ජාත්‍යන්තර ශබ්දශික්ෂා හෝඩිය (International Phonetic Alphabet – IPA)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

භාෂාවක් කථා කිරීමේ දී භාෂකයන්ගේ මුවින් නිකුත් වන ශබ්ද නිරවද්‍ය ලෙස ලිඛිතව නිරූපණය සඳහා භාවිත වන සංකේත මාලාවක් වන මෙය වාග්විද්‍යාඥයන්ට, භාෂා ගවේෂකයන්ට සහ භාෂා හදාරන සිසුන්ට ඉතා නිරවද්‍ය ලෙස භාෂාවක් උච්චාරණය කිරීමට හැකි වන අයුරින් ජාත්‍යන්තර වශයෙන් සකසා ගන්නා ලද හෝඩියකි.

වශයෙන් එකිනෙකට වෙනස් ශබ්ද හමුවේ. උදාහරණ වශයෙන් සිංහල භාෂාවේ ‘ඩ’ ශබ්දයෙහි ප‍්‍රභේද තුනකි. එක ම භාෂාවේ වුව ද යෙදෙන පරිසරය අනුව ශබ්ද උච්චාරණය වෙනස් වන අවස්ථා දක්නට ලැබේ. සිංහල භාෂාවේ ‘ර’ යන්න වචන මුල රේඵය වශයෙන් යෙදුණත් වචන මැද යෙදීමේ දී තාලනයක් වේ. ඇතැම් අපි‍්‍රකානු භාෂාවල සිංහල භාෂකයනට කිසිසේත් ම ග‍්‍රහණය නොවන ප්ලූත සහ චූෂණ ආදි ලෙස හඳුන්වනු ලබන ශබ්ද දක්නට ලැබේ.

ලෝකයේ භාෂාවල පවතින මේ ආකාරයේ ශබ්දමය විවිධතාව අවබෝධ කරගැනීමත් ඒවා නිවැරදි ව නිරූපණය කිරීමත් ජාත්‍යන්තර ශබ්දශික්ෂා හෝඩියේ පරමාර්ථය වේ. ඒ අනුව භාෂාවක වාගාලාප නිවැරදිව උච්චාරණය කිරීමට හැකියාව ලැබේ.

පළමුවෙන් ම මෙම සංකල්පය ලොවට හඳුන්වා දෙන ලද්දේ ඔත්තො ජෙස්පර්සන් (Otto Jesperson) නමැති වාග්වේදියා විසිනි. ඔහු විසින් පෝල් පැසී (Paul Passy) නමැති වාග්වේදියාට යවන ලද ලිපියක මෙම අවශ්‍යතාව ගැන සඳහන් කොට තිබුණි. එම සංකල්පය ඇසුරින් පෝල් පැසී ප‍්‍රමුඛ ව ප‍්‍රංසයේ ජාත්‍යන්තර ශබ්දවිද්‍යා සංගමය (Association Phonetique Internationale) විසින් 1888 දී ජාත්‍යන්තර ශබ්දශික්ෂා හෝඩිය සැලසුම් කොට ප‍්‍රකාශයට පත් කරන ලදි. එම සංගමය මූලික වශයෙන් ප‍්‍රංස ජාතික භාෂා ගුරුවරුන්ගෙන් සැදුම් ලද්දක් විය. එහි අරමුණ වූයේ මෙකී හෝඩිය හඳුන්වා දීමෙන් ලෝකයේ සෑම භාෂණ ශබ්දයක් ම නියෝජනය වන අයුරින් සෑම භාෂාවක් ම උපුටා දැක්විය හැකි පොදු ව්‍යවහාරික අක්ෂරමාලාවක් නිර්මාණය කිරීමයි. 19 වන සියවසේ අග වන විට වර්ධනය වෙමින් පැවැති වාග්විද්‍යා අධ්‍යයන සඳහා මෙම හෝඩිය මහෝපකාරී විය. 1888 සිට ක‍්‍රමයෙන් නවාංග එකතු කරමින් වැඩිදියුණු කරන ලද ජාත්‍යන්තර ශබ්දශික්ෂා හෝඩියේ 7 වන සංස්කරණය 2005 දී නිකුත් කෙරිණ. ජාත්‍යන්තර ශබ්දශික්ෂා හෝඩියේ භාවිතය කරුණු තුනක් යටතේ දැක්විය හැකි ය.

1. ශබ්දකෝෂවල වචන උච්චාරණය දැක්වීම
2. ලේඛන ක‍්‍රමයක් නොමැති භාෂා ලියා දැක්වීම
3. ග‍්‍රන්ථකරණයේ දී විදේශීය භාෂාවලින් ලියැවෙන වචනවල උච්චාරණය දැක්වීම


ජාත්‍යන්තර ශබ්දශික්ෂා හෝඩියට පදනම වී ඇත්තේ මානව භාෂණයේ උච්චාරණයයි. ලෝකයේ භාෂා විශාල සංඛ්‍යාවක් ව්‍යවහාර වුව ද ඒ හැම භාෂාවක ම ඇති සෑම ශබ්දයක් ම උච්චාරණය වන අයුරු පෙන්විය හැකි සීමිත සංකේත සමූහයකින් ජාත්‍යන්තර ශබ්දශික්ෂා හෝඩිය සමන්විත වී ඇත. එහෙයින් මෙය මානව භාෂාවේ උච්චාරණයේ පිළිබිඹුව ලෙස හැඳින්විය හැකි ය. මිනිසා භාෂණ ශබ්දයක් උච්චාරණය කිරීම සඳහා

මහාප‍්‍රාචීරයේ සිට නාසාග‍්‍රය දක්වා ශාරීරික කොටස් භාවිත කරයි. මෙම කොටස් සමූහය උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය ලෙස හැඳින්වේ.

මහාප‍්‍රාචීරය තෙරපීමෙන් පෙනහැල්ලෙන් නිකුත් වන වාතය ස්වර තන්තු හරහා ගමන් කිරීමෙන් හඬ නිෂ්පන්න වේ. මෙම හඬ අබාධිත ව (බාධාවක් නොවී) මුඛ රන්ධ‍්‍රයෙන් හෝ නාසා රන්ධ‍්‍රයෙන් හෝ පිටවීමෙන් භාෂණ ස්වර ශබ්ද නිෂ්පන්න වේ. ස්වර ශබ්ද වර්ගීකරණය මූලික වශයෙන් සාධක තුනක් මත සිදු කෙරේ.

1. දිව උස් පහත් වන ප‍්‍රමාණය
2. උස් පහත් වනුයේ දිවෙහි කුමන කොටස ද යන්න
3. තොල්වල පිහිටීම

දිව උස් පහත් වන ප‍්‍රමාණ 7 කි.

1. උච්ච
2. උපඋච්ච

3. අධිමධ්‍ය
4. මධ්‍ය
5. උපමධ්‍ය
6. අධිඅවච
7. අවච


දිව කොටස් තුනකට බෙදේ.

1. පූර්ව ජිහ්වාව
2. මධ්‍ය ජිහ්වාව

3. අපර ජිහ්වාව


තොල්වල පිහිටීම දෙයාකාර ය.

1. ආකුචිත බව (රවුම් වීම)

2. විකුචිත බව (පැතිරීම)


වායු ධාරාව ස්වර තන්තු හරහා නිකුත් වී නිෂ්පන්න වන හඬ උච්චාරණ ස්ථාන හා උච්චාරණ කරණ මගින් විවිධාකාරයට පාලනය කිරීමෙන් (බාධා පැමිණවීමෙන්) භාෂණ ව්‍යඤ්ජන ශබ්ද නිපදවා ගනු ලැබේ.

උඩු තොල, උඩු ඇන්දේ දත්, දත්වැටිය, මුදුන් තල්ල, දත් වැටියේ පසුකොටස, මෘදු තල්ල, රසනිකාව, ග‍්‍රසනිකාව උච්චාරණ ස්ථාන වන අතර යටිතොල, දිවේ ඉදිරි කොටස, දිවේ තුඩ, දිවේ මැද කොටස, දිවේ පසු කොටස, ස්වර තන්තු උච්චාරණ කරණ වේ.

උච්චාරණ ස්ථානය උච්චාරණ කරණය පාරිභාෂික වචනය
උඩුතොල යටිතොල ඕෂ්ඨජ
උඩු ඇන්දේ දත් යටිතොල දන්තෝෂ්ඨජ
උඩු ඇන්දේ දත් දිවේ ඉදිරිකොටස දන්තජ
දත්වැටිය දිවේ ඉදිරිකොටස දන්තෝජචාරජ
මුදුන් තල්ල දිවේ තුඩ මූර්ධජ
දත් වැටියේ දිවේ ඉදිරි කොටස තාලූජ
පසු කොටස දන්තෝපචාරජ
මුදුන් තල්ල දිවේ මැද කොටස තාලූජ
මෘදු තල්ල දිවේ පසු කොටස කාකුද්‍ය
රසනිකාව දිවේ පසු කොටස රසනික
ග‍්‍රසනිකාව දිවේ පසු කොටස ග‍්‍රසනික
ස්වරතන්තු ස්වර තන්තු විඛාසක


මෙම උච්චාරණ ස්ථාන හා කරණ ගැටීමෙන් ඇතිවන වායු ධාරාවේ අවරෝධයෙහි ස්වරූපය අනුව ව්‍යඤ්ජන ශබ්ද වර්ග 12 කි.

නාසික්‍ය, ස්පර්ශ, ඝර්ෂ, සාමීප්‍ය, පාර්ශ්වීය ඝර්ෂ, පාර්ශ්වීය, පාර්ශ්වීය චූෂණ, තාලන, ප්ලූත, අන්තර් විදාරිත, චූෂණ, රේඵ


උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය සහ උච්චාරණ ස්ථාන සහ කරණ පිහිටා ඇති ආකාරය පහත රූප සටහන මගින් පෙන්වා ඇත

(රූපය 1 : උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය)
(රූපය 2 : උච්චාරණ ස්ථාන සහ කරණ)


ජාත්‍යන්තර ශබ්ද ශික්ෂා හෝඩියේ නවතම සංස්කරණය 2005 වර්ෂයේ දී නිකුත් විය. ශබ්ද උච්චාරණය කරන ආකාරය අනුසාරයෙන් එම ශබ්දවලට යොදා ඇති සංකේත මාලාව පහත දැක්වේ.

(රූපය 3 : ජාත්‍යන්තර ශබ්දශික්ෂා හෝඩිය 7 වන සංස්කරණය 2005) (ස්වර සටහන)
(රූපය 4 : ජාත්‍යන්තර ශබ්දශික්ෂා හෝඩිය 7 වන සංස්කරණය 2005) (ව්‍යඤ්ජන සටහන)


-ආර්. පී. අයි. එල්. පියරත්න-