කොන්රාට් ආඩනව්වර්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Konrad Adenauer) (1876-1967). ජර්මන් ජාතික දේශපාලනඥයෙකි. නීතිඥයකු හා අර්ථ ශාස්ත්‍රඥයකු ද වූ මෙතෙමේ 1949 සිට 1963 සැප්තැම්බර් දක්වා බටහිර ජර්මන් සමූහාණ්ඩුවෙහි අගමැති පදවිය දැරීය.

කොලෝන් ප්‍රදේශයෙහි උපන් ආඩනව්වර් ද්විතීයික පාඨශාලා අධ්‍යාපනයෙන් පසු ෆ්‍රීබර්ග්, ම්‍යුනික්, බොන් යන විශ්වවිද්‍යාලයන්හි දී අර්ථ ශාස්ත්‍රය හා නීතිය හදාරා රජයේ පැමිණිලි භාර නීතිඥ වෘත්තියෙහි යෙදුණේය. කතෝලික මධ්‍යස්ථ පක්ෂයේ අපේක්ෂකයකු වශයෙන් කොලෝන්හි නාගරික මැතිවරණයකට ඉදිරිපත් වී ජය ගත් ආඩනව්වර් පිළිවෙළින් නියෝජ්‍ය නගරාධිපති (1906), ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය නගරාධිපති (1911) යන තනතුරු ඉසිලීය. 1917 දී හේ එහි නගරාධිපති ධුරයට තෝරා පත්කර ගනු ලැබීය. ජර්මනියේ ප්‍රධාන දේශපාලන පක්ෂ එක්සත් කොට සභාග ආණ්ඩුවක් පිහිටුවා එහි නායකත්වය ගැනීමට කරන ලද ආරාධනය ප්‍රතික්ෂේප කළ කොන්රාට් ආඩනව්වර් 1933 දී ඇඩොල්‍ෆ් හිට්ලර්ගේ නායකත්වයෙන් යුත් ජාතික සමාජවාදී පක්ෂය බලයට පැමිණෙන තෙක් ම කොලෝන්හි නගරාධිපති ධුරය ඉසිලීය.

ආඩනව්වර් හා හිට්ලර් අතර එදිරිවාදුකම් ආරම්භ වූයේ නගරශාලාවෙහි ස්වස්තික කොඩිය එසවීමට ආඩනව්වර් විරෝධය පළ කළ අවස්ථාවේ දීය. හිට්ලර්ගේ විරුද්ධත්වය එන්ට එන්ට ම වැඩිවූයෙන් ආඩනව්වර්ට කීප වරක් ම සිර දඩුවම් විඳීමට සිදු විය. ඔහු අවසන් වරට සිරභාරයෙන් නිදහස් වන විට යුද්ධය අවසන් වීමට ඔන්න මෙන්න කියා තිබිණි. නැවතත් ඔහු කොලෝන් නගරාධිපති ධුරයට පත් වූ නමුත් අභිනවයෙන් පිහිටුවන ලද යුද්ධ ආණ්ඩුවට පක්ෂපාත නොවීමේ චෝදනාව පිට බ්‍රිතාන්‍යයන් විසින් ඉන් නෙරපනු ලැබීය. ඉන්පසු හේ පක්ෂයක් ගෙන දේශපාලන කටයුතුවල උත්සුක වූයේය. අලුතින් පිහිටුවන ලද ක්‍රිස්ටියන් ඩිමොක්රැටික් පක්ෂය ඔහුගේ ඒ ප්‍රබල ව්‍යායාමයේ ප්‍රතිඵලය විය.

II ජගත් සංග්‍රාමයේ දී කොන්දේසි විරහිතව ජර්මනිය යටත් වූ පසු ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය, රුසියානු මිත්‍රපාක්ෂිකයන් අතර ජර්මනිය දෙකඩ කොට බෙදාගන්නා ලදී. 1948 දී බටහිර ජර්මනියේ ආණ්ඩුක්‍රමය සම්පාදනය කිරීම සදහා ආරම්භ කරන ලද පාර්ලිමේන්තු කවුන්සලයේ සභාපති තනතුරට ආඩනව්වර් තෝරාගනු ලැබීය. එමගින් යෝජනා කරන ලද ආණ්ඩුක්‍රමය බටහිර ජර්මනියේ රාජ්‍යයන් විසින් ද බ්‍රිතාන්‍යය විසින් ද පිළිගන්නා ලදින් 1949 සැප්තැම්බර මාසයේ දී බටහිර ජර්මන් සමූහාණ්ඩුව පිහිටුවන ලදි. මෙහි ප්‍රථම චාන්සලර් (අගමැති) වරයා වූයේ ආඩනව්වර්ය.

බටහිර බලවතුන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ ආඩනව්වර් කොමියුනිස්ට් පක්ෂය ආදි අනික් දේශපාලන පක්ෂවල දැඩි විරුද්ධත්වයට මුහුණපෑවේය. එහෙත් පසුව එක් අරමුණක් සඳහා එනම් ජර්මනිය බ්‍රිතාන්‍ය පාලනයෙන් මුදා ගැනීමේ පරමාර්ථය උඩ, සියලු ම දේශපාලන පක්ෂ එකමුතු විය. බටහිර ජර්මනිය බටහිර ජාතීන්ගේ පාලනයෙන් මුදා ස්වාධීන රාජ්‍යයක් බවට පත් කරමින් බ්‍රිතාන්‍යය, ප්‍රංසය, ඇමෙරිකාව හා බටහිර ජර්මනිය විසින් අත්සන් තබන ලද සාම ගිවිසුම වූකලි ආඩනව්වර්ගේ ප්‍රධාන ම ජයග්‍රහණය වේ. බටහිර ජර්මනිය ස්වාධිපත්‍යය ලැබීමෙන් පසු බටහිර යුරෝපීය සංගමයටත් උතුරු අත්ලන්තික් ගිවිසුම් සංවිධානයටත් ඇතුළු විය. කොමියුනිස්ට්වාදය යුරෝපීය රටවල පැතිරීම වැළැක්වීමට අධිෂ්ඨාන කරගත් ආඩනව්වර් යුරෝපය ඒකාබද්ධ වීමෙන් පමණක් එය වැළැක්විය හැකිය යන අදහස පෙරදැරිව ක්‍රියා කෙළේය.

ආඩනව්වර්ගේ පාලන සමයේ දී බටහිර ජර්මනිය ආර්ථික තත්වය අතින් ශීඝ්‍ර දියුණුවක් ලැබුවේය.

ඔහුගේ පාලනයේ ඒකාධිපති අංග වී යැයි ඔහුට විරුද්ධව චෝදනා එල්ල විය. බටහිර හා නැගෙනහිර ජර්මන් ප්‍රදේශ එකතු කොට එක්සත් ජර්මනියක් නැවත ඇති කිරීමට සැලකිලිමත් නොවීය යනු ද ඔහුට විරුද්ධව කරන ලද චෝදනාවකි.

(සංස්කරණය: 1965)