ඕස්ට්‍රල් දුපත්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Austral Islands). දකුණු ශාන්තිකර සාගරයේ විසිරී ගිය කුඩා දූපත් පන්තියකි. මේවා ටූබුඅයි (Tubuai) දූපත් නමින් ද හැඳින්වේ. මාරියා, රීමාතාරා, රුරුතු, ටූබුඅයි, රයිවවාආ, රාපා සහ මරෝතිරි යන ප්‍රධාන දූපත් සතකින් යුත් මේ දිවයින්වල සම්පූර්ණ භූමි ප්‍රදේශය ව.සැ. 115කි.

මෙයින් මාරියා දූපත අතොලයකි (atoll). අනික් දූපත් යමහල් ප්‍රභවකොට ඇති වූ ඒවායි. ඇතැම් දූපත් කොරල් පරවලින් යුක්ත ගැටපරවලින් වට වී ඇත. මරෝතිරි වූකලි ජනාවාසයෙන් තොර කුඩා පාෂාණමය දූපත් සමූහයකි. රුරුතු දිවයිනෙහි මැංගනීස් ලෝපස් ද රාපා දිවයිනෙහි කාෂ්ඨික ගල් අඟුරු (lignite) ද ස්වල්ප වශයෙන් ඇත. ඔෂියේනියා ප්‍රදේශයේ ප්‍රංසයට අයත් කොටසක් වූ මෙම දිවයින්වල පාලන මධ්‍යස්ථානය රුරුතු දිවයිනේ පිහිටි මොයෙරායි වේ. වනගහනය 4,371කි. මෙයින් තුනෙන් කොටසක් රුරුතු දිවයින් වැසියෝ වෙති. ඕස්ට්‍රල් දූපත් වාසින්ගෙන් බහුතරය පොලිනීසියන්වරුය. චීන වෙළඳුන් හා යුරෝපීයයෝ සුළු පිරිසක් ද වෙති.

කැළෑවලින් යුතු මේ දූපත්වලට ජල පහසුව ද තිබේ. පසු සාරවත්ය. වැනිලා, දුම්කොළ, කෙසෙල්, හුළංකීරිය, පොල් ආදිය මෙහි වවනු ලැබේ. ගව, අශ්ව, එළු ආදි සත්තු ද ඇති කරනු ලැබෙත්. පැදුරු හා තොප්පි සැදීම මෙහි එක ම කර්මාන්තයයි. ඒවායින් වැඩිහරියක් දේශසංචාරකයන්ට විකුණනු ලැබේ. කොප්පරා, කෝපි සහ ගවයෝ පිටරට යවන දේ අතර ප්‍රධානය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඕස්ට්‍රල්_දුපත්&oldid=12128" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි