ඕසෝන්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Ozone). මෙය වූකලි තීව්‍ර ලාක්ෂණික ගන්ධයක් සහිත නිලට හුරු වායුවකි. 1785 දී එම්. වැන් මාරුම් (Van Marum) විසින් මෙම වායුව ගැන සඳහන් කර ඇති නමුත් විශේෂ වායුවක් වශයෙන් ඕසෝන් හැඳිනගැනීමේ හා නම් කිරීමේ ගෞරවය (1840) සී.එෆ්. ෂ’න්බයින් (Schönbein) නමැත්තාට හිමි වේ. ඕසෝනිකරයක් උපයෝගී කොට ඔක්සිජන් නිහඬ විද්‍යුත් විසර්ජනයට භාජන කිරීමෙන් ඕසෝන් නිපදවිය හැකිය. ඊයම් හෝ ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩ උපයෝගී කොට සාන්ද්‍ර සල්පියුරික් අම්ලය (වි.ගු. 1.2) විද්‍යුත් විච්ඡේදනයට භාජන කිරීමෙන් වණික් කටයුතු සඳහා ඕසෝන් නිපදවනු ලැබේ. වාතයෙහි සීරුවෙන් පොස්පරස් කැබැල්ලක් දැවීමෙන් ද ප්ලෝරීන් ජලය සමග ප්‍රතික්‍රියා කරවීමෙන් ද පෙරොක්සයිඩ මත සීත සාන්ද්‍ර සල්පියුරික් අම්ලයේ ප්‍රතික්‍රියාකරණයෙන් ද ඕසෝන් ලැබේ. ඔක්සිජන් මත පාරජම්බූල කිරණවල ක්‍රියාකාරිත්වයෙන් ස්වාභාවිකව ඕසෝන් සෑදේ.

ඔක්සිජන්වල බහුරූපී ආකෘතියක් වූ ඕසෝන්වල රසායනික සූත්‍රය 03 වේ. අණුක භාරය 48.00කි. තාපාංකය සෙ: 112°කි. හිමාංකය සෙ. -251.4කි. වාතයට සාපේක්ෂව වි.ගු. 1.658කි. ද්‍රව ඕසෝන් නිල් පැහැති වේ. පහසුවෙන් ස්ඵෝටනය වේ. විෂ වායුවකි. කුරුඳු තෙලේ සහ ටර්පන්ටයින්වල ද්‍රාව්‍ය වේ.

ඕසෝන් වියෝජනය වීමෙන් ඔක්සිජන් ලැබෙන හෙයින් එය ප්‍රබල ඔක්සිකාරකයකි. රත් කරන ලද රිදී පත්‍රයක් සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් සිල්වර් පෙරොක්සයිඩය (Ag 2 02) ලැබේ. එසේ ම රසදිය සමග කෙරෙන ප්‍රතික්‍රියාවෙන් මර්කියුරස් ඔක්සයිඩය (Hg2 O) ලැබේ. මෙම ප්‍රතික්‍රියා දෙක ඕසෝන් හඳුනාගැනීම සඳහා උපයෝගී වේ.

ක්ලෝරීන් (බ.) මෙන් අයඩයිඩවලින් අයඩින් මුක්ත කිරීමට හැකියාවක් ඕසෝන්වලට ඇත. එහෙයින් තෙත පිෂ්ට-අයඩයිඩ කඩදාසියක් ඕසෝන්වලට නිරාවරණය වීමෙන් නිල් පැහැයට හැරේ. එහෙත් පිනොප්තලීන්වලින් තෙත් කරන ලද පිෂ්ට-අයඩයිඩ කඩදාසියක් ඕසෝන්වල දී රතු පැහැයට හැරේ. අයඩයිඩය මත ඕසෝන්වල ප්‍රතික්‍රියාකරණයෙන් ලැබෙන හයිඩ්රොක්සයිල් අයන (OH-) මීට හේතු වේ. ද්විත්ව බන්ධන ඇති කාබනික සංයෝග සමඟ ඕසෝන් ප්‍රතික්‍රියා කිරීමෙන් ඕසොනයිඩ ලැබේ. මෙම ඕසොනයිඩයන්ගේ ජලවිච්ජේදනයෙන් ලැබෙන ඵල වූ ඇලඩිහයිඩය හා අම්ලය හඳුනා ගැනීමෙන් කාබනික රසායන ද්‍රව්‍යයේ ද්විත්ව බන්ධනය පිහිටි ස්ථානය බලාගත හැකි හෙයින් කාබනික රසායන විද්‍යාවේ ඕසොනයිඩවලට වැදගත් තැනක් හිමි වේ.

ඕසෝන්වල ඇති ජීවාණු නාශක ගුණය නිසා ජලය පිරිසිදු කිරීමට ද වායුසමීකරණ කුටි, උමං ආදි ස්ථානවල වාතය පිරිසිදු කිරීමට ද එය යොදා ගනිති. එහෙත්1/1,000,000 වැනි සුළු ප්‍රමාණයකට නිරන්තරයෙන් නිරාවරණය වීම මාරාන්තික වන හෙයින් භාවිත වන ඕසෝන් ප්‍රමාණය පාලනය කිරීම ඉතා වැදගත් වේ. තවද, ඕසෝන්වල ඇති විරංජනකාරක ගුණය නිසා තෙල් වර්ග, පිටි වර්ග, රෙදි හා මේද විරංජනය කිරීම සඳහා ද ඕසෝන් යොදාගනු ලැබේ.

පාරජම්බූල කිරණවල ක්‍රියාකාරිත්වයෙන් ද, විදුලි කෙටීම් ඇති වන විට ද, ඕසෝන් සෑදෙන හෙයින් වායුගෝලයේ ස්වල්ප ප්‍රමාණයක් ඕසෝන් තිබේ. මෙම ඕසෝන් හේතු කොට ගෙන ම පාරජම්බූල ප්‍රදේශයේ ඇති සූර්ය ශක්තිය උරාගනු ලබන හෙයින් පෘථිවියේ වෙසෙන සත්ත්වයන් මෙම කිරණවලින් ආරක්ෂා වන අතර ඉහළ වායුගෝලයේ උෂ්ණත්වය පෘථිවියේ මතුපිට උෂ්ණත්වය හා දළ වශයෙන් සමාන තත්වයක රඳා පවතී. එහෙයින් වායුගෝලයේ ඇති ඕසෝන් ප්‍රමාණය කුඩා වුව ද ඉන් ඉටු වන සේවය ඉමහති. පෘථිවි පෘෂ්ඨයේ සිට ඉහළට විහිදී ඇති කිලෝමීටරයක් උස වාත කඳක අන්තර්ගත වන ඕසෝන් සියල්ල වෙන් කර, සාමාන්‍ය උෂ්ණත්ව පීඩනයට භාජන කළ විට එම ක්ෂේත්‍රයේ ම දෙනු ලබන ඕසෝන් කඳේ උස සෙන්ටිමීටරවලින් ගැනීමෙන් වායුගෝලයේ ඇති ඕසෝන් ප්‍රමාණය මනිනු ලැබේ. මෙම ඒකකය කිලෝමීටරයට සා.උ.පි. සෙමී. (cm. NPT per km.) වශයෙන් හැඳින්වේ. වායු ගෝලයේ ඇති ඕසෝන් ප්‍රමාණය ස්ථානයෙන් ස්ථානයට වෙනස් වේ. වායුගෝලයේ ඇතැයි සඳහන් වී ඇති ඕසෝන්වල අවම ප්‍රමාණය කිලෝමීටරයට සා.උ.පි. සෙමී. .008ක් පමණ වන අතර උපරිම ප්‍රමාණය .030ක් පමණ වේ. ඕසෝන් ස්වාභාවිකව සෑදීම මෙන් ම බිඳීම ද නිරන්තරයෙන් ම සිදු වන හෙයින් වායුගෝලයේ ඇති ඕසෝන් ප්‍රමාණය දළ වශයෙන් නියතව පවතී. වාතයේ ඝනත්වය, උෂ්ණත්වය, පාරජම්බූල කිරණ උරාගනු ලබන ප්‍රමාණය හා සෑදී ඇති ඕසෝන්වල ප්‍රමාණය යන කරුණු මත ඕසෝන්වල සෑදීම හා බිඳීම රඳා පවතී.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඕසෝන්&oldid=12125" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි