දෙතිස් කුණප වරුණ
කායානුපස්සනා සතිපඨනයෙහි එක් පුරුකක් වූ ද්වතිංසාකාරයෙහි කෙස් - ලොම් ආදී දෙතිස් කුණපයන් විස්තර කළ පිළිකුල් සන්නය සිංහල බෞද්ධයන් අතර ඉතා ප්‍රකට ය. සන්න පාඩම් කොට සිත්හි දැරීම දුෂ්කර හෙයින් එය සිවුපදයෙන් දක්වාලීම මැනවැයි කවියා තුළ උපන් අදහස මේ කව ලිවීමට හේතු විය.
මේ ග්‍රන්ථය රචනා කරන ලද්දේ උඩුමල්වත්තේ කළුවා නමැති කවියකු විසිනි. උඩුමල්වත්තේ කිවිඳා ජීවත් වූ කාලය හෝ මෙය රචනා කළ කාලය ගැන කිසි සටහනක් නැත ද, රචනා විලාසය වාක්සම්ප්‍රදාය ආදිය අනුව මහනුවර සමයෙහි ලියැවුණු කාව්‍යයක් බව ඉඳුරා කිව හැකි ය. කළුවාගේ දෙතිස් කුණපවරුණ එක ම ග්රන්ථයෙහි පරිච්ඡේද දෙකක් වශයෙන් ද වෙන වෙන ම ග්රන්ථ දෙකක් වශයෙන් ද ගිණිය හැකි කාණ්ඩ දෙකකින් යුක්ත ය. එහි පළමුවන කොටස අටළොස් : 18: මත් පද්‍ය දෙතිසකින් පිළිකුල් සන්නයෙහි එන විස්තරය අළලා දෙතිස් කුණප වර්ණනා කරන ලද්දේ ය. අනතුරුව කවි පසළොසකින් අනිත්‍යාදි ධර්මස්වරූප දක්වා අවසානයෙහි දෙකවියෙන් කවියාගේ නම - ගම පවසා නිගමනය කළේ ය. නිගමනය මෙහි දැක් වූ සැටියෙන් ග්‍රන්ථය අවසාන වූ බවක් ද පෙනේ. මේ පද්‍යය මුළුල්ල ම සාන්ද්රෂ්ටක යමකයෙන් බැඳුණේ ය. අර්ත ව්යක්ත්යයෙන් හා මාධූර්ය්ය ගුණයෙන් ද අනූන විය. තැනින් තැන යෙදුණු උපමා හේතු කොට ගෙන කාව්‍යය වඩාලාත් රස එළවයි. පිළිකුල් සන්නය හා සතිපඨාන සූත්‍ර නිදානය ඇසුරු කොට කාව්‍යය රචනා කළ උඩුමල්වත්තේ කිවිඳාට ද එකල රටේ පැවැති ශාස්ත්‍ර පරිහාණියට මුහුණ පාන්නට නොවී නම් මේ කෘතියෙහි අගය අතිශයින් වැඩි විය හැකි ය.
(කර්තෘ: ලබුගම ලංකානන්ද හිමි: 1956)
(සංස්කරණය නොකළ)