ටාර්ගුම් ඇරමෙයික් බයිබලය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Targum Aramanic Bible). මෙයින් අදහස් කෙරෙන්නේ ඇරමෙයික් බසට පරිවර්තනය කරන ඬලද බයිබඬලය යනුයි. එසේ වුව ද, මෙයින් අදහස් කෙරෙනවාට වඩා විශේෂ අර්ථයක් එයින් ගම්‍යමාන වන බව පැවසිය යුතු ය. එහෙයින් එය හරිහැටි අවබෝධ කර ගැනීම පිණිස සවිස්තර අර්ථ කථනයක් අවශ්‍ය වේ.

කිතුනුවන්ගේ ශුද්ධ ලියැවිලි සේ සැලකෙන බයිබලය පැරණි ගිවිසුම සහ නව ගිවිසුම යැයි කොටස් දෙකකින් සමන්විත ය. ඒ දෙකින් වඩා විශාල ග්‍රන්ථය වන පැරණි ගිවිසුම රචනා වී ඇත්තේ පැරණි හීබෲ භාෂාවෙනි. ඊට ඇතුළත් වන්නේ ලෝකයේ ආරම්භයත්, මිනිසාගේ පහළ වීම හා මිනිස් වර්ගයාගේ ව්‍යාප්තියත්, නෝවාගේ ජල ගැලීමෙන් ලෝකය එහෙම පිටින් ම විනාශ වී අලුත් ලෝකයක් බිහි වීමත්, මිසරයේ පාරාවෝ රජවරුන් විසින් වහල් මෙහෙයට ගෙනයනු ලැබ සිටි ඊශ්‍රායෙල් ජනතාව මෝසෙස් විසින් ඉන් මුදවාගෙන ආපසු සිය රටට ගෙන එනු ලැබීමත්, පසුව බැබිලෝනියන් හා රෝම ආක්‍රමණයන් හේතු කොටපෙන යුදෙව් ජනතාව අත්විඳි අභාග්‍යසම්පන්න ඉරණමත් ඇතුළු යුදා දේශයේ ඉතිහාසයත්, දාවිත්ගේ ගීතාවලිය, හිතෝපදේශ ඇතුළු කාව්‍යමය රචනා කිහිපයක් හා විමුක්තිදායකයාගේ ලොවැ පහළ වීමත්, දෙවියන් වහන්සේට පිටුපෑම නිසා මිනිස් වර්ගයාට අත්විඳින්නට සිදු වූ දුර්විපාකත් පිළිබඳ ව අනාගත වක්තෲන් පිරිසක් විසින් පළ කරන ලද අනාවැකි ද අඩංගු ග්‍රන්ථ 39කි. බයිබලයේ මෙම කොටස යුදෙව් ආගමිකයන්ටත්, කිතුනුවන්ටත්, එක්තරා ප්‍රමාණයකට ඉස්ලාම් භක්තිකයන්ටත් පොදු වූ ධර්ම ග්‍රන්ථයකි. කිතුනුවනට පමණක් විශේෂ වූ නව ගිවිසුමට යේසුස් වහන්සේගේ ජීවන චරිතයත්, උන්වහන්සේගේ ඉගැන්වීම ද ඇතුළත් ශුභාරංචි හෙවත් සුබසුන් සතරත්, ක්‍රිස්තු ධර්මය යුරෝපයේ පතුරුවාලීමේ ප්‍රධාන කාර්යභාරය ඉටු කළ ශාන්ත පාවුල්‍ගේ යුග මෙහෙවරත් විස්තර කරන ‘ක්‍රියා’ පොතත්, ඔහු විසින් විවිධ යුරෝපීය ජන කොටස්වලට යවන ලද ධර්ම ලිපි ගණනාවකුත් අන්තර්ගත ව ඇත.

මෙයින් ඇරමෙයික් බසට පරිවර්තනය වූයේ යුදෙව් ආගමිකයන් තමන්ගේ ශුද්ධ ලියැවිලි ලෙස සැලකූ, හීබෲ භාෂාවෙන් රචිත පැරණි ගිවිසුම ය. ඇරමෙයික් යනු ක්‍රි.පූ. 3 සියවසේ පමණ සිට ක්‍රි.ව. 5 වැනි සියවස පමණ දක්වා යුදා දේශයේත්, ඇසිරියාව, මෙසොපොතේමියාව වැනි ප්‍රදේශවලත් ජනතාව ව්‍යවහාර කළ පොදු බස ය. යේසුස් වහන්සේ කථා කළේ ද ඇරමෙයික් බසිනි.

කාර්මික විප්ලවය එනතුරු ම යුරෝපයේ බහුතර ජනතාව, ජනගහනයෙන් 85%-95% පමණ, අකුරු නොදත්තෝ වූහ. ප්ලේටෝ, සොක්‍රටීස් ආදී දාර්ශනිකයන් ජීවත් වූ ක්‍රි.පූ. 5 වැනි සියවසේ පවා ඇතැන්ස්හි අකුරු දත් ජනතාව සිටියේ 10%-15% අතර සංඛ්‍යාවකි. ග්‍රීක නාට්‍ය ජනතාව රසවින්ඳේ කියැවීමෙන් නොව ඇසීමෙන් හා බැලීමෙනි. ගලීලය වැනි ප්‍රදේශවල ග්‍රාමීය ජනතාවගෙන් වැඩි පිරිස ජීවිකාව සඳහා ගොවිතැන ධීවර කර්මාන්තය හෝ කලා ශිල්පවල නියුතු අය වූහ. ඔවුහු අකුරු කියැවීම හෝ ලිවීම නොදත්හ. යේසුස් වහන්සේට කියවන්නට හා ලියන්නට හැකි වූ අතර එතුමන් හීබෲ බයිබලය ද කියවා තිබිණි. එහෙත් බහුතර ජනතාව දැනුම ලබා ගත්තේ ශ්‍රැති සූචන මාර්ගයෙනි. යේසුස් වහන්සේ ‘කන්ද උඩ දේශනයේදී’ ‘නුඹලා අසා ඇත’ යනුවෙන් පැවසූයේ, ඔවුනට කියවා ලබා ගත් දැනුමක් නොතිබුණු හෙයිනි.

ලෝකයේ පුදුම හතෙන් එකක් වූ බැබිලෝනියාවේ එල්ලෙන උයන නිර්මාණය කැරවූ නෙබූදැඩ්සෙනාර් (ක්‍රි.පූ.634-562) රජ 37 වසරක් (ක්‍රි.පූ.605-562) එරටේ පාලකයා විය. ක්‍රි.පූ.601 දී හෙතෙම ජෙරුසලම ආක්‍රමණය කොට, ක්‍රි.පූ.587 දී ජෙරුසලමේ පිහිටි ඔවුන්ගේ ප්‍රධාන දේව මාලිගාව විනාශ කොට, යුදා දේශයෙන් යුදෙව්වන් සෑහෙන සංඛ්‍යාවක් බැබිලෝනියාවට පැහැර ගෙන ගොස්, ඔවුන් යුප්‍රටීස් හා ටයිප්‍රීස් නදී නිම්නවල පදිංචි කැරැවී ය. මේ කාලය වන විට බැබිලෝනියාවේ මැටි පුවරු ලියැවී තිබුණු භාෂාව අභාවයට ගොස්, ඇසිරියාව හා බැබිලෝනියාව වැනි රටවල ජනතාව එදිනෙදා ව්‍යවහාර කළ භාෂාව බවට පත්ව තිබුණේ නිරිත දිග ආසියාවේ පොදු ජනයා ව්‍යවහාර කළ ඇරමෙයික් භාෂාවයි. රාජ්‍ය තාන්ත්‍රික, වාණිජ්‍ය හා සම්බන්ධතා පවත්වාගෙන යන ලද්දේ එබසිනි. එම බස භාවිත කළ ජනතාව සමග ජීවත් වූ මේ යුදෙව්වෝ ක්‍රමයෙන් එම බස ව්‍යවහාර කරන්නට හුරුපුරුදු වූයෙන්, ආගමික හා ශාස්ත්‍රීය කටයුතු සඳහා පමණක් ඔවුන්ගේ මව් බස වූ හීබෲ භාෂාව යොදා ගත්හ. මුල දී ඔවුන් සිය පවුල තුළ මව් බස ව්‍යවහාර කළ අතර, කල්යෑමේ දී බාහිර බලපෑම් හේතු කොටගෙන එය ද ගිලිහී ගියේ ය.

නෙබූදැඩ්නෙසාර් විසින් අල්ලාගෙන යන ලද ජනතාවගෙන් හිස් වූ පලස්තීනය තුළ ද එවන් විපර්යාසයක් සිදු වෙමින් පැවතුණි. වෙනත් අසල්වැසි දේශයන්ගෙන් පලස්තීනයට කඩාවැදුණු සංක්‍රමණිකයෝ නව යුදෙව් ජනාවාසයන්ගෙන් තොර වූ නදියේ වම් පස මිටියාවත සිය වාසභවනය කොට ගත්හ. වාර්තාගත වී නැතත්, මෙයත් නෙබූදැඩ්නෙසාර්ගේ වැඩපිළිවෙළක් සේ සිතන්නට කරුණු තිබේ. මේ සියලු ම ජනකොටස්වලට තමන්ගේම මව් බසට අමතර ව, සියල්ලට ම පොදු වූ භාෂාව වූයේ ඇරමෙයික් ය. කල්යත්ම පලස්තීනයේ රැඳුණු ජනතාවත්, බැබිලෝනියාවේ නව ජනාවාසවල ජීවත් වූ ඔවුන්ගේ ඥාති පිරිසත් යන සියල්ලෝ ම සිය මව් බස වූ හීබෲ භාෂාව අතහැර ඇරමෙයික් බස වහරන්නට හුරු වූහ.

නෙබූචැඩ්නෙසාර් විසින් ක්‍රි.පූ. 587 දී විනාශ කරන ලද යුදෙව්වන්ගේ ජෙරුසලම් දේව මාලිගාව දාරියුස් (ක්‍රි.පූ.522-486) නම් පාරසික රජු විසින් ස්වකීය රාජ්‍යප්‍රාප්තියෙන් 6 වැනි වසරේ දී එනම් ක්‍රි.පූ. 516 දී නැවත ගොඩනඟා අවසන් කරන ලදි. මෙම ද්විතීය දේවස්ථානය ක්‍රි.ව. 70 දී රෝම හමුදා විසින් ජෙරුසලම වටලා නැවත විනාශ කරන ලදි. මෙම යුගය, එනම් ක්‍රි.පූ. 516 සිට ක්‍රි.ව. 70 දක්වා වූ කාල පරිච්ඡේදය, ද්විතීය දේවස්ථාන යුගය ලෙස හැඳින්වේ. මෙම විනාශයට හේතු වූයේ ක්‍රි.ව. 66 දී රෝම ආධිපත්‍යයට එරෙහි ව යුදෙව්වන් කැරලි ගැසීම ය.

ක්‍රි.ව. 70 දී යුදෙව්වන්ගේ දෙවැනි දේවස්ථානය ද විනාශ වීමෙන් පසුව දේවනමස්කාරය සඳහා සිනගෝග (ග්‍රීක) නම් ආයතන විශේෂය භාවිතයට ගැනුණි. දෙවැනි දේවස්ථානය ගොඩනැඟීමට බොහෝ කලකට පෙර සිට ම සිනගෝග පැවත ආව ද දේව වන්දනාව හා ආගමික අධ්‍යාපනය පවත්වාගෙන ආ ආයතන ලෙසට වැඩි ප්‍රසිද්ධියක් උසුලන්නට පටන් ගත්තේ මේ කාල වකවානුවේ ය. දේව මෙහෙයන්හි දී බයිබලයේ කොටස් පූජකයකු විසින් සමූහයා ඉදිරියේ හඬ නගා කියැවීම මේ සිනගෝග දේව වන්දනාවල විශේෂ ලක්ෂණයක් විය.

සිනගෝගවල මෙලෙස භාවිත කරන ලද්දේ යුදෙව් ආගමිකයන්ගේ ශුද්ධ ලියැවිලි ලෙස සැලකෙන හීබෲ බයිබලය හෙවත් වර්තමාන කිතුනු බයිබලයේ පැරණි ගිවිසුම ය. ග්‍රීක බසින් රචිත නව ගිවිසුම අයත් වන්නේ කිතුනුවන්ට ය. යුදෙව්වන්ගේ බයිබලය (කතෝලික නොවන) රෙපරමාදු නිකායික කිතුනුවන්ගේ පැරණි ගිවිසුම හා බොහෝ දුරට සමාන ය. වෙනසකට ඇත්තේ ඒවා වෙන් වෙන් ග්‍රන්ථවලට වෙන් කිරීම අනුව ය. තනාක් හෙවත් හීබෲ බයිබලය ග්‍රන්ථ 24කට බෙදනු ලැබ ඇති අතර, කිතුනු පැරණි ගිවිසුමේ එම කරුණු ම ග්‍රන්ථ 39කට බෙදනු ලැබ ඇත. එය උත්පත්ති කතාවෙන් ආරම්භ ව මලාඛි ග්‍රන්ථයෙන් අවසන් වේ. කතෝලිකයන් ඊට තවත් ග්‍රන්ථ 7ක් එකතු කොට ග්‍රන්ථ සංඛ්‍යාව 46 දක්වා වැඩි කරගෙන ඇති අතර, තවත් සමහරුන්ගේ පැරණි ගිවිසුම ග්‍රන්ථ 50 ඉක්මවා යයි.

පැරණි ගිවිසුමේ අන්තර්ගත ග්‍රන්ථ ප්‍රධාන වර්ග සතරකට බෙදා දැක්විය හැකි ය. ඒවා නම්,

1. ‘පෙන්ටටෙව්ක්’ නමින් හැඳින්වෙන මුල් ග්‍රන්ථ පස, එනම්,

(i) උත්පත්ති කථාව

(ii) නික්මයාම

(iii) ලෙවී කථාව

(iv) ගණන් කථාව

(v) ද්විතීය නීති සංග්‍රහයයි.

ලෝක නිර්මාණයේ සිට, ඊශ්‍රායෙල්වරුන් මිසරයේ පාරාවෝ රජුගේ වහල්බවින් මුදා ගත් ජාතික වීරයා වූ මෝසෙස්ගේ (ක්‍රි.පූ. 1393-1273) මරණය දක්වා වූ ඊශ්‍රායෙල් වංශකථාව මේ ග්‍රන්ථ පසට ඇතුළත් ය. ඔවුන්ගේ දේව ධර්මය ද අන්තර්ගත මෙම කොටස යුදෙව්වන් හා සියලු ම කිතුනු ආගමික නිකායන් විසින් වෙනසක් නැතිව පිළිගනු ලැබ ඇත.

2. ඊශ්‍රායෙල්වරුන්ගේ මෑත ඉතිහාසය අන්තර්ගත, මෝසෙස්ගෙන් පසු ඊශ්‍රායෙල්වරුන්ගේ නායකත්වයට පත් ජෝෂුවාගේ පටන් ඊශ්‍රායෙල් වීරවරියක වූ එස්තර් දක්වා වූ කාල පරිච්ඡේදය ආවරණය කෙරෙන ග්‍රන්ථ දොළොස, මෙම කොටසට ක්‍රි.පූ. 13 වන සියවසේ සිට ක්‍රි.පූ. 5 වන සියවස දක්වා වූ සියවස් අටක ඊශ්‍රායෙල් ඉතිහාසය අන්තර්ගත ය. ක්‍රි.පූ. 1250 පමණේ දී ඊශ්‍රායෙල්වරුන් විසින් ජෝෂුවාගේ නායකත්වය යටතේ කනාන් දේශය අත්පත් කරගනු ලැබීම, ක්‍රි.පූ. 6 වන සියවස අවසාන භාපයේ නෙබූචැඩ්නෙසාර් (634-562) බැබිලෝනියානු රජු විසින් ක්‍රි.පූ. 587 දී ජෙරුසලමේ දේව මාලිගාව විනාශ කරනු ලැබීමත්, කුරෝස් (ක්‍රි.පූ. 558-530) නම් පාරසික රජු විසින් බැබිලෝනියාව ආක්‍රමණය කරනු ලැබීමෙන් පසු බැබිලෝනියාවට පිටුවහල් කරනු ලැබ සිටි යුදෙව්වනට ආපසු සිය රටට පැමිණ නැවත දේව මාලිගාව ගොඩනඟා ගැනීමට අවසර දෙනු ලැබීමත්, ක්‍රි.පූ. 516 දී එය යළිත් කුරෝස් රජුගේ පුත් දාරියුස් (ක්‍රි.පූ. 522-486) නම් පාරසික රජු විසින් එය ගොඩනඟා අවසන් කරනු ලැබීමත් පිළිබඳ විස්තර මීට ඇතුළත් ය.

3. කාව්‍යමය ග්‍රන්ථ: මෙම කොටස යෝබ්ගේ ග්‍රන්ථයෙන් ඇරඹ, සුප්‍රසිද්ධ ගීතාවලිය හා හිතෝපදේශ ද ඇතුළත් ග්‍රන්ථ පහකින් සමන්විත ය.

4. අනාගත වක්තෲන්ගේ ග්‍රන්ථ: මීට යෙසායා, යෙරමියා ආදි අනාගත වක්තෲන් 17 දෙනකුගේ ග්‍රන්ථ ඇතුළත් ය. විමුක්තිදායකයාගේ පහළ වීම පිළිබඳ ඔවුන්ගේ අනාවැකි හා දෙවියන් වහන්සේගේ කැමැත්තට එරෙහි ව කටයුතු කිරීමෙන් ඇති වන දුර්විපාක පිළිබඳ අනතුරු හැඟවීම් මෙම ග්‍රන්ථ මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

යුදෙව් සිනගෝගවල පැවැත්වුණු දේවමෙහෙයන්හි දී පූජකයා විසින් හඬනඟා කියවන ලද්දේ විශේෂයෙන් ම ‘පෙන්ටටෙව්ක්’ යනුවෙන් හැඳින්වෙන බයිබලයේ මුල් ග්‍රන්ථ පනහේ හා අනාගත වක්තෲන්ගේ ග්‍රන්ථවලින් උපුටා ගත් කොටස් ය. බයිබලය ලියැවී තිබුණේ හීබෲ භාෂාවෙන් නිසා, ඇරමෙයික් බස ව්‍යවහාරයට පුරුදුව සිටි සාමාන්‍ය ජනතාවට මෙම හීබෲ පාඨ තේරුම් ගැනීමට නොහැකි වූයෙන්, එම කොටස් එවෙලේ ම ඇරමෙයික් බසට පරිවර්තනය කොට ඉදිරිපත් කිරීමට සිදු විය. මෙම කොටස් හඬනඟා පරිවර්තනය කරන ලද්දේ ‘මෙටාර්ගෙමන්’ නම් වූ වෘත්තීය පරිවර්තකයකු විසිනි. ‘ටාර්ගුම්’ යන වචනය භාවිතයට ආවේ මෙයිනි. මෙටාර්ගමෙන් හැකිතාක් දුරට මූල පාඨයට සමීප වන අයුරින් ස්වකීය පරිවර්තනය ඉදිරිපත් කිරීමට වෙහෙස ගත්තේ ය.

බයිබලයේ එක් එක් ග්‍රන්ථයේ එන පරිච්ඡේද සුඛාවබෝධය සඳහා ‘පද’ (verse) නමින් හැඳින්වෙන කොටස් රාශියකට බෙදනු ලැබ ඇත. උදාහරණ වශයෙන්, ‘උත්පත්ති’ කතාවේ 8 වැනි පරිච්ඡේදයේ 6 වැනි පදයේ සිට 12 වැනි පදය දක්වා වූ පහත දැක්වෙන කොටස පිරික්සා බලන්න.

‘6 දවස් සතළිසකට පසු නෝවා තමා සැදූ නැවේ කවුළුව හැර 7 කපුටකු පිටතට යැව්වා ය. ඌ පොළව මත ජලය සිඳෙන තුරු ඔබමොබ පියාඹා ගියේ ය. 8 පසුව නෝවා පොළව මත ජලය බැසගොස් තිබේදැයි බලනු පිණිස පරවියකු පිටතට යැවී ය. 9 එහෙත් පොළව මත තවමත් ජලය රැඳී තිබුණු බැවින් ඌට පා තැබීමට තැනක් නොලැබ ඌ නෝවා වෙත නැවට ආපසු පැමිණියේ ය. එවිට ඔහු අත දිගු කොට ඌ අල්ලා නැව තුළට ගත්තේ ය. 10 ඔහු තව සත් දවසක් බල සිට පරෙවියා නැවෙන් පිටතට යළිත් යැවී ය. 11 සවස් කාලයේ දී ඌ ආපසු පැමිණියේ ය. පුදුමයෙකි! උගේ හොටෙහි අමු ඔලීව දල්ලක් තිබිණ. මේ කරුණින් පොළවෙහි ගංවතුර බැසගොස් ඇති බව නෝවා දැනගත්තේ ය. 12 එවිට නෝවා තව දවස් සතක් බලා සිට පරෙවියා යළිත් පිටතට යැවී ය. ඌ ආපසු ඔහු වෙත පැමිණියේ නැත.’

බයිබලයේ මෙම මුල් ග්‍රන්ථ පහෙන් පරිවර්තකයා ක්ෂණික පර්වර්තනය සඳහා එක් වර ගත්තේ එක් පදයක් බැගිනි. දේශකයා හීබෲ බයිබලයේ එක් පදයක් හඬනඟා කියැවූ විට, පරිවර්තකයා එය ඇරමෙයික් බසට පරිවර්තනය කෙළේ ය. පරිවර්තකයාට අවශ්‍ය වූයේ හීබෲ පාඨ නොතේරුණු සමූහයාහට එහි අර්ථය ඇරමෙයික් බසින් වටහා දීම වන හෙයින්, ඔහු ඇත්ත වශයෙන් ම කළේ පරිවර්තනයකට වඩා අර්ථකථනයක් හා විවරණයක් කිරීමයි. ශ්‍රාවකයන් තුළ වැරදි හැඟීමක් ඇති නොවනු පිණිස, මෙටාර්ගෙමන් අපැහැදිලි තැන් විස්තර කරදීමට ද පෙලඹුණේ ය. ඇරමෙයික් බසින් targuman යනු ‘පරිවර්තකයා’ යන අරුත් දේ. එහෙයින් targumin (ඒක වචන targum) යනු හීබෲ බයිබලයේ ග්‍රන්ථවලට සපයන ලද ‘වාචික අර්ථකථන’ හෝ ‘සන්න’ ලෙස සැලකිය හැකි ය.

ආරම්භයේ දී මෙසේ පරිවර්තනය කොට විස්තර කරනු ලැබූයේ තේරුම් ගැනීමට වඩා අපහසු කොටස් පමණි. කල්යාමේදී සම්පූර්ණ බයිබලය ම ඇරමෙයික් බසට පරිවර්තනය විය. ටාර්ගුම් ලේඛන ගත කිරීම තහනම් විය. මෙම තහනම ක්‍රියාත්මක වූයේ සිනගෝගවල දේවමෙහෙයන්හි දී හඬනඟා කියවන ලද හීබෲ බයිබල් පාඨ සඳහා පමණක් බව පෙනේ. පෞද්පලික පරිහරණය හා අධ්‍යයන කටයුතු සඳහා ටාර්ගුම් ලේඛනගත කිරීම බාධාවකින් තොරව සිදුවන්නට ඇත. කෙසේ වුවද, ක්‍රිස්තු වර්ෂ ප්‍රථම ශතවර්ෂයේ මධ්‍ය භාගය වන විට ලියැවුණු යම් යම් ටාර්ගුම් ලේඛන හමු වී ඇත. එහෙත් එවක සිටි ආගමික නායකයෝ මේවා ප්‍රාමාණික ලේඛන ලෙස නොපිළිගත්හ. බැබිලෝනියානු යුදෙව්වන්ගෙන් පැවත එන ඇතැම් යුදෙව් සම්ප්‍රදායයන් පසු කාලයේ දී ලිඛිත ප්‍රාමාණික ටාර්ගුම් ලෙස පිළිගත් නමුත්, අන්තිමේ දී එය විවාදාත්මක කරුණක් බවට පත් විය. වර්තමානයේ දේව වන්දනාව සඳහා ලිඛිත ටාර්ගුම් දිගට ම භාවිත කරනු ලබන්නේ යේමන ජනපදයේ යුදෙව්වන් විසින් පමණි.

බයිබලයේ නව පිවිසුමේ ශු.මතෙව්ගේ ශුභාරංචියේ 27 වැනි පරිච්ඡේදයේ 47 වැනි පදයේ යේසූස් වහන්සේ කුරුසිය මත දී ඇරමෙයික් බසින් කළ ප්‍රකාශයක් උපුටා දක්වනු ලැබ ඇත. ‘ඒලී, ඒලී, ලාමා සබක්තානී’ යන එම ප්‍රකාශයේ තේරුම ‘මාගේ දෙවියනි, මාගේ දෙවියනි, කුමක් නිසා ඔබ මා අත්හළ සේක් ද?’ යනුයි. නව ගිවිසුම රචනා වී ඇත්තේ ග්‍රීක භාෂාවෙනි. ඒ කාලය වන විට, එනම්, ක්‍රි.ව. පළමුවැනි සියවසේ දී, ඇරමෙයික් බස ජීවමානව පැවති බව මෙයින් ගෙනේ.

අද වන විට, කුඩා ග්‍රන්ථ තුනක් හැරුණු කොට සම්පූර්ණ හීබ්‍රෑ බයිබලය ම ටාර්ගුම් ලෙස පරිවර්තනය කරනු ලැබ ඇත. බයිබලයේ ඇතැම් ග්‍රන්ථවලට සැපයුණු ටාර්ගුම් පර්වර්තන කිහිපයක් ම ඇත. අනාගත වක්තෲන්ගේ ග්‍රන්ථවලට අයත් වන එස්රා (15), නෙහෙමියා (16) හා දානියෙල් (27) යන කුඩා ග්‍රන්ථත්‍රය පරිවර්තනය නුවූයේ ඒවා අර්ධ වශයෙන් ලියැවී ඇත්තේ ඇරමෙයික් බසින් වීම නිසා ය. මෙකී ටාර්ගුම් අතුරින් ප්‍රධාන ලෙස සැලකෙන ටාර්ගුම් සංහිතා (සංග්‍රහ) දෙකක් වේ. එනම්,

1. ලිඛිත දේව නීතිය (ටෝරා බ.) ලෙස සැලකෙන බයිබලයේ මුල් ග්‍රන්ථ පසින් නියෝජනය වන ටාර්ගුම් ඔන්කොලොස්. මෙය ක්‍රි.ව. 3 වැනි සියවස වන විට පරිපූර්ණ තත්ත්වයට පත් ව තිබිණි.

2. අනාගතවක්තෲන්ගේ ග්‍රන්ථ අඩංගු ටාර්ගුම් ජොනතන් බෙන් උසෙයිල්. මේ ග්‍රන්ථවලින් ක්ෂණික ව විස්තර කිරීම පිණිස ගනු ලැබූයේ වරකට පද තුන බැගිනි. මේ අයුරින් ලිඛිත ටාර්ගුම් කෘති බිහිවන්නට වූ නමුදු, ක්‍රි.ව. දෙවැනි තුන්වැනි සියවස් දක්වා ම යුදෙව්වන් අතර ප්‍රාමාණික ලෙස සැලකුණේ වාචික අර්ථකථන වූ ටාර්ගුම් ය. ලිඛිත ටාර්ගුම් නිල වශයෙන් පිළිගනු ලැබීමට පාත්‍ර වූයේ ක්‍රි.ව. 5 වැනි සියවස පමණ වන විට ය.

(කර්තෘ: වෝල්ටර් මාරසිංහ)

(සංස්කරණය: 2019)