දේශීය වෛද්‍ය ශාස්ත්‍රය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සිංහල ද්වීපයෙහි නිෂ්පන්න වූ ආදි ම වෛද්‍යශාස්ත්‍රයක් තිබුණේ යයි ද වර්තමාන සිංහල වෙදකම ඒ ශාස්ත්‍රය ඇසුරෙන්, සකස්වූයේ යයි ද ඇතැම් කෙනෙක් විශ්වාස කරති. නමුත් ඒ බව ඔප්පු කිරීමට සාක්ෂි මේතාක් සොයා ගන්නට ලැබී නොමැතියි.

දැනට ලක්දිව ව්‍යවහාර වන වෛද්‍ය ක්‍රමයට සිංහල වෙදකම හෙවත් ස්වදේශීය වෛද්‍යශාස්ත්‍ර යයි කියනු ලැබේ. මෙය භාරත දේශයෙන් ම සංක්‍රමණය වූවක් බව ඊට අයිති පොතපතින් ම අවබෝධ වේ. සංස්කෘත භාෂාවෙන් ලියවුණු චරක සුශ්‍රැතාදි මූල ග්‍රන්ථයෙහි දැක්වෙන අෂ්ටාංගායුර්වේදය උත්තර භාරතීය වෛද්‍ය සම්ප්‍රධායට ඇතුළත් වේ. දක්ෂිණ භාරතයෙහි ප්‍රචලිත වුයේ අගස්ති මුනිවරයා විසින් සකස් කරන ලද සිඞ වෛද්‍ය ක්‍රමයයි. සිඞ වෛද්‍ය ශාස්ත්‍රය වනාහි ආයුර්වේදය මෙන් ම සර්‍වාංග සම්පූර්ණ වූ විද්‍යාවකි. ආයුර්වේදයෙහි කාය චිකිත්සා ශල්‍ය ශාලක්‍ය යන අංග තුන ජන සමාජයෙහි බෙහෙවින් ම ව්‍යවහාරව පැවති බව පෙනේ.

කෞමාරහෘත්‍යය, අගද, රසායන යන කොටස් තුන ද කාය චිකිත්සකයන්ගේ ම කාර්යයට අන්තර්ගත වූ බව කිව හැකි ය. අගදතන්ත්‍රයට අයත් විෂ වෙදකම අප රටේ ඊට ම විශේෂඥ වූ වෛද්‍යවරයන් විසින් කරනු ලැබේ. අෂ්ටාඞග ආයුර්වේදයට අයත් භූතවිද්‍යාව මන්ත්‍ර ශාස්ත්‍රයත් සමඟ වෙන වෙනම ම හදාරන ලද ඇදුරන් ගේ භාවිතයට ගෙන තිබේ.

බෞද්ධ යුගයෙහි උසස් දියුණු තත්වයක පැවැති ශල්‍ය, ශාලක්‍ය ක්‍රම දෙක බෞද්ධ රාජබලය පිරිහීමත් සමඟ ම පිරිහෙන්නට වන ක්‍රිස්තු වර්‍ෂයෙන් තුන්වන ශත වර්‍ෂයෙහි සිංහල ද්වීපයේ බෞද්ධ නරපතීන්ගේ අනුග්‍රහයෙන් ආයුර්වේදීය ශල්‍ය චිකිත්සාව දියුණු තත්වයක පැවැති බව ඉතිහාසයෙහි දැක් වේ. සිංහල බෞද්ධ නරපතියෙකු වූ බුද්ධදාස රජතුමාගේ වෙද පිළියම් ඊට සාක්ෂි දරයි. දේශීය වෛද්‍ය ග්‍රන්ථ අනුරාධපුර යුගයෙහි මුල් අවදියේ සිටම ආයුර්වේද ශාස්ත්‍රය ලක්දිව පැවති බවට සෙල්ලිපිවලින් පවා සාක්ෂි ඇතත් එසමයෙහි ලියවුණු වෛද්‍ය ග්‍රන්ථයක් හැටියට තිබෙන්නේ සාරාත්ථසඞග්‍රහ නම් වෛද්‍ය ග්‍රන්ථය පමණකි. මෙය සතුරු උපද්‍රවයන්ට අසු නොවී ඉතිරි වූ එකම වෛද්‍ය ග්‍රන්ථ යයි සිතිය හැකිය.

සාරාත්ථසංග්‍රහය ආයුර්වේදීය සංහිතා ග්‍රන්ථයන් ඇසුරු කොට ලියන ලද්දක් බව පෙනේ. එහෙත් මේ ග්‍රන්ථයට සන්න ලියූවන් විසින් දාක්ෂිණත්‍ය වෛද්‍ය සම්ප්‍රදායට අයත් අග්නිකර්‍ටව්ධිය හා වෙනත් ප්‍රතිකාර ක්‍රමයන් ද ඊට ඇතුළත් කර තිබේ. මීළඟට දේශීය වෛද්‍යග්‍රන්ථයන් අතුරෙන් ප්‍රධාන ක්‍රමයන් ද ඊට ඇතුළත් කර තිබේ. මීළඟට දේශීය වෛද්‍ය ග්‍රන්ථයන් අතුරෙන් ප්‍රධාන ස්ථානයෙහි ගැණෙන්නේ දඹදෙණි පුර පණ්ඩිත පරාක්‍රමබාහු නරේන්ද්‍රයන් රාජ්‍ය කරන සමයෙහි පස්පිරිවෙන් වාසීන්ට ප්‍රධාන වැ වැඩ විසූ පණ්ඩිත කුශලාර්ථ හිමියන් විසින් කරන ලද භෛෂජ්‍ය මඞ්ජුසාවයි. ප්‍රතිපත්තිගරුක භික්ෂූන්ගේ නිරෝගීභාවය පතා මේ ග්‍රන්ථය කරන ලදැයි දක්වා ඇතත් භෛෂජ්‍ය මංජුසාවෙන් දේශීය වෛද්‍යශාස්ත්‍රයට ලැබී ඇති ප්‍රයෝජන ඉමහති. පාළි පද්‍යයෙන් ලියන ලද මේ ග්‍රන්ථය අෂ්ටාඞ්ග ආයුර්වේදයට අයත් සාරාංශයෙන් යුක්ත වන්නේ ය. ත්‍රිදෝෂ තත්ව නිරූපණයෙන් ආරම්භ කරන ලද මේ ග්‍රන්ථයෙහි ද්‍රව්‍ය රස වියඥා විපාක විවරණය හා සදාචාර විධියත් අනාගත ව්‍යාධි ප්‍රතිෂෙධ ක්‍රමයත් අන්ත ව්‍යඤජනයන්ගේ සදොස් නිදොස් බව පිළිබඳ විස්තරයත් වෙසෙසින් සඳහන් කොට ඇත්තේ ය. ආහාර ව්‍යඤජනයන් විෂ රහිතව සකසා ගන්නා අයුරු දැක්වීම ස්වදේශීය වෛද්‍යශාස්ත්‍රයෙහි විශේෂ ය. නරෙන්ද්‍රනයන්ගේ ආරාධනායෙන් වැලිවිට සරණකර සඞඝරාජ මාහිමියන් ලියන ලද සන්නය දේශීය වෛද්‍යශාස්ත්‍රයෙහි උනන්තිය පිණිස කෙරුණු ශ්‍රේෂ්ට අත්‍ර ග්‍රහයකි. මෙහි ද දාක්ෂිණත්‍ය සිඞ වෛද්‍ය මතයක් ඇතුළත් කොටැ තිබේ.

පළමුවන බුවනෙකබාහු අවධියෙහි මයුරපාද මාහිමියන් විසින් ලියන ලද යොගාර්‍ණවය ද මාහැඟි වෛද්‍ය ග්‍රන්ථ රත්නයකි. මෙහි ද ආරම්භයෙහි 'අන්නපාන විධියට' මුල් තැනක් දී ඇත්තේ ය. යොගාර්‍ණවයට ද දාක්ෂිණත්‍ය සිට වෛද්‍යශාස්ත්‍රයට අයත් වෙද පිළියම් ඇතුළත් වී තිබේ. වරයොගසාරය, යොග පිටකය, ප්‍රායෝග රත්නාවලිය ප්‍රයොගසමුච්චිය, සරසංකෙෂපය, චින්තාමණි සන්නය ආදී ගද්‍ය පද්‍ය ග්‍රන්ථයන් හා යොග රත්නාකරය, යොග මුක්තාවලිය, යොගශතකය, යොගශෙඛරය, යොගදාරනේ ආදී පද්‍ය ග්‍රන්ථයෝ ද වෙත්.

කෝට්ටයේ රජය කළා වූ බුවනෙකබාහු නරේන්ද්‍රයාගේ රාජ වර්‍ෂයෙන් දොළොස් වැන්නෙහි මෝදරගම තෙරුන් වහන්සේ විසින් ලියන ලද යොගරත්නාකරය ග්‍රන්ථයෙහි ද චිකිත්සාව ආරම්භ කර තිබෙන්නේ ආහාරපාන චිකිත්සාවෙනි. මුරුතැන් සෑදීම විසමුසුබත, විසමුසුමාළු, විසමුසුදේ සිඹීම, විසනැසීමට ඔසු යන ශීර්‍ෂ පාඨවලින් චිකිත්සා විධිය ආරම්භ කර තිබේ.

වෙද පිළියමට යොදනු ලබන ගුලි, කල්ක, ආදිය සාදන ක්‍රමය දැක්වෙන වටිකාප්‍රකරණය තෙල් වර්‍ග හා තෙල් සාදන ක්‍රමය ගැන උපදෙස් අන්තර්ගත වූ සෙනහශතකය හා අරිෂ්ට, ආශව, අර්‍ක ආදිය සැදන සැටි දැක්වෙන ගද්‍යයෙන් හා පද්‍යයෙන් ලියැවුණු වට්ටෝරු පොත් රැසක් ද දේශීය වෛද්‍යග්‍රන්ථයන් අතර ඇත. මේ දැක්වුණු ග්‍රන්ථ සියල්ල ම විශේෂයෙන් ම දේශීය කාය චිකිසාවට අදාළ වන්නාහු ය. මේ නයින් සලකා බලන විට ස්වදේශීය වෛද්‍යශාස්ත්‍රය හෙවත් සිංහල වෙදකම වනාහි උතුරු ඉන්දියාවේ සකුබසින් සම්පාදිත ග්‍රන්ථයන් හා දකුණු ඉන්දියාවේ දෙමළ, තෙලිඟු, මලයාලි යන භාෂාවලින් ලියවුණු අගස්ති සම්ප්‍රදායට අයත් වෛද්‍ය ග්‍රන්ථයන් ද ඇසුරු කොටැ අප රටේ දේශගුණය, ශාරීරික ගතිගුණ ආදී අවශ්‍යතාවන්ට සරිලන පරිද්දෙන් සකස් කර ගන්නා ලද්දකි.

දකුණු ඉන්දියානු බලපෑම දඹදෙනි අවධියට මෑත භාගයෙහි වරින් වර ලංකාවට පැමිණි කේරල, චෝලිය, පාණ්ඩ්‍ය ජාතිවලට අයත් සිඞ වෛද්‍යවරයෝ දක්ෂිණ භාරතයෙහි එකල්හි ප්‍රචලිතව පැවැති උසස් ක්‍රමයන් හා හස්තසාර ඖෂධ භෝගයන් ද සිංහල වෛද්‍යශාස්ත්‍රයට ඇතුළත් කළහ.

සුශ්‍රැත සංහිතාවෙහි දැක්වෙන අග්නිකර්‍ටවිධිය හෙවත් පිලිස්සුම් ක්‍රමය රක්තමොක්ෂණ විධිය හෙවත් ශිරාවන් විඳල් හැරීම ජලෞකාචරණවිධිය හෙවත් දූෂිත ලෙස ඉවත් කිරීම සඳහා පූඩැල්ලන් ඇරීම යන ක්‍රමයන්ට වෙනස් වූ ද පැහැදිලි වූ ද ක්‍රමයක් සිංහල වෛද්‍යශාස්ත්‍රයෙහි එනුයේ සිද්ධායුර්වේද ක්‍රමයේ සංකලනයෙනි.

දේශිය රොගමානාවලියෙහි සන්නි - කෝල - වලිප්පු - අඩප්පර ආදී නම් හා උල්ලෝගංසන්නි, පුරවිච්චංසන්නි, ඔඩ්ඩසන්නි, එක්කුත්තුකෝලේ, ඔට්ටුක්කෝලේ, පුරවිච්චිකෝලේ, උල්විච්චිකෝලේ, වාදංකෝලේ, උදරවල්පු, කුත්තුවලිප්පු, උල්විච්චංවලිප්පු ආදී නම් සියල්ල ම ද්‍රවිඩ සම්ප්‍රදායට අයත් භාෂාවලින් කියවෙන නාමයෝ වෙත්.

දේශීය වෛද්‍යශාස්ත්‍රයෙහි ඉහත දැක්වුණු කෝල, සන්නි, වලිප්පු ආදියෙන් එක එකක ප්‍රභේදයෝ දහ අට බැගින් වෙත්. සන්නි දහ අට, කෝල දහ අට, වලිප්පු දහ අට, ආදියේයි. මෙම එක් රෝගයක ලක්ෂණ හා එහි චිකිත්සාව ද වෙන වෙන ම විස්තර කොට ඇත්තේ ය. ගද්‍ය පද්‍ය දෙකින් ම රෝග ලක්ෂණ හා පිළියම් ද ලියැවුණු ලොකු කුඩා පොත් රැසකි. සිංහල වෛද්‍යශාස්ත්‍රයෙහි චිකිත්සාවට ගන්නා වූ ඖෂධ ද්‍රව්‍යයන් ගෙන් සියයට හතලියක් පමණ දෙමළ හා තෙළෙඟු නම්වලින් හඳුන්වනු ලැබේ. මෙපරිද්දෙන් සිඞ වෛද්‍ය ක්‍රමයට අයත් රෝග ලක්ෂණ හා යොග ද අද සිංහල වෛද්‍යශාස්ත්‍රයට අයත්ව පවතී. රසදිය, තඹ, ඊයන් ආදී ඛණිජ ධාතු වර්‍ග, ජාරණ හෙවත් දිරවීම මාරණ හෙවත් විස මැරීම ශොධන හෙවත් ශුද්ධ කිරීමේ යන ප්‍රණාලි ද සිඞ වෛද්‍යයන්ගේ රීතියෙන් ම සිංහල වෙදපොත්හි විස්තර වේ.

මේ අතර රසචින්තාමණි, රසෙන්ද්‍රසාරසඞග්‍රහ, රසරත්නාකර, යන උත්තර භාරතීය රස චිකිත්සාවට අයත් ග්‍රන්තයන්හී සන්න හා උපුටා ගත් රීතීන් අන්තර්ගත සඞග්‍රහ වට්ටෝරුපොත් ද සුලභ ය. ස්වදේශීය වෛද්‍යශාස්ත්‍රයට අයත් හැම අඞගයකම භාරතීය ඌරුව පැහැදිලිවැ පෙනී යයි. දේශීය වෛද්‍යශාස්ත්‍රයෙහි ප්‍රත්‍යක්ෂ ඵලදායි ප්‍රතිකාර ක්‍රමයක් වන විදුම්, පිලිස්සුම් විධි දැක්වෙන විශේෂ සඞග්‍රහ පොත් ද ඇත.

චින්තාමණිසන්නය, යොගරත්නාකරය, යොගාර්‍ණවය, වරයොගසාරය ආදියෙහි ද විදුම් පිළිස්සුම් ක්‍රමය දක්වා තිබේ. ඇතුන්, අසුන්, ඌරන්, මුවන්, කුකුළක් ආදී සතුන්ගේ ද රෝගයන්හි ඒ ඒ තැන් පිළිස්සීමට හා විදීමට ලකුණු යොදන ලද චිත්‍ර සහිත පුස්කොළ පොත් දක්නා ලැබේ.

විශේෂ චිකිත්සා ක්‍රම සිංහල වෛද්‍යශාස්ත්‍රයෙහි අද්භූත චිකිත්සා ප්‍රණාලිය නම් විෂ චිකිත්සාවය, නා පොළොන් ආදි විසකුරු සර්‍පයින් දෂ්ට කළ කල්හි එක් වනෞෂධයක් හෝ දෙකක් යෙදීමෙන් විෂ වේගය නැති කරන්නට වෂ වෛද්‍යවරයාට පුළුවන් වෙයි. ඇතැම් කෙනෙක් බෙහෙත් කොළ වර්‍ගයක් සපා සර්‍පයා දෂ්ට කළ තුවාලයෙහි මුඛය තබා උරවා විෂ ඉවත් කරති.

විෂ ඉරවීමට තවත් උපායක් වශයෙන් යොදනු ලබන්නේ දුම් පිරවූ හිස් බෝතලයක මුඛය සර්‍ප දෂ්ට මුඛයෙහි තැබීමයි. පැරණි වෙදවරුන් විසින්ම මේ සඳහා ව්‍යවහාර කරන ලද්දේ, කායඥායට සුදුසු පරිද්දෙන් සැදූ ලබු ගෙඩියකි. මේ ප්‍රතිකාර ක්‍රමයට වක්කං ඇල්ලීම යයි කියනු ලැබේ. හෙළදිව නිපන් වෙද පිළිමයක් හැටියට අනුමාන කළ හැක්කේ විෂ වෙදකම පමණක්දෝයි සිතිය හැකිය. විෂ වෙදකමෙහි දූත ලක්ෂණය අනුසාරයෙන් අසුවල් සර්‍පයා විසින් දෂ්ට කරන ලදැයි තේරුම් ගෙන ප්‍රතිකාර යෙදීමෙන් සුවපත් කිරීම අද්භූත කාරණයකි. මන්ත්‍ර බලයෙන් විෂ බැස්වීම හා උලුක්වීම දත්කැක්කුම් සුව කිරීමත් මේතාක් තෝරාගත නොහැකි වූ සිංහල වෙදකමට අයත් ප්‍රහේලිකාවකි.

ඇස්වහ, කටවහ, ඇස්රුදාව ආදියට කෙම්කිරීම නම් වූ පිළිවෙත පුදුම රහසක් ගැබ් වූ වෙගයකි.

අලර්‍කවිෂචිකිත්සාව හෙවත් පිස්සු බලු වෙදකම ද දේශීය වෛද්‍යශාස්ත්‍රයෙහි බල මහිමය ප්‍රත්‍යක්ෂ වන ශාස්ත්‍ර ක්‍රමයකි. පිස්සු බල්ලන්ගේ විෂ නැංවීමට හා බැස්වීමටත් ශමනයටත් බෙහෙත් කැඳ වර්‍ග පුවපාක බෙහෙත් රොටි කෂාය නශ්‍ය ආදි ප්‍රත්‍යක්ෂ යෝගයෝ සිංහල වෙදසතරෙහි දක්නා ලැබෙත්. බල්ලෙකු සපා කෑ කල්හි ඌ පිස්සු බල්ලෙක් ද නැද්දැයි විමසීම සඳහා රෝගියාට දෙන බෙහෙත් ද තිබේ.

ලක්දිව පිස්සු බලු වෙදකම ගැන දක්ෂ වෛද්‍යවරයෝ එවැනි හස්තසාර ඖෂධ යොග රහස් ඖෂධ වශයෙන් ද සුරැකිව තබාගෙන සිටිති.

ඇස් වෙදකම, ගෙඩි වෙදකම යන විශේෂ වෙද පිළියම් දේශීය වෛද්‍යශාස්ත්‍රයෙහි පමණක් දක්නා ලැබෙත්. ආයුර්වේද ශාස්ත්‍රයෙහි දැක්වෙන රෝග විනිශ්චය හා චිකිත්සාවට වෙනස් වූ රෝග ලක්ෂණ විස්තර හා බෙහෙත් යෝග ද දේශීය වෛද්‍යශාස්ත්‍රයට අයත් ය. එහෙත් ජඞ්ගම චිකිත්සාව හැර සැම රෝගයකම - අමු අවස්ථාවන් පැසුණු අවස්ථාවක් සලකා අවස්ථානුකූලව පිළියම් යෙදීම ආයුර්වේදයෙන් ම සකස් වූ එහි ද ප්‍රධාන රීතිය වේ. ආයුර්වේද සිඞ යන උභය වෛද්‍ය ක්‍රමයෙහි සංකලනයෙන් පිළියෙළ වූ ස්වදේශීය වෛද්‍ය ශාස්ත්‍රයෙහි අයුරු යොග රත්නාකරයෙහි පද්‍යයෙන් විස්තර කොටැ ඇත්තේ ය.

භග්නචිකිත්සාව හෙවත් කැඩුම් බිදුම් වෙදකමෙහි ඇට පාස්සන උණුකරන හන්දිවද්දන, ආලෝපපත්තු මැල්ලුම් තෙල් ආදිය ස්වදේශිය වෛද්‍යශාස්ත්‍රයටම සීමා වී තිබේ. පැයේ හන්දිය, පැය දෙකේ හන්දිය බත් ඉතිරෙන හන්දිය ආදී පුදුම ගුණ දෙන ඖෂධ යෝග සිංහල වෙදකමෙහි ඇත. නොයෙකුත් උපද්‍රවවල දී බෙහෙත් මතුරා දීම තෙල්මතුරා දීම ආදී වශයෙන් භූත විද්‍යාවට අදාල වූ ව්‍යවහාර කරනු ලැබේ.

දේශීය වෛද්‍යශාස්ත්‍රයෙහි කෞමාරභෘත්‍ය හෙවත් ළදරු වෙදකම විශේෂ අඞගයකි. ග්‍රහණි, මාන්දම්, කෘමි, අතිසාර රෝගයක් පිළිබඳව ද එහි විශේෂ රෝග විනිශ්චයක් හා චික්ත්සා ක්‍රමයක් ද ඇතුළත් ය. මේ කුමාර චිකිත්සාවෙහි යුෂ වර්‍ග හා මස්වර්‍ග යොදා වර්‍ණයක් ද මුසු කොට පිසගන්නා ව්‍යඤජනයක් වැනි බෙහෙත්වලට බස්න යයි ව්‍යවහාර කරනු ලැබේ.

චරක, සුශ්‍රැත, අෂ්ටාඞගහෘදය ආදි සංහිතා ග්‍රන්ථවල එවැනි ඖෂධ යොගයත් කුමාර චිකිත්සාවෙහි යොදන සැටියක් දක්වා නොමැතියි.

ළදරුවෙකුට අසනීප වූ කල බාලගිරිදෝෂයෙන් පෙළෙන්නේ යයි සැකයක් වූ විට දෝසබලන පොත නම් වූ පුස්කොලපත් ඉරු පනසකින් පමණ යුත් පොතක් ගෙන සුවඳ දුම් ගස්වා පොතෙහි ම කම්බලනුව පොතේ කොළ අතරට රුවා දිග හැර බලයි. ඒ බලන තැන ළමයාට තිබෙන උපද්‍රව හා ඊට යොදන පූජාව ද සඳහන්ව තිබේ. අසුවල් ගිරි යකින්නගේ දෝෂ යයි තීරණය කොට පොතෙහි නියමිත පරිද්දෙන් බලි ගොටු කැප කිරීමට නියම කරනු ලැබේ.

ළදරුවාගේ එක් එක් වයසේ හැටියට වන උපද්‍රව හා ඊට යොදන පූජාවල් සහ කුඩාමන්ත්‍ර ද ඒ ගිරිදෝෂ බලනපොත් හී සඳහන් ව තිබේ. මේ පොත් තිබෙන්නේ උඩරට ප්‍රදේශයේ ඇතැම් ගම්බද ස්වදේශීය වෛද්‍යයන් ළඟ පමණකි.

රාවණා නම් ආචාර්යවරයෙකු විසින් ලියන ලද කුමාර තන්ත්‍රයෙහි දැක්වෙන අයුරට වඩා දේශීය කුමාරතන්ත්‍ර යයි කිවහැකි දෝෂබලන පොතේ ක්‍රමය වෙනස් ය.

දේශීය වෛද්‍යශාස්ත්‍රයට අයත් ද්‍රව්‍යගුණ පිළිබඳව යොගාර්‍ණව වරයෝගසාර යෝගරත්නාවලි ආදියෙහි සහ තවත් දේශීය සඞග්‍රහ පොත්වලත් ලියැ වී තිබේ. නිඝණ්ඩු ග්‍රන්ථ වශයෙන් සිධෞෂධනිඝණ්ඩුව, වනවාසනිඝණ්ඩුව, සරස්වතිනිඝණ්ඩුව හා කුඩා අකාරාදි කීපයක් ද සිංහල වෛද්‍යයන් විසින් භාවිත කරනු ලැබෙත්. සකුබසින් ලියැවුණු නිඝණ්ඩු දෙක හැර දේශීය නිඝණ්ඩු අකාරාදි සියල්ලෙහි ම සිහල දෙමළ නම් සරි සරියට සඳහන් ව තිබේ. සමහර කටුක (කුබැවඩු) ඖෂධවලට ඇත්තේ දෙමළ නම් පමණකි.

විෂ වෙදකමට ගන්නා ඖෂධ බොහෝ කොට ම අර්ථය සැඟවුණු වචනවලින් ලියන ලද පද්‍ය ස්වල්පයකට සීමා වී ඇත. රෝගවිනිශ්චය පිළිබඳ වැ දේශීය වෛද්‍යශාස්ත්‍රයෙහි උසස් ග්‍රන්ථ හැටියට නුදුරු අතීතයෙහි ස්වදේශීය වෛද්‍යවරයන් විසින් අරිෂ්ට ශතකය හා මාධවනිදාන ය ද භාවිත කරන ලදි.

වෙනත් විශේෂතා

ඖෂධයෝග නූතන යුගයෙහි ස්වදේශීය වෛද්‍යවරයෝ ගුලි, කල්ක, චූර්‍ණ අවලෙහ, රසායන, මෝදක, අරිෂ්ට, ආශව, අර්‍ක, තෛල ආදිය චරක, අෂ්ටාඞග හෘදය භාවප්‍රකාශ ආදී ආයුර්වේදීය ග්‍රන්ථවල දැක්වෙන පාකසාධන විධීන් අනුව සකස් කරති. මේ හැර පැරැණි සිංහල වෙදකමෙහි අන්‍යතර ඖෂධ ප්‍රස්තූත ප්‍රණාලියක් ද ඇත්තේ ය.

කෂාය පැසීගෙන එන විට ඊට චූර්‍ණයක් ද බහා පැසවීම දේශීය ක්‍රමයකි. මේ හැර අමුතු ම ක්‍රමයකට සාදනු ලබන තුන්දොස්කසාය, තැඹිලිකසාය, මාසක්කාකසාය ඕවැලිකසාය ආදී යොග සමූහයක් ද ඇත්තාහ.

බඩේ ගෙඩි රක්තගුල්ම පිළිකා ආදිය සුව කිරීමට නියම වැ ඇති බෙහෙත් අරක්කු යයි නම් කරන ලද අර්‍ක පෙරන ක්‍රමය ද තිබේ. මද්‍යසාර උපදවන තෙලිදිය, පොල් කිතුල් රා පැණි මුල් කොල පොතු ආදිය යොදා ඒ අර්‍ක සකස් කරනු ලැබේ. මේ අර්‍ක භාවිතයට සලස්වනුයේ ඒ වට්ටෝරුවට ම අයත් චූර්‍ණයක් සමඟ ය.

දේශීය වෛද්‍යශාස්ත්‍රයට ම විශේෂ වූ තෙල් සෑදීමේ ක්‍රමයක් ද ඇත. කොළ, මුලපොතු හා කුළුබඩු වර්‍ගත් සිහින්ව කපා අඩක් සුනුකොට තලතෙල් හෝ කොහොඹ තෙල් සමඟ පැසුනු පොල් සුනුත් සමඟ අනා මිශ්‍ර කොට වණ්ඩුවක ලා තම්බා ගනු ලැබේ. ඉක්බිති ජලය ඉවත් වනතුරු මදක් කකාර ගන්නා ලද තෙල්වලට දේශීය වෛද්‍යශාස්ත්‍රයෙහි බස්නතෙල් යයි කියනු ලැබේ.

දේශීය වෛද්‍යශාස්ත්‍රයෙහි භාවිතයට ගෙන තිබෙන ආයුර්වේදීය චිකිත්සන ග්‍රන්ථ අතුරෙන් සාරසඞක්‍ෂපය ප්‍රධාන වේ. ශතලොකි නම් පැරුණි චිකිත්සා ග්‍රන්ථය හා යොග ශතකය ද ස්වදේශීය වෛද්‍යයන් අතර සුප්‍රකට පොත් ය.

නාඩි ශාස්ත්‍රය ගැන සිංහල ගද්‍යයෙන් හා පද්‍යයෙන් ලියවුණු පොත් ඇත්තේ කිහිපයකි. යොගරත්නාකරයෙහි නාඩි ශාස්ත්‍රය දේශීය ක්‍රමානුකූලව දක්වා තිබේ.

සර්‍ප වෙදකමෙහි ගිනි කබල් හිස තැබීම හා ඇස්වල අංජනම් ගෑම ද සිංහල වෛද්‍යශාස්ත්‍රයෙහි විශේෂ ප්‍රතිකාරයෝ වෙති.

ශිරොරොග, වාතරොග, ඇස්රොග ආදියෙහි ශරීරයේ ඒ ඒ තැන් මැන බලා මිරිකීමෙන් ඇති කරගත් අභ්‍යාසය අනුව කරන පිළියමට නිල විධිය (නිල ඇල්ලීම) යයි කියනු ලැබේ. සිංහල වෛද්‍යශාස්ත්‍රයෙහි චිකිත්සාවය ඇතුළත් කර ගන්නා ලද තවත් විශේෂ ඖෂධයක් නම් අබින් ය. දාහතරවන ශත වර්‍ෂයේ අවසාන භාගයෙහි දකුණු ඉන්දියාවේ මරක්කල මිනිස්සු ලංකාවත් සමඟ වෙළෙඳාම් කළෝ ය. ඔවුන් අතර සිටි වෛද්‍යයන් හා දකුණු ඉන්දියාවෙන් පැමිණි සිටි සිංහල වෛද්‍යවරයන් බවට පත් වූ චෝලීය ජනයා ද අබිං ලංකාවට ගෙනාවෝ ය. දකුණු ඉන්දියාවේ අබින් මුසුකොට සකස් කරන ලද රසායන, වාජිකරණ, යෝග ද සිංහල චිකිත්සා ක්‍රමයට ඇතුළත් විය.

එතැන් පටන් අවස්ථානුකූලවැ ප්‍රමෙහගංජාංකූශය ආදී රසායන බෙහෙත් හා ගුලි, කල්ක ආදයට ද අබිං යෙදීම ආරම්භ කරන ලදී. සිංහල වෛද්‍යශාස්ත්‍රයෙහි අබිං වාත වෙදනානාහක ඖෂධයක් වශයෙන් හා ධාතුස්තම්භකයෝගයන්ට මිශ්‍ර කරන බෙහෙතක් හැටියට ද භාවිතා කරනු ලැබේ.

ආයුර්වේදයේ සහ දේශීය වෛද්‍යශාස්ත්‍රයෙහි ද්‍රව්‍ය ගුණ ශාඛාවට ඇතුළත් කර ගන්නා ලද අබිං බෙහෙතට යොදනු ලබන්නේ ක්‍රමාණුකූල ශුද්ධියකින් පසුවයි.

(කර්තෘ: පී.ඇම්.පී. අබයසිංහ)

(සංස්කරණය නොකළ)