ප්රතිපත්තිවල වෙනසක් සිදු විය.
ලංකාවේ ලන්දේසි නිලධාරීන් මෙන් ම බතාවියානු අධිකාරීන් ද 1762 අගෝස්තු 3 වැනි දින දක්වා ම උඩරට රාජ්‍යය හා පවතින ප්‍රශ්න සාමකාමීව, යුද වැදීමකින් තොරව, විසඳා ගත යුතුය යන අදහස දැරූ බව පෙනේ. එහෙත් 1762 අගෝස්තු මස මැද වන විට මේ ආකල්පයෙන් සම්පූර්ණයෙන් ම ඉවත්ව උඩරට හා යුද වැදිය යුතු බවට බතාවියෙන් නියම කරනු ලැබිණ. උඩරට රාජ්‍යය කෙරේ ලන්දේසි ප්‍රතිපත්තිය එක්වර ම වෙනස්ව යාමට තුඩු දුන්නේ මදුරාසි ආණ්ඩුව විසින් උඩරට රජවාසල කරා ජෝන් පයිබස් නමැති ඉංග්‍රීසි ජාතිකයා තානාපති ගමනක යවමින් සබඳකම් ගෙනයාමට උත්සාහ දරන බව දැනගන්නට ලැබීමය. උඩරට රාජ්‍යය මෙහි දී විදේශීය ජාතීන්ගේ ආධාර ඇතිව තමන්ට පහරදීමක යෙදෙන්නට අදහස් කරන බැව් කල්පනා කළ ලන්දේසි අධිකාරීහු උඩරට හා යුද්ධයකට නැඹුරු වූහ. මේ නිසා, එවක ලන්දේසි ආණ්ඩුකාරයා වූ ෆන් ඓක් (1762-1765) තීරණය කළේ තවදුරටත් සාමකාමී ප්රයත්න දැරීම නිෂ්ඵල බවයි. එහෙයින් ම, උඩරට ආක්‍රමණය කොට, ආර්ථික වශයෙන් සෑහෙන තරමට දුබල ඒ රාජ්‍යය ලන්දේසි බලයට අවනත කොට ගැනීමෙන් විනා අන්ලෙසකින් ලංකාවේ ලන්දේසි ආධිපත්‍යය සුරක්ෂිත නොවන බව ඔහු තීරණය කළේය. මේ අනුව හෙතෙම 1763 දී උඩරටට කඩා වැදීමට යුද්ධ හමුදා පිටත් කළ නමුත් ගමන අසාර්ථක විය. 1765 මුල යළිත් උඩරට කරා එල්ල කළ ආක්‍රමණය ද අසාර්ථක වූ පසු හෙතෙම 1765 අප්‍රේල් 1 වැනි දින කොළඹ දී මිය ගියේය. මේ සිද්ධියෙන් කම්පා වූ බතාවියානු අධිකාරීන් ඊළඟට විචක්ෂණ පුද්ගලයකු වූ විලම් ඉමාන් ෆල්ක් ලංකාවේ ආණ්ඩුකාර ධුරයට පත් කළේ, උපායශීලීව කටයුතු කොට, උඩරට රාජ්‍යය තමන්ට වාසිදායක ගිවිසුමකට බඳවා ගන්නා ලෙස නිකුත් කළ උපදෙස් ද සමඟිනි. 1765 අගෝස්තු මස ෆල්ක් උඩරට හා සාකච්ඡා අරඹා 1766 පෙබරවාරි 14 වැනි දින ගිවිසුමක් ඇති කොට ගැනීමට සමත් විය.
බොහෝ දෙනාගේ අදහස 1766 ගිවිසුම එහි සඳහන් ආකාරයෙන් ම ක්‍රියාත්මක වූ අතර, ඒ හේතුකොටගෙන උඩරට රාජ්‍යය මුළුමනින් ම අබල දුබල තත්වයකට පැමිණි බවයි. මේ ගිවිසුමින් උඩරට රාජ්‍යයට විදේශ සබඳකම්වලට ඇති අයිතිය සම්පූර්ණයෙන් ම නැති වී නියමිත මිලකට ලන්දේසීනට සිය වෙළඳ ද්‍රව්‍ය විකිණීමටත් දිවයින වටා සිංහල සැතපුමක බිම් තීරුවක් එතෙක් ලන්දේසීන්ට අයත් නොවූ ප්‍රදේශවලින් පවරා දීමටත් සිදු වූ බව සැබෑය. එසේ ම ගිවිසුමෙන් පහතරට ප්‍රදේශ පිළිබඳ ලන්දේසි අයිතිය පිළිගැනීම නිසා මෙතෙක් ලන්දේසි-උඩරට සබඳතා කෙරෙහි බලපෑ පහතරට ප්‍රදේශවල නීත්‍යනුකූල ලන්දේසි හිමිකම පිළිබඳ ප්රශ්නය ඔවුන්ගේ වාසියට තීරණය වූ බවත් සැබෑය. 1766 ගිවිසුම ලන්දේසීන්ට යුද්ධය උදෙසා ගිය වියදම්වලට පමණක් නොව, මුල සිට ම ඇති වූ අවාසිවලට ද සරිලන අන්දමේ ප්රතිලාභ ගෙනදීමට ද ක්‍රියා මාර්ගයක් වනු ඇතැයි බලාපොරොත්තු වූ ලන්දේසි අධිකාරීහු එය නොපමාව ම ක්‍රියාවට නඟන සේ ඉල්ලා සිටියහ. ෆල්ක්ගේ අවස්ථාවෝචිත උපාය කෞශල්‍යය මගින් ශතවර්ෂයකට අධික කාලයක් මුළුල්ලේ දෙපක්ෂය අතර මතභේදයට තුඩුදුන් කරුණු පිළිබඳව කිසියම් එකඟත්වයකට පැමිණි බව මේ ගිවිසුමෙන් පෙනී ගිය ද ඇත්ත වශයෙන් ම පසු කාලයේ දී එය එසේ නොවන බව කදිමට පසක් විය. උඩරැටියන් මේ ගිවිසුම සැලකූයේ, ලන්දේසි ආක්‍රමණයෙන් ගැළවීමට සුදුසු මඟක් ලෙස විනා, ස්ථිර ක්‍රියාමාර්ගයක් ලෙස නොවේ. එහෙයින් ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ඔවුන්ගේ පක්ෂයෙන් කිසි ම උනන්දුවක් නොදැක්විණ. එපමණක් නොව, ඔව්හු ගිවිසුමේ කොන්දේසි තමන්ට අවාසි බැව් තේරුම් ගත් වහා ම, ඒවා වෙනස් කිරීමට ප්රයත්න දැරීමට උනන්දු වූහ. අනෙක් අතට, ලන්දේසීන් ද මේ අවස්ථාවෙන් කදිමට ප්‍රයෝජන ගත් අයුරු ‘සිංහල සැතපුමක්’ යන්නට සිය වාසියට අදාළ වන පරිදි අරුත් ගන්වමින් වැඩි පෙදෙස් ප්‍රමාණයක් සිය පාලනය යටතට ගැනීමෙන් පෙනේ. ඇත්ත වශයෙන්, මේ බිම් තීරුව සිය පාලනය යටතට ගැනීම හැරෙන්නට ඒ පිළිබඳව නිශ්චිත දේශසීමා නියම කිරීමට හෝ ගිවිසුමේ සෙසු කොන්දේසි සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට හෝ ලන්දේසීහු අසමත් වූහ. ෆල්ක් සිය කාලයේ දී උඩරට යම් යම් සුළු සහනවලින් සාමය ඇතිකරලීමට සමත් වුව ද, ඔහු හෝ පසුව පැමිණි ෆන් ද ග්‍රාෆ් (1785-1794) වැනි ආණ්ඩුකාරවරුන් උඩරට රාජ්‍යය ලන්දේසි ආධිපත්‍යයට නතු කර ගැනීමට ගත් වෑයම් සාර්ථක නොවීය. මේ නිසා උඩරට හා ලන්දේසීන් අතර 1766 සාම ගිවිසුමින් එතෙක් පැවති ප්‍රශ්න කිසිසේත් ම නිරාකරණය නොවූ බව පැහැදිලි විය. උඩරට රජවාසල ලන්දේසීන් සිය මනදොළ සපුරා ගැනීමට ක්‍රියා කළ අයුරු දුටු හෙයින්, මෙහි ලා බාධාකාරී ලෙස කටයුතු කළේය. උඩරට රාජ්‍යය විදේශීය ජාතීන් හා සබඳකම් ගෙනයාමෙන් හෝ වෙළඳ කටයුතුවල යෙදීමෙන් සම්පූර්ණයෙන් ම බැහැරව සිටියේ ද නැත. ඔව්හු ලන්දේසීන් පලවා හැරීමට සෙසු විදේශීය ජාතියක පිහිට පැතූහ. 1766න් පසුව උඩරට රාජ්‍යයට ඉතා පැහැදිලිව ම පෙනී ගියේ ලන්දේසීන් උඩරට රාජ්‍යය පත්ව සිටි දුබල තත්ත්වයෙන් ප්‍රයෝජන ගන්නා බවයි. ඒ නිසා යළිත් විදේශීය ජාතියක ආධාරය ඇතිව ලන්දේසීන් පලවා හැරීමේ අදහස ඉස්මතුව ආයේය. 1760 ගණන්වල සිට ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් සිටි ඉංග්‍රීසීහු ද ලංකාව කෙරේ සැලකීමක් දක්වන්ට වූහ. යටකී පරිදි 1762 දී මදුරාසියේ ඉංග්‍රීසි ආණ්ඩුව උඩරට රජවාසල කරා ජෝන් පයිබස් තානාපති ගමනක යෙදවීය. ඒ අවස්ථාවේ දී ඉංග්‍රීසින් ලන්දේසීනට එරෙහිව උඩරට රාජ්‍යය ගෙන ගිය සටනට කෙළින් ම ආධාර දීමට අකැමති වූ හෙයින් දෙපක්ෂය අතර සාර්ථක ලෙස සබඳකම් ඇතිවීම වැළකිණි. යළිත් මදුරාසි ආණ්ඩුවේ සැලකිල්ල උඩරට රාජ්‍යය කෙරේ යොමු වූයේ ඉන්දියානු ප්‍රදේශවල තම ආධිපත්‍යය ව්‍යාප්ත කර ගැනීමට ලංකාවේ වරායවල් වඩ වඩාත් අවශ්‍ය බව පෙනීගිය විටය. 1782 දී යළිත් උඩරට රාජ්‍යය කරා තානාපතිවරයෙක් එවන ලද්දේය. එහෙත් 1762 දී තමන්ට ආධාර දීමට ඉංග්‍රීසීන් පැකිලීම ගැන උඩරට රාජ්‍යය කෝපයෙන් පසු වූ හෙයින් හියු බොයිඩ්ගේ මෙම ගමන ව්‍යර්ථ විය. නැවතත් ඉංග්‍රීසීන් ලංකාව කෙරේ සිය සැලකිල්ල යොමු කළේ 1795 දීය. ඉන්දියාවේ ඉංග්‍රීසි ආධිපත්‍යයට ප්රංස තර්ජන එල්ල වී පැවති අතර ලංකාවේ වෙරළබඩ පෙදෙස් ලන්දේසීන් අතින් ලබා ගැනීමට මේ අවස්ථාව ඉතා සුදුසු බැව් ඉංග්‍රීසීන්ට පෙනී ගියේය. සාමකාමී ලෙස ලන්දේසීන් සතු බලකොටු හා පෙදෙස් සිය රැකවරණය හා පාලනය යටතට ගැනීමට දැරූ ප්රයත්නය අසාර්ථක වූ හෙයින්, සටන් කොට ඒවා යටත් කර ගැනීමට මදුරාසි ආණ්ඩුව ක්‍රියා කළේය. මෙහි දී උඩරට රාජ්‍යයෙන් යම් සහනයක් ලැබීම වැදගත් කොට සලකා ඒ සඳහා ගිවිසුමක් ඇති කර ගැනීමට රොබට් ඇන්ඩ්‍රෑස් උඩරට රජවාසල කරා යැවීමට කටයුතු සූදානම් කැරිණ. 1795 පෙබරවාරි 15 වැනි දින කොළඹ ඉංග්‍රීසීන් අතට පත් වූ අතර අගෝස්තු 31 වැනි දා ත්‍රිකුණාමලය ද සැප්තැම්බර් 18 වැනි දා මඩකලපුව හා යාපනය ද ඉංග්‍රීසීන්ට අල්වා ගත හැකි විය. මේ අතර උඩරට කරා ගිය ඇන්ඩ්‍රෑස් සාර්ථක ලෙස සාකච්ඡා පවත්වා ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා සිංහල දූත පිරිසක් ද කැටුව මදුරාසිය කරා ගොස්, එහි දී 1796 පෙබරවාරි මස ගිවිසුමක් ඇතිකර ගනු ලැබූ නමුත් එයින් උඩරට රාජ්‍යයේ අපේක්ෂා සියල්ල ම ඉටු නොවීම දෙපක්ෂය අතර සබඳකම් තහවුරු වීම කෙරේ අයහපත් ලෙස බල පෑවේය. ගිවිසුම උඩරට රජුගේ අත්සන සඳහා ඉදිරිපත් කළ විට එය අනුමත කිරීමට අකැමැති වීම නිසා, එය පසෙකට දමන ලද්දේය. හැරත් මේ වන විට, ලංකාවේ ලන්දේසි පෙදෙස් සියල්ල ම ඉංග්‍රීසින් අතට පත්ව තිබූ හෙයින් උඩරට රාජ්‍යය හා ගිවිසුම් මගින් ආධාර ලබා ගැනීම අනවශ්‍ය බැව් පෙනී ගියේය. මෙසේ උඩරට රාජ්‍යයේ සහාය නොමැතිව ම වාගේ ඉංග්‍රීසීහු ලංකාවේ වෙරළබඩ පෙදෙස්වල ලන්දේසි ආධිපත්‍යය අවසන් කිරීමට සමත් වූහ. මෙහි දී එවක ලංකාවේ පමණක් නොව, දකුණුදිග හා අග්නිදිග ආසියාවේ ද ලන්දේසි බලය දුබල තත්ත්වයක පැවතීම ද ලංකාවේ සිටි ලන්දේසි නිලධාරීන්ගේ ක්‍රියා කලාපය ද ඉංග්‍රීසීනට උපකාරී වූ බව පෙනේ. අවසානය දක්වා ම උඩරට රාජ්‍යය හා ලන්දේසීන් අතර පැවති මතභේද කිසිසේත් මුළුමනින් නිරාකරණය නොවීය. ඉංග්‍රීසීන් මුහුදුබඩ පෙදෙස් අල්වා ගත් පසුව ද, රට තුළ බිම් තීරුව හා වෙළඳ වරායන් පිළිබඳ ප්රශ්නය එසේ ම නොවිසඳී පැවතුණි.
ලන්දේසි ආර්ථික ප්‍රතිපත්ති
ලංකාවේ ලන්දේසි ආර්ථික ප්‍රතිපත්ති වෙළඳ ඒකාධිකාරය, වෙළඳ බෝග වගාව හා දේශීය කෘෂිකර්මාන්තය මුල් කොටගෙන හැඩගැසුණේ වේ.
වෙළඳ ඒකාධිකාරය
ලංකාවේ ලන්දේසි පාලනය ගෙනයනු ලැබුයේ ලාභ ඉපැයීම මූලික පරමාර්ථය කොටගත් වෙළඳ සමාගමක් විසිනි. මේ නිසා ඔවුන් අනුගමනය කළ සෑම ක්‍රියාමාර්ගයක් ම ආර්ථික වශයෙන් කරුණු සලකා බලා යොදන ලද බව පෙනේ. එහෙයින් ම පෘතුගීසීන්ට වඩා සාර්ථක ලෙස ලංකාවේ අයමාර්ගවලින් ප්‍රයෝජන ලබාගැනීමට ලන්දේසීන් ක්‍රියා කළහයි කිව හැකිය.
ලන්දේසින් පහතරට ප්‍රදේශවල සිය කටයුතු ඇරඹූ කාලය වන විට ආර්ථික වශයෙන් ඉතා වැදගත් වූයේ මේ පෙදෙස් මුල් කොට ගෙන පැවති වෙළඳාමයි. ලන්දේසින් සම්බන්ධයෙන් පමණක් නොව, උඩරට රාජ්‍යය පිළිබඳව ද පෙනී යන්නේ ඒ රාජ්‍යයේ විදේශ සබඳකම් පවා මේ අවධියේ දී බොහෝ දුරට ම මෙහෙයවනු ලැබුයේ වෙළඳාම මගින් බවයි. 16 වන සියවසේ ආරම්භය වන විට, එවක දකුණු දිග හා අග්නි දිග ආසියාතික වෙළඳ රටාවට ලංකාව ද හවුල්ව තිබුණේය. පෘතුගීසි සමයේ දී මේ වෙළඳාම තවදුරටත් දියුණු වූ අතර, 1638-1658 අතරතුර පෘතුගීසි-ලන්දේසි සටන් පැවති සමයේ දී බැහැරින් පැමිණි වෙළෙන්දෝ දිවයිනේ වැසියන් සමග සිය වෙළඳ කටයුතු දියුණු තියුණු කොට කරගෙන ගියහ. වෙසෙසින් ම මේ අවධියේ දී උඩරට රාජ්‍යය බාහිර ලෝකය සමඟ සිය වෙළඳ කටයුතු කරගෙන යාම කෙරෙහි දැඩි සැලකිල්ලක් හා ඕනෑකමක් දැක්වූයේය. අබාධ වෙළඳාමට උඩරට රාජ්‍යයට අවකාශ තිබිණ. උඩරට රාජ්‍යය බස්නාහිර වෙරළේ කල්පිටිය, පුත්තලම හා නැගෙනහිර වෙරළේ ත්‍රිකුණාමලය, කොට්ටියාරම, මඩකලපුව යන වරායවල් තම වෙළඳ කටයුතුවල මධ්‍යස්ථාන කොටගෙන ආසියාතික වෙළඳුන් සමග සිය වෙළඳ කටයුතුවල යෙදුණේය. මේ ස්ථානවල සෑහෙන තරම් විශාල වෙළඳාමක් පැවති බව ලන්දේසි වාර්තාවලින් හොඳින් ම පෙනේ. රට ඇතුළත, වරායන්ට නුදුරින්, විශාල වෙළඳපොළවල් පවා පැවති අයුරු කල්පිටියට ආසන්නව තිබුණු කිල්කරේ වෙළඳ පොළින් පෙනේ. ප්‍රධාන වශයෙන් ම මෙකී වෙළඳපොළවල් කරා ගෙන එනු ලැබුයේ සාමාන්‍ය ජනයාට අවශ්‍ය වූ රෙදිපිළී වැනි දෑය. සහල්, කරවල වැනි වෙනත් ද්‍රව්‍ය ද සුලභ විය. දිවයිනෙන් අපනයනය කරනු ලැබූ ප්‍රධාන වෙළඳ ද්‍රව්‍යය නම් පුවක්ය. කුරුඳු, ගම්මිරිස්, මී ඉටි, එන්සාල්, ඇත්දත් වැනි සෙසු දෑ ද තරමක් දුරට වෙළඳාම් විය. මේ වෙළඳාම උඩරට රජුට පමණක් ආදායම් මාර්ගයක් නොවීය. රජු බදු වශයෙන් ද සිය ගබඩාගම්වලින් ද ලත් වෙළඳ ද්‍රව්‍ය විකුණූ අතර, අධිපතිවරු සිය නින්දගම්වලින් ලත් දෑ ද වෙළඳාමට යොදා ගත්හ. අනෙක් අතට සෙසු සාමාන්‍ය ජනයා, තම ගෙවතුවල සුළු වශයෙන් වැවූ පුවක් වැනි ද්‍රව්‍ය මේ වෙළඳාමට යොදා ගත්හ. වෙරළබඩ මධ්‍යස්ථානවල මෙන් ම රට තුළ පෙදෙස්වල ද සංචාරය කරමින්, කුඩා වෙළඳසැල් පවත්වාගෙන යමින් මුස්ලිම් වෙළෙන්දෝ මීට ප්‍රධාන වශයෙන් ම හවුල් වූහ. බෙංගාලය, කොරමැන්ඩලය, ගොල්කොන්ඩා වැනි පෙදෙස්වලින් මුස්ලිම්, හින්දු හා හෙට්ටි වෙළඳ ජනයා මෙම වෙළඳාමට පැමිණි බව පෙනේ. උඩරට රාජ්‍යයට විශාල ආදායමක් ඉතිරිකර ගැනීමට හැකි වූයේ ගොල්කොන්ඩා වැනි පෙදෙස්වලින් පැමිණි වෙළඳුන් අලි ඇතුන් මිල දී ගත් හෙයිනි. ලන්දේසීහු මේ වෙළඳාම කෙතරම් ලාභදායී දැයි හොඳින් ම දුටහ. ඔව්හු 1664 දී උඩරට රාජ්‍යය තුළ ඇති වූ අර්බුද ප්‍රයෝජනයට ගනිමින්, ත්‍රිකුණාමලය (1665), මඩකලපුව (1668) හා කොට්ටියාරම (1668) සිය පාලනය යටතට ගත්හ. 1670 දී ඔව්හු ලංකාවට පැමිණෙන ඉන්දීය වෙළඳ ජනයා විසින් ඒ සඳහා ඉන්දියාවේ ලන්දේසි වෙළඳ මධ්‍යස්ථානවලින් නියමිත බදු ගෙවා අවසර පත් ලබාගත යුතු යැයි නියම කිරීමෙන් ඒ වෙළඳාම තමන්ට අවශ්‍ය පරිදි පාලනය කිරීමට තැත් කළහ. ලන්දේසීන්ට මෙරට වරායන් අත් කර ගැනීමෙන් පමණක් ම වෙළඳාම ඒකාධිකාරයක් කොටගත නොහැකි වූයේය. එම වෙළඳාමට සම්බන්ධ වූ දකුණු ඉන්දියානු වෙරළබඩ රාජ්‍යවල දේශපාලන ආධිපත්‍යය ලන්දේසීන් සතු නොවූ හෙයින්, ඔවුන්ට උවමනා පරිදි එම රාජ්‍යවල සිය ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ නොහැකි විය. කන්‍යා කුමාරි තුඩුවේ සිට නාගපට්ටනම් දක්වා වෙරළබඩ තීරුවේ වූ කුඩා රාජ්‍ය අන්‍යෝන්‍ය විරුද්ධභාවයෙන් කටයුතු කළ නමුත් එකල ද ඒවා ස්වාධීනව කටයුතු කළේය. එහෙත් ලන්දේසීහු 1673 වන විට, නොයෙකුත් උපායමාර්ග, ගිවිසුම් ආදිය මගින් මදුරා, කායල්පට්ටනම්, තූත්තුකුඩිය (ටියුටිකොරින්), අද්රියම් පටුන ආදි ප්‍රධාන පෙළේ වෙළඳ මධ්‍යස්ථානවල සිය ගබඩා හා නියෝජිතයන් මගින් වෙළඳාම කෙරේ බලපැවැත්වීමට තරම් තත්වයකට පත් වූහ. මෙසේ දකුණු ඉන්දියානු වෙරළබඩ රාජ්‍යවල පාලකයන් හා ගිවිසුම් ආදිය මගින් ලත් ඵල ප්‍රයෝජන ක්‍රියාත්මක කරමින් වෙළඳ ඒකාධිකාරය නියම වශයෙන් ගෙනයාමට අවශ්‍ය එක් කරුණක් සපුරා ගැනීමට 1670න් පසු කාලයේ දී ලන්දේසීහු සමත් වූහ. මෙසේ වෙළඳාමට බාධා පැමිණවීමෙන් නොනැවත ලන්දේසීහු 1670න් පසු සපුරා ම ඒ වෙළඳාම සියතට ගත්හ. මේ නිසා උඩරට රාජ්‍යයට විදේශ සබඳකම් ගෙනයාමට පැවති මාර්ගයන් වැසී ගිය අතර, මෙතෙක් විශාල ආදායමක් ලැබුණු මාර්ගයක් වැසීයාම හේතුකොටගෙන, ආර්ථික වශයෙන් රජු හා අධිපතීන් මෙන් ම රටවැසියා ද දුර්වල තත්වයකට වැටුණු බව සමකාලිකයන් විසින් දක්නා ලද්දේය. ලන්දේසීන් වෙළඳ වරායන් වසා ලීමෙන් ද, බදු බාධක මගින් ද, වෙළඳාම සිය ඒකාධිකාරයක් කළ ද, වැසියන්ගේ සියලු ම අවශ්‍යතාවන් සපුරා ලීමට ඔවුන්ට හැකියාවක් නොවීය. මේ නිසා වැසියන්ගේ පුවක් වැනි වෙළඳ ද්‍රව්‍ය මිලට ගැනීමට ගම්පෙදෙස් කරා පැමිණෙන වෙළඳුන් නොවූයෙන් ඒවා අපතේ ගියේය. රාජසිංහ II රජු ලන්දේසීන්ගේ ක්‍රියාමාර්ගයට පිළිතුරු වශයෙන් වෙළඳ ද්‍රව්‍ය වෙළඳ සමාගමට විකිණීම තහනම් කිරීම හා කඩවත් වසා දැමීම නිසා තත්වය තවදුරටත් උග්‍ර වූයේය. ඒ හැරුණු විට, 1670 දී, වෙළඳ වරායවල් අසබඩ පෙදෙස් රාජසිංහ රජුගේ හමුදාවන් විසින් විනාශ කරනු ලැබීම නිසා ද, ඒවායේ කලින් පැවති සෞභාග්‍යය බොහෝසෙයින් ම පිරිහිණ. පහතරට පෙදෙස් මෙන් ම යාපනේ වැනි දිවයිනේ උතුරු පෙදෙස් ද මෙසේ වෙළඳ කටයුතුවලින් ලත් ඵලප්රයෝජනවලින් ඉවත් කරනු ලැබීම හේතුකොටගෙන රාජ්‍ය ආදායම පිරිහී ගියා පමණක් නොව, සුළු වශයෙන් ලත් ආදායම ද නැති වී යාමත් සමාගම ආනයනය කළ රෙදිපිළී වැනි ද්‍රව්‍යවල මිල ඉහළ යාමත් නිසා වැසියා ද ඉතා පහත් ජීවන තත්වයකට ඇද වැටුණු බව පෙනේ. 18 වන සියවසේ දී ප්‍රධාන වෙළඳ ද්‍රව්‍යවලට අමතරව සහල්, මී ඉටි, පොල්තෙල් වැනි ද්‍රව්‍ය පවා ඒකාධිකාරී වෙළඳ රටාවට ඇතුළත් කිරීමට ක්‍රියා කරන ලද බව පෙනේ. 1703න් පසුව 1796 දක්වා ම ලන්දේසි වෙළඳ ඒකාධිකාරය වෙනසකට භාජන නොවූ අතර, උඩරට රාජ්‍ය හා ලන්දේසි සබඳතාවන් අනුක්රමයෙන් අයහපත් වීමට බෙහෙවින් ම හේතු වූයේ උඩරට රාජ්‍යය ආර්ථික වශයෙන් දුබල කොට ලීමට ගෙනගිය මෙම වෙළඳ ඒකාධිකාරී ප්රතිපත්තියයි.
වෙළඳ බෝග වගාව
ලන්දේසීන් වෙළඳ ඒකාධිකාරයක් බිහි කිරීම නිසා ඇති වූ ප්රතිවිපාකයනට වඩා වැදගත් අත්දැකීම්, වෙළඳ බෝග වගාව උදෙසා ගෙනගිය ප්‍රතිපත්තියෙන් උද්ගත වූයේ යයි කිව හැකිය. 18 වන සියවසේ මැද භාගය වන තෙක් වත් කුරුඳු වගා කිරීමක් නොපැවැත්තේය. ඒ වෙනුවට මල්වතු ඔයේ සිට දැදුරු ඔය දක්වා වූ මුහුදුබඩ තීරුවේ ද රට මැද පෙදෙස්වල ද කැළෑවට වැවුණු කුරුඳු සමාගම විසින් ලබා ගන්නා ලදි. කැළෑබිම්වල හේන්ගොවිතැන් කොට අත්හළ පසු ඒවා කුරුඳු පැළෑටියේ වැඩීමට බෙහෙවින් හිතකර යැයි එදා සලකනු ලැබිණ. එහෙයින් 18 වන සියවසේ දී සීමාසහිත කාලයකට පමණක් හේන්වල කුරුඳු වැවීමට අවසර පත් නිකුත් කරන ලදි. කෙසේ වුවත්, කුරුඳු වැවෙන කැළෑබිම් හෙළිකිරීම බරපතළ වරදක් ලෙස සලකන ලද්දේ එම කැළෑ විනාශ වූ කල කුරුඳු අස්වැන්න අඩුව යනු ඇතැයි බියෙනි. ලෝටෙන් (1752-1757), ස්ක්‍රෝදර් (1757-1762) වැනි ආණ්ඩුකාරවරු කුරුඳු පැළෑටිය වැඩෙන හෝ එය වැවීමට යෝග්‍ය බිම්වල හේන් ගොවිතැනට අවසර නුදුන්හ. 18 වන සියවසේ මැද භාගය වන විට, පහතරට පෙදෙස්වල කුරුඳු නිෂ්පාදනය දුබලවීම හේතුකොටගෙන සමාගමේ ආදායම අඩුව යාමත් ඒ සමඟ ම යුරෝපීය වෙළඳපොළේ කුරුඳු ඉල්ලුම ඉහළ යාමත් නිසා මෙවැනි පියවර ගනු ලැබූ බැව් කිව හැකිය. 1760-1765 යුද්ධ අවස්ථාවේ දී හා ඉන් අනතුරුව දකුණු හා නිරිතදිග වෙරළබඩ ප්‍රදේශයෙහි වගාවක් වශයෙන් කුරුඳු වැවීම දියුණු කළ හැකි බව නියම වශයෙන් තේරුම් ගැනීමත් සමඟ කුරුඳු වැවීමේ ප්‍රතිපත්තිය පිළිගන්නා ලදි. මේ සම්බන්ධයෙන් කළ අත්හදාබැලීම් සාර්ථක වූ හෙයින්, සමාගමේ ස්වදේශීය මුලාදෑනිවරුන් දිගට ම කුරුඳු වැවීම සැලකිල්ලෙන් කළ යුතු යැයි තීරණය කළ අතර ම දේශීය ජනයා නිපදවන කුරුඳු රාත්තල් 30කට රික්ස් ඩොලර් 1 බැගින් ගෙවන බැව් ප්‍රකාශයට පත් කරන ලදි. කෙසේ වුවත්, මේ පෙදෙස්වල ජනගහනය වැඩිවීමත් සමඟ ම, ඔවුන්ගේ එදිනෙදා ජීවිතය සඳහා අවශ්‍ය කෘෂිභෝග වගාව පිණිස වැඩි වැඩියෙන් බිම් ප්‍රමාණයක් යොදා ගැනීමට සිදු වූ හෙයින් යුරෝපීය වෙළඳපොළේ ඉල්ලුම ඒ ආකාරයෙන් ම සැපයීමට ප්‍රමාණවත් වන තරම් කුරුඳු වැවීම ජනප්‍රිය නොවීය. 18 වන සියවස අග දී පොල් ආදි වැවිලි අතර කුරුඳු ද වගා කැරුණු වතුපිටි දක්නට ලැබුණ ද වෙළඳ බෝගයක් වශයෙන් කුරුඳු වගා කිරීමට ලන්දේසීන් යොමු වූයේ ඔවුන්ගේ පාලන සමයේ අවසාන කාලයේ වීමත්, වැසියන්ගේ එදිනෙදා ජීවිතයට ඉතාමත් අවශ්‍ය වූ කෘෂිකාර්මික කටයුතු උදෙසා අදාළ බිම් පෙදෙස් ඒ උදෙසා කැප කිරීමට සිදුවීමත් කුරුඳු වැවීමේ ප්‍රතිපත්තිය සාර්ථක නොවීමට තුඩු දුන් සේ පෙනේ.
මුළු දිවයිනේ ම කුරුඳු සැපයීමේ කටයුතු බලා කියා ගැනීම මහ බද්ද නම් වූ දෙපාර්තමේන්තුව භාරයේ පැවතුණි. කුරුඳු වැවෙන පෙදෙස්වල විසූ සලාගම කුලයේ අය අනිවාර්යයෙන් කළ යුතු සේවයක් විය, කුරුඳු තැළීම. මහ බද්ද කෙතරම් වැදගත් වූයේ දැයි කිවහොත් කිසිවිටෙකත් එහි කපිතාන් ධුරය ලන්දේසි ජාතිකයකුගෙන් බැහැර දෙනු නොලැබිණි. 18 වන සියවසේ දී ලන්දේසි වෙළඳ බෝග වගාකිරිමේ ක්‍රියාමාර්ගයට ඇතුළත් වූ අනික් ද්‍රව්‍ය නම් පුවක්, ගම්මිරිස්, එන්සාල් හා කෝපි වැනි ද්‍රව්‍යය.
පුවක් ලංකාවේ සෑම ගෙවත්තක ම පාහේ වැවුණු අතර, මෙය ප්‍රධාන වශයෙන් ම ඉන්දීය වෙළඳපොළේ විශාල ඉල්ලුමක් පැවති ද්‍රව්‍යයක් වූයේය. ලන්දේසීන් ආසියාතික වෙළඳාමින් ලාභ ලැබීම සඳහා පුවක් වෙළඳාම ගැන සැලකිලිමත් වූ බව පෙනේ. 18 වන සියවසේ මැද දී ලන්දේසීහු නිරිතදිග පෙදෙස්වලින් පමණක් වසරකට පුවක් අමුණු 3000ක් එක් කොට ගත්හ. මෙයින් අමුණු 800ක් පමණ කොළඹ දිසාවනියෙන් ද, සෙසු ප්‍රමාණය ගාලු, මාතර පෙදෙස්වලින් ද ලැබිණ. කොළඹ දිසාවනියේ පුවක්වලින් 2/3කට අමුණකට රික්ස් ඩොලර් 4/5 බැගින් ගෙවන ලද අතර සෙස්ස බදු වශයෙන් ලැබුණි. මෙවැනි අඩු මිලට ගත් පුවක් ඉන්දීය වෙළඳපොළේ රික්ස් ඩොලර් 97/12ක් තරම් ඉහළ මිලකට විකුණනු ලැබිණ. ගෙවූ සුළු මුදල පවා වැසියන්ට නියම ආකාරයෙන් නොගෙවන ලදි. එහෙයින් වැසියෝ සමාගමට පුවක් සැපයීමට පැකිලුණහ.
සමාගම වෙළඳ බෝගයක් ලෙස කෝපි ලංකාවට අඳුන්වා දීමට තීරණය කළේ 1722 දීය. මුල දී කෝපි රාත්තලකට ස්ටයිවර් 3ක මිලක් නියම විය. සමාගම 1723-1738 අතරතුර හැකිතාක් කෝපි මිලට ගැනීමට උත්සුක විය. 1738-1745 අතර කාලයේ දී භාර දෙනු ලැබූ කෝපි ගත්ත ද වැඩිපුර වගා කිරීමට ධෛර්ය නොදීමේ ප්‍රතිපත්තියක් ගෙන ගියේය. 1745 සිට කෝපි වගාව අධෛර්ය කළ යුතු බවට ඇම්ස්ටර්ඩෑම් සමාගමේ අධිකාරීන්ගෙන් නියෝග ලැබිණි. එහෙත් 1760 දී යළිත් සමාගම හැකිතාක් කෝපි මිලට ගැනීමට සූදානම් විය. මෙවැනි අස්ථිර තීරණ පමණක් නොව, වරින් වර මිල අඩු කිරීම ද, ස්වදේශිකයන් කෝපි වගාවට එතරම් උනන්දු නොවීමට ද එය අත්හැර දැමීමට ද හේතු විය. පසුව කොළඹ දිසාවේ පමණක් කෝපි වැවීම කළ බැව් පෙනී යන්නේ එහෙයිනි.
මුල දී, සමාගම ලංකාවේ ගම්මිරිස් වගාවට ධෛර්ය දීමෙහි ලා තරමක් දුරට පැකුලුණේ, එයින් මලබාරයේ ලන්දේසීන්ගේ සුප්‍රකට ගම්මිරිස් වෙළඳාමට පහර වදිනු ඇතැයි බියෙනි. කෙසේ වුවත් මේ අදහසට පටහැණිව ලංකාවේ ගම්මිරිස් වගාවට නොකඩවා ම අනුබල දෙන ලදි. සමාගම ලත් ගම්මිරිස් ප්‍රමාණයෙන් වැඩි කොටස උඩරට පෙදෙස්වලින් ලැබිය යුතුව තිබීම, පහතරට සමාගමේ පෙදෙස්වල ගම්මිරිස් වගාවට ධෛර්ය දීමෙහි ලා හේතු වූ බව පෙනේ. ෆන් ගොල්ලනැස්ස වැනි ආණ්ඩුකාරවරු ගම්මිරිස් වගාවට බිම් දීම වැනි ක්‍රියාමාර්ග පවා මෙහි ලා අනුගමනය කළ බැව් දක්නා ලැබේ. එහෙත් සමාගමේ නියෝග හෝ උනන්දු කිරීම් නොතකා වැසියා ගම්මිරිස් වගාවට වැඩි උනන්දුවක් නොදැක් වූ බව පැහැදිලිය. වෙළඳ බෝග වගාවේ අනුසාරයෙන් සමාගම තමන්ගෙන් වැඩි වැඩියෙන් රාජකාරි ඉටු කර ගනු ඇතැයි වැසියා තුළ වූ බිය මෙයට හේතු විය. සමාගම ගම්මිරිස් සඳහා ගෙවූ අඩු මිල වැඩිවැඩියෙන් නිෂ්පාදනය කිරීමට වැසියා උනන්දු කිරීමට තරම් ප්‍රමාණවත් වූයේ නැතැයි ස්ක්‍රෝදර් ආණ්ඩුකාරයා වරක් කියා සිටියේය. 1756 දී මිල වැඩි කිරීම, ගම්මිරිස් වැඩියෙන් ලබා ගැනීමට සමාගමට ආධාර වූයේය. මෙකී ද්‍රව්‍ය හැර කරදමුංගු පහතරට පෙදෙස්වල වගා කිරීමට අනුබල දෙනු ලැබූ වෙළඳ බෝගයක් වුව ද එම වගාව ද සාර්ථක නොවීය. වෙළඳ සමාගම ලංකාවේ ගෙවතු වගාවක් ලෙස එන්සාල් වැවීමට ද යොමු වූ බැව් ද යුරෝපයේ හා ආසියාවේ වෙළඳාමට 18 වන සියවසේ දී ලංකාවෙන් වැඩිවැඩියෙන් කරදමුංගු ඉල්ලා සිටි බැව්ද පෙනේ. 1702-1721 අතරතුර යුරෝපයට කරදමුංගු රාත්තල් 5,000-8,000 අතර ප්‍රමාණයක් ඉල්ලුම් කරන ලද අතර 1749 වන විට එය රාත්තල් 10,000 දක්වා ඉහළ ගියේය. මේ කරදමුංගුවලින් වැඩි කොටස උඩරටින් ලත් අතර මාතර දිසාවේ වැසියන් එය වැවූ බවට සාක්ෂ්‍ය තිබේ. 1743න් පසු කාලයේ දී සමාගම කොචින් ප්‍රදේශයෙන් ගෙන්වා ගත් විශේෂ එන්සාල් වර්ගයක් හේවාගම් කෝරළයේ වැවීමට උත්සාහ ගත්තේය. එහෙත් 1757 දී කරදමුංගු වැවීමේ උත්සාහය අත්හැර දමන ලදි.
සමාගම, වරින්වර මෙකී වෙළඳ බෝග වගා කිරීම යුරෝපීය හා ආසියාතික වෙළඳපොළේ උවමනාවන්ට සරිලන පරිදි පාලනය කිරීමට තැත් කළ අයුරු පෙනේ. මෙසේ වෙළඳ බෝග වගා කිරීම ඔවුන් විසින් ඉන්දුනීසියා ප්‍රදේශවල ද කරන ලද්දකි. ඉහත කී බාධාවන් නිසා මෙවැනි වෙළඳ බෝග වගාවට වැසියන් වැඩිවැඩියෙන් නොපෙලඹුණ ද, සිය ගෙවතුවල සුළු වශයෙන් නමුත් ඒවා වගා කොට, සුළු මුදලක් හෝ ලබා ගැනීමට ඔවුන් අපේක්ෂා කළ බව සිතිය හැකිය. 18 වන සියවසේ මැද භාගයේ දී පහතරට සමාජයේ යම් යම් කොටස් අතර, වෙසෙසින් ම සමාගම යටතේ සිටි ස්වදේශීය නිලධාරි කොටස් අතර, මිල මුදල් භාවිත වීමෙන් පෙනී යන්නේ මේ වෙළඳ බෝග වගාවෙන් ඔවුන් සෑහෙන මුදලක් උපයා ගන්නට ඇති බවයි.
ස්වදේශීය ජනයාගේ ආර්ථික කටයුතු
17 වන සියවස වන විට පහතරට පෙදෙස්වල වැසියාගේ ජීවිතය සෑහෙන තරම් වෙනස්කම්වලට භාජන වී පැවති බැව් දක්නා ලැබෙයි. පෘතුගීසි-ලන්දේසි හා කන්ද උඩරට රාජ්‍ය යුදවැදීම් හේතුකොටගෙන වී ගොවිතැන් කිරීමට ඇති වූ බාධා ද, හානි ද නිසා ලන්දේසි පෙදෙස්වල වැසියෝ රටමැද පෙදෙස් කරා සංක්‍රමණය වූහයි අනුමාන කිරීමට සිදු වේ. ලන්දේසීන්හට විරුද්ධව රාජසිංහ II රජු ගත් ක්‍රියාමාර්ග නිසා ද මුහුදුබඩ පෙදෙස්වල වැසියා රට මැදට පලාගිය බැව් පෙනේ. මේ හේතුව නිසා 16 වන සියවසේ සිට ම පහතරට ප්‍රදේශවල වී ගොවිතැනට එතරම් යහපත් වාතාවරණයක් නොවීය. ඒ කරුණු හැර, සෙසු භෞතික කරුණු නිසා ද වැසියා යොමු වූයේ වී ගොවිතැනින් ම ජීවත්වීමට වඩා සෙසු පරිපූරක කෘෂිකාර්මික මාධ්‍ය ඉවහල් කොටගෙන සිය දිවි පෙවෙත සලසා ගැනීමටය.
16 වන සියවසේ මුල දී පවා ලංකාවට සහල් ආනයනය කළ බැව් පෙනේ. මේ තත්ත්වය ඉනික්බිති තවදුරටත් වැඩි දියුණු වී ගිය බව ද පෙනෙයි. 17 වන සියවසේ දී ලන්දේසි වෙළඳ ඒකාධිකාරය නිසා සහල් ගෙන ආ විදේශ වෙළඳුන් ලංකාවට ඒම අඩු වී යෑම ද, ජාවා වැනි සෙසු පෙදෙස්වලින් සහල් සුලභ වශයෙන් ලබාගැන්මට අසීරු වීම ද නිසා 1656 දී බතාවියානු අධිකාරීහු ලංකාවේ වී ගොවිතැන දියුණු කිරීමට කියා සිටි බැව් පෙනේ. වාරිකර්මාන්ත නොසලකා හරිනු ලැබීමෙන් ජලය නොලැබී මාතර දිසාවේ ගිරුවාපත්තුව හා රයිගම් කෝරළේ යන පෙදෙස්වල වූ සරුසාර කුඹුරු වගා නොකළ බව 1769 දී ෆල්ක් ආණ්ඩුකාරතැන දුටුවේය. 18 වන මුළුල්ලේ ම, සමාගමේ අවශ්‍යතාවන්ට ප්‍රමාණවත් තරමින් හෝ සහල් නිපදවීම වඩ වඩාත් දුෂ්කර වී ගියේය.
ස්වදේශීය ජනයාගේ වී ගොවිතැන පිළිබඳ මන්දෝත්සාහීභාවයට මුල් වූයේ බතාවියානු අධිකාරීන් හැමවිට ම ලාභ චේතනාවෙන් කරුණු සලකා බැලීම හා ඔවුන්ගේ අනුත්සුකභාවය යයි පෙන්වා දී ඇත. ෆල්ක් (1765-1785) හා ෆන් ද ග්රාප් (1785-1794) යන ආණ්ඩුකාරවරුන් දෙපළගේ කාලයේ දී වී ගොවිතැන් කටයුතු උදෙසා මේ දිවයිනේ නිලධාරීන් දැක් වූ උනන්දුවට සරිලන ආධාර බතාවියෙන් නොලැබීම, ඒවා අසාර්ථක වි යාමට බෙහෙවින් තුඩු දී ඇත. ෆල්ක්ගේ සමයේ එවක කොළඹ දිසාපති වූ ද කොස්තා, කැලණි ගඟේ සිට මීගමු ඇළ දක්වා අමුණු 40,000 ක බිම් පෙදෙසක් වසා සිටි මුතුරාජ වෙළ, එහි දිය බස්සා හැර වගා කිරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළේය. 1768 දී මෙය අවසන් කළ විට, එයට ගිල්ඩර් 25,612ක වියදමක් දරා තිබුණ ද, එයින් අපේක්ෂා කළ තරම් අස්වැන්න මුලදී ම නොලැබුණු බැව් පෙන්වා දෙමින් බතාවිය දෝෂ දර්ශනයක යෙදුණේය. එපමණක් නොව මින් මතු එවැනි ක්‍රියාවනට පාඩමක් ලෙස ද එය ගෙනහැර දක්වන ලදි. ෆන් ද ග්රාප් සමයේ ඔහු වී ගොවිතැන අරභයා බෙහෙවින් උනන්දුව ක්‍රියා කළ ද බතාවිය ඊට පටහැණිව සිටියේය.
වැසියන් මෙවැනි දුෂ්කරතාවන් නිසා වී ගොවිතැන් කටයුතුවලින් ඈත් වී සිය දිවි පෙවෙත ගෙනයාමට හේන් හා ගෙවතු වගා කළ බව පැහැදිලිය. මේ වන විට, තම එදිනෙදා ජීවිතයට අදාළ තරමින් යමක් නිපදවා ගැනීමෙන් පමණක් ඔවුන් සෑහීමකට පත් වූ අයුරු දක්නා ලැබෙයි. 18 වන සියවසේ දී පහතරට ප්‍රදේශවල ජනයාගේ කිසියම් වර්ධනයක් සිදු වූ අතර ඒ හේතුකොටගෙන මෙම යැපීම් කෘෂිකර්මය ද ව්‍යාප්ත වූ බැව් කිව හැකි ය. 1750 ගණන්වල දී කොළඹ දිසාවනියේ පමණක් වසරකට හේන් වගා කිරීමට අවසර පත් 5,000ක් පමණ නිකුත් කිරීමට සිදු වී තිබීමෙන් පෙනී යන්නේ වැසියන් සිය යැපීම සඳහා කෙතරම් දුරට හේන් වගාවෙහි යෙදුණේ ද යන වගයි. එහෙත් සමාගම කුරුඳු රැකීමට ගෙන ගිය ක්‍රියාමාර්ග නිසා හේන්වගාවට බෙහෙවින් ම බාධා පැමිණි අයුරු යට දැක්විණි.
මේ කරුණු නිසා ලන්දේසි පාලනය යටතේ වැසියන් වැඩි වැඩියෙන් යැපීම් ආර්ථික මට්ටමට ඇද වැටුණු සැටි පෙනී යයි. ඔවුන්ගේ ආර්ථික තත්ත්වය බොහෝසෙයින් ම එදිනෙදා දිවිපෙවෙත පවා ඉතා අපහසුවෙන් සලසා ගත යුතු ආන්තික පලදාවන් ලැබෙන මාර්ගවලට සීමා වූවක් බවට පැමිණි බව පෙනෙයි.
පරිපාලනය; ආගමික හා සමාජ ප්‍රතිපත්ති
වෙළඳ සමාගම වෙනුවෙන් ලංකාවේ ප්‍රදේශ පාලනය කරනු ලැබුයේ ආණ්ඩුකාරයා සහ ඔහුගේ සහායට සිටි මන්ත්‍රණ සභාවක් මගින්ය. දිවයිනේ පෙදෙස් කොළඹ, යාපනය, මාතර යන කොමාන්ඩරි 3කට බෙදා ඒවා ආණ්ඩුකාරයාට යටත් කොමාන්ඩර්වරුන් යටතේ පැවතුණි. කොළඹ කොමාන්ඩර්ධුරය ආණ්ඩුකාරයා ම දැරුවේය. ලංකාවේ කටයුතු සමීක්ෂණය බතාවියේ ආණ්ඩුකාරයා හා ඔහුගේ මහා මන්ත්‍රණ සභාව මගින් සිදු වූයේය. සාමාන්‍යයෙන් දිවයිනේ පාලනය අරභයා පොදු ප්‍රතිපත්තිය නිර්දේශ කිරීම බතාවියානු අධිකාරීන් විසින් කරන ලද අතර, එදිනෙදා පාලනය පිළිබඳ කාර්යභාරය ආණ්ඩුකාරයාගේ වගකීම මත රඳා පැවතියේය. කොළඹ ‘රාද් පොලිටිකල්’ හෙවත් දේශපාලන කටයුතු පිළිබඳ මන්ත්‍රණ සභාව දිවයිනේ කටයුතු පිළිබඳ ආණ්ඩුකාරයාගේ උපදේශක මණ්ඩලය සේ ක්‍රියා කළේය. ඇතැම් අවස්ථාවන්හි දී බලකාමී ආණ්ඩුකාරවරු මේ ක්රමයෙහි වූ නිදහස සිය වාසියට ගෙන දිවයිනේ ක්‍රියා කලාපය උදෙසා නව ප්‍රතිපත්ති සකස් කිරීමේ ද යෙදුණහ. ලන්දේසි පරිපාලනයේ දී බොහෝ දුරට ම යොදා ගනු ලැබුයේ දේශීය මුලාදෑනි පෙළැන්තිය මය. ඉහළ නිලතල ලන්දේසීනට ද, ලන්දේසීන්ට ඉතා හිතවත් වූ දේශීයයනට ද දීම හැරෙන්නට පරිපාලන ක්රමයේ දේශීය අංශය වැඩි වෙනසකට භාජන නොවූයේය. ලන්දේසීහු මනා අධිකරණ පරිපාලන සංවිධානයක් ද පවත්වා ගෙන ගියහ. ප්‍රධාන දිසා ප්‍රදේශ තුනේ වූ මූලික උසාවි හැරෙන්නට ඒවායේ අභියාචනා විසඳීමට කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයක් ද විය. ලන්දේසීන් රෝම-ලන්දේසි නීතිය මෙරටට හඳුන්වා දුන්න ද ඔව්හු දේශීය නීති රීති සම්ප්රදායයන් නොපැහැදිලි තන්හි දී ද, එවැනි දෑ අදාළ නොවන අවස්ථාවන්හි දී ද හැරුණු විට, ස්වදේශීයයන් උදෙසා ස්වදේශීය නීති සම්ප්රදායයන් ම ක්‍රියාත්මක කළෝය.
ලන්දේසීන් රෙපරමාදු නිකායික ක්‍රිස්තු භක්තිකයන්වීම හේතුකොටගෙන, පෘතුගීසි සමයේ පහතරට පෙදෙස්වල ව්‍යාප්ත වූ කතෝලික සමය ද හින්දු හා බුදුසමයයන් ද ඔවුන්ගේ විරුද්ධත්වයට ලක් වූ නමුත්, බුදුසමයට වැඩිමනත් හිරිහැර ඇති වූ බවක් නොපෙනේ. ඒ වෙනුවට උඩරට රාජ්‍යයේ බෞද්ධ ප්රබෝධයේ කටයුතුවලට ඔවුන්ගේ සහාය ද වරින් වර ලැබුණේය. ලන්දේසි පාලන සමයේ ද රෙපරමාදු සමය එතරම් දුරට පැතිර නොයාමට හේතුවක් ලෙස පෙනී යන්නේ, අවශ්‍ය තරම් පූජකයන් නොමැති වීම වැනි කරුණුය. කෙසේ වුවත් ඔව්හු දිවයිනේ මනා පාසැල් සංවිධානයක් මගින් අධ්‍යාපන කටයුතු පැතිර වීමේ යෙදුණාහ. ප්‍රාදේශීය පාසැල්, ගම්බද පාසැල් හැරෙන්නට ඔව්හු කොළඹ උසස් අධ්‍යාපන පීඨයක් ද පැවැත්වූහ. වැසියාගේ ආවාහ විවාහ, උපත්, මරණ ලියාපදිංචි කිරීම පාසැල් ගුරුවරුන් භාරයේ තැබූහ. මේ අධ්‍යාපනය කියවීම, ලිවීම, ආගමික දැනුම වැනි දෑ මුල් කොට ගත්තක් වූයේය. ලන්දේසීහු පළමු වරට ලංකාවේ මුද්‍රණ ශිල්පය ඇතිකොට, ප්‍රධාන වශයෙන් ම ආගමික පොතපත ප්‍රචාරය කිරීමේ යෙදුණෝය.
ලන්දේසීන් සිය අර්ථ සිද්ධියට අදාළ වූ කුල ක්‍රමය වැනි දේශීය සමාජ සංස්ථාවන් වෙනස් කිරීමෙහි යෙදුණ බවක් නොපෙනේ. ඒ වෙනුවට ඔව්හු එය හැකි තරම් දුරට ආරක්ෂා කිරීමට උත්සාහගත්හ. බොහෝවිට කුලයෙන් පිටත ආවාහ විවාහ තහනම් කළහ. ඇළවල් මාර්ගයෙන් දිවයිනේ ගමනාගමන පහසුකම් ඇති කිරීම, ලන්දේසි බලපෑමෙන් යුත් ගෘහනිර්මාණශිල්පය, ගෘහභාණ්ඩ හා විසිතුරු උපකරණ ලන්දේසීන්ගේ සංස්කෘතියෙන් ලංකාවේ සමාජයට එක් වූ දායාද ලෙස හැඳින්විය හැකිය. ලන්දේසි පරිපාලනයට හවුල් වූ ඉහළ පෙළේ දේශීය නිලධාරීන්ගේ සමාජ ජීවිතය බොහෝසෙයින් ම ලන්දේසීන් ඇසුරෙන් ලත් සිරිත්විරිත් ගතිපැවතුම් අනුකරණයට නැඹුරු වූ බැව් පෙනේ. මුදලිවරුන් වැනි ඉහළ පෙළේ දේශීය පිරිස් සිය නිවෙස් අපරදිග පන්නයට ඉදි කළ අතර ම, ඒවා ලන්දේසි පන්නයට සැකසූ ගෘහභාණ්ඩ ආදියෙන් අලංකාර කළහ. ලන්දේසි ඇඳුම්පැලඳුම් හා විලාසිතාවන් අනුකරණය කෙරෙමින් ලංකාවේ කුලීන ස්ත්‍රීහු සිය ඇඳුම් සකස් කර ගත්හ. පහතරට පෙදෙස්වල උසස් කුලවතුන් එක් අතකින් ලන්දේසි ස්වාමි පක්ෂය අනුකරණයට පෙළඹී ගිය අතර අනෙක් අතින් දේශීය ජනයා අතර සිය ප්‍රභූත්වය පළ කිරීමට පහතරට පෙදෙස්වල සෑහෙන පමණ උනන්දුවකින් පැතිර ගිය බුදු සමයට අනුග්‍රහ කළහ. ලන්දේසි බස ලංකාවේ තරමක් දුරට ප්‍රචලිත විය. ලන්දේසි බසින් බිඳී ආ වදන් රැසක් ද සිංහලයට එක් වූයේය. අදත් දිවයිනේ ඇතැම් තැන්වල ලන්දේසි පන්නයට තැනූ දේවස්ථාන මෙන් ම, ගෙවල් දොරවල් ද දක්නා ලැබේ. ශ්‍රී ලංකාවේ වෙසෙන බර්ගර්වරු ලන්දේසීන්ගෙන් පැවතෙන කොටසකි.
(කර්තෘ: ඩී.ඒ. කොතලාවල)
(සංස්කරණය: 1974)