ජෝර්දි ද ඇල්බුකර්ක් (ආල්බුකෙර්ක)
(Jorde de Albuquerque). කලක් ලංකාවේ ප්රතිකාල් විජිතයන්හි කපිතන් ජනරාල් ධුරයේ කටයුතු කළ මොහු 1619 දී ඉන්දියාවේ පෘතුගීසි විජිතයන්හි ප්රතිරාජ ධුරයට පත් වූ ෆෙර්නාවෝ ද ඇල්බුකර්ක් (බ.) ගේ පුත්රයාය. තම පියා ප්රතිරාජ ධුරයට පත් වන අවස්ථාවේ ඔහු කොළඹ කපිතන් ධුරයක කටයුතු කළේය. පියාගේ ආධාරයෙන් ඔහුට 1620 දී ලංකාවේ කපිතන් ධුරය ලබා ගැනීමට හැකි විය. පාලනයෙහි දක්ෂකමක් නොදැක්වූ ඔහු සීමාන්තික ක්රියා හේතු කොටගෙන සුළු කලකින් ම මහජනයාගේ අප්රසාදයට පත් විය. ඔහු මරා දැමීමට පවා කුමන්ත්රණ කිහිපයක් වූ බව ක්වේරොස්ගේ ග්රන්ථයේ සඳහන් වේ. ඔහුගේ පාලනයට විරුද්ධව පෘතුගීසි හමුදා අතර ද නොසන්සුන්භාවයක් පැතිර ගියේය. ඔවුහු ඇල්බුකර්ක්ට විරුද්ධව පෘතුගාලයේ පිල්ප් රජුට පෙත්සම් ඉදිරිපත් කළහ. කොන්ස්තන්තීනු ද සා කපිතන් ජනරාල් ධුරයෙන් ඉවත් කළ ආකාරය ගැන කළකිරී සිටි රජතුමාගේ නියමයන් අනුව ඇල්බුකර්ක්ට 1623 දී ලංකාවෙන් පිට වී යාමට සිදු විය.
ඔහුගේ පාලන සමයේ දී සිදු වුණු වැදගත් සිද්ධියක් වශයෙන් සැලකිය හැක්කේ කළුතර කොටුව ශක්තිමත් ලෙස ගොඩනැඟීම පමණි.
(සංස්කරණය: 1967)